කෝපාවිශ්ට වූ මිතුරාගේ පැනයට පිළිතුරක් දීමට කාලයක් සයුල්ට නොලැබුණේය. එක වරම තවත් තරුණයින් දෙදෙනෙකුගේම ජංගම දුරකතන නාද වන්නට පටන් ගත්තේය. පිළිවෙළින් ඔවුන්ගේද සහෝදරියන් දෙදෙනෙකු පසුපස පැමිණි යතුරු පැදි කරුවන් සිව් දෙනෙකු රතු පැහැ ගත් තීන්ත බාල්දි දෙකක් ඔවුන්ගේද හිසේ සිට පාදාන්තය දක්වා හළා ඇති අතර ඒ සියල්ල තරුණයන් වෙත දුන් තිළිණ බවටද පවසා ඇත. පිළිවෙළින් තරුණ කණ්ඩායමේ උන් අට දෙනාගෙන් සයුල් හැරෙන්නට හත් දෙනෙකුගේම නිවෙස් වල සිටි සහෝදරියන්ට හා මව්වරුන්ට නිවෙසින් පිටටදී තීන්ත ප්‍රහාර වලට ලක් වන්නට සිදුවී තිබුණහ. සියල්ල අවසානයේ දරා ගත නොහැකි ලැජ්ජාවෙන් පිරී ගොස් සිටි සියළුම ස්ත්‍රී පාර්ෂවයේ අයවලුන් හා නිවැසියන් විසින් මෙකී ප්‍රහාරය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔවුන්ගේ පුත්‍රයාට නැතහොත් සහෝදරයාට දෙනු ලැබූ තිළිණයක් ලෙසට සඳහන් කිරීමෙන් අනතුරුව හට ගත් කෝපයෙන් වරින් වර ඇමතුම් ලබා දී තරුණ පිරිසට බැණ වදිමින් , සාප කරමින් උන්නහ.
” තෝ හරියට කියපන් , හරියට කියපන් සයුල්. සඳැස්විගේ කොල්ලා කවුද ? අපි ඒකිට කරපු එකට රිටර්න් එක රටේ හතර වටින්ම ආපු අපේම පවුල් වල අයට අද දවස ඇතුළතම දෙන්න ඌ ලේසි පාසු එකෙක් වෙන්න බෑ. උඹ අපිව මේ දාපු අමාරුව මොකද්ද කියහන් ?”
” අනික අපි හැමෝටම කෝල් ආවා . තොට තාම කෝල් එකක් ආවේ නෑ. තොගෙ ගෙදර ඉන්නේ අම්මා විතරයි නේද ? ඇත්ත කියපන් සයුල් , උඹ විතරක් බේරුණේ කොහොමද ?”
මිතුරන්ගේ දෝෂාරෝපණ හමුවේ වහා ජංගම දුරකතනය අතට ගත් සයුල් මව වෙත ඇමතුම් කිහිපයක්ම ලබා ගත්තද නිවසේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබු අතර හදවත පුරා පෙර නොවී විරූ අන්දමේ බියකින් ඔහු දැවෙන්නට පටන් ගත්තේය.
තවත් තත්පර කිහිපයක් ගත ව ගිය අතර පරිසරයේ පැවති නිශ්ෂබ්ද බාවය බිඳ හෙළමින් නවාතැන් පළ වෙත පැමිණි කළු පැහැ ඩිෆෙන්ඩර් රථ දෙකක්ද සුඛෝපභෝගී රේන්ජ් රෝවර් රථයක්ද නවාතැන් පළ ඉදිරියෙන්ම නතර කරනු ලැබූ අතර ඩිෆෙන්ඩර් රථයෙන් බැස ගත් ප්‍රමාණයටත් වඩා විසල් සිරුරු හිමි පෙනුමින් ඉතා හැඩිදැඩි පිරිමි පුද්ගලයින් කිහිපදෙනෙකුම අනවසරයෙන්ම බෝඩිම් කාමරයට තුළට කඩා වැදුණහ. ඔවුන් දුටු වනම බියෙන් වෙව්ලීමට පටන් ගත් තරුණයින් පිරිස රේන්ජ් රෝවර් රථයෙන් බැස ගත් ප්‍රතාපවත් තරුණ දේහදාරියා දැක එක මිටට ගුලි වූහ. මෝටර් රථයෙන් බැස බෝඩිම් කාමරය තුළට බර අඩි තැබූ ඔහු දෙස එහි සිටි කිසිවෙකු හෝ දෑස ඔසවා නොබැලූ අතර ඔහුගේ මුහුණේද , ගමන් විලාසයේද , හැසිරීමේද තිබූ වංශවත් හා ගාම්භීර බව වචනයක් හෝ මුදා හැරීමට ප්‍රථමවම තරුණ පිරිස බියෙන් අඩපණ කර තිබුණේය.
කුඩා ලී මේසය අද්දර තිබූ ප්ලාස්ටික් පුටුවක් ළං කරගත් හැඩිදැඩි දේහදාරියා එහි අසුන් ගත් අතර රන්වන් පැහැ ගත් සීඩර් ලීයෙන් සෑදු කුඩා පෙට්ටියක් එක් ආරක්ෂකයෙකු විසින් ලී මේසය මතින් තැබුවේය. හිඳ උන් පුටුවෙන් ඉදිරියට ආ ඔහු එකී පෙට්ටිය විවර කොට ඉන් ඉතා මිලාධික කොහීබා සුරුට්ටුවක් අතට ගෙන මේසය මත තිබූ රිදී පැහැති කටරය මත සුරුට්ටුවේ අග කොටස තබා එය ඉතා පිරිසිදුව කපා දැමුවේය.
ඉන්පසු දල්වා ගත් සීඩර් ලී කූරක ගින්නෙන් සුරුට්ටුවේ අග රත් කරන අතරතුර ඔහුගේ දකුණු අතේ වූ රන් මුදුව ආලෝකයට දිලිසෙන්නට පටන් ගත් ආකාරය බියෙන් වෙව්ලමින් උන් තරුණ පිරිස හොඳින් දුටුවහ.
සෙමින් සෙමින් වක්‍රාකාරව සීඩර් කූරේ දැල්ල වටා සුරුට්ටුවේ අග කරකවමින් රත් පැහැ ගැන්වෙන තුරු දල්වා ගත් ඔහු කිසිදු කලබලයක් හෝ හදීසියක් නොමැතිව එය මුව තුළ රඳවා දුමාරය මුව මත සෙමින් පුරවා ගනිමින් එය රස විඳින්නට පටන් ගත්තේය. මොහොතකින් පදම් කළ ලී සුවඳක් , කොකෝවා මිශ්‍ර තද දුම්කොළ සුවඳකින් සමන්විත දුම් වළලු රැසක් ඔහුගේ මුවින් පිටවූ අතර දිවියේ ප්‍රථම වතාවට කොහීබා වැනි මිලාධික සුරුට්ටුවක් දෑසින් දුටු තරුණ පිරිස ඔහු වෙත බිය මිශ්‍ර වශී වීමකින් බලා සිටියහ.
පැතිර යන දුම් වළළු මැදින් එක් තරුණයෙක් දෙසට එල්ල වූ ගැඹුරු දෑස එකී භීතියෙන් වෙව්ලන තරුණ මුහුණ පුරා වටයක් කැරකැවුණු අතර සෙමින් අත පහත් කොට එක එල්ලේ ඔහු දෙස බැලුවේය.
” තරුල් ..?”
” ඔ.. ඔව්.. සර්..”
තමා වෙතට එල්ල වූ ගැඹුරු දෑසේ බැල්මත් , ගාම්භීර කටහඬත් ආයාසයෙන් දරා ගත් තරුල් ඇසූ පැනයට මවා ගත් ධෛර්‍යයකින් පිළිතුරු බැන්ඳේය.
” ගම මරදන්කඩවල ?”
” ඔව් සර් .. “
” ගෙදර ඉන්නේ අම්මයි , තාත්තයි , නංගියි , මල්ලිලා දෙන්නයි ?”
” තාත්තා කරන්නේ ගොවිතැන් ?”
” ඔව් සර් “
සැඟවීමට හෝ පලා යෑමට ඉදින් කිසිවක් ඉතිරි වී නොතිබුණේය. ඔහු පැමිණ ඇත්තේ ප්‍රශ්න පත්‍රය මෙන්ම පිළිතුරු පත්‍රයද අත දරා බැව් හොඳින් වටහා ගත් තරුණයා අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලේය.
” ගගන ?”
ගැඹුරු දෑස තරුල් පසෙක සිටි තවත් වෙව්ලන උවනක් මතට වැටිණි .
” ඔව් සර් .. “
” තමුන් රත්නපුර රාස්සගල ?”
” ඔ.. ඔව් සර් !”
” ගෙදර ඉන්නේ අම්මයි , තාත්තයි , අක්කයි , මල්ලියි ?”
” ඔව් සර් ..”
” තාත්තා කරන්නේ මේසන් වැඩ. අක්කා ගාමන්ට් එකක වැඩ ?”
” ඔ.. ඔව් සර් ”
ගගනගේ දෑසින් කඳුළු බිඳු රූරා වැටෙන්නට පටන් ගත්තේය. තමා ඉදිරියේ උන් ප්‍රතාපවත් හැඩිදැඩි තරුණයා මේ හිඳිනුයේ නිකරුණේ තම කුටුම්භ විස්තර දැන ගෙන පමණක් නොව එහි සාමාජිකයන් සියල්ලන්ගේම මරණ සහතික අතැතිව බව ඔහුට දැනුණේය.
තරුල්ගෙන් , ගගනගෙන් ආරම්භ කළ ප්‍රශ්න වටය අවසානයේ සයුල් හැරෙන්නට අන් සත් දෙනාගේම නම , ගම , කුටුම්භ තොරතුරු ආදී සියල්ලම හිඳ උන් ඔහුගේ මුවින් පිළිවෙළට පිට වුණු අතර ප්‍රශ්නාවලිය හමුවේ ඔව් යැයි පැවසීම හැර එකදු තරුණයෙකුට හෝ වෙනත් පිළිතුරක් දීමට ඉඩක් නොලැබුණේය. ඒතරම් පිරිසිදුවට , පිළිවෙළට ඔහු සියළු තතු නිවැරදිව දැන තිබුණේය.
අවසාන සත් වෙනියාගේ ප්‍රශ්න වටය හමාර කරන විට අඩකටත් වඩා පිරිසකගේ මුහුණු පුරා ගගනගේ මෙන්ම කඳුළු වැල් ගලා විත් තිබූ අතර වරද වරදක් ලෙසත් , තමා අතින් වූ එකී වරදට දඬුවම් ලැබීමට තමා පමණක් නොව තම කුටුම්භවාසීන්ටද සිදුවන බවත් හොඳින් වටහා ගත් ඔවුන් ඇතුළාන්තයෙන් දරා ගත නොහැකි පශ්චත්තාපයකට මුහුණ දී සිටියහ.
” සඳැස්වි ආරණ්‍යා සෝමතිලක.. “
මෙතෙක් වේලා එකා පිට එකා ගුලි වී සිට ගෙන සිටි සියල්ලෝම වහ වහා ඔහුගේ මුවින් එකී නම පිටවූ සැණින් ඔහු ඉදිරියේ දණ බිම හොවා වැඳ වැටෙන්නට පටන් ගත්හ .
” සමාවෙන්න සර්.. අපි දැනගෙන නෙමෙයි එහෙම කළේ. “
” මේ සයුල් තමයි සඳා ඌට බූට් එක තියලා සල්ලිකාරයෙක් එක්ක ගියා කියලා අපිව ඇවිස්සුවේ “
” අපි ඇත්තටම මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ “
” අපිට සමාවෙන්න සර් . අපි සඳාගෙනුත් සමාව ගන්නම්. “
” මුළු කැම්පස් එක ඉස්සරහම අපි සමාව ගන්නම්. “
” අපේ පවුල් වල මිනිස්සුන්ව අතාරින්න සර් “
ඉදින් කිසිවක් වචන වලින් විස්තර කර පැවසීමට අවශ්‍ය නොවුණි. ප්‍රහාරයේ තරමට වඩා ප්‍රතිප්‍රහාරය සිය දහස් ගුණයකින් බරපතල බව තරුණ පිරිස වටහා ගනිමින් සිටි අතර එකා පිට එකා වැඳ වැටෙමින් තමන් කළ වරදට එක් පසෙකින් සමාව ඉල්ලමින් සිටි තරුණ කැළ අනෙක් පසින් සියලු වැරදි සඳහා මිත්‍රයා වූ සයුල්ව පාවා දෙමින් සිටියහ.
කිසිදු කලබලයක් නොමැතිව කොහීබා සුරුට්ටුව උරා බොමින් දුම් වළළු පිට කරමින් සිටි තරුණයාගේ ගැඹුරු දෑස එවර සයුල් වෙතට විතැන් වූ අතර එකී දෑසේ උන් නිහඬ බැල්ම දරා ගත නොහැකි වූ සයුල් වහා මුහුණ බිමට බර කර ගත්තේය.
” එහෙනං එච්චරයි ..”
එසේ පැවසූ ඔහු තවත් දුම් වළළු කිහිපයක් මුදා හැර තවත් කොටසක් ඉතිරිව තිබූ සුරුට්ටුව මේසය මත තබා හිඳ උන් පුටුවෙන් නැඟී සිටියේය. ඉන් පසුව බෝඩිම් කාමරයෙන් පිටතට පැමිණ යළි ඔහුගේ මෝටර් රථයට ගොඩ වූ අතර පැමිණි සියලුම මෝටර් රථ බෝඩිම් මිදුලෙන් ඈතට ඇදෙන්නට පටන් ගත්තේය. ක්ෂණිකව නාද වූයේ සයුල්ගේ ජංගම දුරකතනය ය.
” අම්මේ..?”
” චු.. චූටි පුතේ හරි පුදුම වැඩක් උනානේ. පාරක් අහගෙන ගෑනු දෙන්නෙක් ගෙදට්ට ආවා. ඇවිල්ලා ඇඩ්‍රස් එක ලියලා දීපු කොළේ පෙන්නුවා. ඒක දැක්කා විතරයි මට කැරකැවිල්ලක් වගේ ආවා. ඊට පස්සේ මොනා උනාද කියලා මතක නෑ. දැනුයි සිහිය ආවේ. ගෙයි හැමතැනම බැලුවා. මුකුත් අඩු වෙලා නෑ. ඒත්.. ඔයාගේ කාමරේ ඔයාගේ ඇඳ උඩ තීන්ත බකට් එකක් තියනවා. එකේ උඩ ලියලා තියනවා චූටි පුතාට තෑග්ගක් කියලා. “


