“ඒ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආකර්ෂා. ඒ මගේ තාත්තා.”
කවීන්ගේ කටින් ඒ වචන ටික පිටවුණේ මහා බර හුස්මකුත් එක්ක.
ඒ එක්කම මිනිහා ඇඳ විට්ටමට ඔලුව තියාගෙන මාරම අසරණ විදිහට හයියෙන් අඬන්න ගත්තා. වලව්වේ හැමෝම ඉස්සරහා මාරම තේජවන්තව, කාටවත් ඔලුව නමන්නේ නැතුව හිටපු ප්‍රතාපවත් කවීන්, තමන්ගේ ඉස්සරහා පොඩි ළමයෙක් වගේ අඬනවා දැක්කම ආකර්ෂාගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. කෙල්ලට හිතාගන්නවත් බැරි වුණා මෙච්චර වෙලා තමන්ව බය කරපු අද්භූත සද්දේ පිටිපස්සේ හිටියේ කවීන්ගේ තාත්තා කියලා.
“තාත්තා…? ඒත් කවීන්, ඔයාගේ තාත්තා රට ඉන්නවා කියලනේ හැමෝම කියන්නේ? අනික… අනික එහෙනම් ඇයි එයා මේ විදිහට කළුවරේ බිම දිගේ මොනවා හරි ඇදගෙන මූසල සද්ද දාලා ඇවිදින්නේ?” ආකර්ෂා කවීන්ගේ වෙවුලන උරහිසකින් අල්ලලා, මාරම කුතුහලයකින් වගේම හිත උණු වෙලා ඇහුවා.
කවීන් තමන්ගේ රතු වුණු ඇස් පිහදාගෙන ආකර්ෂා දිහා බැලුවේ මාරම පසුතැවීමකින්.
“තාත්තට පොඩි මෙමරි ලොස් සීන් එකක් තියෙන්නෙ ආකර්ෂා. එයාට දැන් තමන් කවුද, කොහේද ඉන්නේ කියලා කිසිම මතකයක් නැහැ. සමහර දවස්වලට රෑ මැදට සිහිකල්පනාව සම්පූර්ණයෙන්ම නැති වුණාම, එයා හිතන්නේ එයා තාම ඉන්නේ අවුරුදු ගානකට කලින් අතීතෙ කියලා. අන්න ඒ වෙලාවට තමයි කාමරෙන් පැනල එක එක සද්ද දදා කොරිඩෝ දිගේ ඇවිදින්නේ. එයා හිතන්නෙ එයා ආයෙ ඔෆිස් එහෙම යන්න ඕන කියලා. එයාගෙ කාමරේ ඉඳලා ලයිබරි එක පිටිපස්සෙන් ඔෆිස් රූම් එකට එන්න සීක්‍රට් කොරිඩෝර් එකක් තියෙනවා. එයා ඔෆිස් යනවා කියල හිතන් ඒ කාලෙ කරන දේවල් කරන්න තමයි ඔහොම රෑට ඇහැරං පිස්සු නටන්නෙ.ආච්චිට නම් ඕන තාත්තව ගැටගහලා වගේ තියෙන්න. එතකොට එහෙ මෙහෙ යන්න බෑනෙ. ඒත් මං කොහොමද ආකර්ෂා එහෙම කරන්නෙ? ඒ මගෙ තාත්තනෙ” කවීන් කඳුළු පිරිච්ච ඇස් වලින් පාපොච්චාරණය කරද්දී ආකර්ෂා බලාගත්තු අත බලාගෙන උන්නා.
“එතකොට එදා මගේ කාමරේ බඩු ඔක්කොම සේරම බිම දාලා අවුස්සලා තිබ්බෙත්…?”
“ඔව්. එදා රෑත් තාත්තා සිහියක් නැතුව ඔයාගේ කාමරේට රිංගලා. ඔයා ඇහැරෙන්න කලින් මං කොහොමහරි තාත්තාව ආපහු කාමරේට ඇදගෙන ගියා. හැබැයි මං ආයෙ එද්දී තාත්තා ඔයාගේ බඩු සේරම බිමට ඇදලා දාලා විනාස කරලා තිබුණා. මං එදා ඒ බඩු ටික කලබලෙන් අහුලන්න හැදුවේ තාත්තා කරපු වැරැද්ද වහලා, ඔයාගෙන් මේ රහස හංගන්න ඕන නිසයි ආකර්ෂා මට සමාවෙන්න. ආච්චි ඔයා මෙහෙ ඉන්නවට අකමැතිත් තාත්තා ගැන දැනගෙන ඔයා ඒවා කාටහරි ගිහින් කිව්වොත් අපෙ නම්බුවට ලැජ්ජාවක් වෙයි කියලා හිතලා” කවීන් ආකර්ෂාගේ අත් දෙක තද කරලා අල්ලගෙන ආයෙමත් ඉකිගහන්න ගත්තා.
“ඒත් කවීන්, තාත්තා කෙනෙක්ට මෙච්චර අමාරු ලෙඩක් තියෙද්දී ඇයි ඔයාලා එයාව හොස්පිට්ල් එකකටවත් නොගෙනිහින් මේ වලව්වේ කාමරයක් අස්සේ හිරකරගෙන හංගන් ඉන්නේ?” ආකර්ෂාට ඒක දරාගන්න බැරිම තැන ඇහුවා.
කවීන් මහා පරාජිත හිනාවක් දාලා ඔලුව වැනුවා.
“හොස්පිට්ල්? මේක වලව්වක් ආකර්ෂා. පවුලේ නම්බුව, පරම්පරාවේ ගෞරවය හැමදේටම වඩා ලොකුයි අපේ ආච්චි අම්මාට. වලව්වේ මහත්තයා මේ වගේ සිහිකල්පනාවක් නැති අංශභාග රෝගියෙක් වගේ ඉන්නවා කියලා රටේ ලෝකේ මිනිස්සු දැනගත්තොත් වලව්වේ නම්බුව කුඩුපට්ටම් වෙනවා කියලා ආච්චි අම්මා තාත්තාව කාමරේක දාලා හංගන් ඉන්නේ ඒකයි. සෙලීනා මේ හැමදේම දන්නවා” කවීන් පපුව අල්ලගෙන කියවද්දී ආකර්ෂාගේ හිත පුච්චලා දාන්න වගේ මහා ලොකු වේදනාවක් දැනුණා.
කවීන් තමන්ගේ මූණ අත් දෙකෙන්ම වහගෙන මහා ලොකු වේදනාවකින් හුස්ම ගන්න ගමන් ආයෙමත් කතාව පටන් ගත්තේ ආකර්ෂාගේ මුළු ලෝකයම උඩුයටිකුරු කරන ගමන්.
“හැබැයි ආකර්ෂා… තාත්තාට මෙහෙම වුණේ නිකන්ම නෙවෙයි. මෙච්චර වැදගත් විදිහට, සිංහයෙක් වගේ හිටපු මගේ තාත්තා එක රැයකින් සිහිය විකෘති වෙච්ච, අංශභාග ලෙඩෙක් වගේ අසරණ මනුස්සයෙක් වුණේ මහා දරුණු ද්‍රෝහිකමක් දරාගන්න බැරුව” කවීන්ගේ කටහඬ මේ වෙලාවේ කඳුළුවලට වඩා පිරීලා තිබුණේ මහා ලොකු වෛරයකින් සහ කේන්තියකින් කියන එක ආකර්ෂට නොතේරුණා නෙවෙයි.
ආකර්ෂා බය වුණු පාරට ඇඳ ඇතිරිල්ල තද කරලා අල්ලගත්තා.
“ද්‍රෝහිකමක්? කවුද කවීන් තාත්තාට එහෙම කළේ?”
කවීන් කෙළින්ම ආකර්ෂාගේ ඇස් දෙක දෙස බැලුවෙ අන්න ඒ වචන එක්ක. ඒ ඇස්වල තිබ්බ බැල්ම කොච්චර රිදෙන එකක්ද කියනවා නම්, ආකර්ෂාගේ පපුව එකපාරටම හෝස් ගාලා පත්තු වුණා වගේ දැනුණෙ.
“මීට අවුරුදු පහකට කලින්… තාත්තා කරපු ලොකුම බිස්නස් එක සේරම සල්ලි, දේපලත් එක්කම එක රැයකින් නැත්තටම නැති කරලා, තාත්තාව මේ වගේ අගාධයකට ඇදලා දැම්මේ ඔයාගේ තාත්තා, ආකර්ෂා” කවීන් ඒ වචන ටික කියද්දී ආකර්ෂාට දැනුණේ තමන්ගේ ඔලුවට මහා හෙණගෙඩියක් පාත් වුණා වගේ.
“ම… මගේ තාත්තා? නෑ… වෙන්න බෑ කවීන්! මගේ තාත්තා එහෙම කරන්නේ නෑ. එයා එහෙම මනුස්සයෙක් නෙවෙයි. අනික අපේ තාත්තා ඔයාගෙ තාත්තගෙ බිස්නස් නැති කරා නම් අපෙ තාත්ත අද මෙහෙම දුක් විඳින මනුස්සයෙක් වුනේ කොහොමද?”
“නෑ ආකර්ෂා, ඒක තමයි ඇත්ත. ඔයාගේ තාත්තා කරපු ඒ මහා පරිමාණ වංචාව හින්දා අපේ පවුලම පාරට වැටෙන්න ගියා. ඒ සේරම ලැජ්ජාවයි, තමන් පණ වගේ විශ්වාස කරපු යාළුවා කරපු ද්‍රෝහිකමයි දරාගන්න බැරුව තමයි අපේ තාත්තා මෙහෙම ලෙඩෙක් වුණේ! එදා ඉඳන් අපේ මුළු පවුලම අපායකට වැටුණා. ආච්චි අම්මා මාව මෙහේ බිස්නස්වලට හිර කරද්දී, සෙලීනාලගෙ ෆැමිලි එකේ අය මේ හැම රහසක්ම දැනගෙන මාවයි අපේ පවුලේ නම්බුවයි බ්ලැක්මේල් කරලා එයාගේ සෙල්ලම් බඩුවක් කරගන්න හැදුවා. මං මෙච්චර දවස් ජීවත් වුණේ මැරිච්ච මිනිහෙක් වගේ ආකර්ෂා” කවීන් ඇඳ විට්ටමට අත් දෙකෙන්ම ගහන ගමන් කඳුළු හලද්දී ආකර්ෂා උන්නේ මුළු ඇඟම පණ නැති වෙලා වගේ ගල් වෙලා.
තමන් පණ වගේ ආදරය කරන, තමන්ගේ රැකවරණය වෙච්ච කවීන්ගේ පවුල විනාස වෙන්න මූලිකම හේතුව තමන්ගේම තාත්තා නේද කියලා තේරෙද්දී ආකර්ෂාගේ හිත මහා ලොකු අසරණකමකින් සහ ලැජ්ජාවකින් කුඩු පට්ටම් වෙලා ගියා.
. කවීන් තවමත් ඔලුව පහත් කරගෙන තමන්ගේ හුස්ම පාලනය කරගන්න උත්සාහ කරද්දී, ආකර්ෂා උන්නේ පියවි සිහියෙන් නෙවෙයි වගේ. කෙල්ලගේ කන් අස්සේ “ඔයාගේ තාත්තා… ඔයාගේ තාත්තා…” කියන වචන ටික විතරක් දෝංකාර දෙන්න ගත්තා. තමන් මෙච්චර දවසක් දේවත්වයෙන් සලකපු, ආදරය කරපු තමන්ගේ තාත්තා නිසා කවීන්ගේ පවුලට වගේම කවීන්ගේ තාත්තාට මෙහෙම ව්‍යසනයක් වුණා කියන එක කෙල්ලට දරාගන්න පුළුවන් සීමාවෙන් එහා තිබුණේ.
හැබැයි ඒ හැම වේදනාවකටම වඩා, කෙල්ලගේ හිත තිබ්බ තව දේකින් හොඳටම බය වෙලා.
මෙච්චර දවස් තමන් හිතන් උන්නේ කවීන් තමන්ට ඇත්තටම ආදරේ කරන්න ඇති කියලා. හැබැයි මේ හැමදේම පරණ වෛරයක්, පලියක් උඩ සිද්ධ වෙච්ච දේවල් වෙන්න බැරිද? කවීන් එකපාරටම තමන්ව හොයාගෙන ආපු එක, වටපිටාවේ හැමෝටම හොරෙන් තමන්ව මේ වලව්වට එක්කගෙන ඇවිත් මෙහෙම ෆියන්සේ කෙනෙක් කරගත්තේ ඇයි? කියන ප්‍රශ්න හිත අස්සෙ ඇදුම් කද්දි කෙල්ල උන්නෙ “මං ඒව කවීන්ගෙන් අහනවද නැද්ද කියලා” තමන්ගෙන්ම අහන ගමන්.
කෙල්ලගේ ඇස්වලින් කඳුළු කැට කම්මුල් දිගේ කඩා හැලෙද්දී, හිතේ තෙරපෙන මහා දරුණු සැකය වචන කරන්න කෙල්ල උපරිම ධෛර්යය එකතු කරගත්තා. හිත කොච්චර රිදුණත්, තමන් මේ අහන ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ හෙනම දුක හිතෙන එකක් වෙන්න පුළුවන් උනත් මේක නොඅහ ඉන්නවට වඩා අහලා එකපාර හිත රිද්දගන්න එක හොඳයි කියලා කෙල්ලට හිතුණා
“කවීන්”
කවීන් හීන් සැරේ ඔලුව උස්සලා ආකර්ෂා දිහා බැලුවෙ ඒ විදියට. ඒ ඇස්වල තිබුණේ මාරම අසරණ බැල්මක් වුණත්, ආකර්ෂාගේ හිත තිබ්බෙ ඊටත් වඩා අසරණ වෙලා. කෙල්ල තමන්ගේ අත් දෙකෙන්ම ඇඳ ඇතිරිල්ල තද කරලා අල්ලගෙන, වෙවුලන කටහඬින් කවීන්ගේ ඇස් දෙක දිහා කෙළින්ම බලාගෙන තමන්ගේ හිතට ආපු ඒ ප්‍රශ්නෙ අහලා දැම්මා.
“එතකොට ඔයා මාව මෙහෙම ඩීල් එකකට අල්ලගත්තේ, ඔයාගේ තාත්තාට මගේ තාත්තාගෙන් වෙච්ච දේට පලිගන්නද?”
කවීන් තප්පර ගාණක් ආකර්ෂා දිහා බලන් උන්නෙ හරියට කියන්න කිසිම දෙයක් නෑ වගේ. ආකර්ෂා බලන් උන්නෙ ඒ තප්පර ගාණ කල්ප ගාණක් දිගයි වගේ. හැබැයි ඒ කල්පෙ බිඳ වැටුණෙ කවීන් ඊලඟට කිව්ව දේත් එක්ක.
“ඔව්”


