ඔලියැන්ඩර් – 31

0
639
oleander Flower

සඳැස්වි කඳුළු පිරුණු දෙනෙතින් හේමමාලි දෙස බැලුවාය . කලක් පුරාවට මහා විසල් බරක් උරපතු මත දරා උන් ඈ එකී විසල් බර බිම තැබුවාක් මෙන් සැනසිලිදායක හැඟීමකින් සහ ප්‍රීතියකින් පිරී ගිය උවනින් ගෙමිදුලේ සිට තම පැරණි නිවස දෙස කඳුළු වගුරවමින් බලා සිටියාය. 

” අර මහ මනුස්සයා ඉන්නකන් සැරින් සැරේට ගේ කුළියට දුන්නා හේමමාලි නංගි. ඒත්.. පුතා නම් පළාතේ ආවේ නෑ. මං හිතන්නේ ඇතුලේ තැන් කීපයක් තෙමෙනවා . “

පැරණි නිවසේ අසල්වැසියන් වූ රම්‍යාත් , සුගතපාලත් ගෙමිදුලේ සිටම නිවස දෙස බලා පවසමින්  සිටියහ. 

” ඔව්.. රම්‍යා නැන්දේ ඒ මනුස්සයා මාත් එක්ක එහෙම කතාවක් කිව්වා. අද හෙටම ඒ තැන් ටික හදාගන්න පුලුවන් වෙයිද සුගතපාල මාමේ. ? ” 

” ඒක නම් මහලොකු දෙයක් නෙමෙයි සුද්දියේ. උළුකැට දෙක තුනක් එහා මෙහා වෙලා ඇති ඕන්නං. “

” මට තීන්ත ටිකකුත් ගා ගන්න ඕනේ සුගතපාල මාමේ. “

සඳැස්විගේ හඬට තිගැස්සුණු හේමමාලි වහා ඈ දෙස හැරී බැලුවාය. 

” ඔච්චර දේවල් කරන්න සල්ලි තියනවද සුද්දියේ ?” 

” තියනවා අම්මේ.. කලබල වෙන්නෙපා. “

හේමමාලි කඳුළු පිරි දෙනෙත යටින් දියණිය දෙස බලා සැනසුම් සුසුමක් හෙළුවාය. 

” මාමේ..! “

” ඕ සුද්දියේ ?” 

” දවස් දෙකක් තුනක් යද්දි තෙමෙන තැන් ටික හදලා , තීන්ත ටික ගාලා ඉවර කරලා දෙන්න පුලුවන්ද ? මදි පාඩුවට කාව හරි අඬ ගහ ගන්න. මං සල්ලි ගෙවන්නම් “

” කීප දෙනෙක් එකතු උනොත් නම් දවස් දෙකක් යද්දි ඔක්කොම ඉවර කරගන්න පුලුවන් වෙයි සුද්දියේ  “

” මට නිවාඩු අඩුයි මාමේ. කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිලා. වැඩ කරන තැනිනුත් තව ගොඩ දවසකට නිවාඩු ගන්න බෑ. ඒකයි. “

” උඹ බය නැතුව ඉඳහන් කෙල්ලේ. සෝමතිලක අයියගේ ගෙදර වැඩක් කිව්වම මුළු ගමම උනත් එයි. “

රම්‍යා ආඩම්බරකාරී බැල්මකින් සඳැස්වි දෙස බලා පැවසුවාය. 

” ගෙයි වැඩ ටික ඉවර කරන් අපි පන්සලේ හාමුදුරුවන්ට කියලා පිරිත් ටිකක් කියවගමු අම්මේ.. “

” දෙයි හාන්දුරුවනේ ..! සුද්දියේ.. මගේ හිතේ තිබිච්ච දේ ඒ විදිහටම උඹ කිව්වා. “

හේමමාලි නැවත වතාවක් කඳුළු පිරි දෙනෙත පිස දැමුවාය. 

” උඹ නං රත්තරං කෙල්ලෙක් බං. සෝමතිලක අයියා කොහේ හරි ඉඳන් උඹ දිහා බලන් ඇති. “

රම්‍යා නැවත වතාවක් සඳැස්විගේ අත පිරි මදිමින් පැවසුවාය. 

” පිළිකන්න පැත්තේ කරපිංචා ගහ ඕසෙට වැවිලා. අතු ටික පාහලා දාමු. “

රම්‍යා එසේ පවසමින් හේමමාලි සමඟම නිවසේ පිටුපසට ඇවිද ගිය අතර සඳැස්වි අත රැඳි ජංගම දුරකතනයෙන් නිවසේ ජායාරූපයක් ලබා ගත්තාය. 

” ළිඳ නං ආයේ උතුරනවා. ඇස්වහක් කටවහක් නෑ තාමත් වැස්ස අඩු වෙච්ච හැටියේ ගමේ එකාලා දුවන් එන්නේ මෙහෙට. “

මවගේත් , නැන්දණියගේත් කටහඬ ඈතින් ඈතට යද්දි සඳැස්වි ලබා ගත් ජායාරූපය ඔහු වෙත යැව්වාය. 

” ඔයාට ගොඩාක් පින් සර්. “

කෙටි පණිවිඩය යැවූ සැණින් ක්ෂණිකව දුරකතනය වෙත ඇමතුමක් එන්නට පටන් ගත්තේය. 

” සර්…!” 

” සඳ..! ගෙදර ගියාද ?” 

” හ්ම්ම්.. බිසීද දන්නැති නිසා මැසේජ් එකක් එව්වේ. “

” නංගිට කොහොමද දැන් ?” 

” දැන් නං ගොඩක් දුරට අඩුයි සර්. ටික ටික ළමයින්ව ඩිස්චාර්ජ් කරනවා. මං හිතන විදිහට අද හවස් වෙද්දි චූටිට ගෙදර එන්න පුලුවන් වෙයි. “

” හ්ම්ම්… දැන්ම එන්නැද්ද ?” 

” තව දවසක් දෙකක් ඉඳලා එන්නද ? ගේ ඇතුළේ පුංචි පුංචි අඩුපාඩු ටිකක් තියනවා සර්. තැන් කීපයක් තෙමෙනවා. ගේත් ටිකක් පරණ වෙලා. මං හිතුවේ ඒ ඔක්කොම වැඩ ටික ඉවර කරලා අම්මවයි , නංගිවයි මෙහෙ පදිංචි කරලම එන්න කියලා. “

” හ්ම්ම්.. මං තව සල්ලි ටිකක් දාන්නං “

” අනේ එපා දෙයියනේ.. ! ඔයා දාපුවා ඕනාවටත් වැඩිය තියනවා. “

එක් වරම නිහඬ බවක් පැතිර ගිය අතර ඔහුගේ තරම හොඳින් දන්නා ඈ නැවත වතාවක් මුව හැරියාය. 

” මං සර්ට ඕන උනොත් කියන්නම්. මේ වැඩ ටික කරගන්න සල්ලි ඇති” 

” හ්ම්ම්… !” 

” මොකද අනේ පිඹින්නේ ? මකරෙක් වගේ..”

ඈ චිරිස් හඬක් නඟමින් සිනා සුණාය. 

” පාළුයි “

” ආ..? ඇත්තද ..?” 

” හ්ම්ම්.. “

” ඊයේ රෑත් ඇනෙක්ස් එකේ නේද හිටියේ ?” 

” හ්ම්ම්.. “

” නින්ද ගියාද ?” 

” ටිකක් ” 

” ආයේ ක්ලබ් එකට යන්නෙපා “

” ඇයි ?” 

” ගියාම බොනවනේ “

” නැතුව වෙන මොනා කරන්නද ?” 

” අනේ සර්.. එන්නෑ මං එහෙනං , නවතිනවා මෙහෙ. “

” නැවතිලා බලන්න. බලෙන් හරි උස්සන් එන්නැද්ද කියලා. “

නැවත වතාවක් ඈ චිරිස් හඬක් නඟමින් සිනාසුණාය. 

” සුද්දියේ…! යං මැණිකේ අපේ ගෙවල් දිහාට තේ කහට ඩිංගක් බොන්න. මං ඊයේ හදපු අළුවත් තියනවා. “

” නැන්දයි අම්මයි යන්න. මං එන්නම් .”

දුරකතනය කනේ තබාගෙනම පිළිතුරු දුන් ඈ නැවත ඇමතුමට සම්බන්ධ වූවාය. 

” සුද්දී.. ඉක්මනට එනවා නේද මට පාළුයි. “

” ආහ්.. ඒකත් ඇහිලා. “

” ඒක නං දැනගෙන ගොඩක් කල්. “

” මං තියන්නද ?  ” 

” හ්ම්ම්.. “

” රෑ වෙලා ගන්නං. “

” හ්ම්ම්.. ” 

දුරකතනය විසන්ධි කර දැමූ සඳැස්වි අඩිය ඉක්මන් කරමින් අසල්වැසි නිවස දෙසට පා තැබුවාය. 

******************

” ඔය වැඩ ටික අපේ කාලිංගට කිව්වනං ඉවරනේ. මොකටද පිට මිනිස්සුන්ට නිකන් සල්ලි පුදන්නේ ?” 

නිවසට ගොඩ වූ මුල පටන්ම සඳමාලි හැරෙන හැරෙන අතට දොස් නඟමින් සිටියාය. 

” ඒ දරුවා අපිට කැඹුරුවා මදිද ලොකු ? තව මේ කරගන්න පුලුවන් අන්තිම හරියත් ඒ දරුවටම වද දෙන්නේ ?” 

හේමමාලි බොහෝ යාප්පුවෙන් වැඩිමහල් දියණියගේ සිත සැනසීමට උත්සාහ දැරුවාය. 

” ඒ උනාට ඔය සල්ලි ? මේකි අමාරුවෙන් හම්බ කරපුවානේ අම්මේ ?” 

නිදන කාමරයේ සිට පැමිණි සඳැස්වි කරාමය ඇර භාජන කිහිපයක් සෝදමින් උන් සඳමාලි අසලට ළං වූවාය. 

” අක්කේ..!” 

සඳමාලි පසුපස හැරී නැඟණිය දෙසත් , ඈ අත ඇති ලියුම් කවරය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. 

” මේ මොකද්ද ?” 

” මේක මට වැඩ කරන තැනින් ප්‍රමෝෂන් එකත් එක්කම හම්බුණේ ගිෆ්ට් එකක් විදිහට. අක්කා මේක තියාගන්න. “

ගවුමට උඩින් හැඳ සිටි චීත්තයෙන් දෑතම පිසදා ගත් සඳමාලි පුදුමයෙන් මෙන් නැඟණිය දිගු කළ ලියුම් කවරය අතට ගත්තාය. 

” දෙයිහාන්දුරුවනේ ..! මෙච්චර සල්ලියක් ?” 

අයාගත් දෑසින් මාරුවෙන් මාරුවට චෙක්පත දෙසත් , නැඟණිය දෙසත් බැලූ සඳමාලි වහා මව දෙසට හැරුණාය. 

” ඇයි බං මේ ..?” 

” තියාගන්න අක්කේ. ඔයා වෙනුවෙන් මට මුකුත් කරන්න බැරි උනානේ..” 

දෑසට ඉනූ කඳුළැලි පිටි අල්ලෙන් පිසදා ගත් ඈ යළිත් වතාවක් මව දෙසත් නැඟණිය දෙසත් අසරණව බැලුවාය. 

” මං මේවා බලන් උඹලව මෙහෙ තියාගත්තා නෙමෙයි සුද්දියේ..”

” මං දන්නවා අක්කේ. මං මේක දෙන්නේ සතුටෙන් . “

” කෙල්ලව පන්තියෙන් අරන් එන්න ඕනේ. “

සඳැස්විගේ හිස අත ගෑ සඳමාලි ආලින්දය කරා අඩි තැබුවාය. 

හවස අමතර පන්තියකට ගොස් තිබූ දරුවා රැගෙන ඒම පිණිස එලෙස සඳමාලි පිටව ගිය අතර හවස් වරුවේ රෝහල වෙත යෑමට සූදානමින් හේමමාලිද නා කියා ගන්නට ගිය අතරදී සඳසි වෙත රැගෙන යාමට සූදානම් කළ සුප් බඳුන සඳැස්වි තනිවම මුළුතැන්ගෙට වී හැඳි ගාමින් සිටියාය. 

එක් වරම තමා දෙස කවුරුන් හෝ බලා හිඳින බව තේරුම් ගත් ඈ ක්ෂණිකව පසුපස හැරුණු අතර රත් පැහැ ගැන්වූ දෑසක් සහිත වූ කාලිංග අඩකට වඩා විවර කර ගත් බොත්තම් සහිත කමිසයකින්ද , වළා පට ගසා ගත් සරමකින්ද සැරසී මුළුතැන්ගෙහි උළුවස්සට බරව කෑදර බැල්මක් ඈ වෙත යොමු කරමින් සිටියේය. තමා දෙස වැටී ඇති පිළිකුල් බැල්මෙන් මුහුණ හරවාගත් සඳැස්වි වහා ලිප මත උතුරනා සුප් වළඳ එතැනම තබා ඇවිළෙන දර කිහිපය ඇද මුළුතැන්ගෙයින් නික්මෙන්නට සූදානම් වූ අතර වහා ඈ වැළකූ ඔහු ඇගේ ගමන අවහිර කරමින් ඈ අතින් තදින් අල්ලා ගත්තේය. 

” කාලිංග අයියේ අතාරින්න..”

දෑස වත් , හිස වත් නොඔසවා ඔහු දෙස නොබලාම පැවසූ ඈ තම අත මුදවා ගන්නට වෑයම් කළද දරදඬු හස්තය ඊට ඉඩ නුදුන්නේය. 

” උඹ දැන් හෙන සල්ලිකාරියක් වෙලාලු නේහ් ?  මෙතන මගේ ඉඳුල් කකා ඉඳලා කොළඹ ගිය ගමන් උඹේ අතට සල්ලි එන්න උඹ එහේ මොකෙක් එක්කද බුදිය ගත්තේ ?” 

ස්ත්‍රී දෑස ගිනි ඇවිළී ගියේය. තව දුරටත් මෙකී තිරිසනා අසල සිටින්නේ පෙර සිටි  කිසිවක් කර කියා ගත නොහැකි අසරණිය නොවන බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය. ඇසිපිය ගසන ඇසිල්ලේ තම ප්‍රේමවන්තයාගේ උවන ඇගේ නෙතු අභියස මැවී පෙනෙද්දී ඈ වහා හැරී සිමෙන්ති පඩිය උඩ වූ කැපෙන පිහියක් අතට ගෙන එය ක්ෂණිකව කාලිංග වෙත දිගු කළාය. 

යුවතියගේ හදිසි ප්‍රතිචාරයට තිගැස්සුණු ඔහු වහා ඇගේ අත අතහැරි අතර අඩියක් පසුපසට පැන්නේය. 

” බුදිය ගත්තෙද ?  බුදිය ගත්තේ නියම පිරිමියෙක් එක්ක. නැතුව තෝ වගේ පිරිමි කමටත් නින්දා කරන වල් හිවලෙක් එක්ක නෙමෙයි. අදින් පස්සේ මගෙ ඇඟට එක අතක් තියන්න නෙමෙයි මගේ දිහාට ඇහැක් ඇරලා හරි බලන්න කලින් දෙපාරක් හිතහන් අයියේ.. මං උඹේ ඇස් දෙක උගුල්ලලා උඹේ අතටම දෙනවා දැනගනින්. “

ගිනි ගෙන දැවුණු උවනින් ගුගුරා හැලුණු ඈ කාලිංගගේ දෙපා අභියසම අත රැඳි පිහිය බිම දමා ගසා පිළිකන්නට බැස්සාය. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යුවතියගේ රෞද්‍ර හැසිරීම හේතුවෙන් දෙසවන් ඉදිරියෙන් රූරා වැටුණු දා බිඳු සහිතව වෙව්ලන දෙපා ඉක්මන් කළ කාලිංග වහා ආලින්දය හරහා ගෙමිදුලට පිවිස යතුරු පැදිය පණ නංවා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here