මලක් වී යළි පිපෙන්නම් – 21

0
520

නුලාරා කාමරයට පැමිණියේ අම්මාත් තාත්තාත් පිටව යනතුරු සිටය. ඔවුන් මේ නිවසට නොපැමිණෙන්නේනම් හොඳයැයි  කියා සිතුනත් ඒ බව වචන වලට පෙරලන්නට නුලාරා බිය විය. පැමිණි වේලේ සිට අම්මා කතා කළේම දරු ප්‍රසූතිය බියට කාරණයක් නොවන බව හඟවන්නටය. තාත්තා කතා කළේම චාරුකගේ යහපත්කම ගැනය. මේ සියල්ල දැන් නුලාරාගේ සිතට වදයකි. වර්ණ ඇඩ්වර්ටයිසින්  සංවිධානය කරන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගය පිළිබඳව ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ඊයේය. ඒ ඡායාරූප තවමත් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් තිබිණ. මහත් ආඩම්බරයකින්  මන්දස්මි ඉඳගෙන උන්නේ චාරුකට එහා පස අසුනේය. ඇයට තිබුණේ වර්ණ ඇඩ්වර්ටයිසින් වෙනුවෙන් මෙරට නියෝජිත වරියගේ  තනතුරය. 

මන්දස්මි මාධ්‍ය හමුවේ කතා කරමින් කියා සිටියේ වසර ගණනකට පසුව වර්ණ ඇඩ්වටයිසීන් සමග වැඩක් කිරීමට ලැබීම තමාගේ වාසනාවක් බවය. කලක් තමාගේ හොඳම මිතුරෙකු වූ චාරුක තමා විශ්වාසයේ තබා මේ කර්තව්‍යයට කතා කිරීමම තමා ලද භාග්‍යයක් බවය. කී වරක් තමා ඒ හඬට සවන් දුන්නා දැයි මතකයක් නුලාරාට නොවේ. කතා කරන වදනක් වදනක් පාසා ඇය යටැසින් චාරුක දෙස බලනවායැයි  නුලාරාට සිතුනේත් එවේලෙහිය. අවසන ජංගම දුරකථනය පසෙකට විසිකර දමා ඕ ඇඳෙහි වැතිරුණාය. 

ඊයේ චාරුක සිටියේත් වෙනදා නොවූ තරම් සතුටකින්යැයි නුලාරාට  සිතුනේ ආපසු ඒ ගැන සිතත්දීය. තමා කිසිවක් නොවිමසාම ඔහු මාධ්‍ය සාකච්චාවේ  විස්තර ඈ හා පවසන්නට විය. ඒවාට සවන් දීගෙන සිටියාට හූ  මිටි තැබුවාට නුලාරා උන්නේ හදවත පතුලේ දැවෙන ගින්දරට පිදුරු එකතු කරමින්ය. 

“ඇයි මෙච්චර මොඩර්ස්ලා නළු නිළියො ඉඳිද්දි ඔයාට ඔය වැඩේට මන්දස්මිව තෝරගන්නන හිතුනේ.”

අවසන නුලාරා ඇසුවේ සිතට වද දෙමින් තිබූ ප්‍රශ්නයකි. එහෙත් චාරුකගෙන් සිය දෑස් හංගා ගන්නට තරම් ඈ සූක්ෂම වූවාය. 

“මන්දස්මි  කියන්නේ හොඳ එඩියුකේටඩ් ගර්ල් කෙනෙක්. එයා භාෂා කීපයක්ම කතා කරන්න දන්නවා බබා. අනිත් එක එයාගේ තාත්තිගේ බිස්නසුත් එක්ක එයා නිතර නිතර පිට රටවල් වලට යන කෙනෙක්. මං හිතන්නේ මේ ඉන්ඩ්‍රස්ට්‍රි එකේ ඒ වගේ පළපුරුද්දක් තියෙන අය අඩුයි. ඒක මගේ විතරක් තීරණයක් නෙමෙයි බබා. තේජන ඒ වගේම මේ ප්‍රපෝසල් එක හැඩ්ල් කරන්න පත් කරලා ඉන්න ටීම් එකම රෙකමන් කලේ මන්දස්මි. තාත්තා උනත් විශ්වාසයෙන් කතා කළේ මන්දස්මි ගැන. මොකද තාත්තටත් පුරුද්දක් තියෙනවා මන්දස්මිත් එක්ක වැඩ කරලා….”

චාරුක එවේලෙහි ඕනෑවටත් වඩා හේතු සැපයූවායැයි නුලාරාට සිතෙන්නේ දැන්ය. ඔහු උන්නේ කලබලයෙන්ය. වචන දහස් ගණනක් වියදම් කර පිළිතුරක් දෙනවාට වඩා ඔහු එවේලෙහි කෙටි පිළිතුරක් දුන්නානම් එය විශ්වාස කරන්නට තිබුණායැයි නුලාරාට සිතේ.  ඒසා දිගු පිළිතුරක් ඔහු ලබා දුන්නේ තමාගේ වැරදි වසන් කරන්නයැයි ඇයට සිතෙන්නේ දැන්ය. පෙරදා මුළු රාත්‍රියම නින්ද අහිමි කරමින් සිතට වද දුන්නේත් ඒ කාරණයය. 

‘නින්ද යන්නෙ නැද්ද බබා…’ යනුවෙන් අසමින් චාරුක දෙතුන් වරක්ම තමාගේ හිස අතගාන්නට සූදානම් වූවා නුලාරාට මතකය. එහෙත් ඔහු තමාගේ පමණක් නොවේය  යන හැඟීමෙන් මිදීමට ඇයට හැකි වූයේ නැත. ඒ සෑම වතාවකම ඇය ඔහුගේ අත ගිලිහී වැටෙන අයුරින් අනෙක් පසට හැරුණාය. එළිවෙන තුරාවටම විකාර රූප ඈ ඉදිරිපස මැවී පෙනෙන්නට විය. ඔහු තමාට පෙන්වන මේ ආදරය බොරු ආදරයක්යැයි සිතත්දී නුලාරාගේ සිතට දැනෙන්නට වූයේ පිළිකුලකි. යහනින් බැස බිම වැතිරීමට සිතුනත් ඈ ඒ සිතුවිල්ල මැඩගත්තේ මහත් ආයාසයක් දරමින්ය. දෙතුන් වතාවක්ම චාරුක තමාව තුරුළු කර ගැනීමට උත්සාහ දරන අයුරු නුලාරාට දැණින. ඔහු මේ ආකාරයෙන්ම මන්දස්මිවත්  තුරුළු  කරගනු ඇතැයි සිතද්දී නුලාරා වෙවුලා ගියාය. එළිවන තුරා අවදියෙන් තිබූ දෑස් පිය වූ වේලාව ඇගේ මතකයේ නොවේ. ඕ යළි අවදිවද්දී  චාරුක නිවසින් පිටව ගොස් තිබුණාය. 

“නෝනට දැන්ම කතා කරන්න එපා කියලා ගියේ. එළි වෙනකල් අර පැත්තට මේ පැත්තට හැරි හැරි කෙඳිරි කෑව මිසක්කා නෝනා නිදාගත්තෙ නෑ කියලා මහත්තයා කිව්වා. මං හිතන්නේ උදේම නෝනගේ අම්මටත් කතා කළා. අමාරුවක් තියෙනවනං හංගන් ඉන්න එපා අපේ නෝනා..අපේ ලොකු නෝනත් නිතරම කතාකරලා කියනවා සුදු මහත්තයා ගෙදර නැතිවෙලාවට චූටි නෝනා ගැන ඇහැ ගහගෙනම ඉන්න කියලා.”

සෝමා කාමරයට එද්දී නුලාරා උන්නේ දෑස් ඇරගෙනය. චාරුක පිටව ගොස් ඇති බව ඇය දැනගත්තේත් කුඩා මේසය මත වන වටිනා අත් ඔරලෝසුවත් ජංගම දුරකථන දෙකත් නොවූ නිසාය. 

“නෝනා මොනවද උදෙන්ම බොන්නේ….”

“මට තව ටිකක් නිදාගන්න ඕනේ සෝමා මම ඇහැරුනාට පස්සේ සෝමට කතා කරන්නම්කෝ..”

එසේ පැවසූ නුලාරා යළිත් අනිත් ඇළයට හැරුණේ කෙඳිරිල්ලක් නගමින්ය. ඒ දෑස් වලට උනා ආ කඳුලක් සුවපහසු මෙට්ටය මත වැටී බොඳව ගිය අයුරු සෝමා දුටුවේ නැත. විනාඩි කිහිපයක් තම ස්වාමි දුව දෙස බලා උන් ඈ ආපසු හැරුණේ දොරත්  අඩවල් කරගෙනය. 

                                       *********

ධනුකගේ මුල්ම වැටුප එක් ලක්ෂ හතළිස් දහසකි. මසක් පුරාම සංගීත කණ්ඩායම හා ඔට්ටු වුවත් ඔහුට මෙතරම් මුදලක් නොලැබෙන බව විශ්වාසය. 

“කාලෙකින් අම්මට කීයක්වත් යවන්න බැරි උනා සංකල්පි. ඒ නිසා මං මේක අම්මට යවනවා…”

ඉන් හතළිස් දහසක මුදලක් ධනුක වෙන් කර ගනිද්දී ඉතිරි මුදල තමා අතට ලබාදේ යැයි සංකල්පනී සිතුවාය. එහෙත් වියදමටයැයි පවසා ඇගේ අතට ලැබුණේ රුපියල් දස දහසක් පමණි. ඔහු සංගීත කණ්ඩායම සමග සිටින කාලයේ එදිනෙදා වියදමට රුපියල් දහසක්  එක්දහස් පන්සියයක් ලැබුණා විනා කීයක් ඉපයුවේදැයි සංකල්පනී අසා තිබුණේ නැත. ඇගේ සිතට දැනුනේ දුකකි. 

“සමහර විට එයා හිතනව ඇති  ඒ සල්ලි එයා ළඟ තිබුනොත් සුරක්ෂිතයි කියලා. මං කිව්වනේ ඉක්මනට ඉඩ කඩ තියෙන තැනක් ගන්න ඕනෙ කියලත්.”

අවසන සංකල්පනී ඔහුව සාධාරණීකරණය කරන්නට හේතු සෙව්වාය. රන්දිකගේ නිවසට බඩු මුට්ටු රැගෙන ආවේ ඔහුය. සංකල්පනී හෝ නැගණිය කළේ අවශ්‍ය ලැයිස්තුව ලියා දීම පමණි. ඉතුරු මුදලම වූයේ ඔහුගේ බැංකු ගිණුමේය. එහෙත් ඔහු ඒ කිසිවක් ඇගෙන් සැඟවූයේ නැත. මසකට වරක් බැංකුවට යන ඔහු ගිණුම් පොත යළි ගෙනවිත් සංකල්පනා අත තබන්නේ ‘අරන් තියන්න’ යැයි පවසමින්ය. ඒ සෑම වරකම ඇය එය පෙරළා ශේෂය පිළිබඳව සොයා බැලුවාය. කුමක්දෝ අහේතුවකට එහි ඉලක්කම් ගණන වැඩිවද්දීවත් සංකල්පනීට  සතුටක් දැනුනේ නැත. 

ධනුකත් බැංකු කාඩ් එකක් පාවිච්චි කරන බව සංකල්පනී දනී. එහෙත් එහි පාස් පොතක් පිළිබඳව ඇය කෙදිනකවත් අසා තිබුණේ නැත. 

“ඒ ගැන ධනුකත් එක්ක කතා කරන්න ඕනේ. එයාට සමහරවිට පුරුද්දක් නැතිකම වෙන්න ඇති. මං හරි මැදිහත් වෙලා සල්ලි ඉතුරු කරන ක්‍රමයක් ගැන බලන්න ඕනේ. අපිට හැමදාමත් අනුන්ට කුලී ගෙව ගෙව ඉන්න බැහැනේ. ඉස්සරහට කොච්චර වැඩ තියෙනවද..”

සංකල්පනී එවර සිතුවේ ඇඳ  මත වූ ඔහුගේ කාර්යාලීය ඇඳුම සිය දෑතට ගනිමින්ය. ක්ලික් හඬ නගමින් ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණියේ එවේලෙහිය. 

එහි වූයේ නුලාරා ගැබිනියක වන්නට පෙර වූ සේයාරුවකුත් මන්දස්මිගේ සේයාරුවකුත්ය. 

“මට ඇත්තම කියන්න අපි දෙන්නගෙන් කවුද ලස්සන..”

දිගු සුසුමක් මුදා හලසංකල්පනී  යෙහෙළියට ඇමතුමක් ගත්තේ ‘මෙයාට නං තියෙන්නෙ මානසික ලෙඩක්…’ යැයි තමාටම පවසා ගන්නා ගමන්ය.  නිතර ඇගේ නිවසට යන එන සංකල්පනී  ඒ නිවසෙහි වන සුවපහසුව ගැනත් චාරුකගේ සොයා බැලීම ගැනත් හොඳටම දැන සිටියාය. ගැහැණියක මින් එහා කුමක් බලාපොරොත්තු වනවාදැයි ඇයට වටහාගත නොහැකි වූයේත් එනිසාය. ඇය ධනුක හා කතා කරන්නේත් නුලාරාගේ වාසනාව ගැනය. 

“ඇයි මේ බොරු දේවල් ගැන හිත හිතා දුක් වෙන්නේ…”

“ඔයාට තේරෙන්නෙ නෑ ඒ ප්‍රශ්නෙන් විඳවන්නේ ඔයා නෙමෙයි මම. මං දැක්කා මන්දස්මි ගැන කතා කරද්දි චාරුකගේ ඇස් දිළිසෙනවා. අපරාදෙ එයා අහිංසක මාව මේ ප්‍රශ්නෙට මැදිහත් කරගත්තේ. එයාට තිබුණා මන්දස්මිව කසාද බඳින්න. මං දැන් ආපහු හැරිලා යන්නද සංකල්පි.”

“ඔය උදේ පාන්දර උඹ අඩනවද…”

“කෑ ගහලා අඬන්න හිතුනත් මම බොහොම අමාරුවෙන් වාවගෙන ඉන්නවා. මං හැමදාම ආස කළේ කළේ කවද හරි මගේ හස්බන්ඩ්ගේ මුළු ලෝකෙම මම වෙනව දකින්න. ඒ වුනාට අර දීපිකා පියදර්ශනීගේ සින්දුවේ විදිහට මට සිද්ධ වුණේ එක අත්තක මලක් වෙන්න නෙමෙයි, මල් පොකුරක මලක් වෙන්න. මට හිතෙනවා ඔෆිස් එකට ගිහිල්ලා ඔය ගෑනි එතන ඉන්නවනම් කනින් ඇදලා එළියට දාන්න. මට මගේ හස්බන්ඩ්ව දැනෙනවා. චාරුක ඉන්නේ හරි සතුටින්. ඊයෙ එයාගේ කටින් පිටවුණා මන්දස්මි මේ වැඩේ රිජෙක් කරයි කියලා එයා බයෙන්ලු හිටියේ. ඒ විතරක් නෙමෙයි මන්දස්මිගේ උගත්කම එයා කතා කළේ මාර විදිහට. හරියට මේ ලෝකේ ඉන්න එකම උගත් ගෑනි මන්දස්මි වගේ..මමත් ගෑණියෙක් සංකල්පි. හැඟීම් දැනීම් හැමදේම තියෙන ගෑනියෙක්. මගේ හස්බන්ඩ් තව කෙනෙකුට ආදරේ කරනව නේද කියන එක මට දරාගන්න බෑ. සමහර විට එයා මන්දස්මිට කොහේ හරි අපාර්ට්මන්ට් එකක් අරන් දීලා ඇති. රෑට ගෙදර ආවට එයා දවසේ වැඩි හරියක් එතන ගත කරනවත් ඇති. මං මොකක්ද දැන් කරන්නේ.”

“අනේ අඬන්න එපා නුලාරා. මං ධනුකගෙන් විස්තර අහනවා. ධනුක කියන්නේ චාරුක එහෙම කෙනෙක් නෙමෙයි කියලා. මන්දස්මිනං නිතර නිතර ඔෆිස් එකට යනවා එනවලු. ඒ උනාට ඉතින් වෙනසක් දැනෙන්නෙත් නෑ කියලා කියනවා.”

“අපි ධනුකව යැව්වේ ඔෆිස් එකේ ඉන්න උනාට චාරුක ධනුකට දුන්නේ නිතර එළිය ගැවසෙන ජොබ් එකක්නේ. ඔයාට හිතෙන්නෙ නැද්ද ඒකත් චාරුක කළේ හිතා මතා කියලා.”

සංකල්පනී තත්පර කිහිපයක් නිහඩව සිටියේ යෙහෙළියගේ පැනයට පිළිතුරක් දීගත නොහැකිව නිහඬ නිරුත්තරවය. 

අවසන එහා පසින් යළිත් ඇසුණේ ඇගේ හඬය. 

“මට උදව්වක් ඕනේ.”

“මොකක්ද…?”

“ඔය හොඳ ගුරුකම් කරන තැනක් ගැන හොයලා බලන්න. මං ඊයේ ටිකක් ඒ ගැන හෙව්වා. හස්බන්ඩ්ව තමන් ළඟම විතරක් රන්ද ගන්න පුළුවන් දේවල් තියෙනවා. ප්ලීස් මට මේ වෙලාවේ ඒ උදව්ව කරන්න. කෑ ගහලා රණ්ඩු වෙලා මං ආයෙ එයා ළඟ ඉන්නේ කොහොමද. අපි නිහඩව කරන්න තියෙන දෙයක් ගැන හිතමු.”

අවසන සංකල්පනී දුරකථනය විසන්ධි කළේ ඒ ගැන ඉක්මනින් සොයා බලනවායැයි  පොරොන්දු වෙමින්ය. 

හෙටත් හමුවෙමු ආදරයෙන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here