මලක් වී  යළි පිපෙන්නම් – 34

0
375

තවත් දින කිහිපයක් ගෙවී  ගියේ එම ජීවිතවල කිසිඳු වෙනස්කමක් ඇති නොකරමින්ය. රඹුක් වැල්ල නිවස,  නිවැසියන් සිටිනවාදැයි සිතිය නොහැකි තරමට නිහඬ නිස්කලංක එකක් වී තිබිණ. දවසක් හැර දවසක් සංකල්පනී පැමිණියත් ඒ සෑම දිනකම සිතාරාත් දියණියගේ නිවසට පැමිණියාය. පැරකුම් පැමිණියේ එහෙමත් දිනකය. නුලාරාගේ ජීවිතයේ වැඩි හරියක් ගෙවී ගියේ කාමරයේමය. පසු කලකදී ඕ චාරුක සමඟ කෑම මේසයට වාඩිවීම පවා ප්‍රතික්ෂේප කළාය. බලෙන් සේ  තම බිරිඳ සමඟ වදනක්  දෙකක් කතා කරන චාරුක නිවසේ සිටියත් සිය ලැප්ටොප් පරිගණකය දිගහැරගෙන කාර්යාලයේ වැඩ ගැන සොයා බලන්නට පටන් ගත්තේය. විසඳුම් නොලැබෙන ප්‍රශ්නයක් අභියස ඔහු නතරව සිටියේ සිත රිදවාගෙනය. බොහෝ විට ඔහු සයනයට පැමිණෙන වේලාවට නින්දේ වුවත් නොනින්දේ වුවත් නුලාරා සිටියේ අනිත් පස හැරී දෑස් පියාගෙනය. 

වරෙක සිය දෑස් වලට කඳුලක් උනා එන තරමටම චාරුක ඒ ප්‍රශ්නයෙන් සිත රිදවාගෙන සිටියේය. මේ ඔහු සිහිනයෙන්වත් පැතූ ජීවිතයක් නොවේ.  නුලාරා කෑම මේසයටවත් නොඑන අවස්ථාවල සෝමා දෑස්  විසල් කරගෙන බලා සිටියාය. වරින් වර තමා වෙත යොමුවන ඇයගේ ඒ බිය මුසු බැල්ම චාරැකගේ සිතට අවසන වදයක් වී තිබිණ. 

පසුගිය කාලයම සිතාරා වැය කළේ දියණියගේ හඳහන් බලවන්නටත් අපල වෙනුවෙන් කළ යුතු බෝධි පූජා කටයුතු කරන්නටත්ය. 

“දුවේ මට ටිකක් කතා කරන්න ඕනේ…..”

සිතාරා සංකල්පනීට  එසේ පැවසූයේ නුලාරාගේ කාමරයේ සිට ආලින්දයට ඇවිද එද්දීය. දියණිය පිළිබඳව ඇගෙන් යමක් විමසිය යුතුයැයි සිතාරාට අනන්ත වාරයක් සිතුනත් එසේ කිරීම තමනට  මදි පුංචි කමක්යැයි  ඕ අවසන සිතුවාය. පසුගිය දිනවල එකිනෙකා හමු වුවත් ඔවුන් අතර එතරම් ඇගෑලුම් කමක් ගොඩනැගී තිබුණේ නැත. සංකල්පනී පවා නුලාරාගේ දෙමව්පියන්ට මවා පෑවේ ඈ යෙහෙළියගේ  ඉල්ලීමට පමණක් මෙහි  යන එන බවය. එහෙත් සත්‍යය එයම නොවේ. කුඩා ඇනෙක්සියේ දොර වසා ගෙන ඒ තුළට වී නිහඬ නිසොල්මන්ව දවස ගෙවා දැමීම ඇයට වදයක් වී තිබිණ. ඒ සියල්ලටම වඩා සෝමාගේ අතින් පිළියෙල වන රසැති උදෑසන, ආහාරයත් දහවල ආහාරයක් නොවරදින නිසා වේල් දෙකක්ද පිරිමැසේ. 

“ඇයි ආන්ටි”

සංකල්පනී එසේ ඇසුවේ නුලාරාගේ මව උන් පුටුවට යාබද අසුනෙන් අසුන් ගන්නා ගමන්ය. 

“අපේ ළමයා නිදිද..?”

“ඔව් ආන්ටි. කියව කියව ඉඳලා එහෙම්මම නින්ද ගියා.” 

“ඒ උනාට මේ කාලෙට ඔහොම ඇඳක් උඩට වෙලා ඉන්න එක එච්චර හරි මදි. එහෙම උනාම දරුවෝ හම්බවෙන්න අමාරු වෙනවා.”

සිතාරා එසේ පැවසූයේ ඈ හා සුහද කතාබහක් ගොඩ නගාගැනීමේ අරමුණෙන්ය.

“කොහොමත් සීසර් එකක් කරන හින්දා ප්‍රශ්නයක් නැති වෙයි නේද ආන්ටි.”

“ඔය ළමයා මේ වෙලාවෙ මෙහෙම එන  එක ලොකු දෙයක්.”

“ගෙදර ගොඩක් වැඩ තියාගෙන මමත් මේ එන්නේ නුලාරා හින්ද තමයි ආන්ටි. අද ගෙදර ගියපු එලේ ඉඳලා ආපහු මැසේජ් කරනවා හෙට උදේ එනවා නේද? එනවා නේද? කියලා අහලා.”

“අනේ මේ දරුවාට මොකක්ද උනේ කියලා මට තේරෙන්නේ නෑ.”

එවර සිතාරා පැවසූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. 

“ඇයි ආන්ටි.”

“මං දන්නවා දරුවෝ උනත් අම්මල තාත්තලත් එක්ක කතා නොකරන දේවල් යාළුවොත් එක්ක කතා කරනවා. ඔයා මේ ගැන නොදැන ඉන්නවා කියලා මට කියන්න එපා දුවේ. ඔයාට තේරෙනවා  ඇතිනේ අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන ගින්දර මොන වගේද කියලා. මට ඇත්තම කියන්න චාරුක පුතා නරක කෙනෙක්ද. ඒ ළමයා විසි හතර පැයේම අපේ දරුවා වෙනුවෙන් වද වෙන විදිහ දැක්කහම මට එහෙම හිතන්න අමාරුයි..”

සංකල්පනී නුලාරාගේ මව දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. යෙහෙළිය මේ කිසිවක් තමාගේ මව හා පැවසූ බවක් ඇයට කියා තිබුණේ නැත. 

“මේ ළඟදි දවසක මට අපේ දුව කිව්වා චාරුක කියන්නේ අපි හිතන කෙනා නෙමෙයි කියලා. ඊට පස්සේ අර මන්දස්මි කියන ළමයා එයාට මට වඩා වටිනවා කියලත් කිව්වා. මං ගිහිල්ලා මේ ළමයාගේ හදහනුත් බැලුවා. ඒවායේත් පොඩි පොඩි අපල නැත්තේ නෑ දුව. හැමදේම එපා වෙලා ජීවිතේ ගැන කලකිරෙනවා කියලා කිව්වා. ඔය කතන්දරේ මා එක කියන්න කලිනුත් මට තේරිලා තිබුණේ අපේ දරුවා ඉන්නේ සතුටින් නෙමෙයි කියලා. එයා එහෙම ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඔහේ කල්පනා කර කර ඉඳපු කෙනෙක් නෙමෙයි නේ. පහුගිය කාලේ නවකතාවක් චිත්‍රපටියක් බලනවාවත් මම දැක්කේ නෑ. කොහොමත් මං ඒ ගැන ටිකක් කලබලෙන් හිටියේ. ඒ අතරේ තමයි මේ කතාවත් කිව්වේ.”

“නුලාර ටිකක් කලබලයි තමයි ආන්ටි..මේ ප්‍රශ්නෙ දෙපැත්තක් තියනවා. අපි හරියටම දන්නේ නැහැ නැහැ තවම චාරුක ඒ විදිහේ  දෙබිඩි ජීවිතයක් ගත කරන කෙනෙක්ද නැද්ද කියලා. හැබැයි නුලාරා විශ්වාසයෙන්ම කියනවා චාරුකගේයි මන්දස්මිගෙයි  අතර එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. වෙලාවකට මට හිතෙනවා ආන්ටි අපිට නොකියන දේවල් එයා දරාගන්නවා කියලා. සමහර වෙලාවට මට හිතෙනවා එයා මේ දේවල් හිතින් මවාගෙන කලබල වෙනවා කියලා. චාරුකත් මමත් එක්ක මේ ගැන කතා කළා.”

“පුතා මොනවද කියන්නේ…”

“මන්දස්මිව  කම්පැනි එකෙන් අයින් කරන්න කියලා නුලාරා දිගින් දිගටම බලපෑම් කරනවා. ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන නිසා හේතුවක් නැතුව එහෙම කරන්න අපහසුයි කියලා චාරුක කියනවා. මේ ගැටුමට හේතුව ඒක. එක්කෝ නුලාරා චාරුකව තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්තං චාරුක මන්දස්මිව අයින් කරලා මේ හිතේ අමාරුවෙන් නුලාරාව නිදහස් කරන්න ඕනේ.”

“අනේ මන්ද දරුවෝ…”

“මමත් කියන්නෙ මේ ප්‍රශ්නේ තවත් දුරදිග ගෙනියන්න ඕනෙ නෑ කියලා ආන්ටි. හැබැයි ඉතින් අර මං කිව්ව වගේ අපිට නොකියන දේවල් නුලාරාගේ  හිතේ තියාගෙන එයා විඳවනවද දන්නේ නෑ.”

“දුව කියන්නේ චාරුක පුතාගේ එහෙම සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලද..?”

එසේ අසද්දීත් නුලාරාගේ මවගේ දෑස් වල වූයේ කඳුළුය. සංකල්පනීගේ සිත හිරිවැටී ගියේ ඒ කඳුළු දුටුවාට පසුවය. තමාගේත් ධනුකගේත් රහසිගත සම්බන්ධය පිළිබඳව සැල වූ මුල්ම තත්පරයේ රන්දික කළේ තමාගේ මවට කතා කරමින් ඒ පැමිණිල්ල ඉදිරිපත් කිරීමය. ඉන් පසුදාම අම්මා  රන්දිකගේ නිවසට පැමිණියේ තනිවමය. 

“මෝඩකම් කරන්න එපා බං අපිට ආපහු හැරිලා යන්න තැනක් නෑ කියන එක තේරුම් ගනින්.  උඹට මෙතන මොනවයින් අඩුපාඩුවක්ද ජීවිත කාලෙටම දුක් විඳින්න හේතු හදාගන්න එපා.”

මුවින් එසේ පවසද්දී ඇගේ දෑස් වලත් මේ අයුරේම කඳුලක් තිබූ බව සංකල්පනීට සිහි වූයේත් ඒ හදිසියේමය. අම්මලා බලන්නේ කෙසේ හෝ දරුවන්ගේ කසාද ජීවිත රැක දෙන්නටය. 

“මං එහෙමම කියනවා නෙමෙයි ආන්ටි. ඒ උනාට හරිම කතාවක් දන්නේ නැතුව අපිට මේ දෙපැත්තෙන් එක පැත්තක්වත් ගන්න බෑ. චාරුක කියන්නේ හරි නිදහස් ෆීල්ඩ් එකක වැඩ කරන කෙනෙක්. ඒ ෆීල්ඩ්  එක ගැන ගොඩක් දෙනෙක්ගෙ ඔළුවේ හොඳ අදහසක් නෑ ආන්ටි.”

“මේ මොකක්ද උනේ කියලා මට හිතාගන්න බෑ. මේවා අපි හොයලා දීපු මගුල් නෙමෙයි. හැබැයි ඉතින් එහෙම කියලා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට නිදහස් වෙන්න බෑ. මං ආසාවෙන් හිටියෙත් මේ ළමයා ජොබ් එකක් කරනව දකින්න. චාරුක පුතා ඒ විවාහ යෝජනාව ගෙදරට අරන් එද්දි අපි හිතුවේ ඒක මේ දරුවාගේ වාසනාව කියලා.”

“ඒක වාසනාවද, අවාසනාවද  කියලා අපිට දැන්ම තීරණය කරන්න බෑ නේ ආන්ටි. අපි ටිකක් බලාගෙන ඉමු. ආන්ටිට  වගේම චාරුක මටත් කතා කරලා නිතරම නුලාර ගැන අහනවා. අපි මේ වෙලාවෙ හිතමු ආන්ටි  එහෙම ප්‍රශ්නයක් මේ දෙන්නගේ ජීවිතවල නෑ කියලා. මොකද ආන්ටිලා කලබල වෙලා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ගියොත් මේක දුරදිග යන්න පුළුවන්.”

‘චාරුක පුතා උනත් ඉන්නේ සතුටින් නෙමෙයි. මට ඒක තේරෙනවා.”

“සමහර වෙලාවට බබා හම්බුනාට පස්සේ මේ දේවල් ඉබේටම හරි යන්න පුළුවන්. මංනං කියන්නේ හෙමින් සැරේ නුලාරත් චාරුකගේ වැඩවලට සම්බන්ධ වුණානම් හරි. මොකද එයා නූගත් කෙනෙක් නෙමෙයි නේ. මේගොල්ලන්ට සල්ලි වලින් ප්‍රශ්නයක් නෑ. සර්වන්ට් කෙනෙක් නර්ස් කෙනෙක් දාලා හරි බබාව බලාගන්න බැරිකමක් නෑනේ.”

“හ්ම්….”

සිතාරා එවර හිස වැනුවේ දියණියගේ යෙහෙලියට එකඟවය. ඇගේ සිතුවිලි ප්‍රායෝගිකය. මෙවේලෙහි එවන් දැනුම් තේරුම් ඇති යෙහෙළියක දියණියට සිටීම පිළිබඳව සිතාරාගේ සිතෙහි ඇති වූයේ සතුටකි. ඇය පැවසූ ආකාරයෙන්ම දියණිය මේ බරෙන් නිදහස් වෙනතුරු ඇඟෙන් කිසිවක්ම නොඅසන්නට සිතාරා තීරණය කළාය. එසේම පැරකුම් සමග මේ කිසිවක් නොකියන්නටත් ඇය සිතා ගත්තාය. 

චාරුක මවත් පියාත්  කැඳවාගෙන ඒමට ගුවන් තොටුපළට ගියේ බදාදා රාත්‍රියේය. නුලාරා රෝහලේ ගතවිය  යුතුව තිබුණේ සිකුරාදාය. ගුවන්තොටුපළ  ගමනට චාරුක සමඟ සමග සිතාරාත් පැරකුමුත් එකතු වූයේ ස්ව කැමැත්තෙන්මය. ඒ දියණියට යා නොහැකි මේ ගමනට තමා එක්වීම යුතුකමක්යැයි සිතාගෙනය. 

ඒ කුමක් කලත් සිතාරා උන්නේ සතුටකින් නොවේ. ගෙවී යන තත්ප

රයක් තත්පරයක් පාසා ඇය සතුටකට යමක් සොයනවාට වඩා දුකකට යමක් සොයන්නට පුරුදු වී උන්නාය. සුසුමකිනුත් තැති ගත්තාය. දියණියගේ විවාහ ජීවිතය කැඩී බිඳී කොස් ඇය තනිවේයැයි දැනුණු බිය පසුගිය සමයේ සිතාරාගේ නින්ද පවා අහිමි කරමින් තිබිණ.

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here