ආදර මල්වල පාට කියන්නද? – 30

0
259

උදේ පාන්දර කවීන්ගෙන් ලැබුණු ඒ රොමෑන්ටික් හාදුවත් එක්ක ආකර්ෂාගේ හිතේ තිබ්බ හැම බයක්ම, පාලුවක්ම එකපාරටම වාෂ්ප වෙලා ගියා වගේ කෙල්ලට දැනුණෙ. කෙල්ල මූණ පුරාම හිනාවක් ඇඳගෙන, ලස්සනට ලෑස්ති වෙලා බ්‍රෙක්ෆස්ට් එක ගන්න පල්ලෙහා තට්ටුවට බැස්සේ හිතේ මාරම සැහැල්ලුවකින්. මාරම අමුතු හිතට නුපුරුදු සන්තෝසෙකින්.

හැබැයි කෑම මේසය ළඟට කිට්ටු වෙද්දීම ආකර්ෂාගේ පියවරවල් එකපාරටම නතර වුණා. හිතේ තිබ්බ සතුට සේරම ක්ෂණිකවම අතුරුදන් වෙලා ගියේ කෑම මේසේ ළඟ සිද්ද වෙන දේ දැකලයි.

කෑම මේසේ එක පැත්තක ආච්චි අම්මා ඉඳගෙන ඉද්දි, කවීන් ළඟින්ම වාඩි වෙලා උන්නේ වෙන කවුරුත් නෙවෙයි.

 සෙලීනා! 

සෙලීනා එක එක ඒවා කියව කියවා මාරම සෙල්ලක්කාර විදිහට හිනාවෙවී කවීන් එක්ක දොඩමළු වෙනවා දකිද්දි ආකර්ෂට හිතුනා උදේ කෑමත් එපා කියලා ආපහු කාමරේට දුවගෙන ගිහින් කොට්ටෙ අස්සෙ මූණ ඔබන් අඬන්න.

“ආ… ආකර්ෂා, එන්න වාඩිවෙන්න. සෙලීනා අද ඉඳන් ටික දවසකට මේ වලව්වේමයි නතර වෙන්නේ. මං හිතුවා කවීන්ටත් එක්ක පාලු නැති වෙයි කියලා,” ආච්චි අම්මා ආකර්ෂා දිහා බලලා මාරම කපටි හිනාවක් දාලා කියද්දී ආකර්ෂාගේ මුළු ඇඟම සීතල වෙලා ගියා.

සෙලීනා මේ ඇවිත් ඉන්නෙ මෙහේ නතර වෙන්න බලාගෙන කියලා කෙල්ල දැනගත්තේ එවෙලෙයි. ආකර්ෂා මාරම අමාරුවෙන් හිත පාලනය කරගෙන, මුකුත් නොවුණා වගේ කවීන්ට ඉස්සරහින් තිබ්බ පුටුවෙන් වාඩි වුණේ සෙලීනා එක්ක බොරුවට හිනාවෙන ගමන්. “කවුරු මොනවා කිව්වත් කවීන් ආදරේ මටනෙ” කියලා හිත කියද්දි හැබැයි ඊළඟට සිද්ද වෙච්ච දේවලින් ආකර්ෂාගේ හිත මාරම විදිහට පෑරිලා රිදෙන්න ගත්තා. සෙලීනා කවීන්ට මාරම අයිතිවාසිකමක් පෙන්නන්න හදන විත්තිය ආකර්ෂාට නොතේරුණා නෙවෙයි. එයා කවීන්ගේ පිඟාන අරන් පාන් පෙති දෙකක බටර් ගාන්න ගත්තේ හරියට “මං තමයි කවීන්ව කසාද බඳින්නෙ” කියල නොකිය කියන්න වගේ

“කවීන්… ඔයා ඉස්සර වගේම බටර් එක්ක මාමයිට් ගාලා කන්න නේද ආස. මට මතකයි තාම ඉස්සර ඔයා මාමයිට් ගාලා පාන් ටෝස්ට් කරලා කන්න ආසයි කියලා” සෙලීනා මාරම ලෙන්ගතු, ආදරේ පිරිච්ච හඬකින් කියන ගමන් පාන් පෙති ටික කවීන්ගේ පිඟානෙන් තිබ්බා. එතනින් නතර වුනා නම් මොකෝ එයා කවීන්ගේ කෝප්පෙට හීන් සැරේ හිනාවෙවී තේ වක්කරන්න ගත්තෙ ඔය අතීත කතා කියන ගමන්..

“මේකේ සීනි ගාණට ඇති කවීන්. ඔයාට මං හදලා දෙන තේ එකේ රහ කවදාවත් අමතක වෙන්න විදිහක් නෑනේ. ඔයා තාම ඉස්සර වගේම ශුගර් කට් කරනවද? තාම යන්නෙ ඉස්සර ගියපු ජිම් එකටමද? මටත් ජිම් එකකට රෙජිස්ටර් වෙන්න ඕන අනේ. නැත්තම් කකා ගෙදෙට්ටම වෙලා හිටියොත් ඇඟ අවුට් යනවා” සෙලීනා ඇස් දෙකක් හීන් කරලා කවීන් දිහා බලලා හුරතල් විදියට කිව්වා.

කවීන් මුකුත්ම නොකියා සෙලීනා දිහා බැලුවත්, ඒ සංග්‍රහයන් රිජෙක්ට් කරේ නැහැ. මිනිහා කිසිම දෙයක් නොකියා තේ කෝප්පෙ අතට ගනිද්දී සෙලීනා තවත් කවීන්ට කිට්ටු වුණා.

 “අනේ කවීන්, අද හවසට අපි පොඩ්ඩක් එළියට යමුද? ඔය ඔෆිස් වැඩ විතරක්ම කරලා ඔයාටත් මහන්සි ඇතිනේ. මං ආසයි ඔයත් එක්ක පරණ තැන්වල ටිකක් ඇවිදින්න යන්න” සෙලීනා ආකර්ෂා ඉන්නවා කියලා ගාණකටවත් නොගෙන තමන්ගේ ප්ලෑන්ස් කියවන්න ගත්තා දිගටම.

මේ හැමදේම දකිද්දී, හැම දෙබසක්ම ඇහෙද්දී ආකර්ෂාගේ පපුව මැදින් මහා ලොකු රිදීමක් මතු වුණා. ඊයේ රෑ තමන්ගේ පපුවට තද කරගෙන සනසලා, අද උදේත් මාරම ආදරෙන් මැණික කියලා හාදුවක් දීපු කවීන්, දැන් තමන් ඉස්සරහම වෙන ගෑනියෙක්ගේ හුරතල් වචන අහගෙන, එයාගෙන් සැලකුම්ගන්න හැටි දකිද්දී කෙල්ලට දැනුණේ මහා ලොකු අසරණකමක්.

“ඇයි ආකර්ෂා… ඔයා කන්නේ නැත්තේ? මොකද බඩගිනි නැද්ද” කියලා ආච්චි අම්මා මාරම කිණ්ඩි ටෝන් එකකින් අහද්දි, සෙලීනා ආකර්ෂා දිහා බැලුවෙ මං දින්නා වගේ හිනාවක් දාගෙන.

කට්ටියම ඉන්න තැන තමන්ගේ හිතේ තියෙන ඒ දරුණු ඉරිසියාවයි, හිත් රිදීමයි පෙන්නන්න බැරි හන්දා කෙල්ල තොල් හපාගෙන බිම බලාගෙන මාරම අමාරුවෙන් ඉවසගෙන උන්නා කියලා එතන ඉන්න කාටවත් තේරුණාද මන්දා.

ඒ අස්සේ කවීන් තමන් දිහාම බලාගෙන ඉන්න විත්තිය ආකර්ෂාට යාන්තමට පෙනුණා. මිනිහා තමන්ගේ ඇස්වලින් මොනවා හරි ලොකු දෙයක් ආකර්ෂාට කියන්න හදනවා වගේ දැනුණා. හරියට සෙලීනා මේ කරන්නේ බොරුවක් කියලා හඟවන්න හදනවා වගේ. හැබැයි හිත හොඳටම රිදිලා තිබ්බ ආකර්ෂා, කවීන්ගේ ඒ බැල්ම සතයකටවත් මායිම් කරන්නේ නැතුව, තමන් ඒක නොදැක්කා වගේම මූණ සම්පූර්ණයෙන්ම අහකට හරෝගත්තා.

බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ ආකර්ෂාට එතන තවදුරටත් ඉන්න එක මහා වදයක් වගේ දැනුණෙ. කෙල්ල පිඟානත් අරන් සාලෙ මඟහැරලා, වලව්වේ පිටිපස්සෙ තියෙන ගාඩ්න් එක පැත්තට ආවේ හිතේ පිරිලා තිබ්බ පාලුවයි කේන්තියයි නිදහස් කරගන්න හිතාගෙන. සාලේ පැත්තෙන් තාමත් සෙලීනාගේ ඒ සෙල්ලක්කාර හිනා හඬයි, ආච්චි අම්මාගේ කපටි කටහඬයි යාන්තමට ඇහෙද්දී ආකර්ෂාගේ මුළු හිතම තව තවත් පෑරුණා. ජනේලයෙන් පිටත තියෙන විසාල වත්ත දිහා බලාගෙන කෙල්ල ලොකු හුස්මක් ඉහළට ගත්තේ හිත හයිය කරගන්නයි.

හැබැයි ඒ තනිකම වැඩි වෙලාවක් තියාගන්න සෙලීනා ඉඩ දුන්නේ නැහැ.

“ඔය ඉන්නේ තනියම… මං හිතුවා ඔයා මේ පැත්තට වෙලා අඬනවා ඇති කියලා” මාරම කපටි, ඒ වගේම උඩඟු හිනාවක් දාගෙන සෙලීනා එතනට කඩා වැදුණේ තමන්ගෙ හිත තවත් රිද්දන්න බලාගෙනමයි කියන එක කෙල්ලට නොතේරුණා නෙවෙයි.

සෙලීනා ඇවිත් බිත්තියට හේත්තු වෙලා, තමන්ගේ පාට ගාපු දිග නියපොතු දිහා බලන ගමන් මාරම උපහාසාත්මක විදිහට ආකර්ෂා දිහා බැලුවා. කෙල්ල සෙලීනා දිහා නොබලාම ඉන්න හැදුවත්, සෙලීනාගේ වචනවල තිබ්බ විසකුරු බව මුළු කොරිඩෝ එක පුරාම පැතිරිලා ගියා කියලා කෙල්ලට තේරුණා.

“ආකර්ෂා… මං ඔයාට පුංචි උපදෙසක් දෙන්නම්. ඔය මූණේ අහිංසකයි වගේ ලේබල් එකක් අලවගෙන, හිතන තරම් ලේසියෙන් නම් කවීන්ව අයිති කරගන්න, එයාගේ හිත දිනාගන්න පුළුවන් වෙයි කියලා හීනෙකින්වත් හිතන්න එපා” සෙලීනා අඩි කිහිපයක් ඉස්සරහට ඇවිත්, ආකර්ෂාගේ මූණටම එබිලා කිව්වෙ මහ නපුරු පාටට හැබැයි හිනාවෙවී. හරියට කවුරුහරි දැක්කොත් සැකයක් නොහිතන්න වගේ.

“ඔයා මොනවා ගැනද මේ කියවන්නේ සෙලීනා? කවීන් මගේ ෆියන්සේ. ඒක ඔයාට අමතක වෙලා වගේ” කෙල්ල තමන්ගේ හඬ උපරිමයෙන්ම පාලනය කරගෙන, කෙළින්ම සෙලීනාගේ ඇස් දිහා බලලා උත්තර දුන්නා.

“ෆියන්සේ?” සෙලීනා මහා හයියෙන් හිනා වුණා. ඒ හිනාවේ තිබුණේ ආකර්ෂාව පල්ලෙහාට දාලා කතා කරන මාරම බලු ගතියක්. 

“කඩදාසියක් උඩ අත්සන් කරලා විතරක්ම ඇති වෙයිද කවීන්ව ඔයා ළඟ නවත්තගන්න? ඔයා මේ වලව්වේ පරම්පරාව ගැන, කවීන්ගේ හැටි ගැන දන්නේ නෑ ආකර්ෂා. කවීන් කාටවත්ම මෙල්ල කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. හැබැයි… එකම එක කෙනෙක් ඉන්නවා කවීන්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කවීන් කවදා හරි කරන්නේ, කරන්න සිද්ද වෙන්නේ එයාගේ ආච්චි අම්මා කියන දේ විතරයි! ආච්චි අම්මාට ඕන කවීන් ළඟින් මාව තියන්න. ඉතින් හිතලා බලන්නකෝ ඉස්සරහට ඔයාට මොකද වෙන්නේ කියලා.”

සෙලීනා තමන්ට කරපු ඒ විවෘත අභියෝගයත්, ඒ මූණේ තිබ්බ මහා උඩඟුකමත් දැක්කම ආකර්ෂාට වචන නැති වුණා ආපස්සට දෙයක් කියන්න. සෙලීනා එහෙම කියලා ආයෙමත් වතාවක් මාරම කපටි හිනාවක් දාලා, හැරෙන තැපෑලෙන්ම සාලේ පැත්තට ඇවිදගෙන ගියේ ආකර්ෂාව මහා ලොකු අන්ධකාරෙක තනි කරලා.

සෙලීනා ගියාට පස්සෙත් ආකර්ෂා ඒ හිටපු තැනම ගල් වෙලා වගේ බලාගත්තු අත බලාගෙන උන්නෙ හිතේ වේදනාව දරාගන්න බැරිම හන්දා. කෙල්ලගේ මුළු ඇඟ පුරාම දිව්වේ නන්නාදුනන බයක් වගේම ලොකු නොසන්සුන්කමක්. අද උදේ කවීන් තමන්ට දුන්නු ඒ උණුසුම් හාදුවයි, ආදරණීය වචනයි, සෙලීනා මේ කියපු දරුණු කතාවයි එක්ක සැසඳෙද්දී කෙල්ලගේ ඔළුව පිස්සු හැදෙන්න වගේ තිබ්බෙ. 

කවීන් ඇත්තටම තමන්ට ආදරේ කරන්න පටන් අරන්ද, නැත්නම් මේ හැමදේම තාවකාලික රැවටීමක් විතරද?

තමන් කවීන් එක්ක දාගත්තු මේ ඩීල් එක, ආච්චි අම්මාගේ ප්ලෑන් එක සහ සෙලීනාගේ මේ දරුණු මැදිහත් වීම අස්සේ ඉස්සරහට මොන වගේ මහා දරුණු අවුලක පැටලෙයිද කියලා හිතාගන්න බැරුව ආකර්ෂා මහා ලොකු බයකුත් කුතුහලයකුත් හිතේ තියාගෙන ඉද්දීම, වලව්ව පුරාම ආයෙමත් මහා ගුප්ත සයිලන්ස් එකක් පැතිරිලා ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here