ආදර මල්වල පාට කියන්නද? – 26

0
77

“අයෑම් සෙලීනා” කියලා ඒ කෙල්ල ඇවිත් තමන්ට අතට අත දෙද්දි ආකර්ෂාගෙ අත පොඩ්ඩක් වෙව්ලුවා. සෙලීනා ඇඳගෙන උන්නේ ඇඟටම හිරවුණු, මාරම මෝස්තරකාර රතු පාට කොට ගවුමක්. කොළඹ හතේ ලොකු ලයින් එක උපරිමයටම තිබ්බ ඇගේ මුළු සිරුරෙන්ම විහිදුණේ මාරම සැර විලවුන් සුවඳක්. 

“හායි මම ආකර්ෂා” කියලා කෙල්ල කිව්වෙත් නිකන් ගොත ගගහා වගේ. තමන්ගේ හිත ඇතුළෙන් එකපාරටම මතු වුණු ඒ නොසන්සුන්කම වහගන්න ආකර්ෂා මාරම උත්සාහයක් ගත්තා කියන එක කවීන් නොදැක්කා නෙවි.

“ඔයා ගැන මට ආරංචි උනා. මං ගැන නම් ඔයා දන්නෙ නෑ වගේ නේද?”කියාගෙන සෙලීනා කියන නැට්ටිච්චි කවීන් දිහා බැලුවෙ කවීන් ව ගිලින්න වගේ කියන එක තමන්ට හිතුනෙ ඇයි කියන්න ඇත්තටම ආකර්ෂාට හිතාගන්න පුළුවන් වුණේ නෑ.

සෙලීනා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, කවීන්ගේම කසින් කෙනෙක් විත්තිය ආකර්ෂාට කියාගන්න බැරුව. හැබැයි ඒ නෑදෑකමටත් එහා ගිය ලොකු අතීතයක් මේ දෙන්නා අතරේ තිබුණා කියන එක ආකර්ෂා ඇරෙන්න මෙතන උන්න ගොඩක් අය දැනගෙන උන්නා. අවුරුදු ගාණකට කලින් කවීනුයි සෙලීනායි අතරේ මාරම තද අෆෙයාර් එකක් තිබිලා, පස්සේ සෙලීනා කරපු චීට් කිරීමක් හන්දා ඒක දරුණු විදිහට බ්‍රේක් වෙලා තිබුණේ කියන එකවත් ආකර්ෂා දැනගෙන උන්නෙ නෑ. අන්න ඒ නිසයි කවීන් සෙලීනා කියන නමටවත් කැමති නැත්තේ කියන එක ආකර්ෂා දැනගෙන උන්නෙ නෑ. සෙලීනා දොරකඩ ඉන්නවා දැක්ක වෙලාවේ ඉඳන් කවීන්ගේ මුළු මූණම ගල් වෙලා, දත්කූරු විකමින් උන්නේ ඒ හන්දයි කියන එකවත් ආකර්ෂා දැනගෙන උන්නෙ නෑ.

හැබැයි ලේඩි කලම්බු සෙවන්, ඒ කියන්නේ ආච්චි අම්මා තවමත් මාරම විදිහට කැමති සෙලීනාට. සෙලීනා දැක්ක ගමන් ආච්චි අම්මා බිම වැටුණු වයින් වීදුරුව ගැනත් අමතක කරලා, මූණ පුරා හිනාවක් දාගෙන ඉස්සරහට ආවෙ අන්න ඒ හන්දා.

“සෙලීනා දුව! ඔයා කවදාද ලංකාවට ආවේ? ඇයි මට කිව්වේ නැත්තේ?” ආච්චි අම්මා සෙලීනාව බදාගෙන කම්මුල් දෙකට හාදු දෙද්දී, සෙලීනා ආඩම්බරෙන් ආකර්ෂා දිහා බලාගෙන හිනා වුණා.

“ඊයේ රෑ ආච්චි අම්මා. මං හිතුවා ඔයාලව සප්‍රයිස් කරන්න ඕන කියලා. කවීන්… ඔයා තවමත් වෙනස් වෙලා නෑ නේද?” සෙලීනා ආයෙමත් වතාවක් කවීන්ගේ උරහිසට අතක් තියන ගමන් මාරම ළඟින් ඇහුවා. කේන්තියෙන් සෙලීනාගේ අත තමන්ගේ උරහිසෙන් ගසා දාලා අහක බලාගන්න කොච්චර උවමනාව තිබ්බත් නෑ වෙන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ළඟදි එහෙම කරලා තමන්ගෙ පවුලෙ මිනිස්සුන්ගෙ නම්බුව නැති කරන්න උවමනාවක් කවීන්ට තිබ්බෙ නෑ. හැබැයි ආකර්ෂා ඒක දැනගෙන උන්නෙ නෑ.

සෙලීනා කවීන් දිහා බලන ඒ අයිතිවාසිකම් පිරුණු බැල්මයි, ඒ දෙන්නා අතරේ තමන්ට නොතේරෙන රහස් අතීතයක් තියෙනවා කියලා දැනෙද්දියි ආකර්ෂාගේ හිතට එකපාරටම මහා ලොකු පාලුවක් වගේම අනාරක්ෂිත බවක් දැනෙන්න ගත්තා. මේ මහා සාලේ මැද, මෙච්චර සෙනඟක් ඉද්දිත්, තමන් තනි වෙලා වගේ හැඟීමක් කෙල්ලගේ හිත වටකරගත්තේ කවීන්ටවත් නැති කරන්න බැරි විදිහටයි.

සෙලීනාගේ ඒ හැඩකාර, උඩඟු හැසිරීමත් එක්ක මුළු පාටි එකේම අවධානය ක්ෂණිකවම එයා වෙතට ඇදිලා ගියා. කොළඹ හතේ සනුහරේටම ගැලපෙන විදිහේ ඉංග්‍රීසි වචන පටලවමින්, එයා එක එක නෑදෑයෝ බදාගෙන මාරම ෆිට් එකෙන් කතා කරද්දී ආකර්ෂාට එතන තිබුණු තැන නිකන්ම නැතිවෙලා ගියා වගේ දැනුණා.

ආච්චි අම්මා සෙලීනාව වටකරගෙන ඉන්න නෑදෑයෝ අතරට එක්කන් ගියේ ආකර්ෂාව සම්පූර්ණයෙන්ම මඟ අරින ගමන්. සෙලීනා ලංකාවෙන් පිට ඉද්දී කරපු දේවල්, එයාගේ මෝස්තර නිරූපණ වැඩ ගැන ආච්චි අම්මා මහා ඉහළින් වර්ණනා කරද්දී ආකර්ෂාට දැනුණේ තමන් ඒ හැමෝටම වඩා මාරම පහත්, කිසිම වැදගත්කමක් නැති පිටස්තරයෙක් විතරයි කියලා. කෙල්ල හීන් සැරේ පස්සට පියවර තබලා, සාලයේ කොනක තිබුණු ලොකු කණුවක් අයිනට වෙලා තනි වුනේ අන්න ඒ හන්දා.

“කොහොමද ඉතින්? මෙච්චර ලොකු වලව්වක පාටි එකක් වෙලත් ඔයා මෙතන තනිවෙලා වගේ ඉන්නෙ ඇයි ?” කියලා සෙලීනා වයින් වීදුරුවකුත් අතේ තියාගෙන ආකර්ෂා ළඟට ආවේ මූණට උපහාසාත්මක හිනාවක් දාගෙන.

“නෑ… මං මේ නිකන් සින්දුව අහන් හිටියේ” ආකර්ෂා මාරම අමාරුවෙන් තමන්ගේ ආත්ම අභිමානය රැකගන්න හදමින් කෙළින්ම සෙලීනාගේ ඇස් දිහා බලලා කිව්වා.

“ඔයා හිතනවා ඇති ඔයා මේ සාරියක් ඇඳලා කවීන්ගේ වයිෆ් විදිහට මෙතන ඉන්න හින්දා ඔයා පවුලේ කෙනෙක් කියලා. හැබැයි මතක තියාගන්න ආකර්ෂා කවීන්ගේ වයිෆ් වෙන්න ඕන වුණේ කාටද, මේ වලව්වට අයිති වෙන්න ඕන කාටද කියලා මුළු කොළඹ හතම දන්නවා. ඔයා නිකන්ම නිකන් අතරමැදින් ආපු හෙවනැල්ලක් විතරයි කියන එක දැනගෙන උන්නොත් හොඳයි” සෙලීනා වයින් උගුරක් බොන ගමන් ආකර්ෂාගේ කනට කරලා මාරම හීන් සැරේ, හිනාවෙලා ඒත් හරිම ටොක්සික් විදිහට මිමිණුවා.

ඒ වචන හරියට තමන්ගෙ හදවත පලාගෙන යන ඊතල වගේ කෙල්ලට දැනුනෙ. තමන් මේ වලව්වට ආවේ ඩීල් එකකට වුණත්, කවීන් තමන් වෙනුවෙන් කරපු දේවල් නිසා හිතේ ඇතිවුණු පුංචි ලෙන්ගතුකම මේ වචන හන්දා එකපාරටම කුඩුපට්ටම් වෙලා ගියා කියලා කෙල්ලට හිතුණෙ. කවීන් ඒ වෙලාවේ ඈත ඉඳන් සෙලීනා ආකර්ෂා ළඟ ඉන්නවා දැකලා මාරම කේන්තියෙන් ඒ පැත්තට එන්න හැදුවත්, ආච්චි අම්මා එයාගේ අතින් අල්ලලා ඒක නතර කරා.

තමන්ගේම කියලා කියන්න කවුරුත් නැති ඒ මහා මන්දිරය මැද, තමන් ඇඳගෙන ඉන්න මේ වටිනා සාරියත්, උස හීල්ස් සපත්තු දෙකත් තමන්ට මාරම බරක් වගේ ආකර්ෂාට දැනෙන්න ගත්තා. හැමෝම හිනාවෙමින්, වයින් වීදුරු තොලගාමින් සතුටු වෙද්දී ආකර්ෂාට දැනුණේ මුළු ලෝකෙන්ම තමන් තනි වෙලා, මහා ලොකු අගාධයකට ඇදගෙන වැටෙනවා වගේ මාරම පාලු හැඟීමක්.

එකපාරටම සාලේ මැද තිබ්බ ලයිට් එළි ටිකක් අඩු වෙලා, මාරම ලස්සන, ඒත් හෙමින් වාදනය වෙන රොමෑන්ටික් සින්දුවක් පසුබිමෙන් ඇහෙන්න ගත්තා. පාටි එකේ ඩාන්ස් ෆ්ලෝ එක ලෑස්ති වෙද්දී, නෑදෑයෝ හැමෝම ජෝඩු විදිහට එකතු වෙලා නටන්න පටන් ගත්තා.

ආකර්ෂා කණුව අයිනට වෙලා මාරම අපේක්ෂා සහගත බැල්මකින් කවීන් දිහා බලන් උන්නේ, මිනිහා තමන්ව මේ පාලු මූඩ් එකෙන් බේරගන්න එයි කියලා හිතාගෙනයි. හැබැයි ඒ බලාපොරොත්තුව සුන් කරලා දැම්මේ ආච්චි අම්මාගේ ඒ නපුරු හඬ.

“කවීන් මෙච්චර කාලෙකට පස්සේ සෙලීනා දුව ලංකාවට ආපු එකේ, ඔයා එයා එක්ක එක ඩාන්ස් එකක්වත් නොකරොත් ඒක අපේ පවුලේ නම්බුවට හොඳ මදි. යන්න සෙලීනා එක්ක ඩාන්ස් කරන්න ටිකක්” ආච්චි අම්මා හැමෝටම ඇහෙන්න වගේ කියද්දි ඒ වචන අස්සෙ තිබ්බෙ නියෝගයක් කියන එක තේරුං ගන්න කවීන්ට බැරිවුණේ නෑ. 

“මට බෑ ආච්චි අම්මා! මං ආකර්ෂා එක්ක” කවීන් කේන්තියෙන් ආකර්ෂා ඉන්න පැත්තට අත දික් කරන්න හැදුවත්, ආච්චි අම්මා කවීන්ගේ අතින් තද කරලා අල්ලගත්තා.

“මං කිව්ව දේ අහන්න කවීන්. හැමෝම බලාගෙන ඉන්නවා. අපේ පවුලේ සිරිත් විරිත් පුතාට අමතක වෙලාද?” ආච්චි අම්මාගේ ඇස්වල තිබ්බේ මාරම දරුණු බැල්මක්. හිනාවෙවී ඒ කතාව අහද්දි උනත් ආච්චි අම්මා ඇස් දෙකෙන් තමන් පුච්චලා දාන්න වගේ බැල්මක් දාන විත්තිය දැක දැක ඒක මග ඇරලා යන්න පුළුවන්කමක් කවීන්ට තිබ්බෙ නෑ.

කවීන්ට ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව අසරණ වුණා කියලා ආකර්ෂා දැනගෙන උන්නෙ නෑ. සෙලීනා ඒ අස්සේ මාරම කපටි හිනාවක් දාගෙන, කවීන් ළඟට ඇවිත් එයාගේ අතින් අල්ලගත්තා. “කම් ඕන් කවීන් ඉට්ස් ජස්ට් අ ඩාන්ස්,” කියලා සෙලීනා කවීන්ව ඩාන්ස් ෆ්ලෝ එක මැදට ඇදගෙන යද්දිවත් කවීන් එහෙම ගියේ අකමැත්තෙන් කියලා ආකර්ෂා දැනගෙන උන්නෙ නෑ. කොටින්ම කවීන් හිනාවෙන්නෙ තරහ පෙනුමක් මූණට ගන්න බැරිකම හන්දා කියලා ආකර්ෂා දැනගෙන උන්නෙ නෑ.

හිත සෑහෙන රිදෙද්දිත් ආකර්ෂා ඈත ඉඳන් බලාගෙන ඉද්දීම, සෙලීනා මාරම ලෙන්ගතු විදිහට කවීන්ගේ උරහිස් දෙක උඩින් තමන්ගේ අත් දෙක යවලා, කවීන්ට උපරිමයෙන්ම ලං වෙලා නටන්න ගත්තා. කවීන් මාරම අකමැත්තෙන්, මූණ සීරියස් කරගෙන සෙලීනාගෙන් ඈත් වෙන්න හැදුවත්, සෙලීනා තවත් මිනිහට තුරුළු වෙන හැටි ආකර්ෂා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා. නෑදෑයෝ හැමෝම ඒ දෙන්නා දිහා බලලා “මාරම ලස්සන ජෝඩුව” කියලා අත්පුඩි ගහමින් කියද්දි, ආකර්ෂාට දැනුනෙ තමන්ගෙ හිත ඇතුළෙන් පුංචි පුංචි කෑලි වලට කැඩිලා පිපිරිලා යනවා කියලා

තමන් ඉන්නෙ තමන්ට අයිති නැති තැනක කියන එක ආකර්ෂාට හොඳටම තේරුණේ අන්න එවෙලෙ. මීට විනාඩි ගානකට කලින් කවීන්ගේ පපුව අස්සේ තමන්ට තිබ්බ උණුසුම, තත්පර ගානකට කලින් තමන්ව වැටෙන්න නොදී බදාගෙන අල්ලගත්ත ඒ ආදරණීය මොහොත, සෙලීනාගේ එකම එක පැමිණීමකින් දියවෙලා ගියා වගේ කෙල්ලට හිතුණා.

ඩාන්ස් ෆ්ලෝ එක මැද සෙලීනාගේ උරහිස උඩින් කවීන්ගේ ඇස් තමන්ව හෙව්වත්, ආකර්ෂා ඒ බැල්ම මඟහැරියා. තමන්ගේ හදවත කෑලි මිලියනයකට බිඳිලා යනවා වගේ දැනෙන ඒ මහා වේදනාවත් එක්ක, ඇස් දෙකට උනන්න හදපු කඳුළු බිංදු මාරම අමාරුවෙන් පාලනය කරගත්ත ආකර්ෂා, කාටවත්ම නොදැනෙන්න සාලෙන් එහාට යන්න අඩිය තිබ්බෙ හිත ඇතුළෙන් මාරම විදිහට හඬා වැටෙන ගමන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here