“මම නුලාරාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.”
අවසන චාරුක පැවසූයේ මද හඬකින්ය.
“නුලාරා ගැන වැරදියට හිතන්න එපා චාරුක. කවද හරි දවසක එයාට ඔයා නැති වෙයි කියලා එයා ඉන්නේ බයෙන්.”
“විශ්වාසයක් නැති තැනක ආදරයක් තියෙනවද? එයා මාව ඒ විදිහට අවිශ්වාස කරයි කියලා මම කොහොමටවත්ම හිතුවේ නෑ”
“ආදරේ වැඩිකමටත් සමහර විට මිනිස්සු අනිත් කෙනාව අවිශ්වාස කරන්න පුළුවන්.”
“මේ ප්‍රශ්නෙන් කාලෙක ඉඳලා මමත් ලොකු පීඩනයක ඉන්නේ. මම හිතුවේ නෑ නුලාරා කවදාවත් ඒ වගේ පටු විදිහට හිතන කෙනෙක් කියලා. එයා මගේ ජොබ් එක ගැන තේරුම් අරගෙන ඇති කියලා මම විශ්වාස කළා.”
“ප්ලීස් චාරුක එච්චර කලබල වෙන්න එපා. අපි මේ වෙලාවේ ටිකක් එයා ගැන වැඩිපුර හිතමු. සමහර විට ඩිලිවරි එකෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාට ඇත්තටම පුළුවන්ද ටික කාලෙකට හරි මන්දස්මිව මේ දේවල් වලින් අයින් කරන්න.”
“ඒක කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සංකල්පනී. මන්දස්ම් මෙතන කරන්නෙත් ජොබ් එකක්. හේතුවක් නැතුව අපිට බැහැ කෙනෙක් ජොබ් එකෙන් අයින් කරන්න. විශේෂයෙන්ම මේ වෙලාවේ මන්දස්මි කියන චරිතේ අපිට සෑහෙන්න වටිනවා. මං ගැන වරදවා හිතන්න එපා.”
“මට චාරුක කියන දේ තේරෙනවා.”
“කවුරු හරි මම ගැන වැරදි අදහසක් එයාගේ ඔලුවට දාලද?”
“සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට එහෙම දෙයක් ගැන කිව්වෙ නැහැ. මන්දස්මි නිසා එයාට ඔයාව නැති වෙයි කියලා බයෙන් එයා ඉන්නේ ඉන්නේ. ඒ ගැන විතරයි මම දන්නේ.”
“මේ විදිහට එයාට දුක් වෙන්න, හිතන්න, පීඩනයක් ගන්න හොඳ නෑ සංකල්පනී. එයා මේ ඉන්නේ එහෙම අවස්ථාවක නෙමෙයි.”
“මමත් දන්නෙ නැහැ මේ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියලා. චාරුක මම මේ ප්‍රශ්නෙට මැදිහත් වුණා කියලා ඔයා වැරදි විදිහට හිතන්නත් එපා. මං පුළුවන් තරම් උත්සහ කරනවා මේ වෙලාවේ නුලාරව සන්සුන් කරගන්න. ඒ වෙනුවෙන් මොනවා හරි දෙයක් ඔයාට කරන්න පුළුවන්කම තියෙනවනම් ඒක කරන්න.”
අවසන සංකල්පනී දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය.
‘අපේ නෝනා තවම නිදි’ යනුවෙන් පැවසූ සෝමා දොඩම් යුෂ වීදුරුවක් ගෙනැවිත් සංකල්පනී ඉදිරියෙන් තැබුවේ එවේලෙහිය.
“නෝනයි මහත්තයයි මොනවට හරි උදේ කතා වුනාද සෝමා…”
බොහෝ විට මෙවන් විසල් නිවාස වල ඇතුළත තත්ත්වය හරිහැටි දැනගත හැකි වන්නේ නිවසේ මෙහෙකාරියන්ගෙන්ය. සංකල්පනී තමාගේ තත්ත්වය පසෙක තබා සෝමාගෙන් එසේ විමසූයේ යමක් හරි හැටි වටහා ගන්නටය.
“එහෙම කතාබහක් නං ඇහුනේ නැහැ. හැබැයි අපේ නෝනා ඉන්නේ එච්චර හිත හොඳකින් නෙමෙයි. ඉස්සර මේ ගෙදර තිබුණු සතුට දැන් නෑ සංකල්පනී මිස්. අපේ සුදු මහත්තයයි නෝනයි හිටියේ කුරුලු ජෝඩුවක් වගේ. නිතරම හිනාවෙවී කියව කියව, එතකොට මේ ගේ පිරිලා තිබුණා. ඉස්සර වගේම අපේ සුදු මහත්තයා නෝනා ගැන හොයලා බලනවා කියලා මට හිතෙනවා. කෑම ගැන බලනවා අපේ නෝනව පරිස්සම් කරනවා. ඒ උනාට අපේ නෝනා ඉන්නෙ සතුටකින් නෙමෙයි. මොකක්දෝ දෙයක් තියෙනවා මිස්”
“නෝනා එහෙම ඉන්නේ ඇයි කියලා සෝමට හිතාගන්නම බැරිද.?”
“අනේ මන්ද මිස්. අපේ නෝනට මොනවයින් අඩුපාඩුවක්ද. සර් ඉල්ලන පරක්කුවෙන් හැමදේම අපේ නෝනට ගෙනත් දෙනවා. නෝනගේ අම්මයි තාත්තයිත් හරි ආදරෙයි. ඒ දෙන්නත් පුළුවන් වෙච්ච හැම වෙලාවකම ඇවිල්ලා අපේ නෝනගේ තනියට ඉන්නවනේ. මේ ගෙදර ලොකු නෝනයි මහත්තයයි සුදු නෝනයි තුන්දෙනාම කතා කරලා සැරින් සැරේ අපේ නෝනගේ වගතුග හොයනවා. අපේ සුදු මහත්තයත් බෝධිසත්ත්වයෙක් වගේ දරුවෙක්නෙ සංකල්පනී මිස්. මනුස්සයෙක්ගේ හිතක් රිද්දන්න වචනයක් කතා කරන්නේ නෑ.”
“මට තේරෙනවා සෝමා. ප්‍රෙග්නන්ට් කාලෙදි සමහර අය වෙනස් වෙනවා කියලා කියනවනේ. ඒ නිසා සෝම මේ ගැන චාරුකගේ අම්මල තාත්තල එක්කවත් කියන්න යන්න ඕන නෑ. නුලාරා ටිකක් බයෙන් ඉන්නේ. මේ වෙලාවේ අපි එයා එක්ක ඉන්න ඕනේ. සෝම මේ කිසි දෙයක් ඔයාගේ නෝනගෙන් අහන්න යන්න එපා.”
“අනේ නෑ. මට බැන්නත් සැර උනත් මම ගිහිල්ලා කන්න බොන්න මොනවද ඕනේ කියලා අහලා හැමදේම කරනවා. අපේ නෝනත් හරියට පුංචි දරුවෙක් වගේනෙ.”
“දැන් සෝම යන්න. බයවෙන්න එපා. මමත් නෝනා එක්ක ඉන්නවනේ..”
සංකල්පනී එසේ පැවසූයේ හිස්කළ දොඩම් යුෂ වීදුරුව සෝමා අත තබමින්. චාරුක කතා කළේ යම් කලකිරීමක් සිත තුළ සඟවා ගෙනයැයි ඇයට සිතුනේ එවේලෙහිය. මෙතරම් සැප සම්පත් ලැබී තිබියදීත් ඒවා සතුටින් සැනසීමෙන් භුක්ති විඳිය නොහැකි නුලාරා අවාසනාවන්තියකයැයි සංකල්පනීට සිතුනේ ප්‍රථම වතාවටය. හේතුවක් නොමැතිව සැකය පමණක් පදනම් කරගෙන ගැටුම් ඇති කරගන්නා පවුල් ඕනෑ තරම්ය. විවාහයෙන් පසු රන්දිකගේ ජීවිතයෙහි මුල් තැන සොයා ගිය තමාට ලැබුණේ දෙවැනි තැනය. එහෙත් නුලාරා එසේ නොවේ. මේ නිවසේ තීන්දු තීරණ ගනිමින්, සියල්ල පාලනය කරමින් තමාගේ තැන හදා ගන්නට අවස්ථාව ඇයට ලැබී තිබුණේ විවාහයත් සමගමය. දන්නා තරමින් චාරුකගේ මව, පියා හෝ සොහොයුරිය ඒවාට ඇඟිලි ගැසුවේ නැත. නුලාරා මේ නැතිකර ගන්නේ තමාට හිමි තැනය. නිදහස් ජීවිතයය.
*************
උදෑසන දහයට යොදාගෙන තිබුණු මාධ්‍ය හමුවට සහභාගී වීමට තීරණය කර තිබුණේ චාරුකත්, මන්දස්මිත්, තේජනත්ය. කාර්යාලයෙහිම වූ විශේෂිත ගොඩනැගිල්ලක පැවැත් වූ ඒ මාධ්‍ය හමුව සඳහා දිවයිනෙහි සියලුම මාධ්‍ය ආයතන වලින් සහභාගී වී සිටියහ. කළු පැහැ කෙටි ගවුමක් ඇද නවීන විලාසිතාවකට අනුව සකස් කළ කොණ්ඩය ගෙල තෙක් කඩා දමාගෙන උන් මන්දස්මි කාර්යාල කාමරයට ඇතුළු වද්දීත් චාරුක වූයේ නුලාරාගේ වදන් ගැන කල්පනාවේය.
“මොනවා හරි ප්‍රශ්නයක්ද චාරුක…?”
ඇය ඇසුවේ අවසර නොපතාම ඔහු ඉදිරිපස වූ සුවපහසු පුටුවෙන් අසුන් ගනිමින්ය. කාලයක් තිස්සේම වර්ණ ඇඩ්වර්ටයිසින්හි ප්‍රචාරක වැඩ වලට සම්බන්ධ වී සිටි නිසා මන්දස්මිට චාරුකවත්, තේජනවත්, මේ කාර්යාලයවත් අමුත්තක් වූයේ නැත. අමායා සමග පවා ඕ වැඩ කටයුතු කරගෙන ගියේ සැහැල්ලු වෙන්ය.
“ආ…නෑ…මන්දස්මි.”
“ඔයා කල්පනා කර කර ඉඳපු හින්දයි චාරුක මං එහෙම ඇහුවේ. වයිෆ්ගේ ඩිලිවරි ඩේට් එකත් ළඟ ඇති නේද.?”
“අද තමයි ඩේට් එක හරියටම ඩොක්ටර් කියන්නේ. මට හිතෙනවා මම වැරදි කාලෙකද මේ ෂෝ එක ඕගනයිස් කරන්න තීරණය කළේ කියලා.”
“වයිෆ්ට් වඩා චාරුක ස්ට්‍රෙස් වෙලා.”
එවර මන්දස්මි පැවසූයේ තමාගේ වල ගැසෙන කොපුල් වලින් සිනහවක් තබාය.
“සමහර විට..ෆස්ට් එක්ස්පීරියන්ස්නේ…”
“මේ දෙකම ඔයාට විශේෂයි චාරුක. වයිෆ්ට පළවෙනි බබා හම්බවෙන එක වගේම කම්පැනි එකට අවුරුදු පනහක් පිරෙන එකත් ඔයාට සමරන්නේ නැතුව ඉන්න පුළුවන් කාරණා නෙමෙයි. මේ දවස් දෙකම ආපහු ඔයාගේ ජීවිතේ කවදාවත් එන්නේ නැති දවස් දෙකක්. ඉට්ස් ඕකේ…ඒ ගැන ලොකු පීඩනයක් ගන්න එපා. මේ පැත්තෙන් ෂෝ එකේ වැඩකටයුතු හොඳටම කෙරීගෙන යනවා. අපි ඉන්වයිට් කරපු කිසිම ආටිස් කෙනෙක් ඒ ඉන්විටේෂන් එක රිජෙක් කරේ නෑ. එතකොට අපි ෂෝ එක පවත්වන්න තීරණය කරපු තැන්වලවත් ඒ ෂැඩුල්ස් වලවත් ටිකට්ස් ඉශූ කරන එක ගැනවත් සිකියුරිටි එක ගැනවත් දැනට කිසිම ගැටළුවක් නෑ. ඔයාට ඉන්නේ සිංහයෝ වගේ ටීම් එකක්. අනිවාර්යෙන් ඒ අය ඔයාව ආරක්ෂා කරනවා. තේජන, අමායා විතරක් නෙමෙයි චාරුක ඔයා මේ වැඩේට තෝරා ගෙන ඉන්න ටීම් එකම මාර දක්ෂයෝ. ඉතින් එහෙම තියෙද්දි ඔයා මේ වැඩේ ගැන ඔලුවෙ තියන ස්ට්‍රෙස් එක අයින් කරන්න. ඔයාගේ ජීවිතේට අනිත් විශේෂ කාරණය ගැන මේ දවස්වල වැඩි අවධානයක් දෙන්න.”
මන්දස්මි දිගින් දිගටම පවසාගෙන යද්දී චාරුක අසා සිටියේ සිනහවක් මුවෙහි තබා ගෙනය. කාලය, මිනිසුන් රූපයෙන් පමණක් නොව සිතුම් පැතුම් වලින්ද වෙනස් කරමින් සිටී. මේ ලෝකය දෙස සැහැල්ලුවෙන් බැලූ මන්දස්මිය. ‘පිස්සුම කෙල්ලෙක්’ යැයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුන්වා දුන් යුවතියය. සියල්ලෝම පවසන්නේ ඒ ටිකය. එහෙත් චාරුක වූයේ කිසිවෙකුට කියාගත නොහී වූ පටලැවිල්ලකය. මන්දස්මි විවාහ වීමට සිටියේ කැනඩාවේ ජීවත් වන ධනවත් ව්‍යාපාරික පවුලක එකම පුතණුවන් සමඟය. තවමත් ඇගේ ප්‍රේක්ෂක හිතවතුන්ට සහ මාධ්‍යවලට රහසක් වූ ඒ විවාහ පොරොන්දුව ගැන දැන සිටියේ චාරුකත් ඇයට හිතවත් වූ කිහිප දෙනෙකුත් පමණි. විවාහයෙන් පසුව ඇය කැනඩාවේ පදිංචියට යන බවත්, වසරකට වරක් දෙවරක් පමණක් ලංකාවට පැමිණ සීමිත නිර්මාණ ප්‍රමාණයකට පමණක් සහභාගී වන බවත් චාරුක හා පැවසූයේ මින් දින කිහිපයකට ඉහතදීය. පෙරදා රාත්‍රියේ ඔහු උත්සාහ දැරුවේ නුලාරා හා ඒ බව පවසන්නටය. එහෙත් ඈ එකඳු වදනක්වත් අසන්නට කැමති වූයේ නැත.
***********
ධනුක සවස නිවසට ගියේ වෙනදාට වඩා වේලාසනින්ය. උදෑසන නුවර සිටම යතුරුපැදියෙන් පැමිණ නිසා ඔහුට දැනෙමින් තිබුණේ වෙහෙසකි.
සංකල්පනී සාදා ගෙනවිත් දුන් තේ කෝප්පයත් බටර් බනිස් ගෙඩියත් සිය දෑත් වලින් අල්ලා ගත් ධනුක ඈ දෙස නිරීක්‍ෂණයෙන් බලා සිටියේ ඒ මුවෙහි වෙනසක් ඇත්දැයි සොයන්නටය. පුදුමය සංකල්පනී ගම ගැනවත් තමා මගහැරි දුරකථන ඇමතුම් ගැනවත් කිසිවක් නෑසුවාය.
“කොහොමද දැන් නුලාරාගේ තත්වේ…”
අවසන ඔහු ඇසුවේ කතා බහක් ගොඩ නගන්නටය.
“අනේ මන්දා. එහේ තත්වේ එන්න එන්නම නරක අතට හැරෙනවා කියලා මට හිතෙනවා. ඊයෙ එයා මන්දස්මිව අයින් කරන්න කියලා චාරුකට තදින්ම කියලා. මං අද චාරුක එක්ක කතා කළා.”
“ඒ මොකටද..?
“නුලාරා ගැන. චාරුකනම් කියන්නේ මන්දස්මිව එහෙම අයින් කරන්න බෑ කියලා.”
අද හවසත් මන්දස්මි ඇවිල්ලා චාරුක සර්ගේ ඔෆිස් එකට වෙලා කියව කියව හිටියා.
“ඔයාට නිකමටවත් හිතෙනවද ධනුක ඒ දෙන්න අතරේ එෆෙයාර් එකක් තියෙනවා කියලා.”
“තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සල්ලිකාරයන්ගේ ජීවිතවල එහෙම දේවල් තියෙන එක පුදුමයක් නෙමෙයි. නුලාරට තියෙන්නේ එහෙම තිබුණත් ඕව ගණන් නොගෙන ඉන්න. අපිට කාටවත් චරිත සහතික දෙන්න බෑ. මන්දස්මිල උනත් මේවා ඇතුලේ ඔය තරම් නිදහසේ හැසිරෙන්නේ සමහර විට එහෙම සම්බන්ධතා නිසා වෙන්න පුළුවන්.”
“එහෙනම් සමහරවිට නුලාරා මේ විදිහට හැසිරෙන්නේ ඒ ගැන එයාටත් මොනවා හරි දැනගන්න ලැබුණු නිසාද දන්නෙ නෑ.”
“කියන්න බෑ ඉතින්.”
“එක අතකින් ඒව තිබුණත් නැති වුණත් අපිට මොකටද. මට නුලාර ගැන දුකයි. ඒකයි මං මේ විදිහට හරි එයාට උදව් කරන්නේ. හොඳම දේ තමයි ඔය දෙපැත්තෙන් එක පැත්තකටවත් කතා නොකර එයාලා අපෙන් ඉල්ලන උදව්ව විතරක් කරල දෙන එක. මොකද අන්තිමට එයාලා හොඳ වෙන්න පුළුවන් අපි නරක් වෙන්න පුළුවන්.”
“ඒ උනාට ඔයා චාරුක එක්ක එහෙම කතාබහ කරලා ඉන්න එක හොඳයි. ඒ කම්පැනි එකේ වුණත් අපිට ඉහලට යන්න සෑහෙන්න තැන් තියෙනවා. තේජන ලොක්කාගේ උනත් සැලරි එක ලක්ෂ දෙක තුනක් ඇති මගේ හිතේ. බලන්නකො මිනිහට දීල තියෙන සැප වාහනේ. හැමදාම මෙතන ඉන්න නෙමෙයි. අපි ට්‍රයි කරන්න ඕනේ ඒ වගේ තැනකට එන්න. ඔයා පුළුවන් තරම් ඒ දෙන්නට හිතවත් වෙලා ඉන්න. ඒ දෙන්නගෙ පවුල් ප්‍රශ්න කොහොමත් ඇති වෙයි නැති වෙයි. අපි ඒවට උදව් කරන්නේ අවංකවමනේ. පුළුවන් තරම් අපි ගන්න ඕන චාරුකගේ පැත්ත. කවද හරි දවසක ඒ කොම්පැනි එකේ ඉහළ පුටුවකට යනවා කියන්නේ අපි දෙන්නගෙ හීනෙත් හැබෑ වෙනවා කියන එක සංකල්පී…”
ධනුක එවර පැවසූයේ අඩක් හිස් කළ තේ කෝප්පය සංකල්පනී අතට ලබා දෙමින්ය.ඒ මුවඟෙහි වූ කපටි සිනහව ඈ දුටුවේ නැත. දින කිහිපයකට පසු ධනුකට තුරුළු වූ සංකල්පනී තේ කෝප්පය බී නිම කළේ එක හුස්මටය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


