බිමට ඇදගෙන වැටෙන්න ගිය ආකර්ෂා කෙළින්ම ගිහින් හැප්පුණේ ඒ ආපු කෙනාගේ පුළුල් පපුවේ.
ඒ ගැම්මට කෙල්ල බය වුණු පාර ඇස් දෙකත් තද කරලා පියාගෙන, ඒ පපුව අස්සේ මූණ හංගගෙන කෑගහන්න හැදුවා. හැබැයි ඒ තප්පරෙන්ම කෙල්ලට දැනුණේ තමන්ට මාරම හුරුපුරුදු, සැනසිලිදායක පිරිමි සුවඳක්. ඒ සුවඳ අඳුරගත්ත ගමන් කෙල්ල ගැහි ගැහි හෙමින් සැරේ උඩ බලද්දී, හඳ එළියෙන් යාන්තමට පෙනෙන ඒ රළු, තේජවන්ත මූණ දැක්කා.
ඒ වෙන කවුරුත් නෙවෙයි… කවීන්!
කවීන් තමන්ගේ හයියම හයිය අත් දෙකෙන් ආකර්ෂාගේ හීනි වයින් ග්ලාස් ඉණ වටේ අත් යවලා කෙල්ලව තමන්ගේ ඇඟට උපරිමයෙන්ම තද කරලා අල්ලගත්තේ මාරම කලබලෙකින්. මිනිහගේ ඇස්වලත් තිබුණේ වෙනදා නැති විදිහේ ලොකු නොසන්සුන්කමක්.
“ආකර්ෂා! මොකද මේ මහ රෑ කරුවලේ දුවන්නේ? මොකද මේ මුළු ඇඟම වෙව්ලන්නේ? හොඳටම දාඩියත් දාලා” කවීන් බයෙන් වගේ ඇහුවේ ආකර්ෂාගේ මූණ පුරාම දාඩිය දාලා, ඇස් දෙක බයෙන් ලොකු වෙලා තියෙනවා දැකලයි.
“ක… කවීන්… අර… අරක ඇතුළේ…” ආකර්ෂාට වචන පැටලුණා. කෙල්ල බය වුණු පාර කවීන්ගේ ශර්ට් එකෙන් තද කරලා අල්ලාගෙන, වෙව්ලන අතින් පස්ස හැරිලා අර ඔෆිස් කාමරය පැත්තට ඇඟිල්ල දික් කරා.
“ඔෆිස් කාමරේ… බිත්තිය…බුක් ශෙල්ෆ් එක…. මනුස්සයෙක්…කවු…ක්ක්ක්කවුද”
ආකර්ෂා ඒ වචන ටික ගොත ගගහා කියද්දීම, කවීන්ගේ මූණ එකපාරටම දරදඬු වෙලා ගියා වගේ කෙල්ලට පෙනුණා. හැබැයි මිනිහා ඒ තප්පරෙන්ම ආකර්ෂාව තමන්ගේ පපුවට තව තවත් තද කරලා බදාගත්තේ හරියට කෙල්ලව මේ මුළු ලෝකෙන්ම හංගන්න හදනවා වගේ. කවීන්ගේ පපුවත් මාරම වේගයෙන් ගැහෙනවා ආකර්ෂාට තදින්ම දැනුණෙ කවීන් තමන්ව එයාගෙ පපුවට තද කරගත්තම
“ෂ්… ෂ්… කලබල වෙන්න එපා මැණික. මං ඉන්නවනේ… ඔයාට කිසිම කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෙ නෑ,” කවීන් තමන්ගේ මෘදු අත්ලෙන් ආකර්ෂාගේ අවුල් වුණු කොණ්ඩය හෙමින් පිරිමදින ගමන් මාරම ආදරණීය, සැනසිලිදායක හඬකින් කෙල්ලගේ කනට කරලා මුමුණද්දි කවදාවත් නැතුව කවීන්ගෙන් දැනිච්ච ඒ අසීමිත ලෙන්ගතුකම හන්දා ආකර්ෂාගේ හිතේ තිබ්බ මහා බය එකපාරටම දියවෙලා ගියා වගේ දැනුණා. කෙල්ල නොදැනීම කවීන්ගේ පපුව අස්සේ තවත් අසරණ විදිහට ගුලි වුණේ, සෙලීනා හන්දා හිතේ ඇතිවෙලා තිබ්බ පාලුවයි, රෑ දැකපු ඒ හිතාගන්න බැරි මනුස්සයයි දෙකම එකපාර අමතක කරලා දාන්න හදන්න වගේ.
කවීන් තමන්ගේ ඩීල් එකකින් උනත් සෙට් වෙච්ච ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ගැහෙන ශරීරෙ තමන්ගේ අත් දෙක අස්සෙ හිර කරගෙන, කෙල්ලව තව තවත් තමන්ට ලං කරගත්තා.
“කලබල වෙන්න එපා මැණික… මං ඉද්දි ඔයා මොකටද මෙච්චර බය වෙන්නේ? කිසිම දේකට බය වෙන්න එපා. දැන් හැමදේම හරි” මිනිහා කෙල්ලගෙ නළල උඩින් තමන්ගේ තොල් තද කරලා මාරම රොමෑන්ටික්, ඒ වගේම සීතල හාදුවක් තැවරුවේ කෙල්ලගෙ හිත සන්සුන් කරන්න වගේ. ඒ සීතල හාදුව ආකර්ෂාගේ මුළු ඇඟම හිරිවට්ටලා දැම්මෙ මහා අමුතුම ආරක්ෂිත හැඟීමක් කෙල්ලගෙ හිත අස්සට අරගෙන එන ගමන්.
හැබැයි… කවීන් තමන්ව මෙච්චර ආදරෙන් සනසන එක පිටිපස්සේ, එයා මොකක් හරි මහා ලොකු දෙයක් හංගන්න හදනවා නේද කියන සැකෙත් ඒ අස්සෙ ආකර්ෂගෙ හිත හෙමින් කොඳුරන්න පටන් අරගෙන තිබුණා.
කවීන් තමන්ව බදාගෙන උන්නට, මිනිහගේ ඇස් තිබුණේ ආකර්ෂා කියපු අර අන්ධකාර ඔෆිස් කාමරේ දොර දිහාවෙ. ඒ ඇස්වල තිබුණේ ආකර්ෂා ගැන තියෙන ආදරයට වඩා, රහසක් අහුවුණාම ඇතිවෙන මහා බිහිසුණු තැතිගැන්මක්!
“ඔයා… ඔයා දන්නවද ඒ කවුද කියලා කවීන්?” ආකර්ෂා කවීන්ගේ පපුවෙන් යාන්තමට මූණ උස්සලා අහද්දී, කවීන්ගේ අත් දෙක තමන්ගේ ඉණ වටෙන් එකපාරටම තද වුණේ මහා අභිරහස් විදිහට කියලමයි ආකර්ෂාට හිතුණෙ.
කවීන් ඒ ප්‍රශ්නෙට එකපාරටම උත්තර දුන්නේ නෑ. මිනිහා මුළු වලව්වම හෙල්ලෙන්න වගේ ලොකු හුස්මක් ඉහළට අරන්, ආකර්ෂාගේ උරහිස් දෙකෙන් අල්ලලා කෙල්ලව තමන්ගේ පපුවෙන් යාන්තමට ඈත් කරා. ඒ එක්කම ඒ ඇස්වල තිබ්බ ආදරණීය බැල්ම ක්ෂණිකවම මාරම බරපතළ, ඒ වගේම මොකක් හරි රහසක් හංගන්න හදන බැල්මක් විදියට වෙනස් වුනා කියන එක ඒ අන්ධකාරෙ මැද්දෙත් කෙල්ලට පෙනුණා.
“මැණික… ඔයා දැන් කිසිම දෙයක් හිතන්නැතුව කාමරේට ගිහින් නිදාගන්න. මං ඔෆිස් කාමරේට ගිහින් බලන්නම්” කවීන්ගේ කටහඬේ තිබ්බේ අණ කිරීමක් වගේම, මොකක් හරි මහා ලොකු රහසක් වහගන්න දරන මාරම අමාරු උත්සාහයක් කියන එක කෙල්ලට තේරුං ගන්න අමාරු වුණේ නෑ.
“අනේ බෑ කවීන්… මට මාරම බයයි. ඔයත් යන්න එපා. අපි පොලිසියට කියමු,” ආකර්ෂා කවීන්ගේ අතින් තද කරලා අල්ලගත්තේ ඇත්තටම මිනිහට අනතුරක් වෙයි කියන බයටයි.
“පොලිසියට?” කවීන් එකපාරටම මහා බයෙන් වගේ ආකර්ෂාගේ ඇස් දෙක දිහා කෙළින්ම බලන් උන්නා.
“නෑ මැණික මේ වලව්වේ වෙන දේවල්වලට පොලිසි ගාවගන්න බෑ. ඔයා මාව විශ්වාස කරනවා නේද? මං කිව්ව දේ අහලා දැන් කාමරේට යන්න.”
කවීන් එහෙම කියලා ආකර්ෂාව බලෙන්ම වගේ පඩිපෙළ ළඟට එක්කන් ගිහින් උඩට ඇරලුවා. කෙල්ල ආපහු හැරි හැරි බලද්දී, කවීන් ඝන අන්ධකාරෙ මැද්දෙන් තනියම අර ඔෆිස් කාමරේ පැත්තට වේගෙන් වේගෙන් ඇවිදගෙන යන විත්තිය කෙල්ලට පෙනුණා.
කාමරේට ආපු ආකර්ෂා දොර වහලා බිත්තියට හේත්තු වුණේ තමන්ගෙ පපුව ගැහෙන සද්දේ තමන්ටම ඇහෙද්දි. බයයි, කුතුහලයයි හන්දා කෙල්ලට තත්පරයකටවත් ඇස් පියාගන්න බැරි වුණා. කවීන්ට මොනවා වෙයිද, අර මිනිහා කවුද, ඒ වගේම කවීන් ඒ මිනිහව දන්නවා නේද කියන ප්‍රශ්න වැල කෙල්ලගේ ඔළුව පිස්සු වැට්ටුවා.
විනාඩි විස්සක් විතර ගත වෙන්න ඇති. එකපාරටම කාමරේ දොර හීන් සැරේ ඇරෙන සද්දෙට ආකර්ෂා කලබලෙන් ඇඳ උඩ ගැස්සිලා වගේ වාඩිවුණා.
දොරකඩ හිටගෙන උන්නේ කවීන්.
මිනිහගේ මුළු මූණෙම තිබුණේ මහා ලොකු මහන්සියක් වගේම හෙම්බත් වෙච්ච පෙනුමක්.
කවීන් හෙමින් සැරේ ඇවිත් ආකර්ෂා ඉන්න ඇඳ අයිනෙන් වාඩි වුණා. මිනිහා දිහා බය වෙලා බලන් ඉන්න ආකර්ෂාගෙ මූණ දැක්කම, කවීන්ගේ තොල් අතරට මාරම මහන්සි පාට හිනාවක් ආවා. මිනිහා මුකුත්ම නොකියා හෙමින් සැරේ ඇඳට බර වෙලා, ආකර්ෂාව තමන්ගේ එක අතකින් ඇදලා පපුවට ලං කරගත්තා.
“තවමත් බයයිද?” කවීන් මාරම ආදරණීය හඬකින් ඇහුවේ කෙල්ලගෙ අවුල් වෙච්ච කෙස් අස්සෙන් ඇඟිලි යවන ගමන්.
“ කවුද කවීන් ඒ මනුස්සයා?” ආකර්ෂා කවීන්ගේ පපුවේ මූණ තියාගෙනම හීන් සැරේ ඇහුවෙ මේ මොනවද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව වගේ. වෙන වෙලාවට කවීන් ඉස්සරහා දාන චණ්ඩිකම් ඔක්කොම ඉවර වෙලා කෙල්ල පූස් පැටියෙක් වගේ කවීන්ට අවනත වෙලා තිබ්බෙ මේ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි හන්දමයි.
“ඒවා ඔක්කොම දැන් ඉවරයි. ඒක නිකන්ම නිකන් හීනයක් කියලා හිතන්න. දැන් කිසිම දේකට බය වෙන්න එපා. මං ඔයා ළඟම ඉන්නවනේ,” කවීන් ඒ අභිරහස ගැන මුකුත්ම නොකියා, ආකර්ෂාගේ හිත සනසන්න වගේ කෙල්ලගෙ උරහිස වටා තිබ්බ අත තවත් තද කරා.
කෙල්ල කවීන්ගේ පපුවේ උණුසුමට මැදි වෙලා, මිනිහගේ හාට් එක ගැහෙන සද්දෙට කන් දීගෙන උන්නෙ ඇස් දෙක නිකන් ලාවට පියවිගෙන වගේ එද්දි. කවීන් තමන්ගේ අත්ලෙන් ආකර්ෂාගේ ඔලුව හෙමින් පිරිමදින්න ගත්තේ ආදරේකින් වගේ. ඒ අතේ තිබ්බ සනීපෙයි, කවීන්ගේ ඇඟෙන් ආපු සුවඳයි හන්දා ආකර්ෂාගේ ඇහිපිය තව තව තදට බර වෙන්න ගත්තා.
කවීන් දිගටම කෙල්ලගෙ ඔලුව අතගාන ගමන්, කෙල්ල නිදාගන්නකම්ම මාරම ආදරෙන් කෙල්ල දිහා බලන් උන්නා.
හැමෝම ඉස්සරහා නපුරු විදිහට ඉන්න මේ මිනිහා, තමන් ළඟදී මෙච්චරම වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතන ගමන්ම, කවීන්ගේ සනිප උණුහුම අස්සේ ආකර්ෂාට නොදැනීම වගේ නින්ද ගියා.
හැබැයි ඒ නින්දට යද්දීත්, කවීන් තමන්ගෙන් මොකක් හරි මහා ලොකු රහසක් හැංගුවා නේද කියන පුංචි කුතුහලය කෙල්ලගේ හිතේ කොනක ඉතුරු වෙලා තිබුණා.


