“තමුසෙට පිස්සු ඕයි”
“ඔව් ඔව් මට පිස්සු තමයි. පිස්සු නැත්තම් මෙහෙම කරනවද? ඒක නෙවෙයි අපි මේ චිත්‍රෙ කොහෙන්ද එල්ලන්නේ? ඇණයක් ගහලා දෙනවද?”
“ඇණේ ගහන්න වෙන්නෙ මට දැන්. අනේ මේ වඳින්නම් මං කරුණාකරලා නෝමල් මනුස්සයෙක් ඇවිදිනවා වගේ ඇවිදිනවද? මෙතන මේ ළමයි හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් වගේ ඇවිදින්නෙ නැතුව. හලෝ මේ මගෙ ඔෆිස් එක. මට ලැජ්ජ කරන්නෙපා මේක අස්සට ඇවිත්” කියලා කවීන් කියද්දිත් කෙල්ල නෙවෙයි තඹ සතේකට ඒ වචන මායිම් කරේ.
“හරි හරි මං ඇවිදින්නම්කො හරියට. තමුසෙ කියනවකො ඉස්සර වෙලා මේක කොහෙද අපි එල්ලන්නෙ කියලා. මං මේ දවස් ගානක් අරන් හෙන අමාරුවෙන් මේක ඇන්දෙ මෙහෙම බිම තියලා තියන්න නෙවිනෙ.”
“හරි හරි මං ඒක එල්ල ගන්න තැනක එල්ල ගන්නම්. තැනක් නැත්තම් බෙල්ලෙ හරි එල්ල ගන්නම්. දැන් යනවාකො වද නොවී. මට තව වැඩ තියෙනවා”
“එව් ගොඩයා. වෙන පිරිමි නම් තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ආවම තියාගන්න බලන්නෙ”
“තමුසෙ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවිනෙ. ඒ නිසා මට තියාගන්න කිසිම උවමනාවක් නෑ. යනවකො කියන දේ අහලා. ඔෆිස් එකේ උනුත් බලනවා ඇති මේ මොකද එකපාර කියලා” කවීන් කියද්දිම වගේ තමයි ශෙහාරා එකම ජාතියෙ තේ කෝප්ප දෙකක් ට්‍රේ එකක තියාගෙන කාමරේට ආවෙ.
“සර්ටයි මිස්ටයි ටී හැදුවා. මෙතනින් තියන්නද?” කියලා ශෙහාරා ආයෙ අහද්දි ආකර්ෂා තේක අරගන්න එතනට ගියෙත් කොණ්දට අත තියාගෙන තාරාවක් වගේ ඇවිදින ගමන්.
“මිස්ට ටිකක් අමාරුයි වගේ නේද ඇවිදින්න? මෙතනින් වාඩිවෙන්න මිස්” කියලා ශෙහාරා කිව්වෙ හිතෙන් කවීන්ට බණින ගමන් අහිංසක කෙල්ලො අමාරුවෙ දානවට.
“තැන්ක්‍යු අනේ. පලවෙනි බබානෙ ටිකක් අමරුයි. පුරුදු නෑනෙ තාම” කියලා ආකර්ෂා කියද්දි කවීන් උන්නෙ කට ඇරගෙන “මේකිට නම් දෙන්න ඕන” කියලා හිත හිත.මිනිහට එකපාරටම තරු පෙනුණා වගේ වුණා ශෙහාරා තමන් දිහා නිකන් මිනීමරුවෙක් දිහා බලන සයිස් එකේ ලුක් එකක් දාපු හන්ද. ඒ බැල්ම අස්සෙ තිබ්බෙ “කසාද බඳින්න කලින් කෙල්ලන්ව අමාරුවෙ දාන්න තමුසෙට ලැජ්ජ නැද්ද?” කියලා අහන වගේ එකක් කියන එක කවීන්ට නොතේරුනා නෙවෙයි.
ශෙහාරා ට්‍රේ එකත් බදාගෙන කවීන් දිහා රවාගෙනම කාමරෙන් පිටත්වෙලා ගියේ දොරත් මාරම සද්දෙකින් වහන ගමන්. දොර වැහිච්ච ගමන් කවීන් දත්කූරු විකලා ආකර්ෂා දිහාට පැනගෙන ආවේ හරියට ඇඟට කඩාපනින්න වගේ.
“පිස්සුද ගෑනියෙ මොකක්ද ඕයි ඒ කිව්වේ? පළවෙනි බබා? පුරුදු නෑ? තමුසෙට පිස්සුද නැත්නම් මාව මේ ඔෆිස් එකේ උන් ලවා හිරේ යවන්නද හදන්නේ?” කවීන් තමන්ගේ කොණ්ඩේ අස්සෙන් ඇඟිලි යවන ගමන් ඇහුවෙ හැබෑවටම අසරණ වෙලා.
ආකර්ෂා කිසිම ගාණක් නැතුව සෝෆා එකෙන් හාන්සි වෙන ගමන් තේ උගුරක් බීලා හීන් සැරේ හිනා වුණා.
“ඇයි මොකද? සෙක්‍රටරි කෙල්ලව දැලේ දාගන්න හිතාගෙනද ඉන්නෙ? ඒකද ඔච්චර බය? මොකද්ද හලෝ මේ තමුන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට ගෙදෙට්ටම වෙලා රඟපාන ඩීල් එක මහ කම්මැලි. මට කියලත් පොඩි ආතල් එකක් තියෙන්න ඕනනෙ. ඒකයි මං එහෙම කිව්වෙ”
“අනේ මේ තමුසෙගේ ඔය වචන හරඹ මට දාන්න එන්නැතුව යනවා යන්න මෙතනින්. තමුසෙ හිතුවද ශෙහාරා ඕක ඔතනින් නතර කරයි කියලා? තව පැය භාගයකින් මුළු ඔෆිස් එකේම ඉන්න එවුන් මට සුබ පතන්න එයි කවීන් සර් තාත්තෙක් වෙන්න යන්නේ කියලා. මගේ රෙපියුටේෂන් එක ඉවරයි ඕයි.” කවීන් කේන්තියෙන් මේසේ උඩ තිබ්බ පෑනකින් මේසෙට අනින්න ගත්තෙ තරහ හන්දමයි..
“අමෝ අමෝ රෙපියුටේශන්? පුහ් එහෙම එකක් තියෙනවද තමුන්ට? පුදුමයි මට” කියලා ආකර්ෂා හිනාවෙද්දි, රෙපියුටේශන් කියන වචනෙ නිකන් අමුතු විදියට කියද්දි කවීන්ට ඒ වෙලාවේ කෙල්ලව කාමරෙන් එළියට ඇදලා දාන්න හිතුණත්, ඒ මූණේ තිබ්බ හුරතල් කපටිකම දැක්කම මිනිහටත් නොදැනීම හිනාවක් එන්න හැදුවා. හැබැයි ඒක මාරම අමාරුවෙන් පාලනය කරගත්ත මිනිහා, පුටුවේ පස්සට බර වුණේ චිත්‍රෙ ඉන්නව වගේම යස්ස මූණක් මූණත්තහඩුව උඩ ඇඳගන්න ගමන්.
“තමුසෙත් එක්ක කතා කරලා දිනන්න බෑ. දැන් ඔය තේක බීලා ඉවර නම්, වඳින්නම් මෙතනින් චුත වෙනවද? මට වැඩ තියෙනවා.”
“හරි හරි මං යනවා. හැබැයි මං ආයේ එද්දී මේක මෙතන බිත්තියේ එල්ලලා තිබ්බේ නැත්නම්, ඊළඟ පාර මං ශෙහාරාට කියනවා අපිට ට්වින්ස්ලා හම්බෙන්න ඉන්නවා කියලා! බලාගමුකෝ එහෙනම්!” ආකර්ෂා පින්තූරේ දිහා බලලා කවීන්ට ඇහැකුත් ගහලා, මාරම සැහැල්ලුවෙන් කාමරෙන් එළියට පියවර තිබ්බා.
කවීන් උන්නේ තමන්ගේ නළල අත් දෙකෙන්ම බදාගෙන, “දෙයියනේ මං මොන කරුමයකටද මේකිව මගෙ ජීවිතේට ඩීල් එකකට හරි සම්බන්ධ කරගත්තෙ” කියලා හිත හිතා.
ආකර්ෂා කාමරෙන් එළියට බැස්සේ මුළු ඔෆිස් එකටම ඇහෙන්න වගේ හීනියට හිනාවෙවී. කෙල්ල දොර වහලා පස්ස හැරෙද්දීම දැක්කේ, ශෙහාරා සෙක්‍රටරි ටේබල් එක ළඟට වෙලා ෆෝන් එකෙන් කාට හරි මාරම සීරියස් ටෝන් එකකින් තව කවුද කෙල්ලො දෙන්නෙක් එක්ක රහස් කියන විදිහ. ආකර්ෂා එනවා දැක්ක ගමන් කෙල්ල කතාව නිකන් වෙන පැත්තකට මාරු කරලා, මාරම අනුකම්පාවෙන් පිරිච්ච බැල්මකින් ආකර්ෂා දිහා බැලුවා.
“මිස් පරිස්සමෙන් යන්න. පඩිපෙළ බහිද්දී එහෙම බලලා අඩිය තියන්න” ශෙහාරා ඉක්මනට සීට් එකෙන් නැගිටලා ඇවිත් ආකර්ෂාගේ වැලමිටෙන් යාන්තමට අල්ලගත්තේ හරියට නිකන් බිම වැට්ටොත් කැඩෙයි වගේ
“අනේ තැන්ක්‍යු ශෙහාරා ඔයා නම් මාරම ස්වීට්. අර මනුස්සයා වගේ නෙවෙයි” ආකර්ෂා ආයෙමත් වතාවක් තමන්ගේ රංගනය උපරිමයෙන්ම පාවිච්චි කරමින් කොන්දට අත තියාගෙන බඩ යාන්තමට ඉස්සරහට දාලා කිව්වා.
“අනේ අපේ සර් ගැන මං දන්නවා මිස්. වැඩ විතරමයි ඔළුවේ තියෙන්නේ. මේ වගේ වෙලාවකවත් ඔයා ගැන බලන්න දන්නේ නෑනේ.” ශෙහාරා හිතුවේ ඇත්තටම කවීන් සර් මේ අහිංසක කෙල්ලව රවට්ටලා අමාරුවේ දාලා කියලා.
“ඕවා ඕම තමයි අනේ අපි ඉතින් ඉවසන්න ඕනනේ ගෑනු විදියට. මං ගිහින් එන්නම්,” කියලා ආකර්ෂා ශෙහාරාට බායි පාරක් දාලා, ලිෆ්ට් එක පැත්තට ගියේ තාරාවෙක් වගේ දෙපැත්තට පැද්දි පැද්දි. ලිෆ්ට් එක ඇතුළට වැදුණු සැනින් කෙල්ලට හිනාව පාලනය කරගන්න බැරුව බඩත් බදාගෙන හිනාවෙන්න ගත්තා.
මේ අතරේ කවීන් තමන්ගේ කැරකෙන පුටුවට වෙලා කොණ්ඩේ අවුස්ස අවුස්ස හිටියේ මේ වෙච්ච විනාසෙන් කොහොමද බේරෙන්නේ කියලා හිතාගන්න බැරුව. මිනිහා දත්කූරු වික විකා මේසේ උඩ තිබ්බ ආකර්ෂාගේ චිත්‍රය දිහා බැලුවා. කෙල්ල ඒක ඔතලා තිබ්බ කඩදාසි කවරෙ ගලවලා දාලයි ගිහින් තිබුණේ.
කවීන් ඒ පේන්ටින් එක දිහා බැලුවේ මාරම කේන්තියෙන් වුණත්, ඒක දැක්ක ගමන් මිනිහගේ ඇස් දෙක එක තැන නතර වුණා.
කැන්වස් එක පුරාම ඇඳිලා තිබුණේ කළු සහ අළු පාට පසුබිමක, මහා කළු කුණාටුවක් මැද නොසැලී හිටගෙන ඉන්න තේජවන්ත මනුස්සයෙක්ගෙ රූපයක්. ඒ මනුස්සයගෙ මූණ වෙනුවට තිබ්බෙ වෙස් මූණක්. හැබැයි ඒ වෙස් මූණෙ ඇස් දෙක ඇතුළේ මහා ලොකු වේදනාවකුයි, ඒ වගේම දැඩි අධිෂ්ඨානයකුයි මාරම ලස්සනට පින්සල් පාරවල්වලින් මතු කරලා තිබුණා කියලා කවීන් දැක්කෙ එවෙලෙ. ඒ ඇස් දෙක දකිද්දී කවීන්ට හිතුණේ ඒ බලන් ඉන්නේ තමන්ගේම ආත්මය දිහා කියලා. කෙල්ල තමන්ගේ හිතේ ඉන්න ඒ රළු, ඒත් හුදකලා වෙච්ච යක්ෂයාව මාරම සංවේදී විදිහට චිත්‍රයට නගලා තිබුණා කියන එක තරහා මැද්දෙ උනත් පිළිගන්නෙ නැතුව ඉන්න කවීන්ට පුළුවන් වුනේ නෑ. චිත්‍රේ යට කෙලවරේ පොඩියට Thank you, Monster කියලා ලස්සනට ලියලා තිබුණා.
අන්න එවෙලෙ තමයි නොදැනීම වගේ ඒ යක්ෂ මූණට ලස්සන හිනාවක් ආවෙ.
“මේකිට නම් ඇත්තටම පිස්සු හැබැයි මාරම දක්ෂයි,” මිනිහා තමන්ටම මුමුණගත්තේ ඒ පේන්ටින් එක දිහා ආයෙ වතාවක් බලන ගමන්. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. එකපාරටම කාමරේ දොර ඇරුණා. කවීන් ඉක්මනට මූණ සීරියස් කරගත්තා. ඇතුළට ආවේ ඔෆිස් එකේ ඉන්න සේල්ස් ඩිරෙක්ටර් ප්‍රමෝද්. මිනිහා මූණ පුරාම හිනාවක් දාගෙන, කවීන් ළඟට ඇවිත් අත දික් කරා.
“කන්ග්‍රැජුලේෂන්ස් සර් අපිට ආරංචිය ආවා. මාරම හැපි සර් අපිට ඉතින් පාටි එකක් ඕන ඔන්න”
කවීන් පුටුවෙන් කෙළින් වුණේ හරියට ඇඟට හෙනයක් ගැහුවා වගේ.
“මොකක් ගැනද ප්‍රමෝද් ඔය කියවන්නේ? මොන පාටි එකක්ද?”
“අනේ සර් ඉතින් දැන් හැංගුවට වැඩක් නෑනේ. ශෙහාරා ඔක්කොම කිව්වා. මැඩම්ට දැන් ටිකක් අමාරුයිලු නේද? පළවෙනි බබා හින්දා සර් මැඩම්ව මීට වඩා පරිස්සම් කරන්න ඕන. සර් කියන්නෙම නැතුව මැරි කරලනෙ. අපි දන්නෙවත් නෑ. මැඩම් ලොකු මැඩම් එක්ක ඉන්ග්ලන්ඩ් වලද හිටියෙ” ප්‍රමෝද් මාරම හිතවත්කමකින් වගේ කවීන්ගෙන් අහද්දි නම් මිනිහට ඇත්තටම හිතුණ කියන්න “මං එහෙම නෑ බං” කියලා.



