බිමට අතෑරුණු ජංගම දුරකතනය අහුළා ගැනීමට පවා සිහියක් නොමැති වූ සයුල් එතැනම තිබූ ප්ලාස්ටික් පුටුවට බර වූ අතර සිහි එළවා ගත් එක් තරුණයෙක් වහා සයුල් හිඳ සිටි පුටුවට පා පහරක් ගැසුවේය. එතරම් සවිමත් නොවූ ප්ලාස්ටික් පුටුව ඔහු සමඟම බිමට ඇද වැටෙද්දී තරුණයා නැවතත් ඔහු ඔසවා අසල වූ බිත්තියට තද කළේය .
” යකෝ..! මගේ නංගිට තාම අවුරුදු දාසයයි . ටවුන් එක මැද්දේ වෙච්ච ලැජ්ජාව දරාගන්න බැරුව ඒකි අපේ අප්පච්චි කුඹුරට දාන්න ගෙනාපු තෙල් බෝතලයක් බොන්න ගිහින්. තෝ… තොගේ සක්කිලි වැඩ වලට අපිව පාවිච්චි කළා මදිවට අපේ ගෙවල් වල මිනිස්සුන්ගෙත් ජීවිත සෙල්ලමට ගත්තද ?”
තරුණයා සයුල්ව අත හැර දෑසින් වැගිරෙන කඳුළු පිසදැමු අතර තවත් මිතුරෙකු සයුල්ට ළං වූයේය.
” ඇත්ත කියහන් සයුල් . සඳා එක්ක උඹේ ලව් එකක් තිබ්බේ නෑ. උඹ බොරුවට අපිව ඇවිස්සුවා ඒකි උඹට බූට් එක තිබ්බා කියලා එහෙම නේ ?”
” මොන මඟුල හරි තෝ තේරුම් ගනින් දැන්වත් උඹ ඔය හැප්පුණේ එසේ මෙසේ එකෙක් එක්ක නෙමෙයි කියලා. “
තවත් අයෙක් එසේ පවසා හිඳ උන් බිම අසල තිබූ බිත්තියට බර වූයේය.
” උඹලා එකෙක්වත් ඌ ගහපු කොහීබා එක ඇස් දෙකට දැකලා තියනවද බං මීට කලින් කොහෙදිවත් ?”
මෙතෙක් වේලා නිහඬව සිටි තරුල්ගේ පැනය සමඟ සියල්ලෝම ඔහු දෙස දෑස් විතැන් කළහ.
” ඌ බීපු කොහීබා එක ලංකාවේ සල්ලි වලින් තිස්දාහක් පනස්දාහක් අතර ගාණකට යනවා. ඌ ෂෝ කාරයෙක් නෙමෙයි . මෙතන ගෙවල් වල ඉන්න කාලේ තාත්තලගේ බීඩිය හොරෙන් අරන් බීපු අපිට එක සිගරට් එක දෙතුන් දෙනා එක්ක ශෙයා කරගෙන බීපු අපි ඉස්සරහා ඉඳගෙන ඌ කොහීබා එකක් ගහලා ෂෝ එකක් නෙමෙයි දැම්මේ. ඌ පට්ට යකෙක් ඕයි. ඌට කිසි කලබලයක් තිබ්බේ නෑ. ඌ ගාණට ඒකේ කැප් එක කටර් එකෙන් කපලා , ගාණට පත්තු කරන එකේ කලාවට ගැලපෙන්න ඌ ඒක ගැහුවා. ඒ ගහන අතරේ ජීවිතේ කවදාවත් උගෙ මූණක් වත් දැකලා නොතිබිච්ච මං දිහා බලලා මගේ නම , ගම , අම්මා , තාත්තගෙ ඉඳන් විස්තර කිව්වා. මං මරදන්කඩවල . මූ රත්නපුරේ , අරූ කරාපිටියේ , මූ හොරණ , අර යකා මාතලේ. අපි හැමෝම රට වටෙන්ම මෙතනට ආපු උන්. ඒත් පැය කීපයක් යද්දි ඌ අපේ ගෙවල් දොරකඩටම ගිහිල්ලා අපේම උන්ට අත තියලා තිබ්බා. අනිත් එක අර ආපු ගාඩ්ස්ලා. ඌට මෙතනට එන්න බල්ලෙක්වත් ඕන්නෑ. ඒත් ඌ උන්ව අරන් ආවේ ඇයි දන්නවද ? උගේ ක්ලාස් එක පෙන්නන්න . ඒකත් මතක තියා ගනින්.
පිරිමියෙක් වෙනවානම් වෙන්න ඕන එහෙම.
අන්න ඒකයි ඌ අපිට කියලා දුන්නේ. අපි ඇස් දෙකට දැකලා තිබ්බේ නැති උගේ කොහීබා එක අපිට කියලා දුන්නේ ඒක. හැමදාම බීඩි ගහන අපෙයි , කොහීබා ගහන උගෙයි වෙනස. එකම අවයව ටික තිබ්බට අපේ පිරිමිකමෙනුයි , උගේ පිරිමිකමෙනුයි ඌ වෙනස් වෙන විදිහ. මේ වගේ දෙකයි පනහේ වැඩ කරලා කවදාවත් අපිට ඌ වගේ එකෙක් වෙන්න බෑ කියන එක. අන්න ඒ මැසේජ් ටික ඔක්කොම වචනයක් වත් පිට නොකර ඌ අපිට කියලා දීලා ගියේ..
සයුල්…! මේ අහපන්. සඳා එක්ක උඹේ ලවක් තිබ්බත් නැතත් උඹ හෙට ඒකිගෙන් සමාව ගන්න ඕනේ. උඹට අපෙන් සමාවක් ඕනෙනම් උඹ හෙට ඒක කරන්නම ඕනේ. තව දුරටත් මං උඹලත් එක්ක මෙහෙම පිස්සු කෙළින්නෑ. මොන දේ කරලා උනත් මට කවදාවත් අර ආපු එකා වගේ වෙන්න ලැබෙන්නෑ. හැබැයි මං ඌ වගේ වෙන්න ට්‍රයි කරනවා. උඹට ප්‍රශ්නයක් තියනවනම් ඒක ක්‍රමේකට විසඳ ගනින්. මීට පස්සේ තොගේ මඟුල් වලට අපිව ගාවගන්න ලෑස්ති වෙන්න එපා. “
එසේ පැවසූ තරුල් වහා උනා දමා තිබු තම කමිසය ඇඟ ළා පසෙක තිබූ ගමන් මල්ලද ගෙන බෝඩිම් කාමරයෙන් පිටව ගිය අතර ඔහුගේ කතාව අසා සිටි අනෙක් උන්ද නැඟිට තම තමන්ගේ නවාතැන්පළයන් කරා යෑමට නිහඬවම සූදානම් වූහ.
******************************************
කුඩා යුවතිය සෙමින් දෑස හැර දුරකතනය ගෙන වේලාව බැලුවාය. රාත්‍රී අටට ආසන්නය. හොඳින් ඇහුංකම් දුන් විට මුළුතැන්ගෙය දෙසින් මිතුරියන්ගේ කිචිබිචිය ඇයට ඇසුණාය. දුරකතනයේ ශාක්‍යාගෙන් ලැබුණු මඟ හැරුණු ඇමතුම් දෙකකි. නැඟිට යහනෙන් හිඳ ගත් ඈ ශාක්‍යා හට පෙරළා ඇමතුමක් ලබා ගත්තේය.
” අක්කේ..!”
” නංගි ඔයා නිදාගෙනද හිටියේ. ? “
” ඔව් අක්කේ ටිකක් නින්ද ගියා. ඔයා කතා කරලා තිබුණා. “
” කෙල්ල මේ… හෙට උදේ නමයට මං සැලෝන් එකේ එපොයින්මන්ට් එකක් දා ගත්තා. ඔයාටයි මටයි දෙන්නටම. මං අටයි හතළිස් පහ වගේ වෙද්දි එන්නම්. ලෑස්ති වෙලා ඉන්න. “
” අනේ.. අක්කේ මං ඇයි ?”
” මොනාද අනේ.. සැලොන් එකකට යන්න බයවෙන්න එපා. අපි පොඩ්ඩක් ගිහින් අලුත් වෙලා එමු. ඔන්න මං එනවා හොඳේ. “
කිසිවක් නොපැවසූ තරුණිය ඇමතුමට සමු දී යළි ඉන් ඔහු වෙත ඇමතුමක් ලබා ගත්තාය.
” සර්..!”
” දැන්ද මාව මතක් උනේ මගේ සඳට..?”
” සර්.. නින්ද ගියා “
” ම්ම්..මට හිතුණා. “
” කොහෙද සර් ඉන්නේ ?”
” ගාල්ලේ බබා. මං කිව්වේ ෂොපින් මෝල් එකේ වැඩට ආවා කියලා. අපරාදේ මට ඔයාවත් එක්කන් එන්න තිබ්බේ. “
” හ්ම්ම්..”
” මොකෝ අද චැටර්බොක්ස් එක වැහිලා ? ආ සඳ ..? රෑට කෑවද මගේ මැණික ?”
ඇමතුම හරහා තමාගේත් , ඔහුගේත් චරිත ද්විත්වය මාරු වී ගොස් ඇති සෙයක්ය. පෙර නොවී විරූ ලෙස ඔහු අද පමණට වඩා ආදරණීය වී ඇති අතර පමණට වඩා කතා කිරීමටද පටන් ගෙන ඇත. නමුදු වෙනදාට තොරතෝංචියක් නොමැතිව කියවන තම මුව අද බොහෝ සෙයින් ගොළුවී ගොසින්ය.
” තාම නෑ. සර් අද එන්නැද්ද ?”
” මං එන්න හෙට දවල් වෙනවා සඳ.. කෝ.. වෙනදට මං නැතුව පාළුයි කියන එක්කෙනාට අද මොකෝ වෙලා තියෙන්නේ ? ආ ? අද දවසටම දැක්කේ නෑ. අඩුම වීඩියෝ කෝල් එකක් වත් ගන්නේ නැද්ද ?”
ඔහුගේ වදන් හමුවේ ඈ නැවත වතාවක් ගොළු වූවාය. ඉණටත් පහළට දිගු කොණ්ඩයට ඔහු කෙතරම් තදින් ආශා කළාදැයි ඈට මතකය. බොහෝ විට තනි කරලට ගෙතූ කොණ්ඩය පෙර කාර්‍යාලයේදී කාටත් හොරා අදින ඔහු ඈ සමඟ තනිවුණු බොහෝ අවස්ථාවල කොණ්ඩය අතරින් මුහුණ හොවා සිටින්නට කැමතිය . නමුදු දැන් එකී කොණ්ඩය බොහෝ සෙයින් කැඩී විනාශ වී ගොසින් ය. දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු පේළියක් නිහඬවම පිස දැමූ ඈ කෙසේ හෙට දින ඔහු හමුවට යන්නේදැයි සොවින් තැවුණාය.
” සඳ…!”
” සර්..?”
” හෙට ඇවිල්ලා දෙයක් අහන්න තියනවා. “
” මගෙන් ?”
” හ්ම්ම්.. ආ.. මේ සඳ..! ශාක්‍යා කිව්වා ඔයාටත් එක්ක හෙට සැලොන් එකේ එපොයින්මන්ට් එකක් දැම්මා කියලා. එයත් එක්ක යන්න. ම්ම්.. මං හිතන්නේ ඔයා හෙයා කට් එකක් කළොත් හොඳයි සඳ. හොඳ කලර් එකක් බලලා හෙයා කලර් එකකුත් කර ගන්න. ශාක්‍යා ඔක්කොම බලයි. “
නැවත වතාවක් අළුත් වූ කඳුළු බිඳු පේළියක් කොපුල් පුරා රූරා වැටුණු අතර ඈ ඒවා පිසදා දැමීමට උත්සුක නොවුණාය.
” සඳ.. ! මං ඔයාට ගොඩක් ආදරෙයි. මොන දේ සිද්ධ උනත් මං ඉන්නවා. මෙච්චර කල් මාව හයියෙන් අල්ලන් හිටියා වගේ ඉස්සරහටත් ඉන්න සඳ…!”
” සර්..!”
එවර හැඬුම ඉකියක් සමඟ පිටවූ අතර ඈ එක් අතකින් වහා මුව වසා ගත්තාය.
” දැක්කනේ.. අද ඒක කියන්න කිසි අමාරුවක් උනේ නෑ. එදා මට හිනා උනානේ ? නපුරී… okay සඳ.. අහන්න.. අද රෑ වෙනකන් පාඩම් කරන්න එපා. කාලා නිදාගන්න. මං හෙට උදේට කෝල් එකක් ගන්නම්. “
” තෙරුවන් සරණයි සර්.. “
දුරකතන ඇමතුම විසන්ධි කළ ඈ තදින් කොට්ටය මත මුහුණ හොවා ගනිමින් ඉකි ගසමින් හඬන්නට වූවාය.
” ඔයා දන්නවා නේද සර්. ? හැමදේම දන්නවා නේද ?”
ඈ යහන මත තනිවම හඬනාතුර මුළුතැන්ගෙහි සිටිනා අමාවීගේ දුරකතනය සියත්‍රගේ නමින් නාද වන්නට පටන් ගැනිණි.
” හෙලෝ අයියේ . “
” අමාවී පොඩ්ඩක් බලන්න. එයා ඇහැරිලා රූම් එකට වෙලා තනියම අඬනවා. “
” අපි බලන්නම් අයියේ. ගෙදර ඇවිල්ලානම් ගොඩක්ම ඇඬුවේ වෙච්ච සිද්ධියට වඩා ඔයාට මූණ දෙන්නේ කොහොමද කියලා. අපිත් එක්ක කිව්වා ඔයා ආසම කොණ්ඩෙට කියලා. “
” ම්ම්.. හෙට උදේට ශාක්‍යා එයි. එයා එක්ක මෙයාව යවන්න. “
” හරි අයියේ. “
” මට එන්න පුලුවන් කම තියාගෙනත් මං නෑවිත් ඉන්නේ ඔහොම එයා මගේ ඉස්සරහට එන එක එයාටම දුක හින්දා. හැබැයි ඒ මොනවා උනත් ඕන වෙලාවක මට කෝල් එකක් දෙන්න. මං ඉන්නේ විනාඩි දෙකෙන් එන්න පුලුවන් දුරක. “
“හරි අයියේ.. “
” හෙට උදේට ශාක්‍යා අතේ මං චෙක්ස් වගයක් එවනවා. ඒ ටික ඔයාලා අතරෙයි , හොස්ටල් එකේදි සඳැස්විට හෙල්ප් කරපු ගර්ල්ස්ලා දෙන්න අතරෙයි බෙදා ගන්න. “
” අයියේ.. අපි ඒවා කළේ උදව් බලාගෙන නෙමෙයි. “
” නෑ.. නෑ.. මං ඒක දන්නවා. ඒත්.. ඔයාලා නොහිටින්න මගේ කෙල්ල එතනදි සෑහෙන්න අසරණ වෙන්න තිබ්බා. ඒකට ඔයාටයි විමර්ෂාටයි ගොඩක් තෑන්ක්ස්. මේක මං ඔයලාට දෙන පොඩි ගිෆ්ට් එකක්. ඔයාලගේ වැඩ වලට ඒක තියාගන්න. “
” බොහොම ස්තූතියි අයියේ.. “
” okay..!”


