ආදර මල්වල පාට කියන්නද?-41

0
153

ඒ වෙලාවේ මුළු කාමරේ තිබ්බ සයිලන්ස් එක කෙල්ලගේ හිතට මාරම නොසන්සුන්කමක් ගෙනාවා කිව්වොත් හරියට හරි. ජනේලෙන් ගලාගෙන ආපු ඉර එළිය කෙළින්ම වැටුණේ අර පරණ ෆයිල් එකේ පලවෙනි පිටුව උඩට..

හැබැයි ඒකේ තිබ්බ පලවෙනි පිටුවේ උඩින්ම ගහලා තිබ්බ ලාංඡනයයි අකුරු ටිකයි දැක්කා විතරයි, ආකර්ෂා එකපාරටම ගල් ගැහිලා ගියා.

කෙල්ලට තමන්ගේ ඇස් දෙක අදහගන්නත් බැරි වුණා.

“මේ ඩොකියුමන්ට් එක මම මීට කලින් දැකල තියෙනවනෙ” කියලා කෙල්ල කියාගත්තෙ අන්න ඒ හන්දා. ඇත්තටම කෙල්ල ඒක කළින් දැකලා තිබ්බා. මේ වෙන ඩොකියුමන්ට් එකක් නෙවෙයි ඩීල් එකට යන්න කලින් කවීන් එයාගෙ ඔෆිස් එකේදි තමන්ට පෙන්නපු. “තමුසෙගේ මහ ලොකු තාත්තා මගේ පවුලෙන් කෝටි ගණනක් වංචා කළා. මේ තියෙන්නේ සාක්ෂි” කියාගෙන චෝදනා කරපු, තමන්ව මාරම විදිහට බය කරලා, මහගෙදර ඔප්පුවත් උකසට අරන් තමන්ව මාස 6ක මේ  ඩීල් එකට කොටු කරගන්න පාවිච්චි කරපු ඩොකියුමන්ට් එක කියන එක කෙල්ලට මීටර් වුණේ අන්න එවෙලෙ.

කෙල්ලට දැනුනෙ තමන්ගෙ හුස්ම එකපාරටම හිරවුණා වගේ. මුළු පපුවම මහා බරකින් හිරවෙලා, ඇස් දෙක උඩ ඉන්දවුණේ ඒ බයට. කවීන් එදා එයාගෙ ඔෆිස් එකේදි පෙන්නපු ඩොකියුමන්ට් එකේ තිබ්බෙ තමන්ගෙ තාත්තාගේ, ඒ කියන්නේ විජේන්ද්‍රගේ අත්සන වුණාට, මේදැන්  අතේ තියෙන ඇත්තම, ඔරිජිනල් ලියවිල්ලේ තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් අත්සනක් කියන එක දැක්කම කෙල්ලට හිතාගන්න බැරිවුණා මේ මොකද්ද මේ වෙන්නෙ කියලා.

ඒක එදා කවීන් පෙන්නපු එකේ ෆොටෝකොපි එකක් නෙවෙයි, මේක තමයි ඇත්තම නියම ලියවිල්ල කියන එක තේරුණාම කෙල්ලට තව හිතාගන්න පුළුවන් වුණේ නෑ. ඇස් දෙක හීන් කරලා ආකර්ෂා ඒ අත්සන දිහා හොඳින් බලද්දී, පපුවේ ගැස්ම නතර වුණා වගේ දැනුණෙ අන්න ඒ හන්දා. මුළු ඇඟම එකපාරටම සීතල වෙලා, දාඩිය දාන්න ගත්තෙ අන්න ඒ හන්දා. ඒ අත්සන තමන්ට මොකක් හරි විදියකින් මාරම හුරුපුරුදුයි කියන එකත් කෙල්ලට ඒ වෙලාවෙ නොතේරුනා නෙවෙයි. ඒ අත්සන කොහෙදි හරි දැකලා තියෙනවා කියන එක මතක් වුණාට, ඒ අත්සන ඇත්තටම අයිති කාටද කියන එක කෙල්ලට මතක් වුණේ අත්සනට යටින් තිබ්බ නම දැක්කම.

මුළු කාමරේම එකපාරටම කැරකෙනවා වගේ දැනෙද්දී, ආකර්ෂාගේ මුළු ඇඟම වෙව්ලන්න ගත්තා. මාරම කලබලයක් වගේම කම්පනයක් තමන්ව හයියෙන් හයියෙන් වෙලාගන්නවා කියන එකත් ඒ හන්දම තමන්ට හුස්ම ගන්නත් අමාරු වීගෙන එන විත්තිය කෙල්ලට ඒ එක්කම තේරුණා. තමන්ගේ මහගෙදර බේරාදෙන මුවාවෙන් කවීන් තමන්ට මහා ද්‍රෝහිකමක්, ලොකුම බොරුවක් කරලා තියෙන විත්තිය කෙල්ලට තේරුණේ එවෙලෙ. බොරු ඩොකියුමන්ට් පෙන්නලා තමන්ව රවටලා මේ ඩීල් එකට කොටු කරගෙන ඇත්තේ තමන්ගෙ  මුළු පවුලම සදහටම විනාශ කරන්නමයි කියලා තේරෙද්දි, හිතෙද්දි කෙල්ලගේ ඇස් දෙකෙන් කඳුළු කැට කඩා හැලෙන්න ගත්තා. අතේ තියෙන වෙව්ලන ෆයිල් එක දිහා කෙල්ල බැලුවෙ “ඇත්තටම මෙහෙම උනේ කොහොමද? කවීන් ඇයි මෙච්චරම බලු විදියට මාව රැවැට්ටුවෙ? මට ආදරෙයි කිව්වෙ” කියලා කෙල්ලා අහගත්තෙ තමන්ගෙන්මයි. හිත මහා බයකින්, කේන්තියකින් වගේම ලොකු වෛරයකින් ගැහෙන්න ගද්දි කෙල්ල කල්පනා කරා “මං දැන් මොකද්ද කරන්න ඕන?” කියලා.

කවීන්ට කෝල් කරලා මේක අහලා රණ්ඩු වෙලා මරාගන්න ඕනෙද නැත්නම් මේක මෙතනම ඉවර කරන්න ඕනෙද කියා හිතාගන්න බැරුව, අතේ තිබ්බ ඩොකියුමන්ට් එකත් පපුවට තද කරගෙන ආකර්ෂා කාමරේ බිම වාඩිවෙලා, ගල් ගැහිලා වගේ බලන් උන්නා.

කෙල්ලගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණත්, ආකර්ෂා නෙවෙයි එකපාරක්වත් හයියෙන් කෑගහලා ඇඬුවේ. පපුව ඇතුළෙන් ආපු ඒ මහා වේදනාවයි, කේන්තියයි කෙල්ල එක හුස්මට ගිලගත්තෙ තමන් අඬනවා දැක්කොත් තාත්තා කලබල වෙයි කියලා හිතලා.

“නෑ… මං අඬන්නේ නෑ. මං මොකටද අඬන්නේ?” කෙල්ල තමන්ගෙන්ම හිමින් අහගත්තෙ  ඇස් දෙකේ තිබ්බ කඳුළු ටික අතේ  අල්ලේ පිටිපස්සෙන් පිහදාන ගමන්. වෙනදා අඬනකොට දැනෙන අසරණකම වෙනුවට මේ වෙලාවේ කෙල්ලගේ ඇස් දෙක ඇතුළෙන් මතු වුණේ මාරම දරුණු, බය හිතෙන පාටක්. ඒ ඇස් දෙක හරියට ගිනිකන්දක් පුපුරන්න ඔන්න මෙන්න වගේ රතු වෙලා තිබුණා.

“මගේ තාත්තව මේ වගේ අසරණ කරලා, අපේ මුළු ජීවිත කතාවම සෙල්ලමකට ගත්තු එකෙක්වවත් මං ලේසියෙන් අතාරින්නේ නෑ” කෙල්ල බිම බලාගෙනම දත්මිටි කන ගමන් තමන්ටම එහෙම කිගාත්තා

“කවීන්… තමුසේ මට ආදරෙයි කිව්වේ මාව රවට්ටන්න හිතාගෙන නේද? ජරා මිනිහා. තමුසෙලා ඕයි මහ ලොකුවට කොළඹ හතේ ඉපදුනාට මොකද මුඩුක්කුවල ඉන්න මිනිස්සුවත් කරන්නෙ නැති ලෙවල් එකේ බලු වැඩ කරන්නෙ. මාව රවට්ටලා, මගේ පවුලම සදහටම වළපල්ලට යවන්න නේද තමුසෙලා මේ ඔක්කොම ප්ලෑන් කළේ?” කෙල්ලගේ හිත ඇතුළෙන් මහා සාපයක් වගේ ඒ වචන ටික එකදිගට ගලාගෙන ආවා. හරිනං ඒවා හයියෙන් කියවලා කටෙන් පිටකරානං හිතට ලොකු නිදහසක් දැනෙන්න ඉඩක් තිබ්බත් තාත්තට ඇහේවි කියන බය හන්දම එහෙම කරන්න පුලුවන්කමක් කෙල්ලට තිබුණෙ නෑ. ඒ නිසාම හැමදේම උහුලන් ඉන්නයි වුණේ.

කෙල්ලට මතක් වුණා කවීන් තමන්ට ආදරෙන් කතා කරපු හැටි, නළලට හාදු දීපු හැටි,  ලේඩි කලම්බු සෙවන් ඉස්සරහදි තමන්ව පරිස්සම් කරපු හැටි. ඒ හැම මතකයක්ම දැන් කෙල්ලට දැනුණේ හරියට ඇඟ පුරාම ගෑවිච්ච මහ ජරාවක් වගේ.

“රැවටුණා… මං මාර විදිහට රැවටුණා. ඒත් මං මේක මෙතනින් ඉවර කරන්නේ නෑ. මගේ පවුලට මේ වගේ බලු වැඩක් කරපු එකෙක්ටවත් මං ලේසියෙන්ම ගැලවිලා යන්න දෙන්නේ නෑ. කවීන් විතරක් නෙවෙයි, මේ හැමදේටම පිටිපස්සෙන් ඉඳගෙන මාව රූකඩයක් වගේ නටවපු එකෙක්ටවත් ගැලවෙන්න මං ඉඩ තියන්නෙ නෑ. මං මේකට පලියට පලිය ගන්නවා ගන්නවාමයි.” කියලා කෙල්ල හිතින් කියාගත්තෙ අන්න ඒ හන්දමයි.

බිම ඉඳන් හිමින් නැගිටපු ආකර්ෂා, අතේ තිබ්බ ඒ ඩොකියුමන්ට් එක ආයෙමත් සැරයක් හොඳට වහලා, කාටවත්ම සැක නොහිතෙන විදිහට තමන්ගේ බෑග් එකේ අස්සෙ හංගගත්තා.

“බලමු කවුද දිනන්නේ කියලා”

කෙල්ල බෑග් එකේ සිප් එක වහලා දාන ගමන් තමන්ටම කියාගත්තේ මහ අමුතු හිනාවක් එක්ක. ඒ හිනාව වෙනදා කෙල්ලගෙ මූණෙ දකින්න ලැබෙන හිනාව නෙවෙයි සහමුලින්ම වෙනස් එකක් කියල දකින්න කවුරුවත් එතන උන්නෙ නෑ. පපුව ඇතුළෙන් ආපු ඒ කේන්තිය කෙල්ලගේ මුළු මූණම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිබ්බා.

“තමුසෙලා හිතුවේ මං හැමදාම අඬ අඬා, තමුසෙලා කියන කියන පදයට නටන පඹයෙක් කියලා වෙන්න ඇති. හැබැයි වැරදුණා. මගේ තාත්තගේ කඳුළු බිංදුවක් බිංදුවක් ගානේ මං තමුසෙලාගෙන් පොළියත් එක්කම වන්දි ගන්නවා. කොළඹ හතේ සල්ලිකාරයෝ වුණාට මොකද, තමුසෙලාගේ ඔය මහ ලොකු කපටි සෙල්ලං තවදුරටත් කරන්න මං වැඩි දවසක් ඉඩ තියන්නේ නනෑ. මාව මේ විදිහට පණපිටින් අපායකට ඇදලා දාපු එකට, මගේ ආදරේ සෙල්ලමකට ගත්තු එකට තමුසෙට මං ජීවිත කාලෙටම අඬන්න වැඩ කරනවා කවීන්.මෙච්චර දවසක් මං තමුසෙට ආදරේ කරපු එක ඇත්ත. ඒත් අද ඉඳන් මගේ හිතේ තමුසෙ වෙනුවෙන් තියෙන්නේ එකම එක දෙයක් විතරයි.

මං තමුසෙට මගෙ මුලු ජීවිතෙන්ම වෛර කරනවා.

 ආකර්ෂා කියන්නේ කවුද කියලා මං තමුසෙලාට පෙන්නන්නම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here