ආදර මල්වල පාට කියන්නද? – 20

0
204

“දැන් මට කොහොමත් ඔයාට එහෙම කරන්න බෑ” කියලා කවීන් කිව්වෙ ඇයි කියන කතාව හිතට කොච්චර වද දුන්නත් කවීන්ගෙන් කවදාවත් ඒකට උත්තරයක් ගන්න බෑ කියලා දන්න හන්දම ආකර්ෂා ඒක පස්සෙ පන්නගෙන ගියේ නෑ. හැබැයි හිත තිබ්බෙම අර “දැන්” කියන වචනෙ අස්සෙ පන්නගෙන පන්නගෙන යන ගමන්.

“දැන් බෑ කියන්නෙ ඉස්සර පුලුවන් කියන එකද? ඉස්සර පුලුවන් නම් දැන් බැරිවෙන්න තියෙන හේතුව මොකද්ද?” කියලා අහන අතරවාරෙත් ආකර්ෂා උන්නෙ කුස්සියට වෙලා උයන්න ඕන කරන ඒවා ලෑස්ති කරන ගමන්. පැස්ටා එක උණුවතුරෙ දාලා තැම්බෙන්න තියලා මස් එක හදන්න ලෑස්ති වෙන ගමනුත් ආකර්ෂා උන්නෙ ඕවා කල්පනා කර කර.

“ඔයා මං එනකම් හිටියෙ නැත්තෙ ඇයි?” කියාගෙන කවීන් වොශ් එකක් දාලා චේන්ජ් කරගෙන කුස්සියට එන ගමන් අහද්දි ආකර්ෂා හීන් සැරේ ඔලුව හරවලා බලලා හිනා උනා.

“ඔයා ඔෆිස් ඉඳලනෙ ආවෙ. මහන්සි ඇති කියල හිතුවා. ඔයාගෙ තේක හදලා තියෙන්නෙ. බීලා ඉන්න. මට මේ ටික කරගන්න පුලුවන්”

“චිකන් එක තියන්න මම හදලා දෙන්නම්. මම හදලා තියෙනවා කලින්. ඔයාට පැස්ටා එක හදන්න පුලුවන් නේද?” කියලා කවීන් අහද්දි ආකර්ෂා ආයෙ වතාවක් හිනාවෙලා ඔලුව වැනුවා.

කවීන් තේ එකත් අතට ගන්න ගමන් කෙළින්ම ගියේ චිකන් එක මැරිනේට් කරලා තිබ්බ පැත්තට. මිනිහා ඇත්තටම වැඩ කරේ නිකන් ෂෙෆ් කෙනෙක් වගේ. ඔලිව් ඔයිල් ටිකක් දාලා, හර්බ්ස් ජාති එකතු කරලා, මස් එක පදම් කරන විදිහ දකිද්දි ආකර්ෂා පුදුම වෙලා බලාගෙන උන්නා. බිස්නස් ලෝකෙම හිරවෙලා, හැමදේම සල්ලිවලින් මනින මේ මිනිහට මෙහෙම උයන්න පුළුවන් කියලා කෙල්ල හීනෙකින්වත් හිතුවේ නැහැ.

“ඒකත් හොඳයි හැබැයි. මට උයන්න කරදර වෙන්න ඕන නෑ. මිනිහම හැමදාම උයන්නෙ නැතෑ” කියලා හිත කියලා තප්පර ගාණකට පස්සෙ තමයි කෙල්ලට මතක් උනේ මේක මේ ඩීල් එකක් මිසක්කා ඇත්තටම වෙන කසාදයක් නෙවෙන විත්තිය.

“ඔහොම බලන් ඉන්න එපා හලෝ පැස්ටා එක පෙරාගන්න. ඕක වැඩිපුර තැම්බුණොත් නාස්ති වෙනවා” කවීන් තේ උගුරක් බොන ගමන් එහෙම කියද්දි තමයි කෙල හලාගෙන කවීන් දිහා බලාගෙන උන්න ලුක් එක වෙනස් කරලා ආපහු වතාවක් උයන මයින්ඩ් සෙට් එකට ආවෙ.

කෙල්ලත් ඉතින් කියපු පමාවට පැස්ටා එක බාන්න ලෑස්ති වුණා. වයිට් සෝස් එක හදන්න බටර්, පිටි, කිරි එකතු කරලා හැඳි ගාන්න ගත්තෙත් කවීන් කිව්ව විදිහට. කුස්සිය ඇතුළේ දෙන්නා අතරෙ එහෙම ලොකු කතාවක් බහක් උනේ නැති උනාට දෙන්නම උන්නෙ හිතෙන් එක එක දේවල් තමන් එක්කම කතා කර කර. ලිපේ තියෙන කෑම ජාති හැඳි ගෑවෙන සද්දෙයි, ලිපේ තෙල් රත්වෙන සද්දෙයි, ඒ හැමදේටම වඩා චිකන් එක රෝස්ට් වෙද්දි ආපු ඒ මාරම සුවඳයි මුළු කුස්සියම පිරෙව්වා. ඒ අතරවාරෙම මෙන්න මේකයි කියලා තේරුං ගන්න බැරි මොකක් හරි හැඟීමක් දෙන්නගෙම හිත් පුරවලා තිබ්බා.

වැඩේ අස්සේ දෙන්නට දෙන්නා වචනෙකින් දෙකකින් නොක්කාඩු කියාගත්තත්, කවීන් පුදුම උනන්දුවකින් ආකර්ෂාට උදව් වුණා. මැෂ්ඩ් පොටෑටෝස් එකට අල ටික පොඩි කරනවා වගෙ පොඩි දේට පවා කවීන් උදව් කල හන්දා ආකර්ෂට වැඩේ එච්චර අමාරු උනේ නෑ.

දෙන්නගේ එක්කහු වීම හන්දා වැඩ ටික කෙරුණේ මාරම ස්පීඩ් එකකින්. ස්ටාටර් එකට ප්ලෑන් කරපු ක්‍රීමි මෂ්රූම් සුප් එක පදමට හැදිලා, රෝස්ටඩ් චිකන් එකත් රන්වන් පාටට බේක් වෙලා එළියට එද්දි කෙල්ලට දැනුණේ නිකන් යුද්ධයක් දින්නා වගේ. වයිට් සෝස් පාස්තා එකත් නියමෙටම සෙට් වෙලා තිබුණා.

“ මං හිතුවේ නෑ අප්පා අපිට මේක මේ තරම් ලස්සනට කරගන්න පුළුවන් වෙයි කියලා,” ආකර්ෂා කෑම මේසේ උඩින් පිඟන් ටික පිළිවෙලට තියන ගමන් කිව්වෙ හෙනම ආතල් එකේ. ලේඩි කලම්බු සෙවන් ඒ වෙද්දිත් ඇවිත් උන්නේ නැති හන්දා උන්දැ එන්න කලින් කවීන්ගෙ සපෝට් එකෙන් වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙච්ච එක ගැන ආකර්ෂා උන්නෙ ඔක්කොම බය සැක හිතෙන් අත් ඇරලා බියෙන් කදුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන් කියලා හිත හදාගෙන.

“මං කිව්වේ… මං ඉන්නකම් කිසිම දේකට බය වෙන්න එපා කියලා. දැන් ඉතින් ඔය මූණ එහෙම හෝදගෙන ලෑස්ති වෙන්න යනවා. ආච්චි අම්මි තව ටිකකින් ඒවි.”

කවීන් කියපු විදිහටම ආකර්ෂා ඉක්මනට කාමරේට ගිහින් මූණ කට හෝදගෙන, පිළිවෙලකට ලෑස්ති වෙලා සාලෙට එද්දිම වගේ තමයි ලේඩි කලම්බු සෙවන් එහෙමත් නැත්නම් ආච්චි අම්මා එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක වලව්වට පාත් වුණේ.

කාමරෙන් එළියට බහිද්දිත් හිත ඇතුළෙන් මහා ලොකු ගැස්මක් තිබ්බ ආකර්ෂාගෙ, සාලේ කෙළවරක හිටගෙන ඉන්න කවීන්ව දැක්ක ගමන් තමයි පපුවට ලේ ටිකක් ඉනුවේ. මිනිහා ඒ වෙද්දිත් තමන්ගේ සුපුරුදු පිළිවෙලට, ලස්සන කිටක් දාලා, කිසිම දෙයක් නොවුණු ගානට ආච්චි අම්මලාගේ ඉස්සරහට ගිහින් හිනාවෙලා කතා කර කර ඉන්නවා කෙල්ල බලාගෙන උන්නා.

ආච්චි අම්මා තමන්ව එයාගෙ යාලුවන්ට ඉන්ට්‍රඩියුස් කරලා දේවි කියලා බලාගෙන උන්නට මොකෝ ආච්චි උන්නෙ නම් එතන නිකන් ආකර්ෂා කියලා කෙනෙක් උන්නෙ නැති ගානට. නෝනලා සෙට් එකත් එක්ක හෑල්ලක් කියව කියව උන්නු ආච්චි අම්මා, ආකර්ෂා සාලෙට ආවම යාන්තමට ඇහැක් ඇරලා බලලා ආපහු අහක බලාගත්තේ නිකන් මඟතොටදී දකින හිඟන්නෙක් දිහා බලනවා වගේ සත පහකට මායිම් නොකර.

“මේ කවුද හේමා ඩාලිං? අර ඔයා කිව්ව කෙනාද?” කියලා එක නෝනා කෙනෙක් ඇස් කණ්ණාඩිය උස්සලා නිකන් අමුතු විදියට තමන් දිහා බලද්දි, ආච්චි අම්මා කිසිම හැඟීමක් නැතුව, “ඕ… ඔව් ඔව්… මං කිව්වේ,” කියලා කතාව මඟඇරලා දාන්න හැදුව විත්තිය අකාර්ෂට නොතේරුණා නෙවෙයි. ආච්චි අම්මා තමන්ව හැමෝම ඉස්සරහා කොන් කරන්න හදන විදිහ දකිද්දි ආකර්ෂාට මල පැනලා, පපුව ඇතුළෙන් රත් වීගෙන ආවත්, කවීන් එකපාරටම තමන් ළඟින් හිටගෙන, “අපි එහෙනම් ඩිනර් ගන්න යමු නේද?” කියලා හැමෝටම ඉන්වයිට් කරේ කෙල්ලව ඒ අපහසුතාවයෙන් බේරගන්න වගේ.

ආකර්ෂා හිත ඇතුළෙන් වෙව්ල වෙව්ල හිටියෙ.

මුං ටික කෑම හරි නෑ කිව්වොත් මොනා කියන්නද කියලා. හැබැයි හිතුවට වඩා ඩිනර් එක මාරම සක්සස් විදිහට, කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනටම ගලාගෙන ගියා. හැබැයි ඉතින් කොළඹ හතේ නෝනලාගේ ඒ ඉවරයක් නැති ඕපදූප අහගෙන, කෑම මේසෙට වෙලා බොරු හිනාවක් මවාගෙන ඉන්න වුණු නිසා වෙලාව ගියේ නිකන් සිං සිං ගාලා. ආච්චි අම්මගේ යාළුවෝ සෙට් එක හැන්දෑවේ පාත් වුණාට, කෑමත් කාලා කතා කරලා වලව්වෙන් පිටවෙලා යද්දී මහ රෑටත් කිට්ටු වෙලා තිබුණා.

කෙල්ල ඔක්කොම අස්පස් කරලා උඩට නිදියන්න එද්දි එක විතර වෙලා.

ඈනුමකුත් ඇරගෙන තමන්ගේ කාමරේ දොර ඇරලා ඇතුළට පියවර තබපු සැනින් ආකර්ෂා එකපාරටම එතනම ගල් ගැහුණෙ එහෙම දෙයක් දකින්න පොඩ්ඩක්වත් කෙල්ල බලාපොරොත්තුවෙන් උන්නෙ නැති හන්දා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here