අත රැඳිව තිබූ බෝධි පූජා ගාථා පොතෙහි මුල සිට අග දක්වා තිබූ ගාථා සියල්ලම ගායනා කර අවසානයේ දෑතම පිරුණු කුස මත තබා ගත් පහන්‍යා හිඳ උන් සිමෙන්ති පඩිය පසුපස තිබූ කුඩා බිත්තියට පිට දී බොහෝ වේලාවක් හිස් බැල්මෙන් බෝධීන් වහන්සේ දෙස එක දිගට බලා සිටියාය. බොහෝ දුර කල්පනාවක වෙළී උන් ඇගේ කල්පනාව අත් බෑගය තුළ තිබූ ජංගම දුරකතනයේ හඬට බිඳී වැටිණි.
” හෙලෝ…!”
” භාවනා කරනවද ? කල්පනා කරනවද ?”
” ඉන්දීවර…!”
දුරකතනය කනට තද කර ගනිමින්ද හිස හා දෑස සෑමතැනකටම හරවමින් බලාපොරොත්තු වූ රුව සෙවූවද එය දැක්මට නොලැබුණාය.
” කොහෙද ඉන්නේ ?”
” පේන මානේ තමා. “
” පන්සලේ ?”
” හ්ම්ම්.. අම්මාව එක්කන් ආවා. එයා චෛත්‍යය මළුවේ භාවනා කරනවා “
” ඉතිං ඇයි එන්නැත්තේ ?”
” තනියමද ඉන්නේ ?”
” ඔව් .”
” එහෙනං මං මෙහෙම ඉන්නං පහන්‍යා. කවුරුවත් දැක්කොත් හරි නෑනේ ?”
කොපුලට කඩා වැටුණු කඳුළු බිඳුවක් වහා පිස ගත් ඈ හිස බිමට බර කර ගත්තාය.
” දැන් අඬන්නේ ඇයි ?”
” අඬන්නෑ..”
” මෙච්චර වෙලා ඉඳගෙන කියපු ගාථා වලින් වැඩක් තියනවද ඔහොම බොරු කිව්වම ?”
” ලැජ්ජයිද ?”
” කාටද මට ?”
” ඔව් “
” ඒ මොකටද ?”
” මං ලඟට ඇවිල්ලා කතා කරන්න ?”
” හේයි… එහෙම එකක් නෑ.. පිස්සුද ?”
” නෑ කිව්වට එහෙම වෙන්නැති . කිසිම මනුස්සයෙක් කැමති නෑනේ නිකරුණේ නරක නාමයක් ගාගන්න. “
” පහන්‍යා..! එහෙම එකක් නෑ. මං ලඟට එන්නැත්තේ මං ගැන හිතලා නෙමෙයි ඔයා ගැන හිතලා. “
” එපා ඉන්දීවර ඕනෙ නෑ. එක අතකට මං නිසා ප්‍රශ්න දාගන්න එපා. ඔයා ආව වැඩේ කරගෙන යන්න. කමක් නෑ. “
ඇමතුම විසන්ධි කළ ඈ නැවත වතාවක් කොපුල් මත බේරෙන කඳුළු බිඳු කිහිපය පිසදා දමා පිට දී උන් කුඩා බිත්තියට හිස තබා ගනිමින් දෑස පියා ගත්‍තාය.
” පුදුම හිතුවක්කාරකමක් නේද තියෙන්නේ ?”
තිගැස්සී දෙනෙත විවර කළ ඈ තමා අසලම හිඳ උන් ඔහු දෙස බලා නැවතත් මුහුණ බිමට බර කර අලුතින් ඉපැදුණු කඳුළක් පිස දැමුවාය .
” ඇයි ආවේ ? “
” හැම එකටම අඬන්න පුරුදු උනේ කොයි කාලෙද ඔයා ? “
කුසට අත තබා ගත් ඈ සිටි ඉරියව්වෙන් මඳක් මිදී කෙලින් වූවාය.
” ඇඬුවේ නෑ..”
” මං බලන් හිටියේ “
” මොකටද ඉතිං බලන් හිටියේ ? ප්‍රශ්න ඇති වෙනවනේ ”
” මං ඒක කිව්වේ මං ගැන හිතලා නෙමෙයි. “
” හ්ම්ම්.. කමක් නෑ.. දැන් යන්න. “
” ඇත්තටමද කියන්නේ ?”
” ඔව්.. “
ඔහු වෙත එකදු බැල්මක් හෝ නොහෙළු ඈ පිරුණු කුස දෙස අසරණව බලා සිටියාය.
” ඉන්දීවර ..!”
කඳුළු පිරුණු තිගැස්සුණු දෑස ඔහුගේ මුව මතත් ඔහු අල්ලා ගත් කුස මත ඇති තම අත දෙසත් මාරුවෙන් මාරුවට හැරවූ පහන්‍යා වහා තම අත මුදවා ගැන්මට උත්සාහ කළද එකී හැඩි දැඩි අතින් එයට ඉඩක් නොලැබුණු අතර ඔහු එක එල්ලේ ඇගේ පිරුණු වටකුරු උවන දෙස බලා සිටියේය.
” ප්ලීස්.. එපා..!”
” ඇයි ?”
” ඉන්.. “
මුවට ආ වචනය ඉන් පිට නොවූ අතර ඒ පරදා නැඟුණු ඉකිය හේතුවෙන් ඈ තම අනෙක් අත තම මුවට තද කර ගත්තාය.
**********************************************
වේගයෙන් පැමිණි මෝටර් රථය විසල් හඬකින් තිරිංග තද කොට ගෙමිදුලේ නතර කළේය. නිවස තුළ කෑම මේසය අසල හිඳ සිටි දිනේන්ද්‍ර රන්දෙණිගලත් , උත්පලාත් ප්‍රශ්නාර්ථ බැල්මකින් දියණිය දෙස බලද්දී හදවත තුළ නැඟෙන කුණාටුව ආයාසයෙන් දරා ගත් ඈ කෑම මේසයෙන් නැඟිට්ටාය. නමුත් ඈ හට ඉදිරියට යෑමට ඉඩක් නොවීය. බර අඩි තබමින් නිවස තුළට පැමිණි තරුණයාත් , ඔහු පසුපසින් පැමිණි මහීලුත් ඉක්මන් ගමනින් කෑම මේසය වෙත ඇවිද ආහ.
” මල්ලී..! ”
” මොකද්ද මේ..?”
ඔහු එසේ පවසා අත රැඳිව තිබූ ලිපි ගොනුවක් එහි සිටි අන් කිසිවෙක් දෙසට හෝ විතැන් නොකළ දෑස වැඩිමහල් සොහොයුරිය වෙත තබමින් ඈ වෙතට දිගු කළේය. ලිපි ගොනුව අතට ගත් පහන්‍යා එය කිහිප වතාවක් පෙරළා ප්‍රශ්නාර්ථ බැල්මකින් යළි තම මළණුවන් දෙස බැලුවාය.
” ඔයාගේ නමට තිබ්බ හොරණයි , හෝමාගමයි සුපර් මාර්කට් දෙක උගස් තියලා තියනවා. කොහොමද ඒක උනේ ?”
හැඩිදැඩි තරුණයාගේ ගොරෝසු හඬින් පැවසු වදන් ඇසුණු සැණින් දිනේන්ද්‍ර මෙන්ම උත්පලාද වහා හිඳ උන් පුටු වලින් නැඟී සිටියහ.
” වට් ? පහන්‍යා ? ”
දිනේන්ද්‍රගේ හඬද උස්ව ඇසුණු අතර පහන්‍යා වහා පියා දෙසට හැරුණාය.
” මං.. මං එහෙම එකක් දන්නෑ මල්ලි. “
පියා දෙස බැලූ ඈ නැවත වතාවක් මළණුවන් දෙස බලා වෙව්ලන කටහඬින් පිළිතුරු බැන්ඳාය.
” මේ ඩොකියුමන්ට්ස් වල තියෙන්නේ ඔයාගේ සයින් එක අක්කා. “
සියත්‍ර පසුපස උන් මහීල් පැවසූ දේත් සමඟ දිනේන්ද්‍ර වහා පහන්‍යා අත තිබූ ලිපි ගොනුව රැගෙන එය එකින් එක පෙරළා බලා යළිත් දියණිය දෙස බලමින් හිස දෙපසට සැලුවේය.
” මං .. මං දන්නෑ මල්ලි. මං එහෙම එකකට අත්සන් කළේ නෑ. අනේ.. මාව විශ්වාස කරන්න. “
කඳුළු බේරෙන දෙනෙතින් එක් අතක් කුස මතත් අනෙක් අතින් අසල තිබූ පුටුවත් තදින් අල්ලා ගත් පහන්‍යා මළණුවන් දෙස බලා නැවතත් පැවසුවාය.
” මේ වැඩේ කරලා දැනට මාස හතක් වෙනවා අක්කා. ඔයා මාස හතකට කලින් මොනාමහරි ලීගල් ඩොකියුමන්ට්ස් වලට අත්සන් කළාද ? “
මහීල්ගේ පැනයත් සමඟ දැඩි කල්පනාවකට වැටුණු පහන්‍යා මොහොතක් නිහඬව සිට යළිත් හිස ඔසවා සියත්‍ර දෙස බැලුවාය.
” ම.. මල්ලී.. අනුජ්.. අනුජ් චයිනා යන්න කලින් හොරණයි , හෝමාගමයි සුපර් මාර්කට් දෙකේ ලිකර් ලයිසන් එක රිනීව් කරන්න පොලීසියෙනුයි , සුරාබදු එකෙනුයි අලුතින් රිපෝට් ඉල්ලනවා කියලා ඔක්කොම විස්තර අලුත් කරලා ඉදිරිපත් කරන්න ඕනේ කියලා ම.. මගෙන් ඩොකියුමන්ට්ස් වගේකට සයින් එක ගත්තා “
වෙව්ලන කටහඬින් පහන්‍යා සියත්‍ර දෙස බලා එසේ පවසද්දී මෙතෙක් නිහඬව සිටි උත්පලා වහා ඉදිරියට අඩි තබා පහන්‍යාගේ උරහිසින් අල්ලා තමා දෙසට හරවා ගත්තාය.
” ඔච්චර දේකට අත්සන් ගන්නකන් ඒක තේරෙන්න නැති වෙන්න ඔයා මොන ලෝකෙද හිටියේ පහන්‍යා ? මූ.. මූව උල තියන්න එපැයි මේ කරලා තියන වැඩේට. ඕකා.. ඕකා ඔය වැඩේ කරලා කීයක් අරන්ද මහීල් ?”
” 150 million ආන්ටි. කෝටි පහළවක්. “
” මගේ දෙයියනේ..!”
ළමැදට අත තබා ගත් උත්පලා වහා අසල තිබූ පුටුවට බර වූ අතර දිනේන්ද්‍ර අත තිබූ ලිපි ගොනුව විසල් හඬකින් මේසය මතට අත හැරියේය.
” කෝ දැන් ?”
නිහඬව සිටි තරුණයාගේ ගොරෝසු හඬට පහන්‍යා නැවතත් තිගැස්සී ගියාය.
” උඩ.. දැන් ආවා. වොශ් එකක් දාන්න කියලා ගියා. “
” මිලියන් එකසිය පනහක් අරන් තියෙන්නේ සීයට තුනේ පොළියට. ඒ කියන්නේ මාසෙට පොළිය ලක්ෂ හතළිස් පහක්. එකෙනුත් පොළී ගෙවලා තියෙන්නේ පළවෙනි මාස හතරේ විතරයි. ඉතුරු මාස තුනේම පොළියත් ගත්තු ගාණට එකතු වෙනවා. “
නැවත වතාවක් තිගැස්සුණු පහන්‍යා මහීල් පැවසූ දේට දිය හැකි පිළිතුරක් තෝරා ගත නොහැකිව අසල සිටි මව දෙස බැලුවාය.
” ආ.. මල්ලිලා..! දැන්ද ආවේ ?”
තරප්පු පෙළ බැස ආ අනුජ් සිනාමුසු මුහුණින් තරුණයින් දෙදෙනාගෙන් විමසූ අතර ඔහුට ප්‍රතිචාර ලෙස කිසිවෙකුගෙන් හෝ සිනහවක් පිට නොවුණි.
” අනුජ්..! තමුන් මොකද්ද මේ කරලා තියන වැඩේ ?”
” මොකද්ද අන්කල් ?”
දිනේන්ද්‍රගේ කටහඬේ රළු බවටම කුමන හෝ වරදක සේයාවක් ඇස ගැටුණු අනුජ් මඳක් පැකිළෙමින් වුවද පෙරළා ඇසුවේය.
” තමුන් කාගෙන් අහලද හොරණයි , හෝමාගමයි සුපර් මාර්කට් දෙක උගස් තිබ්බේ ?”
සියල්ලන්ගේම දෑස් තමා වෙත යොමුව තිබූ බැවින් අනුජ් ඉතා ප්‍රවේශමෙන් වචන ඇහිදින්නට පටන් ගත්තේය.
” අන්කල් , මං ඒක කළේ මගේ ගාමන්ට් එකට investment එකක් විදිහට . පහන්‍යා ..! අන්කල් , ආන්ටි..! අපි දෙන්නට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉස්සරහට වගකීම් වැඩියි. අපිට අපේම කියලා දෙයක් තියෙන්න ඕනේ. මට හැමදාම මල්ලි යටතේ වැඩ කරන්න බෑනේ ?”
” ඒ උනාට තමුන් මේ වැඩේ කරලා තියෙන්නේ හොරාටනේ ? අඩුම පහන්‍යාගෙ සයින් එක අරන් තියෙන්නෙත් හොරෙන්. “
දිනේන්ද්‍ර නැවත වරක් කෝපයෙන් ගිගිරුවේය.
” ඒක හරි අන්කල්. ඒ වෙලාවේ මගෙ අතට සල්ලි හදිස්සියෙන්ම ඕන උනේ. අනික පහන්‍යාට කිව්වොත් කවදාවත් පහන්‍යා මේකට අත්සන් කරන්නෑ. එතනදි මං වැරදියි. ඒත් මං හිතුවේ පහන්‍යාගේ දේවල් කියන්නෙත් මගේ දේවල්. මගේ දේවල් කියන්නෙත් පහන්‍යාගේ දේවල්මයි කියලා. ගාමන්ට් එකේ වැඩ සේරම නෙක්ස්ට් මන්ත් වෙද්දි ඉවරයි අන්කල්. මං මේ ඔක්කොම ඒ වෙද්දි සෙට්ල් කරන්නං. “
කපටිබවත් , වංකකමත් , වංචාවත් බොහෝ හැඟීම්බරව යටපත් කිරීමට උත්සාහ ගත් අනුජ් මුහුණෙන්ද විසල් පශ්චත්තාපයක් පෙන්නුම් කළේය.
” ගාමන්ට් ෆීල්ඩ් එක RD එක ඇතුළේ නෑ. ඒක තනිකර තමුන්ගේ වැඩක්. තමුන්ගේ පර්සනල් වැඩ වලට RD එකේ ප්‍රොපටීස් ගාවගත්ත එක ලොකු වරදක්. ඒකත් හොර අත්සන් ගහලා. මං තමුන්ට සතියයි දෙන්නේ. මොන රෙද්දක් කරලා හරි සුපර් මාර්කට් දෙකේම හරි ඩොකියුමන්ට්ස් ටික රිලීස් කරලා සතියක් ඇතුළත මගේ ටේබල් එක උඩ තියෙන්න ඕනේ. එහෙම නැති උනොත් අට වෙනි දවසේ මං ලීගල් ඇක්ෂන් ගන්නවා. ආයේ මං මේ ගැන කතා කරන්නෑ. “
මෙතෙක් නිහඬව සිටි තරුණයාගේ ගොරෝසු රෞද්‍ර හඬට අනුජ්ගේ සිරුරම අඩපණව ගියේය.
” ම.. මල්ලි.. ස.. සතියකින් කොහොමද ?”
වෙව්ල වෙව්ලා ඔහු ඇසූ පැනයට යළි ඔහු වෙත යොමුවූ රෞද්‍ර බැල්ම හේතුවෙන් ඔහු වහා නිහඬ වූ අතර ප්‍රතාපවත් තරුණයා බර අඩි තබමින් යළි නිවසින් නික්ම ගියේය.


