ආදර මල්වල පාට කියන්නද? – 42

0
832

කෙල්ල බස් එකෙන් බැහැලා කවීන්ගේ ඒ මහ මාලිගාවක් වගේ ගේ ඉස්සරහට එද්දී හවස් වේගෙන ඇවිත් තිබුණේ.

වෙනදා මේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී හිතට දැනෙන ඒ ලැජ්ජාව, බය, නැත්නම් කවීන්ව දකින්න තියෙන ආසාව ඒ කිසිම දෙයක් අද ආකර්ෂාගේ හිතේ තිබුණේ නැහැ. කෙල්ලගේ හිත හරියට ගලක් වගේ හයිවෙලා තිබුණේ. ගේට්ටුව ළඟ හිටපු සෙකියුරිටි වෙනදා වගේම හිනාවෙලා ගේට්ටුව ඇරලා දුන්නත්, කෙල්ල යාන්තම් ඔළුව විතරක් හොලවලා කිසිම හැඟීමක් නැති මූණකින් ඇතුළට ඇවිදගෙන ගියා. හැබැයි සාලේ දොරෙන් ඇතුල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, කෙල්ල එකපාරටම නතර වුණා. ගැඹුරු හුස්මක් අරන්, පපුවට අතක් තියාගෙන හිත හයිය කරගත්තා.

“නෑ… මං කලබල වෙන්නේ නැහැ. මගේ මූණෙන් කිසිම වෙනසක් ඒ යකාට පේන්න තියන්න බැහැ” කෙල්ල තමන්ටම කියාගත්තේ හිත ඇතුළේ තිබ්බ ඒ මහා වෛරය සහ කේන්තිය සේරම එක මොහොතකින් හිතේ පතුලටම ඔබලා හංගගන්න ගමන්. ඊළඟ තත්පරේදී කෙල්ලගේ මූණට ආවේ වෙනදා වගේම අහිංසක, ලස්සන, ආදරණීය හිනාවක්. කවුරු බලන් උන්නත් හිතන්නේ කෙල්ල ගෙදර ගිහින්,  තාත්තව බලලා ඇවිත් මාරම සතුටින් ඉන්නවා කියලා.

“මැණික ඔයා ආවද? මං මේ ඔයා එනකම් බලන් උන්නේ, ඔයා බස් එකේ ආවෙ අපරාදෙනෙ. මට කිව්වා නම් මම මගට එනවනෙ” කියලා සාලේ සෝෆා එකේ ඉඳන් ලැප්ටොප් එකෙන් වැඩ කර කර හිටපු කවීන්, ආකර්ෂාව දැක්ක ගමන් මාරම ආදරෙන් නැගිටලා ලඟට ආවා. ඇවිත් වෙනදා වගේම කෙල්ලව බදාගෙන, නළලට හාදුවක් දුන්නේ මාරම ආදරේකින්. වෙනදා උනා නම් කවීන් මෙහෙම කරාම තමන්ගෙ හිත කොච්චර සන්තෝස වෙනවද කියලා කල්පනා උනත් එදා කෙල්ල උන්නෙ ඒ හැමදේම කරන්න වෙන දෙයක් නැති හන්දා දරාගෙන වගේ. ඒ වෙලාවේ කවීන්ගේ අත් දෙක තමන්ගේ ඇඟේ ගෑවෙද්දීත් ආකර්ෂාට දැනුණේ මුළු ඇඟ පුරාම පණුවෝ ඇවිදගෙන යනවා වගේ මාරම අප්පිරියාවක්. කෙල්ලට හිතුණේ ඒ වෙලාවෙම මිනිහගේ මූණට කෙළ ගහලා, අර බෑග් එකේ තියෙන ඔරිජිනල් ඩොකියුමන්ට් එක මූණට දමලා ගහන්න.

“තමුසේ මාව මෙච්චර කල් රැවැට්ටුවා නේද?” කියලා කෑගහලා අහන්න හිත කියෙව්වත්, කෙල්ල මාරම ඉවසීමකින් ඒ හැමදේම පාලනය කරගත්තා. කවීන්ගේ පපුවට වාරු වුණු කෙල්ල, මාරම ලස්සන හිනාවක් දාලා මිනිහා දිහා බැලුවා.

“අනේ ඔව් කවීන් බස් එකේ එද්දී ටිකක් ට්‍රැෆික් වලට අහුවුණා. ඒකයි පරක්කු වුණේ. ඔයා කෑවද?” කෙල්ල ඇහුවේ හරියට කිසිම දෙයක් නොදන්නා, ලෝකේ ඉන්න අහිංසකම කෙල්ල වගේ. ඒත් හිත ඇතුල තිබ්බෙ ගොජ ගොජ ගගා තරහෙන් උතුරන ගමන්.

“නෑ සුදූ, ඔයා එනකම්මයි උන්නේ. ඔයාගේ මූණ ටිකක් මැලවිලා වගේ, මහන්සිද?” කවීන් කෙල්ලගේ කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සට කරන ගමන් ඇහුවේ හරියට නිකන් හෙනම කෙයාරින් ප්‍රේමවන්තයා වගේ.

“තමුසෙ තාම කිසි ගාණක් නැතුව මෙහෙම රඟපාන්නෙ කොහොමද ඕයි?” කියලා කවීන්ගෙන් අහන්න කෙල්ලට ලොකුවටම උවමනා උනත් තමන්ගෙ ප්ලෑන් එක හරියට කරගෙන යන්න නම් ඒ සිතුවිලි ඔක්කොම හිත අස්සෙම හිරකරගෙන ඉන්නෝන විත්තිය කෙල්ලට හොඳට මතක තිබ්බා. කවදාවත් ඉස්කෝලෙදි ඩ්‍රාමා කරල තිබ්බෙ නැති උනාට මොකෝ තමන්ට හොඳට රඟපාන්න පුලුවන් විත්තිය කෙල්ලට තේරුණෙත් මෙන්න මෙවෙලෙ.

“පොඩ්ඩක් මහන්සියි තමයි. ඒත් ඔයාව දැක්කම ඒ මහන්සිය ඇරිලා ගියා” කෙල්ල එහෙම කිව්වේ බොරු ආදරයක් මූණට ආරූඪ කරගෙන. හැබැයි හිත ඇතුළෙන් කෙල්ල කිව්වේ වෙනස්ම කතාවක්.

“ඔව්… මං බලන් ඉන්නවා කවීන්. තමුසෙලාගේ මේ මුළු වික්‍රමසිංහ පවුලම මගේ කකුල් දෙක ළඟ දණගස්වනකම් මට නිවනක් ලැබෙන්නෙ නෑ. මගේ තාත්තව වංචනිකයෙක් කරලා, අපේ ජීවිත සෙල්ලමකට ගත්තු එකට තමුසෙලාට මං වින්දා වගේ එකට දහ ගුණයක් විඳවන්න සලස්සනවා. තමුසෙත් එක්ක මේකට තමුසෙට උදව් කරපු හැමෝම මේකට වන්දි ගෙවන්න ඕනේ.” කෙල්ල හිතින් මාරම කුරිරු විදිහට ප්ලෑන් කරන්න ගත්තා.

“ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකෝ මං කෑම ලෑස්ති කරන්න කියන්නම්” කවීන් හිනාවෙලා කෙල්ලගේ කම්මුලක් කිති කැව්වා.

“හා… මං ඉක්මනට එන්නම්” කියලා කෙල්ල කාමරේට ගියේ මාරම සැහැල්ලුවෙන් වගේ. හැබැයි කාමරේට වැදිලා දොර වහගත්ත ගමන් ආකර්ෂා දොරට හේත්තු වෙලා බිමට කඩා වැටුණා. බෑග් එක ඇතුළේ තියෙන ෆයිල් එක අල්ලලා “ඒක තාම බෑග් එකෙ පරිස්සමට තියෙනවා නේද?” කියලා බලපු කෙල්ලගේ ඇස්වලින් කඳුළු බිංදු දෙකක් කම්මුල දිගේ බේරුණා. ඒත් ඒ කඳුළු අසරණකමට ආපුවා නෙවෙයි, මහා දරුණු වෛරයක් හන්දා එළියට ආපුවා.

“මට ටිකක් ඉවසන්න වෙනවා. මූට සැක හිතෙන්න දෙන්න බෑ. මං මූට වෙනදාටත් වඩා ආදරේ පෙන්නන්න ඕනේ. එතකොට තමයි මූ මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා මුගේ රහස් සේරම මට කියන්න චාන්ස් එකක් හැදෙන්නෙ එදාට… එදාට මං තමුසෙලාව විනාස කරනවා” කෙල්ල දත්මිටි කාගෙන හිතින් තමන්ටම කියාගත්තා. කඳුළු ටික පිහදාගත්තු කෙල්ල, බාත්රූම් එකට ගිහින් මූණ කට හෝදගෙන, මාරම ලස්සන ගවුමකුත් ඇඳගෙන පල්ලෙහාට ආවේ නිකන් කිසිම දෙයක් වුණේ නැති ගාණට.

රෑ කෑම කන වෙලාවෙත් කෙල්ල වෙනදා වගේම කවීන්ට ආදරෙන් කෑම බෙදලා දුන්නා. කවීන් කියන කියන හැම කතාවකටම හිනාවෙලා, මිනිහගේ අතින් අල්ලලා මාරම ආදරයක් පෙන්නුවා. සෙලීනයි ලේඩි කලම්බු සෙවනුයි තමන් දිහා තරහෙන් වගේ බලාගෙන උන්නට ආකර්ෂා වෙනදා තරංවත් ඒවා තබ සතේකට මෙදා පාර මායිම් කරේ නෑ. කවීන් හිතුවේ ආකර්ෂා දැන් තමන්ට සම්පූර්ණයෙන්ම ආදරේ වෙලා, තමන්ගේ ආදරේ ඇතුළේ අතරමං වෙලා ඉන්නවා කියලයි. ඒත් මිනිහා දැනගෙන උන්නෙ නෑ තමන් මේ කෑම කන්නේ මාරම භයානක හැපින්නක් වගේ වෙනස් වෙච්ච ගෑනියෙක් එක්ක කියලා.

එහෙම දැනගෙන උන්නා නම් මේ ප්‍රේම දඩයම ටීවි එකේ ගිය එකට හපං විත්තිය කොල්ලට තේරෙන්න තිබ්බා.

කෑම කාලා ඉවර වෙලා කවීන් ආයෙමත් උඩ තට්ටුවේ තමන්ගේ ස්ටඩි රූම් එකට ගියේ ඔෆිස් එකේ ඉතුරු වැඩ ටිකක් ඉවර කරන්නයි. කෙල්ල හිමින් සීරුවේ කුස්සියට ගියා. කුස්සියේ සේවකයෝ සේරම වැඩ ඉවර කරලා නිදාගන්න යන්න ලෑස්ති වෙලයි හිටියේ. “ඔයාලා යන්න, මං ඉතුරු ටික බලාගන්නම්” කියලා කෙල්ල උන්ව යැව්වෙ තමන්ගෙ ප්ලෑන් එක කරගන්න ලේසි වෙන්නෙ එතකොට කියලා දන්න හන්දා.

කුස්සියේ තනි වෙච්ච කෙල්ල, හෙමින් සීරුවේ කිරි පිටි ටින් එක අතට ගත්තා. වතුර කේතලය ලිපෙන් තියලා, වතුර රත් වෙනකම් බලන් උන්නා. කිරි කෝප්ප දෙකක් හදපු කෙල්ල, ඒවා ට්‍රේ එකක තියාගත්තා.

ට්‍රේ එකත් අරන් උඩ තට්ටුවට ආපු කෙල්ල, ස්ටඩි රූම් එකේ දොර හිමින් සීරුවේ ඇරියා. කවීන් ලැප්ටොප් එකට ඔළුව ඔබාගෙන මාරම බිසී විදිහට වැඩ. ආකර්ෂා සද්ද නොකර ඇතුළට ඇවිත් කිරි කෝප්පෙ කවීන් ඉන්න ටේබල් එක උඩින් තිබ්බා.

“අද මොකද කිරි පොවන්න හිතුවෙ?” කියලා කොල්ලා අහද්දි කෙල්ල උන්නෙ ලස්සනට හිනාවෙන ගමන්, කවීන්ට පොඩ්ඩක්වත් සැක හිතෙන්නෙ නැති වෙන්න.

“ආදරේට හදලා දුන්නමත් කතා අහන්න වෙනවනෙ. නිකන් දෙන අස්සයගෙ දත් බලන්න එපා අනේ ඕක බොන්න. වෙනදට වඩා හොඳඅඅඅඅඅඅඅට නින්ද යාවි”

“ආහ් මං හිතුවෙ ඔයා ආස මං ඇහැරලා ඉන්නවට කියලා”

“අපෝ නෑ මං ආසම ඔයා හොඳට නිදාගන්නවට. හොඳඅඅඅඅඅඅඅට”

එහෙම කියලා ආකර්ෂා අමුතු විදියට හිනාවෙච්ච බව තේරුණත්, ඒ හිනාව දැක්කම කවීන්ටත් එකපාරටම මොකක්දෝ වගේ දැනුණත් මිනිහා ඒක ගණන් ගත්තේ නැහැ.

අනික මොකටද ඉතින් තමන්ගෙ කෙල්ලව සැකකරන්නෙ නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here