ආදර මල්වල පාට කියන්නද? – 38

0
1140

ආකර්ෂා වික්‍රමසිංහ මහත්තයව බලාගන්න වැඩේ පටන් ගත්තෙ ආන්න ඒ විදියට. මෙච්චර දවසක් උදේ දවල් රෑ වෙනසක නැතුව කාමරෙ අස්සටම වෙලා හිරවෙලා උන්න වික්‍රමසිංහව ගෙදර උන්න සර්වන්ට්ලගෙ උදව්වෙන් වීල් චෙයාර් එකේ තියාගෙන කාටවත් පේන්නෙ නැති වෙන්න වැහිලා තියෙන පිටිපස්සෙ ගාඩ්න් එකට එක්කරගෙන යන්න වගේම, කෑම කවන, තේ පොවන, එක එක පොත්වල කොටස් උපුටගෙන කියන පුංචි පුංචි මෝමන්ට්ස් ක්‍රියෙට් කරන්න ආකර්ෂට පුළුවන් වුණා.

“අපේ පවුල්වල රහස් මේ පවුලෙන් පිට එක එක අයට කියන එකම ඩේන්ජරස් කියලා තමුන්ට තේරෙන්නෙ නැද්ද කවීන්?” කියලා ආච්චි අම්මා අහද්දි “ආකර්ෂා කියන්නෙ පිට කෙනෙක් නෙවෙයි කියලා මං ආච්චි අම්මට වතාවක් කිව්වනෙ. අනික තාත්තා අසනීපයි කියන එක ඔච්චරට හංගන්න හේතුවෙන රහසක් එන්නෙ කොහොමද ආච්චි අම්මා. මිනිස්සු ලෙඩවෙනවා. ඒක ලෝකෙ සොබාව” කියලා කවීන් ආකර්ෂා කරන හැම දේටම හ්ම් කියන්නෙ නැතුව උදව් කරද්දි ලේඩි කලම්බු හවුස්ට සිද්ද උනා කට වහගෙන පැත්තකට වෙන්න.

හැබැයි සෙලීනාව කාමරේට ගෙන්න ගෙන ලේඩි කලම්බු හවුස් කුටු කුටු ගාන්නෙ තව මොකක් හරි විනාසයක් අත ලඟටම අරගෙන එන්න විත්තිය තේරිච්ච හන්දා ආකර්ෂා කෝකටත් කරන හැමදෙයක්ම වගේ කරේ කරන්න කලින් කවීන්ව දැනුවත් කරලා.

ඒ විදියට තමයි මුලින් ආකර්ෂා එක්ක එළියට යන්න, අවුරුදු ගානකට පස්සෙ දකින්න ලැබිච්ච ඉර එළිය, ගස් කොලං දකින්න අකමැති වෙච්ච, ඒව දකිද්දි කලබල කරපු වික්‍රමසිංහ මහත්තයා ආකර්ෂාගෙ ආදරේ ළඟ, කණට මී පැණි වක්කරනවා වගේ හඬින් කියන පොත්වල කතන්දර ලඟ පොඩි ළමයෙක් වගේ සැනසෙන්න පටන් ගත්තෙ.

ටික දවසක් යද්දි වෙනදා පොඩි දේටත් කලබල කරපු තාත්තා දැන් ඉස්සරට වඩා කලබල ගතිය අඩුයි කියන එක වගේම, වෙනදට දෙයක් කියද්දි අහක බලාගෙන ඉන්න තාත්ත දැන් දෙයක් කිව්වම හරියට ඒ කිව්ව දේ තේරුණා වගේ තමන් දිහාවම බලාගෙන ඉන්න විත්තියත් ආකර්ෂා වගේම කවීනුත් සෑහෙන්න නෝටිස් කරා.

“ආදරේ ළඟදි මිනිස්සු වෙනස් වෙනවා කියන එක මම ලොකුවටම තේරුං ගත්තෙ, ඉගෙන ගත්තෙ ඔයාගෙන්” කියලා කවීන් කිව්වෙ අන්න ඒ වගේ ලස්සන හැන්දෑවක් තේ බිබී, තාත්තට ඇහෙන්න පොතක කොටසක් කියවලා ඉවර වෙලා තාත්තට රැට කෑම කවලා පොවලා, වොශ් දම්මවලා නිදි කරවන්න දාලා ආකර්ෂා එක්ක මින්ට් ටී එකක් බොන ගමන් ආකර්ෂගෙ කාමරේ බැල්කනි එකේ වාඩිවෙලා ඉන්න ගමන්.

“ඒ කොහොමද?”

“ඔයා මගේ ජීවිතේට ආවයින් පස්සෙ වෙනස් වුනේ මගෙ ජීවිතේ විතරක් නෙවෙයි අපෙ තාත්තගෙ ජීවිතෙත් වෙනස් වෙලා වඩා හොඳ විදියට. ඇත්තටම ඔයා කියනකම් මට කවදාවත් හිතුනෙ නෑ අපි එක්කම අපේ ජීවිතවලට තාත්තව මීට වඩා ලින්ක් කරගන්න විදි තිබ්බා කියන එක”

කවීන් එහෙම කිව්වේ ඉස්සර වගේ වික්‍රමසිංහ මහත්තයට වෙනම කාමරේක තියලා කෑම කවන පුරුද්දෙන් මිදිලා කට්ටියම එක්කහු වෙලා කෑම කන තැනටම ඒ මනුස්සයව ගෙනත් කවන්න පොවන්න පුරුදු වුනයින් පස්සෙ කියන එක ආකර්ෂට නොතේරුණා නෙවෙයි. මුල් දවස්වල නම් ලේඩි කලම්බු සෙවන් ඒකට විරුද්ධව දාන්න පුළුවන් හැම ඩාන්ස් එකම දැම්මට මොකෝ කවීන් පොඩ්ඩක්වත් තමන්ගෙ මතෙ වෙනස් කරන්නෙ නැතුව ඉද්දි තමන්ට ගඟ ගලන දිහාවටම ගලාගෙන යන්න වෙනවා කියන තේරුංගත්තා වගේ නාකිච්චියි සෙලීනයි දෙන්නා උන්නා කිසි සද්දයක් නොකර.

ඒ විදියට තමයි වික්‍රමසිංහ මහත්තයා තමන්ගෙ කාමරේ ඉඳලා කෑම කාමරේ ළඟට ගමන් යන්න පටන් ගත්තෙ. ආකර්ෂා බොහොම ආදරෙන් කෑම අනලා කවන්න පටන් ගත්තට මොකෝ තමන්ගෙ ඇඟට වඩා බරවෙච්ච ඔලුව හොල්ල හොල්ල වික්‍රමසිංහ මහත්තයා කනවා දකින වාරයක් පාසා සෙලීනගෙ මූණ අප්පිරියාවෙන් වස කැත වෙනවා දැක්කම නම් ආකර්ෂාට ඒකිට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න ශොට් එකක් දෙන්න හිතුණත් “මෙව්වා ඉතින් තමුන්ගෙ තැන්” නෙවෙයි හින්දා කෙල්ල සද්ද නැතුව තමයි උන්නෙ.

“ඇයි ඔයා එකපාර එහෙම දෙයක් කියන්න හිතුවෙ?” කියලා ආකර්ෂා ආයෙ වතාවක් කවීන් කිව්ව දේ ඇහුවෙ කොහොමත් ගෑනු ඔය වගෙ ටොපික්ස් ඇදලා හාරවුස්සලා දේවල් දැනගන්න තියෙන ආසාව මේන්න මෙච්චරයි කියලා ආය ආය නිකන් ඔප්පු කරන්න වගේ.

“එකපාර නෙවි ඇත්තටම මම ටික දවසක ඉඳලා හිතුව දෙයක් ඒක. අනික මට හිතුනා මම ඒක හිතලා විතරක් මදි මම ඒක ඔයා එක්ක කියන්නත් ඕන කියලා. මට ඒක ලොකුවටම තේරුනේ අපේ තාත්තා අසනීප උනයින් පස්සෙ මැණික. තාත්තා අසනීප වෙන්න කලින් මං කොච්චර දැනගෙන උන්නත් මම තාත්තට ආදරේ බව මට කවදාවත් ඒක එයාට කියාගන්න පුලුවන් වුනේ නෑ. දැන් මම ඒක කොච්චර කිව්වත් ඒක තාත්තට තේරෙනවද නැද්ද කියලත් මම දන්නෙ නෑ. ඉතින් එහෙමෙකේ මට හිතුණා ඔයාට මං මේක කියන එක තව පරක්කු කරන්න ඕන නෑ කියන එක

ඇත්තටම අපි මේක ඩීල් එකක් විදියට පටන් ගත්ත බව ඇත්ත. ඒ උනාට ඔයා හින්දා මං සෑහෙන්න වෙනස් වුනා කියන එක මං පිළිගන්න ඕන. ඒ වගේම මං ඒකට ඔයාට තෑන්ක් කරන්නත් ඕන” කියලා කවීන් කියද්දිත් ආකර්ෂා උන්නෙ ඇස් දෙක අස්සෙ කඳුළු පුරවගෙන කවීන් දිහාම බලාගෙන උන්න එක.

“ඔයා මට ආදරෙයි කිව්වට තැන්ක්‍යු ඒ වුණාට ඔයාට හිතෙන්නෙ නැද්ද ඒක කවදහරි ඔයා පසුතැවෙන දෙයක් වෙයි කියලා”

“ඇයි එහෙම අහන්නෙ?”

“මොක වුණත් ඔයයි මමයි කියන්නෙ සමාජෙ පංති දෙකකින් ආව මිනිස්සු දෙන්නෙක්. කවදහරි දවසක ඒ නොගැලපීම ඔයා ඔය කියන ආදරේට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අනික ඔයාගෙ ආච්චි අම්මා හරි පවුලෙ වෙන කෙනෙක් හරි කවදහරි දැනගත්තොත් ඔයා මේ යාලුවෙලා ඉන්නෙ ඔයාගෙ තාත්තගෙ බිස්නස් විනාස කරපු මනුස්සයගෙ දුව එක්ක කියල, ඒ වගේම අපෙ තාත්තත් වුණත් ඒක දැනගත්තොත් ඔයා හිතනවද මෙහෙම සම්බන්ධෙකට අපිට ඉඩ දේවි කියලා.

ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙයි එහෙම උනොත් අපිට” කියලා ආකර්ෂා කියද්දි නම් කොල්ලටත් ඒත් හිතුවා ඒක වෙන්න බැරිකමක් නෑ නේද කියලා.

“මං කියන්නෙ නෑ එහෙම දෙයක් වෙන්න බෑ කියලා. ඒ උනාට හෙට වෙන්න තියෙන දේවල් ගැන දැන්ම දුක් වෙන්න තියාගත්තොත් අපිට මේ මෝමන්ට් එක එන්ජෝයි කරන්න වෙන්නෙ නෑ නේද?”

“මේ මෝමන්ට් එක එන්ජෝයි කරන්න කියලා හිතාගෙන ඔය කියන්නෙ අපි හෙට දවස ගැන අමතක කරන්න ඕන කියලද?”

“මට හිතෙනව සමහර වෙලාවට අපි ඕනවට වඩා හෙට දවස ගැන වොරි වෙන එකෙන් මේ වෙලාවෙ අපිට ක්‍රියේට් කරගන්න තියෙන ගොඩක් මෝමන්ට්ස් අඩු වෙනවා කියලා. මං කියන්නෙ නෑ අපිට ප්‍රශ්න එන එකක් නෑමයි කියලා. සමහර විට අපි නොහිතන ලෙවල් එකේ ලොකු ප්‍රශ්නවලට ෆේස් කරන්න අපි දෙන්නටම වෙයි.

හැබැයි ඒ හැමදේකටම පස්සෙත් වැදගත් වෙන්නෝන ඔයයි මමයි එකට ඉන්න එක නේද?” කියලා කවීන් තමන් දිහාවට පාත්වෙලා කම්මුලක් හෙමීට ඉඹින ගමන් කියද්දි කෙල්ලට ඇත්තටම පුළුවන් වුනේ ලැජ්ජාවෙන් හිනාවෙන්න විතරයි.

“කෙලවිලා ගියත් අපි ඉන්නෙ ආතල් එකේ” කියලා කියන්න වගෙ තමයි කෙල්ල හීන් සැරේ කවීන් ගෙ උරහිසක් උඩ ඔලුව තියාගෙන ඇස් පියාගත්තෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here