නුලාරා තම සැමියා සමග වෛද්‍යවරයා හමුවට ගියත් ඔහුගේ වදන් සියයකට ඇය ලබා දුන්නේ එක පිළිතුරකි. වෛද්‍ය සොහාන් එදිනක් පැවසූයේ ඇයත් දරුවාත් හොඳ සෞඛ්‍ය තත්වයක සිටිනා බවය. රාත්‍රී ආහාරය සඳහා අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයකට ගියත් ඇය ආහාර ගත්තේ මද වශයෙන්ය. නුලාරා ප්‍රිය කරන සමහර ආහාර වර්ග සඳහා චාරුක පෙරැත්ත කළත් ඇය ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළාය. නාඳුනන්නන් සේ ගත කළ ඒ පැය කිහිපය ඔහුගේ සිතට එක්කලේ දුකකි.
ඇගේ මේ නිහඬවීමම චාරුකගේ සිතට ඉවසුම් නොදෙන්නක් වී තිබිණ. එහෙත් යළිත් මන්දස්මි පිළිබඳව කතාබහක් ගොඩ නගාගෙන සිත රිදවා ගන්නට ඔහුගේ සිතෙහි වූයේ අකමැත්තකි. පෙර දිනක දුරකථනයෙහි ගබඩා කරගත් සංකල්පනීගේ අංකයට චාරුක ඇමතුමක් ලබාගත්තේ යළි නිවසට පැමිණ නුලාරා නිදන කාමරයට ගියාට පසුවය.
පෙර දිනවල නිදහසේ ගේ උයනට වී ඔහේ කියවමින් ගත කළ කාලය සිහිව චාරුකට හෙළුනේ නිහඬ සුසුමකි. එදවස නුලාරාට කියවන්නට අසන්නට ඕනෑ තරම් දේ විය. එහෙත් අද ඇය අසාමාන්‍ය ලෙස නිහඬය.
චාරුකගෙන් දුරකථන ඇමතුම පැමිණෙද්දී ධනුකත් සංකල්පනීත් ඇඳ මතට වී සිටියේ ජංගම දුරකථනයේ යූ ටියුබ් හරහා අලුතෙන් රූප රචනය කළ ගීතයක් නරඹමින්ය.
“මේ කෝල් එක චාරුකගෙන්….”
සංකල්පනී ධනුක දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.
“ඔයා ආන්සර් කරන්න ස්පීකර් ෆෝන් දාන්න. මම කෝ කියලා ඇහුවොත් බෑන්ඩ් එකේ පැට්‍රිස් වලට ගියා කියන්න.”
හිස වැනූ සංකල්පනී ජංගම දුරකථනයේ ස්පීකරය ක්‍රියාත්මක කළාය.
“සංකල්පනී මම චාරුක…”
“ඔව් චාරුක කියන්න…”
“මේ ප්‍රශ්නය මට විසඳ ගන්න විදිහක් තේරෙන්නෙ නෑ සංකල්පනී. ඇයි නුලාරා මාව තේරුම් ගන්නේ නැත්තේ කියලා මට හිතාගන්න බෑ.”
“ඇයි චාරුක ඩොක්ටර් ගාවට ගියහම මොකද කිව්වේ..”
“ෆිසිකලි එයාට ප්‍රශ්නයක් නෑ සංකල්පනී. ඒත් මේ මන්දස්මිගේ ප්‍රශ්නෙ ඕනවට වඩා දුරදිග යනවා කියලා මට හිතෙනවා.”
“නුලාරා රණ්ඩු කරනවද..?”
“එහෙම නැහැ. ඒත් එයා වැඩිය මා එක්ක කතා කරන්නේ නැහැ. මං ආපහු ඒ ගැන කතා කරන්න ගියෙත් නැහැ. එයා එහෙම ඉදපු කෙනෙක් නෙමෙයි”
“අපි තව පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉමු චාරුක.”
“ධනුක මේ ප්‍රශ්නෙ ගැන දන්නවද?”
සංකල්පනී එහා පස උන් ධනුක දෙස බැලුවේ ඔහු එසේ අසද්දීය. ධනුක හිස වනා පෙන්වූයේ ඇයට නැතැයි පවසන ලෙසය.
“ධනුක නෑ චාරුක. පැට්‍රිස් වලට ගිහිල්ලා. මං එයා එක්ක මේ කිසිම දෙයක් කිව්වෙ නැහැ. පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා තමයි. හැබැයි ඉතින් ඒවා ඕනවට වඩා දුරදිග ගෙනියන්න ඕනෙ නැහැ. මම හෙටත් එනවා. මං හිතන්නේ මේ දවස් ටිකේ ආන්ටියි අංකලුයි එනවට වඩා මම නුලාරා ළඟ ඉන්න එක හොඳයි කියලා.”
“අනේ ප්ලීස් සංකල්පනී එයාට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න. මට මේක කරන්න පුළුවන් දෙයක් උනානම් මම දෙපාරක් හිතන්නෙ නැහැ. මේක කම්පැනි එකට සම්බන්ධ ප්‍රශ්නයක්.”
චාරක දුරකතන ඇමතුම නිමා කළේ තවත් තත්තර කිහිපයකට පසුවය. ධනුකගේ මුවෙහි අවඥාගත සිනහ රැල්ලක් ඇඳී තිබෙනු සංකල්පනී දුටුවේ එවේලෙහිය.
“මුන්ට තියෙන ප්‍රශ්න…”
“ඔයා ඔෆිස් එකේ කිසිම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න එපා ධනුක. නුලාරා පව්. ඊට වඩා චාරුක පව්. මට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට මොනවද කරන්න ඕනේ කියලා.”
“ඔයා ප්‍රශ්නෙ වවන්න…”
“මොකක්…”
“ඔයාට තියෙන්නේ ඔය ප්‍රශ්නෙ වවන්න. වැඩි කරන්න..සංකල්පනී අපිට අඩුපාඩු ගොඩයි. මතක තියාගන්න ඔයා ඔතන නොහිටියනං මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න නුලාරා වෙන කෙනෙක් තෝර ගන්නවා. මේ වෙලාවේ අපිට තියෙන්නේ එයාලගේ ප්‍රශ්නෙන් ප්‍රයෝජන ගන්න එක.”
“ප්‍රශ්නෙකින් කොහොමද ධනුක ප්‍රයෝජන ගන්නේ…”
“ඔයා හිතුවද කවදාවත් තමන්ගෙ වයිෆ්ගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න චාරුක ඔයාට කෝල් එකක් ගනියි කියලා…ඔය කතා කලේ රඹුක්වැල්ල ගෲප් එකේ අයිතිකාරයා”
“මමත් චාරුකට කතා කළා නේ..”
“ඔව්.. ඒක වෙනම කතාවක්. හැබැයි චාරුක දන්නවා මේ වෙලාවේ එයාගේ වයිෆ් විශ්වාසයෙන් ආශ්‍රය කරන්නේ ඔයා විතරයි කියලා. එයාට මේ වෙලාවේ මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න වෙන කෙනෙක් නෑ කියලා.”
“චාරුක උනත් දිගින් දිගටම නුලාරගේ මේ දේවල් ඉවසයි කියලා මට හිතන්න අමාරුයි. මේ කෙල්ල තේරුම් ගන්නෙම නැහැනේ. එයාගේ සමහර තර්ක ගාවදි නිහඬ වෙනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැහැ.”
“අපි තව ටිකක් චාරුකට ළං වෙන්න බලමු. ඒ ලංවීම තුළින් මට පුළුවන් ඔෆිස් එකේ ඉහලම තැනකට යන්න. ඔයා නුලාරාට කියන්න ඔයාගේ කලින් මැරේජ් එක ගැන කිසිම දෙයක් චාරුක එක්ක කතා කරන්නත් එපා කියලා.”
“මං හිතන්නෙ නෑ චාරුකත් එක්ක එයා එහෙම දෙයක් කතා කරයි කියලා.”
“අපිට මේ වෙලාවේ ඕනේ ගෙයක් දොරක් හදාගෙන දරුවෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න. නුලාරට ලැබිච්ච දේවල් විඳින්න එයාට පින නැත්නම් අපිට කරන්න දෙයක් නෑ. සංකල්පි මේ අපේ චාන්ස් එක. හොඳම දේ තමයි පුළුවන් තරම් චාරුකට ලංවෙලා අපි අපේ ගමන යන එක. නුලාරා අපිට ඔය කම්පැනි එකට ඔලුව ඔබාගන්න උදව් කළා තමයි. හැබැයි මොනම විදිහකින් හරි අපිට චාරුකව මේ විදිහට හිතවත් කරගන්න ලැබෙනවා කියලා කියන්නේ අපි දිනනවා කියන එක.”
සංකල්පනී කිසිවක් නොකියා අසා සිටියේ ධනුක දෙසම බලාගෙනය. ඔහු මේ පවසන්නේ සත්‍යයකි. කොළඹ ජීවත් වීමටනම් අඩුම තරමේ තමන්ට කියා පර්චස් තුන හතරකවත් නිවසක් තිබිය යුතුය. මෙහෙන් එහෙටත් එහෙන් මෙහෙටත් ගෙවල් මාරු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ධනුකගේ රැකියාවේ හැටියට ගමට යාමට අපහසුය. වර්තමානයේ අග හිඟකමක් නොමැතිව ජීවත්වන්නේ වර්ණ ඇඩ්වර්ටයිසින් විසින් ලබනා වැටුපට පින් සිදු වන්නටය. ධනුක පවසන පරිද්දෙන් ඉහළට යන්නට ඔහුට ඕනෑවටත් වඩා සුදුසුකම් වේ. ඊට අවැසි වන්නේ තල්ලුවකි.
“ඔය ප්‍රශ්නෙදි ඔයා නුලාර ගාවදි නිහඩ වෙන්න චාරුක ළඟදී කතා කරන්න. මං කියන්නේ නුලාරාගේ වැරදි කියන්න කියන එක නෙමෙයි. මේ වෙලාවෙදි ඔයා එයා එක්ක ඉන්න බව පෙන්නන්න. ඔයා වැඩ කරන්නේ චාරුකට පක්ෂව කියන එකත් අඟවන්න. ඔයාට තේරෙනවනේ. දෙපැත්තම සතුටු කරන්න”
සංකල්පනී එවේලෙහිත් හිස වැනුවේ ‘ඔව්’යැයි පවසමින්ය. තමාගේ කියා නිවසක් හිමිකරගෙන දරුවෙකු දෙදෙනෙකු සාදාගෙන ජීවත් වීමේ සිහිනය ඇගේ සිතට වද දෙන්නේ අද ඊයේක සිට නොවේ. රන්දික මෙන් නොව ධනුක උපරිමයෙන් ආදරය කරන්නට දන්නා කෙනෙකි. ඔහු ළඟ ගත කරන මේ ජීවිතය සතුටකි. දැන් ඇයට අවැසි වන්නේ ඔහුගේම වී තමාගේ කියා ජීවිතයක් ගොඩනඟා ගන්නටය.
*************
දිනෙන් දින දියණියගෙන් දකින වෙනස්කම් සිතාරාගේ සිතට මහා වදයක් වී තිබිණ. අදත් උදෑසන ඇය කතා කරමින් පැවසූයේ යෙහෙළිය පැමිණෙන නිසා තමා එහි පැමිණීම අනවශ්‍ය බවය. එක අතකින් මෙවේලෙහි සංකල්පනී දියණියගේ තනි නොතනියට පැමිණීම හොඳයැයි සිතාරා විශ්වාස කළාය. සෝමා පවා පවසන්නේ සංකල්පනී පැමිණියාට පසුව දියණිය සිනහවෙන්, සතුටින් කාලය ගත කරනා බවය. උදෑසනට කුරක්කන් පිට්ටුවක් සහ ලුණු මිරිසක්, මිරිකා ගත් පොල් කිරි ටිකක් සාදා නිම කරගත් සිතාරා මුළුතැන් ගෙය තුළම වූ කුඩා රවුම් මේසය ආසන්නයේ වූ පුටුවකින් අසුන් ගත්තේ වෙහෙසකර අයුරින්ය. ඒ වෙහෙස දැනෙමින් තිබුණේ ඇගේ ගතට නොව සිතටය.
“මොකක්ද මේ වෙලා තියෙන්නේ කොයි වෙලාවෙ බැලුවත් කල්පනාව..”
පැරකුම් මුළුතැන් ගෙයට එබුණේ එසේ පවසාගෙනය.
“මං මේ හිත හිත හිටියෙ දුව ගැන..”
“මං ඔයාට කීප වතාවක්ම කිව්වා ඒ ළමයා ඒ ළමයාගේ පාඩුවේ ඉන්නවා. ඇයි ඔයා මේ අනවශ්‍ය දේවල් ඔලුවට බරක් කර ගන්නේ. ඊයේ රෑත් ඔයා චාරුකට කතා කරනවා මං අහගෙන.”
“ඒ එයාලා ඊයේ ඩොක්ටර් ගාවට යනවා කියලා කිව්වනේ.”
“ඉතින් මොකද ඒ ළමයා කිව්වේ.?”
“ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා. ලබන මාසෙ තුන්වෙනිදාට ඩේට් එක දුන්නලු.”
“ඉතින් චාරුකට ප්‍රශ්නයක් නැත්නම් ඔයා මොකටද ප්‍රශ්නයක් කර කරගන්නේ?.”
“ඔයාට අපේ දුවගේ කිසිම වෙනසක් තේරෙන්නේ නැද්ද පැරකුම්. එහෙම නැත්නම් ඔයා නොතේරෙනවා වගේ ඉන්නවද?”
“පොඩි පොඩි වෙනස්කම් නැතුව නෙමෙයි. හැබැයි එයා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් කියන එක ඔයා මුලින්ම තේරුම් ගන්න. “
“මමත් එහෙම කාලයක් පහු කළා.”
“එක එක්කෙනාට තියෙන කායික අපහසුතා වෙනස්. අනිත් එක ඔයා ඒ කාලේ අන්තිම මොහොත වෙනකම්ම ඔෆිස් ගියා. අපේ දුව නිකං ගෙදරට වෙලා ඉන්නේ. වැඩිපුර ටිකක් නිදාගන්න එක ටිකක් කල්පනා කර කර ඉන්න එක අමුතු දෙයක් නෙමෙයි. එයාගේ අතට පයටත් හැමදේම ලැබෙනවානම් එයාට කරන්න දේකුත් නැහැනේ. ඔයා මේ අහස පොළොව ගැටලන්න වගේ ඒ ගැන හිතුවට ඒ ළමයි සතුටින් ජීවත් වෙනවා. ඔන්න ඔහේ තියන දෙයක් බෙදලා ගන්න කන්න මට බඩගිනියි.”
සිතාරා නැගී සිටියේ දිගු සුසුමක් මුදා හරිමින්ය. සැමියා කුමක් පැවසුවත් එසේ සැහැල්ලූවෙන් සිතා සිත හදාගන්නට හැකියාවක් ඇයට වූයේ නැත. අදටත් දරුවෙකුගේ දුකත් සතුටත් හරි හැටි දැනෙන්නේ අම්මා කෙනෙකුට පමණක්යැයි සිතාරා විශ්වාස කළාය. සිනාසුනාට කතා කළාට නුලාරා සිටින්නේ සතුටින් නොවන වග විශ්වාසය. කුරක්කන් පිට්ටු කැබලි කිහිපයක් ලුණු මිරිසත් පොල්කිරිත් කුඩා දීසි වලට දැමූ සිතාරා ඒවා මුළුතැන් ගෙය තුළම මේසය මතින්ම තැබුවේ කිසිවක් නොකියමින්ය. පැරකුම් කෑම කන්නෙත් දිනපතා පත්තරය පෙරළාගෙනය.
(හෙටත් හමු වෙමු ආදරයෙන්)


