කෙල්ල ඒ චිත්‍රෙ අඳින්න හිතුවෙ ඇත්තටම කෙල්ලටවත් හිතාගන්න බැරි රීසන් එකකට. මොන විදියට තමන් දෙන්නට දෙන්න රණ්ඩු වුණත් දෙන්නගෙන හිත් අස්සෙ දෙන්නා ගැන තරහක් නෑ කියන එක ආකර්ෂා දැනගෙන උන්නා. අනික මොක උනත් යස්සයා තමන් වෙනුවෙන් මෙච්චර වියදම් කරපු එකේ තමන් ඒකට නිකන්ම තැන්ක්‍යු කියන එක හරි මදි විත්තියත් කෙල්ල දැනගෙන උන්නා. අන්න ඒ හන්දා තමයි කෙල්ල හිතුවෙ කවීන්ට එයා එව්ව පේන්ට්ස් එහෙම පාවිච්චි කරලා ලස්සන පේන්ටින් එකක් කරලා දෙන්නෝන කියලා.
“මොකද්ද හැබැයි අඳින්නෙ?” කියන ප්‍රශ්නෙ තමයි ඊළඟට ලොකුවටම තිබ්බෙ. අන්න ඊට පස්සෙ තමයි කෙල්ල හිතුවෙ යස්සයව සප්‍රයිස් වෙන විදියෙ එකක් ඇඳලා දෙන්නෝන විත්තිය.
එදා ඩිනර් එක හිතුවට වඩා හොඳට ගිය හන්දා ලේඩි කලම්බු සෙවන් තමන්ට ළඟදිම තව මොකක් හරි දහං ගැටයක් අඹරන්න ඉඩ තියෙන විත්තිය ඒ එක්කම කෙල්ලට මතක් වුණා. කොහොමහරි ඉන්පස්සෙ ගෙවිච්ච දවසක දෙකක කාලෙ කෙල්ලට යස්සයව ලොකුවටම සෙට් වුණේ නෑ. ඒ නිසාම කෙල්ල කාමර්‍රෙටම වෙලා වගේ තමයි ඉඳියෙ. චිත්‍රෙ අඳින්න ලොකුවටම තිබ්බ නිසා උදේරෑට කන්න පල්ලෙහට ගිය වෙලාවට ඇරෙන්න කෙල්ල දවල්ටත් කෑම එක කාමරේටම තමයි ගෙන්න ගත්තෙ. උදේටයි රෑටයි කන වෙලාවට උනත් කවීන් ලොකුවටම ආච්චි එක්ක බිස්නස් වැඩ ගැන කතා කරා ඇරෙන්න ආකර්ෂා එක්ක මුකුත් කතා කරේ නැති තරං. ඔය ගුඩ් මෝනින් එකක් ගුඩ් නයිට් එකක් විතරක් වචන විදියට එහෙට්ට මෙහෙට්ට විසික් වුණ මිසක්ක වෙන කිසිම දෙයක් දෙන්නා අතර කතා බහ වුණේ නැති තරං.
හැබැයි ඇස් නම් උන්නෙ ඕනවටත් වඩා හොඳට කතා කරන ගමන්.
එදා රෑත් වෙනදා වගේම ඩිනර් ටේබල් එක තිබ්බෙ සයිලන්ට් වෙලා. ආකර්ෂා සුපුරුදු විදිහට තමන්ගේ පිඟාන දිහා බලාගෙන බත් ඇට කිහිපයක් අනා අනා ඉද්දී, කවීන් හිටියේ එයාගේ අයිපෑඩ් එක දිහා බල බල මොනවා හරි වැදගත් ඊමේල් වගයක් චෙක් කරන ගමන්. හැබැයි ඉතින් වරින් වර මිනිහගේ ඇස් තමන්ගේ පැත්තට හැරෙන විත්තිය කෙල්ලට නොදැනුණාම නොවෙයි.
“කවීන්…”
එකපාරටම කෑම මේසයේ සයිලන්ස් එක බිඳලා දැම්මේ ආච්චි අම්මා. උන්දෑ වතුර වීදුරුව තොල ගාලා හීන් සැරේ පිසදාගන්න ගමන් කවීන් දිහා බලලා කතාව පටන් ගත්තා.
“කියන්න ආච්චි අම්මා” කවීන් අයිපෑඩ් එක පැත්තකින් තියලා ආච්චි දිහාට හැරුණා.
“නෙක්ස්ට් වීක් එකේ අපේ පවුලේ හැමෝම එකතු වෙන ලොකු පාටි එකක් තියෙනවා. අපේ කම්පැණි එකේ අලුත් ප්‍රොජෙක්ට් එක සෙලිබ්‍රේට් කරන්නයි, ඒ වගේම අපේ නෑදෑ හිතමිතුරන් හැමෝටම එකතු වෙන්නයි මං ඒක ලෑස්ති කරේ. මං හිතාගෙන ඉන්නේ ඒ පාටි එකේදි ආකර්ෂාව අපේ පවුලේ හැමෝටම ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න. ඒ හන්දා ඔයාලා දෙන්නම ඒකට ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි.”
ආච්චි අම්මා ඒක කිව්වේ මාරම සන්සුන් කටහඬකින් වුණාට, ඒ ඇස් අස්සේ තිබ්බේ වෙනස්ම දහං ගැටයක් විත්තිය ආකර්ෂාට ඉවෙන් වගේ තේරුණා. කොළඹ හතේ මහ ලොකු නෑදෑයෝ ඉස්සරහට තමන් වගේ සාමාන්‍ය කෙල්ලෙක්ව දාලා, මොන වගේ නෝන්ඩියක් දාන්නද මේ උන්දෑ ලෑස්ති වෙන්නේ කියලා කෙල්ලගේ හිතට බයක් දැනුණ එක සාධාරණයි ඉතින්. ගෑනු පැටලෙන්න ගත්තම දන්නවනෙ ඉතින්. අනික ආකර්ෂගෙත් ඕවර් තින්කින් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
“නෙක්ස්ට් වීක් එකේද ආච්චි? මට ඒ දවස්වල වැඩ ටිකක් බිසී වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඔයා කියනවා නම් මං ඒක ඇරේන්ජ් කරගන්නම්,” කවීන් එහෙම කියන ගමන් යාන්තමට ආකර්ෂා දිහා බැලුවා. කෙල්ලගේ මූණ එකපාරටම සුදුමැලි වෙලා තියෙන විදිහ මිනිහා හොඳටම දැක්කෙ අන්න එවෙලෙ.
“වැඩ බිසී වුණත් මේක මඟහරින්න බෑ කවීන්. අනික හැමෝම අහනවා ඔයා ගෙදෙට්ට එක්කරගෙන ඇවිත් ඉන්න කෙල්ල කවුද කියලා බලන්න ඕන කියලා. ඒ නිසා ආකර්ෂාටත් කියන්න එදාට ලස්සනට රෙඩි වෙන්න කියලා,” ආච්චි අම්මා ආකර්ෂා දිහා එක එල්ලේ බලලා රවාගෙන වගේ කිව්වා. අන්න එවෙලෙ නම් කෙල්ලට හිතුණා අහන්න “ඉතින් ඕක කෙළින්ම මට කියනවකො ඔලුව වටේ අත දාලා කණ අල්ලන්න යන්නෙ” කියලා.
ඒ උනාට කෙල්ල මොකුත්ම නොකියා බත් පිඟාන දිහා බලාගත්තා. හැබැයි කවීන්ගේ ඇස් තමන් දිහාම යොමුවෙලා තියෙනවා කෙල්ලට තේරුණා. ඒ බැල්මෙන් මිනිහා කියන්න හැදුවේ ‘බය වෙන්න එපා… මං ඉන්නවා’ වගේ කතාවක්ද කියලා ආකර්ෂාට හිතුණෙ නිකමට වගේ.
කොහොමහරි ඊටපස්සේ ගෙවිච්ච දවස් දෙක තුනම ආකර්ෂා ගත කරේ මාරම කලබලෙන්. ආච්චිගේ පාටි එක ගැන හිතේ ලොකු බයක් තිබ්බත්, ඊට වඩා ලොකු උණක් කෙල්ලට තිබ්බේ කවීන් වෙනුවෙන් අඳින චිත්‍රෙ ගැනයි. කාමරේටම වැදිලා, රෑ නිදි මරාගෙන, කෙල්ල තමන්ගෙ සම්පූර්න දහිරියම දාලා ඒ චිත්‍රෙ ඉවර කරන්න තමයි මේ දවස් ටිකේම මහන්සි වුණේ.
අන්තිමේදී, දවස් කිහිපයක මහා කැපවීමකින් පස්සේ ඒ ලස්සන චිත්‍රය සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න ආකර්ෂාට පුළුවන් වුණා. කැන්වස් එක දිහා බලද්දී කෙල්ලගේ මූණට ආවේ මහා ලොකු ආඩම්බරයක්.
“යස්සයා මේක දැක්කම ෂුවර් එකටම පිස්සු හැදෙයි”
කෙල්ල චිත්‍රෙ ලස්සන කඩදාසියකින් කවර් කරලා අතට ගත්තෙ එහෙම තමන්ටම කියන ගමන්. තවදුරටත් මේක ගෙදරදී දීලා නිකන්ම තැන්ක්‍යු කියනවාට වඩා, මිනිහව උපරිමයෙන්ම සප්‍රයිස් කරන්න ඕන කියලා හිතපු ආකර්ෂා, ලස්සනට ලෑස්ති වෙලා, ඒ චිත්‍රෙත් කිහිල්ලේ ගහගෙන කෙළින්ම කවීන්ගේ ඔෆිස් එකට යන්න වලව්වෙන් පිටත් වුණේ ඔන්න ඔය අතරවාරෙ.
ආකර්ෂා ඔෆිස් එකට එන වෙලාවෙ කවීන් උන්නෙ පුදුමාකාර විදියට වැඩ කන්දක් අස්සෙ හිරවෙලා ලැප්ටොප් එකට ඔලුව නවාගෙන. ආකර්ෂා කොහොමත් තමන් එන විත්තියක් කළින් කියලා තිබ්බෙ නැති හන්දා කවීන් මලාට බලාපොරොත්තු උනේ නෑ ආකර්ෂව එවෙලෙ ඔෆිස් එකේදි දකින්න.
අන්න එහෙම මෝමන්ට් එකකදි තමයි ශෙහාරා ඇවිල්ල කවීන්ට ඩිස්ටර්බ් කරේ “සර් ඔයාව හම්බෙන්න විසිටර් කෙනෙක් ඇවිත්” කියලා.
“අද මුකුත් අපොයින්ට්මන්ට්ස් නෑ කියලා නේද කිව්වෙ?” කියලා කවීන් වෙනදා වගෙ තරහ ගන්නෙ නැතුව අහද්දි ශෙහාරාත් පොඩ්ඩක් අන්දුන් කුන්දුන් වුණා.
“ඔව් සර් හැබැයි මේ…මේ”
“මේ නෙවෙයි ශෙහාරා දිස් ඊස් ජූන්. කරුණාකරලා මගේ වෙලාව නාස්ති නොකර ආපු කෙනෙක්ට කියනවද අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න කියලා”
“සර් ඒ අර එදා ආව මිස්”
“කවුද?”
“අර සර්ගෙ… බබා… මිස්”
“මොකා?”
“අර එදා සර්ව හම්බෙන්න ආවෙ ගර්ල් කෙනෙක්. ආකර්ෂා මිස්. අන්න එයා ඇවිත් ඉන්නෙ” කියලා ශෙහාර තටම තටම කියද්දි කවීන්ටත් පොඩ්ඩක් හිතාගන්න බැරිවුනා ආකර්ෂා මොන මගුලටද එහෙම එකපාර තමන්ගෙ ඔෆිස් එකට ආවෙ කියලා. ඒ උනාට ඒක ඉතින් ශෙහාරගෙන් අහලා වැඩක් නැති හන්දා තමයි කවීන් කිව්වෙ ආකර්ෂට එන්න කියන්න කියලා.
ෆ්‍රේම් කරගත්ත චිත්‍රෙත් බරට බරේ උස්සගෙන කෙල්ල කවීන්ගෙ ඔෆිස් රූම් එක දිහාවට ඇවිදගෙන ආවෙ තාරාවෙක් ඇවිදිනවා වගේ. ආකර්ෂාගෙ අතේ බඩු ලොට් එකක් තියෙන හන්දා කෙල්ලට තනියෙන් දොර ඇරගන්න බෑ වගේ කියලා හිතිච්ච නිසා තමයි කවීන් පුටුවෙන් නැගිටලා ඇවිත් දොරත් ඇරිරෙ.
“තැන්ක්‍යු”
“මොකද මෙහෙ ආවෙ?”
“මේක දීලා යන්න”
“මොකද්ද මේ?”
“තමුසෙ එව්ව පේන්ට්ස් වලින් මං චිත්‍රයක් ඇන්දා. ඒක අපි ඔෆිස් රූම් එකේ එල්ලමු” කියලා කෙල්ලම පේන්ටින් එක කවර් කරලා තිබුණ කොලේ අයින් කරද්දි තමයි කොල්ලා දැක්කෙ චිත්‍රෙ මොකද්ද කියලා.
“මොකද්ද මේ ඇඳලා තියෙන්නෙ”
“ඇයි අඳුරන්න බැරිද?”
“මං කොහොමද දන්නෙ මේ කවුද කියලා? මොකද මේ චිත්‍රෙ ඉන්න එකා කලිසම් කෝට් ඇඳලා යක්ශ වෙස් මූණක් දාන් ඉන්නෙ? මොකද්ද මට මේකෙ තියෙන සම්බන්ධෙ?”
“මේ ඉන්නෙ තමුසෙ”
“මම? මේ කොහොමද ඕයි මම වෙන්නෙ? මේ මගෙ මූණ නෙවෙයිනෙ”
“ඔයාගෙ මූණ තමයි තරහා ගියාම මෙහෙමයි මූණ. යස්සයා වගේ. මං ඒ හන්දා යස්ස මූණක් දාලා ඇඟට ටයි කෝට් ඇන්දුවා” කියාගෙන පොඩි ළමේක් වගේ කවීන්ගෙ මේසෙ පිටිපස්සෙන් චිත්‍රෙ බිත්තියට හේත්තු කරලා කෙල්ල කවීන්ගෙ මූණ දිහා බලලා ආයෙ වතාවක් තාරාවා වගේ ඇවිදගෙන ආව.
“තමුසෙ මොකද ඔහොම ඇවිදින්නෙ?”
“කොහොමද?”
“ඔය ඔහොම අමුතු විදියට කොන්දට අත තියාගෙන”
“ආහ් ඒ බබා ඉන්න හන්දනෙ?”
“මොකා?”
“ඔව් ඇයි දැකලා නැද්ද බබාලා හම්බෙන්න ඉන්න අය ඇවිදින්නෙ මෙහෙමනෙ. ඔහේගෙ ළමයා මගෙ බඩේ ඉන්නවා කියලා ඔෆිස් එකේ අය දන්නවා ඇතිනෙ. මං එදා ලොබි එකේදි ඒක කිව්ව හන්දා. ඉතින් මං පොඩ්ඩක් එහෙම ඇවිද්දා”



