ආදර මල්වල පාට කියන්නද? – 33

0
379

“ස්ස්ස්ස්…ස්ස්ස්ස්” ගගා කවුරුහරි බිම දිගේ මහා බර දෙයක් ඇදගෙන යනවා වගේ අද්භූත සද්දෙකුයි, ඒ එක්කම කාගේදෝ හීන් බය හිතෙන කෙඳිරිලි හඬකුයි මුළු වලව්ව පුරාම රැව්දෙන්න ගත්තෙ පුදනකොටම කාපි යකා කියලා කවීන් ආකර්ෂව කිස් කරන්න යද්දිමයි.

ඒ සද්දෙට කවීන් වගේම ආකර්ෂා දෙන්නම එකපාරටම මාරම තිගැස්සීමකින් ගැස්සිලා වෙන් වුණා. ආකර්ෂා බයටම කවීන්ගේ ටී ෂර්ට් එකෙන්  තද කරලා අල්ලගත්තේ මුළු ඇඟම ගැහෙන්න ගනිද්දී. මෙච්චර වෙලා තිබ්බ අර ලස්සන රොමෑන්ටික් මනමාල හැඟීම් සේරම එක තත්පරයෙන් වාෂ්ප වෙලා ගිහින්, ඒ වෙනුවට මුළු කාමරේම පිරිලා ගියේ මහා මූසල, බය හිතෙන ගතියකින්.

“කවීන්… ඒ… ඒ මොකක්ද ඒ සද්දේ? අනේ මට තවත් බොරු කරන්න එපා. මේ වලව්වේ මොකෙක් හරි මල යකෙක් ඉන්නවා කියල මට හොඳටම විශ්වාසයි. එදා මං දැක්කෙත් ඌව. ඔයා දන්නවා ඌ ගැන. මට ඇත්ත කියනවකො. මොකද්ද මේ වෙන්නෙ?” ආකර්ෂා බයෙන් වගේම කලබල වෙලා කවීන්ගෙන් ප්‍රශ්න කරද්දී, කවීන්ගේ මූණත් බයටම සුදුමැලි වෙලා ගිහින් තිබුණේ හරියට මිනිහා මොකක් හරි මාරම දරුණු රහසක් හංගනවා වගෙයි කියලමයි ආකර්ෂට හිතුණෙ.

කවීන් ආකර්ෂාගේ අත තද කරලා අල්ලගෙන, “ෂ්… සද්ද කරන්න එපා ආකර්ෂා. ඔහොම ඉන්න” කියලා කිව්වෙ මාරම හෙමින්. ඊටපස්සෙ මිනිහා කාමරේ ලයිට් එක නිවලා දැම්මා. දැන් මුළු කාමරේම කළුවරයි. ජනේලෙන් වැටෙන හඳ එළිය විතරක් යාන්තමට කාමරේ ඇතුළට ගලාගෙන ආවා.

දෙන්නත් එක්කම හුස්ම හිරකරගෙන, අඩි සද්ද නොඇහෙන්න හිමින් සැරේ ගිහින් කාමරේ දොර යාන්තමට ඇරියා. එළියේ කළුවර කොරිඩෝව මළානික නයිට් ලෑම්ප් එළියෙන් එළියවෙලා තිබුණේ හෙනම අමුතු විදියට. දෙන්නා දොර අයිනට වෙලා එළිය බලන් ඉද්දීම, ආයෙමත් අර සද්දේ පඩිපෙළ කෙළවරින් ඇහෙන්න ගත්තා.

“ස්ස්ස්….ස්ස්ස්ස්”

ඒත් එක්කම ආකර්ෂා දැක්කා පඩිපෙළ කෙළවරේ තියෙන කළුවර මුල්ලෙන් හෙවනැල්ලක් වගේ දෙයක් වේගෙන් ඇදිලා යනවා. ඒක මනුස්සයෙක්ද, නැත්නම් හොල්මනක්ද කියලා හිතාගන්න බැරි තරමට ඒක මාරම වේගයෙන් කොරිඩෝවේ අනිත් පැත්තට හැරිලා නොපෙනී ගියා කියලා තමයි ආකර්ෂා දැක්කෙ.

ඒක දැක්ක ගමන් කවීන්ගේ මුළු ඇඟම ගැස්සිලා, මිනිහා ආකර්ෂාව තමන්ගේ පස්සට කරලා මාරම තිගැස්මකින් ආරක්ෂා කරන්න හැදුවා කියන එකත් කෙල්ලට තේරුණා. කොල්ලගේ අත මාරම විදිහට සීතල වෙලා, දාඩිය දාලා තිබුණේ මිනිහා මේ වෙච්ච දෙයින් උපරිමයටම බය වෙලා ඉන්න බව පෙන්නන්න්ද එහෙම නැත්තම් තමන් ඒ රහස දැනගනිවී කියන බයෙන්ද කියල එක ආකර්ෂට ඇත්තටම තේරුණේ නෑ.

“කවීන්… ඒ සෙලීනාද? ආච්චිද? අර එදා මං දැක්ක මනුස්සයද? නැත්නම්… නැත්නම් ඒ කවුද?” ආකර්ෂා ගැහෙන හඬින් කවීන්ගේ කනට කරලා ඇහුවෙ හයියෙන් කවීන්ගෙ අත අල්ලගන්න ගමන්.

“ඔයා මෙතනම ඉන්න, මං ගිහින් බලන්නම්” කවීන් එහෙම කියලා කොරිඩෝ එකට අඩියක් තියන්න හැදුවත්, ආකර්ෂා කොල්ලගේ අත අතහැරියේ නැහැ.

“නෑ, මාව මෙතන තනියම දාලා යන්න එපා. මාත් එනවා,” කෙල්ල බයෙන් වුණත් කිව්වෙ මේකෙ දෙකෙන් එකක් අද තමන් දැනගන්න ඕන කියලා හිතාගෙනමයි.

අන්න ඒ හන්ද තමයි දෙන්නත් එක්කම මාරම පරිස්සමෙන්, හාට් බීට් එක උපරිමයටම වැඩි වෙලා තියෙද්දී, අර හෙවනැල්ල ඇදිලා ගිය පැත්තට හිමින් හිමින් ඇවිදගෙන ගියේ. වලව්වේ ලී පඩි ලෑලි පෑගෙද්දී ආව හීන් සද්දෙට පවා පපුව ගැහෙන එක නැවතුණා වගේ කෙල්ලට දැනුණෙ. කොරිඩෝවේ කෙළවරටම ගිහින් වටපිට බැලුවත්, එතන කිසිම කෙනෙක් උන්නේ නැහැ. සෙලීනාගේ කාමරේ දොරත් මාරම තදට වහලා තිබුණේ. මුළු වලව්වම ආයෙමත් මීක් සද්දයක් නැතුව සයිලන්ට් වෙලා තිබුණෙ.

“කවුරුත් නෑනේ කවීන්… ඒ කියන්නේ ඒ හොල්මනක්ද?” ආකර්ෂා තොල් හපාගෙන කවීන් දිහා බලද්දී, කවීන් උන්නේ බිත්තියට හේත්තු වෙලා කල්පනා කරන ගමන්.

“යමු… අපි කාමරේට යමු” කවීන් කිව්වෙ හරිම බර හඬකින්.

දෙන්නත් එක්කම ආපහු හැරිලා ආකර්ෂාගේ කාමරේ පැත්තට ඇවිදගෙන ආවේ අන්න ඒ විදිහට. කාමරේට ඇතුළු වෙච්ච ගමන් කවීන් දොර වහලා ලොක් කරලා දැම්මා. හැබැයි මිනිහා වෙනදා වගේ සෙල්ලක්කාර හිනාවක් දාන්නවත්, තමන්ව ආයෙමත් එයාගෙ  පපුවට ඇදලා ගන්නවත් හැදුවේ නැහැ කියන එක ආකර්ෂාට තේරුණා.

මිනිහා මහා ලොකු හිතේ බරකින් වගේ ඇවිදගෙන ගිහින් ඇඳ අයිනෙන් වාඩි වුණා වගේ තමයි ඒ නිසාම කෙල්ල දැක්කෙ. ආකර්ෂාත් හිමින් සැරේ ඇවිත් කවීන්ගේ ළඟින්ම වාඩි වුණේ හිත ඇතුළේ පිරිච්ච කුතුහලයයි බයයි දරාගන්න බැරුව.

කාමරේ ඇතුළේ තියෙන්නේ මහා දරාගන්න අමාරු සයිලන්ස් එකක්. ජනේලෙන් ගලාගෙන එන හඳ එළිය විතරක් කවීන්ගේ මූණට වැටිලා තිබුණා. මිනිහා ඔලුව පහත් කරගෙන, අත් දෙක එකට එකතු කරගෙන සෑහෙන ලොකු, බර කල්පනාවක උන්නා. කවීන් මෙච්චර වෙලාවක් තිස්සේ මාරම අමාරුවෙන් හංගගෙන හිටපු ලොකු රහසක් මිනිහාගේ හිත ඇතුළේ තෙරපෙනවා කියලා කෙල්ලට හොඳටම තේරුණා. කොල්ලා හුස්ම ගන්නෙත් මාරම අමාරුවෙන් වගේ.

“කවීන්” ආකර්ෂා හිමින් සැරේ කවීන්ගේ ඩාදිය දාලා තිබ්බ සීතල අතක් උඩින් තමන්ගේ අත තියන ගමන් කතා කරා.

 “දැන්වත් මට ඇත්ත කියන්න. ඔයා ඔය හැමදේම හංගගෙන තනියම විඳවනවා මට බලන් ඉන්න බෑ. ඔයා හංගන්න හදන දේයි මේ වලව්වේ රෑට ඇහෙන සද්ද බද්දයි අතරේ තියෙන සම්බන්ධෙ මොකක්ද? එදා අර ඔෆිස් රූම් එක ඇතුලෙදි මට හම්බෙච්ච මනුස්සයා කවුද? අනේ මට පිස්සු හදවන්නේ නැතුව ඇත්ත කියන්න”

ආකර්ෂාගේ වචනත් එක්ක කවීන් ගැස්සිලා වගේ ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවා. මිනිහාගේ ඇස් දෙක මාරම විදිහට රතු වෙලා, කඳුළු කැට පිරිලයි තිබුණේ. වලව්වේ හැමෝම ඉස්සරහා මාරම ප්‍රතාපවත් විදිහට ඉන්න කවීන් මේ තරම් අසරණ වෙලා ඉන්නවා ආකර්ෂා ජීවිතේටම දැක්කේ අදමයි.

කවීන් ආකර්ෂාගේ අත තමන්ගේ දෑතටම අරන් තද කරලා අල්ලගත්තා. මිනිහාගේ ඇඟම බයට වෙව්ලනවා කෙල්ලට දැනුණා. කවීන් මාරම බර, බිඳිච්ච හඬකින් තමන්ගේ ජීවිතේ ලොකුම පාපොච්චාරණය කරන්න වචන එකතු කරගන්න හැදුවා.

“මට සමාවෙන්න ආකර්ෂා

 මං මේ හැමදේම ඔයාගෙන් හැංගුවේ ඔයාව බය කරන්න අකමැති නිසයි. අනික මට හිතුණා අපි දෙන්නා අතරෙ තියෙන ඩීල් එකට ඒ විස්තරේ ඔයා දැනගන්න ඕන නෑ කියලා. ඒත් දැන් අපි අතරෙ තියෙන්නෙ ඩීල් එකක් නෙවෙයිනෙ. ඒ හන්දා මං හිතනවා මම දැන්වත් ඔයාට මේ ඇත්ත කියන්නොන කියලා.

මේ වලව්වේ හැම තිස්සෙම ඇහෙන සද්ද බද්ද පිටුපස ඉන්නේ, කළුවරේ ඇවිදින්නේ, ඒ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආකර්ෂා…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here