ආදර මල්වල පාට කියන්නද? – 18

0
632

එදා කාමරේදී සිද්ධ වෙච්ච ඒ කතාබහෙන් පස්සේ කවීන් දවස් කිහිපයක් යනකම්ම ආකර්ෂා එක්ක ලොකුවට කතාවකට ආවේ නැහැ. මඟහැරියා කිව්වොත් හරියටම හරි. උදේට බ්‍රෙක්ෆස්ට් එකට හරි රෑ කෑම මේසෙට හරි මුහුණට මුහුණ හම්බුණත්, මිනිහා උන්නේ හරියට ආකර්ෂා කියලා කෙනෙක් තමන් එක්ක එක වහලක් යට ජීවත්වෙන්නෙ නැති ගානට. කොහොමත් උදේ ඉඳන් රෑ වෙනකම් බිස්නස් අස්සෙම හිරවෙලා උන්න මිනිහට ගෑනු වෙනුවෙන් වෙන් කරන්න ටයිම් එකක් තිබ්බෙ නැති එකේ ආකර්ෂාට ඒක ලොකුවට ගානක් උනේ නෑ. හැබැයි විසාල ගේක, සර්වන්ට්ස්ලා පවා මලාට එකා එකා එක්ක කතා කරන්නෙ නැති ගේක තනිපංගලමෙ මල පාලුවෙ ඉන්න වෙච්ච එක ගැන නම් තරහා ඔක්කොම ආකර්ෂා හිත අස්සෙන් පිට කරේ කවීන් ගෙ අකවුන්ට් එකට.

ඔක්කොම කුණු බේරෙ වැවට කියලා ආකර්ෂා දිහා කිසිම වෙලාවක වැරදිලාවත්ඇස් දෙක කෙළින් කරලා බලන්නේ නැතුව, හරිම සීරියස් පිට, බිස්නස් ඩීල් එකක් විදිහට විතරක් වචනයක් දෙකක් මාරු කරගන්න එක කවීන් පුරුද්දක් කරගෙන තිබුණා.

හැබැයි ඒ සයිලන්ස් ආකර්ෂාට එක අතකට ලොකු සහනයක් වුණා. මොකද රට ඉඳන් ආපු ආච්චි අම්මත් එක එක දාන මාන වැඩවලටයි, එයාලගේ පරණ නෑදෑයෝ හම්බවෙන්නයි ගෙදරින් පිට වෙලා ගිය නිසා, මේ දවස් කිහිපයේම මන්දිරය ඇතුළේ ආකර්ෂාට පුදුම නිදහසක් හම්බුණා. කවුරුවත් ඇඟට ගොඩවෙන්න නැති, ප්‍රශ්න අහන්න නැති ඒ නිදහස් පරිසරය අස්සේ කෙල්ල තමන්ගේ පේන්ටින් වැඩ ටික කරගෙන පාලුව මකාගත්තා. කැන්වස් එකක් ඉස්සරහා ඉඳගෙන පාටවල් එක්ක සෙල්ලම් කරද්දී විතරයි එයාගේ හිතේ තිබ්බ නොසන්සුන්කම පොඩ්ඩක් හරි අඩු වුණේ. ඔය අතරෙම තාත්තට ඉඳහිටක කතා කරලා “අනේ මං ඉතාම හොඳින් ඉන්නවා තාත්තෙ මෙහෙ මිනිස්සු මාර හොඳයි. ගෑනු අය ගොඩක් ඉන්නවා” වගේ අමු ටොං පච කාටවත් ඇහෙයි කියලා කිසි බයක් නැතුව දෙසා බාන්නත් පුළුවන් වෙච්ච එකම ආකර්ෂට ලොකු නිදහසක් වුණා.

හැබැයි ඒ හැමදේම මැද්දෙත්, කෙල්ල රෑ තිස්සේ නිදි වැරුවේ මහා ලොකු බලාපොරොත්තුවකින්. එදා රෑ ඇහුණු ඒ බය හිතෙන, හදවත නතර කරවන මරලතෝනිය ආයෙමත් ඇහෙයි කියලා කෙල්ල හැමදාම රෑ දොළහ, එක වෙනකම් කන් යොමාගෙන, කාමරේ සෝදිසියෙන් හිටියා. කවීන්ගේ ඔෆිස් කාමරය පැත්තෙන් මොකක් හරිම සද්දයක් ඇහෙයිද කියලා හිතමින් හුස්ම හිරකරගෙන හිටපු වාර අනන්තයි.

හැබැයි පුදුමයකට වගේ, ඒ සද්දේ ආයෙමත් ඇහුණේ නැහැ. මුළු මන්දිරයම රෑ තිස්සේ මළ ගෙයක් වගේ පුදුමාකාර සයිලන්ට් වෙලා තිබ්බෙ. හැබැයි ඒ සයිලන්ස් එක ආකර්ෂාගේ හිත සනසනවා වෙනුවට, කෙල්ලගේ හිතේ තිබ්බ සැකයයි කුතුහලයයි තවත් ඩබල් කරා කිව්වොතින් හරියටම හරි.

 “එදා රෑ ඇහුණේ බොරුවක් හීනයක් හිතලුවක් වෙන්න බෑ. ඒක එහෙම දෙයක් නම් මං ඒක ඇහුවම කවීන් අච්චර බය වෙන්න ඕන නෑනෙ. මිනිහගේ අත් දෙක අයිස් වගේ සීතල උනේ බොරුවට වෙන්න බෑ” කියලා කෙල්ල තනියම හිතින් මුමුණ ගත්තා.

හැඟීම් ඔක්කොම හිරකරගෙන, නිකන් මුකුත් නොවුණු ගානට උදේට ඔෆිස් යන, හවසට කිසි සද්දයක් නැතුව ගුලට රිංගන කබැල්ලෑවෙක් වගේ කාමරයට වැදෙන කවීන්ගේ ඔය ගාම්භීර මූණ පිටිපස්සේ තියෙන ඇත්තම රහස මොකක්ද කියලා හිතාගන්න බැරුව ආකර්ෂා අතරමං වෙලයි උන්නේ. මහා කුණාටුවකට කලින් එන මාරාන්තික සයිලන්ස් එක වගේ ගෙවිලා ගිය ඒ දවස් කිහිපය කෙල්ලව තව තවත් නොසන්සුන් කළා මිසක්, කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නම් දුන්නේ නැහැ.

ඔය අතරේ තමයි දවස් කිහිපයකට පස්සේ ආච්චි අම්මා ආකර්ෂාගෙ ඔලුවට ලොකු බෝම්බයක් අතඅරින්නේ!

එදා හවස ලේඩි කලම්බු සෙවන් රස්තියාදුවෙ යන ඒවා ඔක්කොම ඉවර කරලා මන්දිරේට පය තියපු ගමන්ම ආකර්ෂාට සාලෙට එන්න කිව්වා. ලේස් සාරියකින් සැරසිලා, කොණ්ඩෙ පිළිවෙලට බැඳලා, කණ්ණාඩි කුට්ටම නාහෙ ගාවට කරලා දාගෙන හිටපු ආච්චි අම්මාගේ පෙනුමේ තිබුණේ කාටවත් ලේසියෙන් කිට්ටු වෙන්න බැරි මහා ලොකු Classy ගාම්භීරත්වයක්. හැබැයි ඒ ඇස්වල තිබ්බේ නිකන් අමුතුම කපටි, තද පෙනුමක් කියලමයි කෙල්ලට නම් හිතුණෙම.

“මොන ගිනිගෙඩියකටද දන්නෙ නෑ මෙයා ඊලඟ පාර එන්න හදන්නෙ? අතන මෙතන රස්තියාදුවෙ ගිහින් දැන් නිකන් ඇවිල්ලා වාඩිවෙලා ඉන්න විදිය. මං ඔහොම ගියා නම් මහ ලොකුවට කියවන්න ඒවි වික්කමසිංහ පරංපරාවෙ නම්බුව ගැන. එයාට හොඳයි ඔක්කොම රස්තියාදු ගමන් යන්න” කියලා හිතෙන් හිතුවට මොකෝ හිතෙන් හිතන මෙලෝ දෙයක් එලියට නොපෙනෙන්න තමයි කෙල්ල සිරික්කිය දාගෙන උන්නෙ.

“ හෙට හවසට මගේ හරිම ක්ලෝස්ම යාලුවො කීප දෙනෙක් මෙහේ පැමිණෙනවා ඩිනර් වලට. වෙනදට නම් මම ඔය හොටෙල් එකකින් ඩිනර් ඕඩර් කරනවා. හැබැයි මේ පාර මං හිතුවා පොඩ්ඩක් වෙනසකටත් එක්ක ගෙදරම කෑම හදන්න. ඔයත් ඉන්නවනෙ. වික්‍රමසිංහ පරම්පරාවෙ ලේලි වෙන්න ඉන්නවා කියන්නෙ ගෙදර දොරේ වැඩත් හොඳට පුලුවන් ඇතිනෙ. සර්වන්ට්ස්ලා අතට පයට උන්නට, එංගලන්තෙ මාස හයක් හිටියට මට තාම පුළුවන් කුස්සියට ගිහින් දර ලිපේ පොළොස් ඇඹුලක් රහට උයන්න. ඔයාට බැරිවෙන්න විදියක් නෑනෙ. බැරි නම් වැඩකුත් නෑ ඉතින්.  හැබැයි මතක තබා ගන්න, ඒ අය මේ ඉතින් හයි ක්ලාස් මිනිස්සු. කොළඹ හතේ ඉහළම පැලැන්තියේ හැදිච්ච වැඩිච්ච මිනිස්සු,” ආච්චි අම්මා සෙටිය උඩ ඉතාම තැන්පත්ව වාඩි වෙන ගමන් කිව්වේ ආකර්ෂාගේ මූණ දිහා බලාගෙනමයි.

“අනික ඔය කොළඹ හතේ ඉන්න නෝනලාගේ කටවල් ගැන මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. දැනටම ඉතින් ඔයාට කොළඹ හත ගැන පොඩි හරි තේරුමක් ඇතිනෙ මේවයි ජීවත්වෙලා. කෑම පොඩ්ඩක් එහා මෙහා වුණොත් අපේ මුළු සර්කල් එක පුරාම ඕක පැතිරෙන විත්තිය අමතක කරන්න එඔආ. මට මගේ පවුලේයි, කවීන්ගෙයි නම්බුව ඒ අය ඉස්සරහා බල්ලට දාන්න බෑ. ඔය දවස් තිස්සේ කාමරේට වෙලා කරන පාට කිරිලි ටික හෙට දවසට පැත්තකින් තියලා, ගෑනියෙක් වුණාම තියෙන්න ඕන ඇත්ත ටැලන්ට්ස් ටික කුස්සියේදී පෙන්නන්න රෙඩි වෙන්න. මගේ යාළුවෝ හතරදෙනා එක එක ජාතියේ කෑම කන අය. සමහරු ඩයට්, සමහරුන්ට ෂුගර්, තව සමහරුන්ට ඔය High-class කෑම ජාති තමයි ඕනේ. ඉතින් ඒ හැමෝටම ගැලපෙන්න හරියටම මෙනු එකක් හැදෙන්න ඕනේ. කෝකටත් මං බලන් ඉන්නවා හෙට මගේ යාළුවෝ ඉස්සරහා ඔයා මාව ලැජ්ජාවට පත් කරයිද, නැත්නම් මගේ හිත දිනාගනියිද කියලා.” ආච්චි අම්මා වචන ටික එකින් එක ගළපලා කිව්වේ හරියට ආකර්ෂාගේ බෙල්ලටම තොණ්ඩුව දානවා වගේ.

ආකර්ෂා කෙළ උගුරක් ගිල්ලෙත් බයෙන් වගේ.

 “ඉතින් ආච්චි අම්මේ… මං මොකක්ද කරන්න ඕනේ?”

“වික්‍රමසිංහ පවුලේ අනාගත ලේලිගේ ගෘහණියක් විදිහට තියෙන දක්ෂතාවය සහ හැදියාව ඒ අය ඉදිරියේ ඔප්පු කරන්න හොඳම අවස්ථාව හෙට. උයන්න පුළුවන් ඇතිනෙ. මෙනු එකක් හදලා අද රෑ මට පෙන්නන්න. බඩු ගන්න නම් අපේ සෝමදාසව හරි ලිසීව හරි යවන්න පුළුවන් නෙ.  කෑම හදන්න ඕනේ ඔයා ආකර්ෂා. ලිසීට මම හෙට නිවාඩු ගන්න කියන්න ඉන්නෙ. බලමුකෝ අපේ කවීන් ගෙ චොයිස් එක කොහොමද කියලා. මම හෙට ඩිසයිඩ් කරන්නම්කො ඒක” කියලා ආච්චි අම්මා කිසි ගාණක් නැතුව කියාගෙන කියාගෙන යද්දි කෙල්ල උන්නෙ කාලා බලන්න ආස හිතෙයි කියලා කියාගන්න බැරුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here