ආදර මල්වල පාට කියන්නද? – 35

0
588

කවීන් තත්පර ගාණක් ආකර්ෂා දිහා බලන් උන්නෙ හරියට කියන්න කිසිම දෙයක් නෑ වගේ. ආකර්ෂා බලන් උන්නෙ ඒ තත්පර ගාණ කල්ප ගාණක් දිගයි වගේ. හැබැයි ඒ කල්පෙ බිඳ වැටුණෙ කවීන් ඊළඟට කිව්ව දේත් එක්ක.

“ඔව්…”

ඒ තනි වචනෙ කාමරේ තිබ්බ ෆෑන් හුලඟක් එක්ක මුහු වෙලා යද්දී ආකර්ෂාට දැනුණේ තමන්ගේ පපුව මැදින් පිහි පාරක් ඇඳගෙන ගියා වගේ මහා දරාගන්න බැරි වේදනාවක්. කෙල්ලගේ ඇස්වලින් කඳුළු කැට කම්මුල් දිගේ කඩං වැටෙද්දී, මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ කෙල්ලට දැනුණෙ. තමන් මෙච්චර දවස් ආදරය කළේ, තමන්ගේ මුළු ජීවිතයම කියලා විශ්වාස කළේ තමන්ගෙන් පළිගන්න ආපු හතුරෙක්ට නේද කියලා තේරෙද්දී කෙල්ලට තමන් ගැනම දැනුණේ මහා පිළිකුලක්. අප්පිරියාවක්.

හැබැයි ආකර්ෂාට මුකුත්ම කියන්න ඉඩක් තියන්නෙ නැතුවම කවීන් එකපාරටම ඇඳ උඩ දණගහලා, වෙවුලන අත් දෙකෙන් ආකර්ෂාගේ හීතල වෙලා තිබ්බ අත් දෙක තද කරලා අල්ලගත්තා.

“ඔව් ආකර්ෂා… මං මුලින්ම ඔයාව හොයාගෙන ආවේ, මගේ තාත්තා විඳවන හැම තත්පරේකටම වන්දියක් විදිහට ඔයාගේ තාත්තාගෙන් පළිගන්න ඕන හින්ද තමයි. මං ඔයාව මේ වලව්වට එක්කගෙන ආවෙත්, මේ ඩීල් එක ප්ලෑන් කරල ඔයාව මේ මඟුලට පටලගත්තෙත් මගේ හිතේ තිබ්බ ඒ මහා කාලකන්නි වෛරය හින්ද තමයි.

 හැබැයි

 හැබැයි මං දන්නෙම නැතුව කොතනකදි හරි තැනකදි ඒ හැඟීම මුළුමනින්ම වෙනස් වෙලා තිබුණා ආකර්ෂා” ಕවීන් කඳුළු අතරින්ම මාරම ආවේගයකින් සහ අසරණකමකින් කියවන්න ගත්තා.

ආකර්ෂා මාරම කේන්තියෙන් තමන්ගේ අත් දෙක කවීන්ගේ අත් දෙකෙන් ගලවගන්න හැදුවත්, කොල්ලා ඒ අත් දෙක තවත් තමන්ගේ පපුවට තද කරලා අල්ලගත්තා මිසක් අත ඇරියේ නැහැ.

“මාව අතාරින්න කවීන්, ඔයා කියන්නෙ මට ඔයා කියන දේවල් විශ්වාස කරන්න කියලද? මෙච්චර දවසක් ඒ කියන්නෙ ඔයා තනි බොරුවක්ද කරේ? මගේ ආදරේ සෙල්ලමකට ගත්ත එක නේද ඔයා කරලා තියෙන්නෙ?” ආකර්ෂා ඇහුවෙ ඉකි ගහ ගහ් අඬන ගමන්. ඇත්තටම කෙල්ල උන්නෙ මේ කිසිම දෙයක් දරාගන්න පුළුවන් තැනක නෙවෙයි. එක පැත්තකින් සෙලිනා කවීන්ගෙ කරේ එල්ලි එල්ලි හිත හීනියට රිද්දද්දි අනිත් පැත්තට කවීන් තමන්ට පෙන්නලා තියෙන්නෙ බොරු ආදරයක්ද කියලා හිත සැක කරද්දි මේ වේදනාවල් දරාගන්නෙ කොහොමද කියන එක ආකර්ෂටත් හිතාගන්න බැරිවෙච්ච දෙයක්

“නෑ ආකර්ෂා, දෙවියන් පල්ලා නෑ

 මං ඔයාට ආදරෙයි

ඒක බොරුවක් නෙවෙයි. මං දන්නවා මං කරපු දේ මාරම වැරැද්දක් කියලා. හැබැයි ඔයාගේ ඔය අහිංසක හිනාව, මං වෙනුවෙන් ඔයා පෙනී උන්න විදිහ අපෙ ආච්චි ඉස්සරහදි, ඔයාගේ ඔය හොඳ ගතිගුණ ඉස්සරහා මගේ හිතේ තිබ්බ වෛරෙ දිය වෙලා යන්න වැඩි කාලයක් ගියේ නෑ. මං ඔයාට ඇත්තටම ආදරේ කරන්න ගත්තේ මගේ මුළු හිතෙන්මයි. ඒක බොරුවක් නෙවෙයි. මට දැන් ඔයා නැතුව ජීවත් වෙන්න බැරි තරමට මං ඔයාගේ ආදරේ අස්සේ අතරමං වෙලා ඉන්නේ. අනේ මට එක සැරයක් සමාවෙන්න මැණික. ප්ලීස් මං බොරුවක් නෙවෙයි කරේ. කවදාවත් මගෙ ආදරේ මං බොරුවක් නෙවෙයි කරේ” කවීන් ඇඳ විට්ටමට ඔලුව තියාගෙන ළමයෙක් වගේ හයියෙන් හඬා වැටෙද්දී ආකර්ෂා උන්නේ මහා ලොකු වංකගිරියක අතරමං වෙලා වගේ.

හිත එක පැත්තකින් කවීන් කරපු මහා ද්‍රෝහිකම හින්දා කෑගහලා අඬද්දී, අනෙක් පැත්තෙන් කොල්ලගේ ඇස්වල තියෙන මේ ඇත්තම ආදරේ සහ අසරණකම දැකලා කෙල්ලගේ හිත මාරම විදිහට පෑරෙන්න ගත්තා. කවීන් තමන්ට ලං වුණේ පලියක් ගන්න වුණත්, දැන් මිනිහා තමන්ට පණ වගේ ආදරේ කරනවා නේද කියලා කෙල්ලට හිතුණත්, ඒ හැමදේම පිළිගන්න කෙල්ලගේ ආත්මගරුත්වය ඉඩ දුන්නේ නැහැ. තමන්ගේ තාත්තා කරපු වංචාව වගේම කවීන් තමන්ව පාවිච්චි කරපු හැටි එකකට එකක් පැටලිලා මුළු හිතම තිබ්බෙ මහා මූසල, බර අන්ධකාරයකින් පිරිලා ගිහින්.

ආකර්ෂා තමන්ගේ අත් දෙක මාරම වේගයෙන් කවීන්ගෙන් ගලවගෙන ඇඳෙන් නැගිටලා අහකට හැරුණා. කෙල්ලගේ හිත ඇතුළේ කේන්තිය, ලැජ්ජාව වගේම මහා පිළිකුලක් එකට එකක් කැලති කැලති තිබුණෙ.

“මට තමුසෙගේ ඔය බොරු ආදරේ වැඩක් නෑ කවීන්. පලි ගන්න මාව මෙහේට ඇදලා දාලා දැන් එනවා මෙතන රඟපාන්න. ඕකද එතකොට සෙලීනා දන්න රහස? ඒකිත් එක්ක එකතු වෙලාද තමුසෙලා මේ සේරම සෙල්ලම් දැම්මේ?” ආකර්ෂා මූණත් රතු කරගෙන, කඳුළු පිහදාන ගමන් කෑගැහුවා.

කවීන් ඇඳ උඩින් නැගිටලා මහා පරාජිත විදිහට ඔලුව බිමට හරවගත්තා. මිනිහා හතිදාන ගමන්, ආයෙමත් තමන්ගේ ජීවිතේ තවත් එක ඇත්තක් ආකර්ෂා ඉස්සරහා දිග අරින්න වචන එකතු කරගත්තා.

“නෑ ආකර්ෂා. සෙලීනා මේ ඩීල් එක ගැන දන්නේ නෑ. හැබැයි… හැබැයි සෙලීනා මගේ අතීතය ගැන හැමදේම දන්නවා. මං ඔයාට හැමදේම කියන්නම්. මීට අවුරුදු කිහිපයකට කලින්, සෙලීනා ලංකාවට ආපු මුල් කාලේ මං එයාට මාරම විදිහට ලං වුණා.අපි අතරෙ සැහෙන දුර දිග ගිය සම්බන්ධයක් තිබ්බා ආකර්ෂා. මං බොරු සිල් රකින්න ඕන නෑනෙ ඔයා ඉස්සරා. අපි දෙන්නා එකට ඉඳලා පවා තියෙනවා. මම ඇත්තටම හිතුවෙ ටිකක් වෙස්ටර්න් විදියට හැදුණට සෙලීනා මට ඇත්තටම ආදරෙයි කියලා. මමත් එයාට ලව් කරා. ඇත්තටම ඔය ඉස්කෝලෙ යන කාලෙ තිබිච්ච පොඩි පොඩි පලහිලව් ඇරුණම මම සීරියස්ලි කරපු පලවෙනිම අෆෙයාර් එක තමයි සෙලීනා” කවීන් ඒක කියද්දී ආකර්ෂාගේ මුළු ඇඟම එකපාරටම ගැස්සිලා  වගේ ගියා. කෙල්ල කවීන් දිහා බැලුවේ අදහාගන්න බැරි බැල්මකින්.

“ඔව් මං හිතුවේ ඒක තමයි මගේ ජීවිතේ කියලා. හැබැයි ඒ හැමදේම එකපාරටම නැති වුණේ සෙලීනා මාව රවට්ටපු හන්දා. සෙලීනා ලංකාවට ඇවිත් මාත් එක්ක රිලේශන්ශිප් එකක් හදාගෙන තිබ්බෙ එයාට එහේ වෙන අෆෙයාර් එකක් තියෙද්දිමයි. ඒ කොල්ලා මට අඬ අඬ කතා කරනකම් මම එහෙම දෙයක් දැනගෙන උන්නෙ නෑ. ඒක මට අතටම අහුවෙච්ච දවසේමයි මං සෙලීනාව මගේ ජීවිතෙන් සදහටම අයින් කරලා දැම්මෙ. එදායින් පස්සේ මගේ හිතේ කිසිම ගෑනියෙක්ට ඉඩක් තිබුණේ නැහැ. මං මළ මිනිහෙක් වගේ ඉද්දී තමයි, මට අහම්බෙන් වගේ ඔයාව හම්බුණේ. ඒත් සෙලීනා එක්ක අෆෙයාර් එක බ්‍රෙක් වෙලා එතකොට අවුරුදු තුනක් විතර. මං කවදාවත් හිතුවෙ නෑ සෙලීනා මේ විදියට ආයෙ ඒවි කියලා. සෙලීනාගෙයි මගෙයි රිලේශන්ශිප් එක බ්‍රේක් උනා කියල දන්නවා උනාට ආච්චි අම්මා දන්නෙ නෑ එහෙම වුණේ ඇයි කියන එක. එයා සෙලීනට කැමති එයාලා අපි එකම ලෙවල් එකේ මිනිස්සු හන්දා මිසක් සෙලීනාව මට ගැලපෙනවා, මං සෙලීනට කැමති ද නැද්ද කියන එක හිතලා නෙවි. අපේ ආච්චිට මේ හැමදේටම වඩා වටින්නෙ නම්බුව ආකර්ෂා. එයාට ඕන අපි දුක් විඳලා හරි නම්බුවට ගැලපෙන විදියට ඉන්නවට.” කවීන් ගැහෙන හඬින් කියවගෙන ගියා.

ඒත් ආකර්ෂා උන්නෙ ඒ කිසිම දෙයක් ඇහෙන මානෙක නෙවෙයි. ආකර්ෂගෙ හිත තිබ්බෙ සෑහෙන දුර ගිහින්.

“ඇති කවීන් දැන් ඔය ඇති! මට තවදුරටත් මේ විකාර අස්සෙ හිරවෙලා ඉන්න කිසිම උවමනාවක් නැහැ. පලි ගන්න මාව මෙහේට ඇදලා දාලා, දැන් මගේ ඉස්සරහා අඬ අඬා ආදරේ ගැන කියවන්න ලැජ්ජ නැද්ද? මං දැන්ම මෙහෙන් යනවා. ඔයා අපේ ගෙදර ඔයාගෙ නමට ලියාගෙන අපිව පාරට ඇදලා දැම්මත් කමක් නෑ. මම තව එක තප්පරයක්වත් මේ ගෙදර ඉන්නෙ නෑ. ”

ආකර්ෂා කඳුළු පිහදාන ගමන් මාරම ආවේගයකින් ගිහින් වෝඩ්‍රෝබ් එක ඇරලා තමන්ගේ බෑග් එක ඇඳ උඩින් තියලා ඇඳුම් ටික ඔබන්න ගත්තේ කේන්තියට මුළු ඇඟම ගැහෙද්දී. කවීන් දුවගෙන ඇවිත් කෙල්ලව නතර කරවන්න හදද්දීම, එකපාරටම වලව්වේ පල්ලෙහා තට්ටුවෙන් මහා බය පිරිච්ච මර ලතෝනි කෑගැහිල්ල මුළු වලව්ව පුරාම රැව්දීගෙන ගියේ සාලේ පැත්තෙන් මොනවහරි ඇදගෙන වැටෙන මහා කලබල සද්දෙකුත් එක්කමයි.

ඒ මර ලතෝනියට දෙන්නම එකපාරටම මාරම විදියට ගැස්සිලා යද්දී, ඊළඟට සිද්ධ වෙන්න යන මහා විනාසෙක සේයාවක් දැනෙද්දී, දෙන්නාම දෙන්නට දෙන්නා දිහා  බලාගත්තේ මහා බයකින් වගේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here