එදා රෑත් කවීන්ලගෙ ගෙදර හැමෝම නින්දට ගියාට පස්සේ, මුළු ගෙදරම වෙලාගෙන තිබුණේ මහා මූසල සයිලන්ස් එකක්.
කුස්සියේ ලයිට් එක හිමින් සැරේ පත්තුවෙද්දි, ආකර්ෂා වෙනදා වගේම කවීන්ගේ රෑට බොන කිරි එක හදන්න ලෑස්ති වුණා. හැබැයි මෙදා පාර කෙල්ල කිරි පිටි හැඳි දෙක දාන ගමන් තමන්ගේ නයිට් ගවුමේ සාක්කුව අස්සෙන් පුංචි බෝතලයක් එළියට ගත්තා. ඒක ඇතුළේ තිබුණේ මොනවාද කියලා දන්නේ කෙල්ල විතරයි. බෝතලෙන් ගත්ත මොනාහරි කුඩු එකක් කිරි එකට වක් කරද්දී කෙල්ලගේ ඇස් දෙකේ තිබුණේ මාරම හීතල බැල්මක්. හැඳි ගාලා ඒක කිරි එකට දිය කරපු කෙල්ල, මූණට මවාගත්ත හිනාවක් අරන් උඩ තට්ටුවට යන්න අඩිය ඉස්සුවා.
ඇත්තටම, ගෑනියක් ආදරේ කරන කොට මුළු ලෝකයම වුණත් ඒ ආදරේ වෙනුවෙන් පූජා කරන්න ලෑස්ති වෙනවා. හැබැයි ඒ ආදරේ අස්සේ තමන් මාරම විදිහට රැවටිලා, තමන්ගේ මුළු පවුලම විනාශ කරන්න ඒ ආදරවන්තයාම ප්ලෑන් කරලා කියලා දැනගත්ත දවසේ ඉඳන් ගෑනියෙක් වෙනස් වෙන ඉක්මන පිරිමින්ට හීනෙකින්වත් හිතාගන්න බැහැ. ආදරේ වෛරයක් වුණාම, ඒ ගෑනි තරම් කුරිරු, දරුණු තීරණ ගන්න පුළුවන් තවත් කෙනෙක් මේ ලෝකේ නැති තරම්. කවීන් හිතුවේ තමන් තාමත් අල්ලේ නටවන්නේ අර අහිංසක, බයගුලු, තමන්ගෙ ගේ සින්න වෙන එක නවත්තගන්න ඩීල් එකකට කැමති වෙච්ච ආකර්ෂාව කියලා වුණාට, කෙල්ල මේ වෙද්දී තමන්ගේ පණ උදුරගන්න ජාතියෙ හැපින්නක් වෙලා ඉවරයි කියලා මිනිහට පොඩ්ඩක්වත් මීටර් වුණේ නෑ. මෙච්චර කාලයක් තමන්ගේ පවුලට, තමන්ගේ තාත්තට වෙච්ච අසාධාරණකම් අස්සේ හිත යටින් අඬ අඬ උන්න ඒ අහිංසක කෙල්ල අද මේ ගෙදර හැමෝටම හොරෙන් මාරම දරුණු ප්‍රේම දඩයමක නිරත වෙලා ඉන්න විත්තියක් කවුරුවත් දැනගෙන උන්නෙ නෑ.
කිරි වීදුරුවත් අතට අරන්, පඩිපෙළෙන් උඩ තට්ටුවට හිමින් හිමින් ඇවිදන් යන ගමන් ආකර්ෂාගේ හිත ඇතුළේ මහා දරුණු කුණාටුවක් වගේ අදහස් පේළියක් එහෙට මෙහෙට යන්න පටන් අරගෙන තිබ්බෙ. මීක් කියලා සද්දයක් නැති පඩිපෙළ දිගේකෙල්ල තියෙන හැම අඩියක් ගානෙම කෙල්ලගෙ හිත අස්සෙ දෝංකාර දුන්නෙ තමන්ගෙ පවුල විනාස කරපු මුංගෙන් පළිගන්න ඕන කියන චේතනාව විතරයි.
“පිරිමි හිතන් ඉන්නවා ඇත්තේ මේ පළිගන්න ප්ලෑන් ගහන්න, මිනිස්සුන්ව වට කරලා ප්‍රශ්න කරදර වලට ඇදලා දාන්න පුළුවන් තමන්ට විතරයි කියලා වෙන්න ඇති. උන් හිතන් ඉන්නේ ගෑනු කියන්නේ හැමදාම උන් දෙන දුකක් උහුලගෙන, අඬ අඬා එක තැනකට වෙලා විඳවන්න ඕන ජාතියක් කියලා. පිරිමි දන්නේ නෑ ආදරේ හන්දා තමන්ගේ මුළු ජීවිතේම පූජා කරලා අන්තිමට ඒ ආදරෙන්ම දරුණු විදිහට රැවටුණාම, ගෑනු කොච්චර නපුරු වෙනවද කියලා. උන් කොච්චර දරුණු විදිහට පළිගන්න ජාතියක් වෙනවද කියලා උන්ට හීනෙකින්වත් හිතාගන්න බැහැ. තමුසෙලා හිතුවේ තමුසෙලාගේ සල්ලි බලයට, බලපුළුවන්කාරකමට හැමදාම හැමෝම යටත් කරගෙන ඉන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම ආදරේ කරපු ගෑනියෙක්ගේ හිතක් පෑරුවාම, ඒ හිත අස්සෙන් මතු වෙන වෛරයේ දරුණුකම ඉස්සරහා තමුසෙලාගේ ඔය මහ ලොකු සල්ලි වල බලෙ කුඩුපට්ටම් වෙලා යනවා. මෙච්චරකල් ඒක දැනගෙන උන්නෙ නැත්තම් තමුසෙ දැන්වත් ඒක දැනගන්නවා මහ ලොකු කවීන් වික්‍රමසිංහ.”
කෙල්ල පඩිපෙළේ පඩියෙන් පඩිය උඩට යද්දි, එයාගේ හිතේ තිබ්බ වෛරෙ තව තව තදට හිත අස්සෙ පැතිරුණා කිව්වොත් හරි. කවීන්ගේ මහ ලොකු තාත්තා, ඒ කියන්නේ වික්‍රමසිංහ තමන්ගේ අහිංසක තාත්තව ලෙඩ ඇඳට ඇදලා දාලා හාට් පේශන්ට් කෙනෙක් කරපු හැටි මතක් වෙද්දී කෙල්ලගේ අත් දෙක කිරි එකක් තියාගෙන උන්න ට්‍රේ එකට තද වුණා.
“තමුසෙගේ මහ ලොකු තාත්තා මගේ අහිංසක තාත්තව ලෙඩ ඇඳට ඇදලා දාලා, අන්තිමට මිනිහට ඒකෙන්ම දිට්ඨධම්මවේදනීය කර්මෙ පල දුන්නා. හැබැයි තමුසේ, තමුසේ හැමදේම දැනගෙන මාව රූකඩයක් වගේ නැටෙව්ව එක කරේ. මගේ ආදරේ පාවිච්චි කරලා මාව විනාස කරලා දාන්න තමුසෙ ප්ලෑන් කරගෙන ඉන්න ඇත්තෙ. තමුසෙට මං ලේසියෙන් එකපාර මැරෙන්න දෙන්නේ නැහැ කවීන්. මගේ ප්ලෑන් එක තමුසෙව එකපාර මරලා දාන එක නෙවෙයි. තමුසෙගේ ඔය මහ ලොකු තාත්තා වික්‍රමසිංහ වගේම තමුසෙවත් දවසින් දවස, හෙමින් හෙමින් ලෙඩ කරවලා, මේ ගෙදර ඇඳක් උඩට කරලා, කතා කරගන්නවත් බැරුව විඳවන්න සලස්වන එකයි මගේ එකම ප්ලෑන් එක. මගේ තාත්තා විඳපු ඒ හැම වේදනාවකම වන්දිය තමුසේ මේ ආත්මෙදීම, මගේ ඇස් ඉස්සරහදීම ගෙවන්න ඕනේ.”
කාමරේ දොර ළඟට එද්දී කෙල්ල මහා ගැඹුරු හුස්මක් අරන්, හිත ඇතුළේ තිබ්බ තරහයි වෛරයයි දෙකම එක මොහොතකින් හංගලා දැම්මා. මොන තරම් දරුණු කුණාටුවක් හිත අස්සෙ තිබුණත්, එක තප්පරේකින් ඒ සේරම වසන් කරලා සුපුරුදු අහිංසක කෙල්ලගේ වෙස් ගන්න ආකර්ෂාට පුළුවන් වුණා.
“කවීන්” කෙල්ල හරිම හෙමින් කොඳුරද්දී, කවීන් හිමින් සැරේ ඇස් ඇරලා බැලුවා. තමන්ගේ මූණ ළඟ ඉන්න ආකර්ෂාව දැක්කම ඒ අමාරුව මැද්දෙනුත් කොල්ලගේ මූණට යාන්තම් හිනාවක් ආවා.
“ඔයා නිදාගත්තේ නැද්ද සුදූ? මං හිතුවා ඔයාට නින්ද යන්න ඇති කියලා.” කවීන් අමාරුවෙන් වචන ගළප ගළප ඇහුවා.
“කොහොමද අනේ නින්ද යන්නේ? ඔයාට මෙහෙම අමාරු වෙලා තියෙද්දී මට ඇස් පියවෙන්නේ නෑ අනේ. මං මේ ඔයාට රෑට බොන්න උණු උණුවෙන්ම කිරි එකක් හදාගෙන ආවා. මේක බීලා ඉන්නකෝ, එතකොට ඇඟට ටිකක් පණ ඒවි.” කෙල්ල එහෙම කියලා ට්‍රේ එක උඩ තිබ්බ කිරි වීදුරුව අතට ගත්තා.
“මට කිරි බොන්න බෑ වගේ මැණික. කටත් තිත්ත වෙලා තියෙන්නේ. ඇඟට මාරම තෙහෙට්ටුවකුයි මහන්සියකුයි දැනෙනවා.”
ආකර්ෂා මවාගත්ත අමනාපයකින් මූණ බෙරිකරගෙන කවීන්ගේ අත තද කරලා අල්ලගත්තා කවීන් එහෙම කිව්වම.
“බෑ බෑ එහෙම බෑ. ඔයා උදේටත් හරියට කෑවේ නැහැනේ. දැන් ඔයාට කොහොමද අනේ? තාම අමාරුද? ඔළුව රිදෙනවද?” කෙල්ල ඇහුවේ මාරම දුකකින් වගේ.
කවීන් ආකර්ෂාගේ ඇස් දිහා බලලා යාන්තමට හිනාවෙන්න හැදුවෙ තමන්ට කිසි අමාරුවක් නෑ කියලා කෙල්ලට පෙන්නන්න වගේ.
“හිත නම් මාරම ෆිට් ඒ වුණාට මන්දා, ඇඟෙන් නම් ඒකට කිසිම සපෝට් එකක් නෑ වගේ”
කොල්ලා එහෙම කියලා විහිළුවට වගේ හිනාවෙන්න හදද්දීම එකපාරටම පපුව ඇතුළෙන් මහා දරුණු කැස්සක් උඩට මතු වුණා.
“කැහැ… කැහැ… කහ්…” කවීන් පපුව අල්ලගෙන ඇඳෙන් ඉස්සරහට නැඹුරු වෙද්දී ආකර්ෂා ටක්ගාලා කිරි වීදුරුව පැත්තකින් තියලා කවීන්ගේ පිට අතගාන්න ගත්තා.
“දඟලන්න එපා. ඔයා ඔහොම හාන්සි වෙන්නකෝ. මං පපුව අතගාන්නද ඔයාගෙ” කෙල්ල කවීන්ව හිමින් කොට්ටෙට බර කරවලා, මිනිහගේ වාරු නැති අත් දෙක තමන්ගේ අත් දෙක අස්සට අරන් තද කරලා අල්ලගත්තා. කෙල්ලගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණේ මාරම නැචුරල් විදිහට.
“ඔයා දන්නවද කවීන් ඔයා ඔෆිස් එකේදී කලන්තේ දාලා වැටුණා කියලා ආරංචි වුණ වෙලාවේ මගේ පපුව නැවතුණා වගේ මට දැනුණේ. මං මාරම බය වුණා අනේ ඔයාට මොනවා හරි වෙලා ඇති කියලා. මට මේ ලෝකේ ඔයායි මගෙ තාත්තයි ඇරෙන්න වෙන කවුරුත් නෑ කවීන්. ඔයා මාව මෙහෙම බය කරන්න එපා මහත්තයෝ. මින් පස්සේ ඔය මහ ලොකු ඔෆිස් වැඩ, මීටින් සේරම පැත්තක තියලා ඔයා ඔයා ගැන හිතන්න ඕනේ. ඔයාට මොනවා හරි වුණොත් මං කොහොමද ජීවත් වෙන්නේ?”
කෙල්ල අඬ අඬාම කවීන්ගේ අත තමන්ගේ තොල් ළඟට ලං කරලා කිස් කරද්දි, කවීන්ගේ හිත උණුවෙලා ගියා. පොඩි කාලේ ඉඳන් අම්මෙක්ගේ ආදරයක්, රැකවරණයක් නැතුව තනියම හැදිච්ච තමන්ට, මේ වගේ අසරණ වෙලාවක මෙච්චර ලෙංගතු විදිහට පණ වුණත් දෙන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්න එක ගැන කවීන් හිතින් මාරම විදිහට සන්තෝස වුණා.
“අඬන්න එපා කෙල්ල. මේ පොඩි කලන්තයක් විතරනෙ. පහුගිය ටිකේ මහන්සි වෙච්ච හන්දා වෙන්නැති එකපාර මෙහෙම දෙයක් වුණේ. මට මුකුත් වෙන්නේ නෑ. අනික ඔය පොඩ්ඩක් ලෙඩ උනාට මොකෝ ඔයා ඉන්නවනෙ මාව බලාගන්න.” කවීන් අමාරුවෙන් තමන්ගේ අතක් උස්සලා ආකර්ෂාගේ කඳුළු පිහදැම්මා.
“ඒක හන්දා තමයි කියන්නේ, මං වෙනුවෙන් මේ කිරි ටික බීලා ඉන්නකෝ. ඔයාට සනීපෙට නින්ද යාවි කිරි එක බිව්වම.” කෙල්ල කඳුළු අතරින්ම හිනාවෙලා ආයෙත් කිරි වීදුරුව කවීන්ගේ තොල් අද්දරින් තිබ්බා.
කවීන් ආකර්ෂාගේ ඇස් දිහාම බලන්, ඒ අන්ධ ආදරේ අස්සේ අතරමං වෙලා කිරි උගුරක් බීගෙන බීගෙන ගියා. කිරි වීදුරුව හිස් වෙන හැම තප්පරයක් පාසාම, ආකර්ෂාගේ හිත ඇතුළෙන් මහා මූසල සතුටක් උඩට මතු වෙන්න ගත්තා.
“බොන්න කවීන් හොඳට බොන්න. තමුසෙ මේක බොන වාරයක් වාරයක් පාසා තමයි මගෙ සැනසීම මට හම්බෙන්නෙ.” කෙල්ල හිතින් මාරම කුරිරු විදිහට හිනාවෙද්දී, කවීන් මුළු කිරි වීදුරුවම බීලා ඉවර කරලා ඒක ආයෙත් ආකර්ෂාගේ අතට දුන්නා.
“තැන්ක්‍යූ මැණික ඇත්තටම කිරි එක බීවට පස්සේ ඇඟට මාරම නිස්කලංක ගතියක් දැනෙනවා. මං හිතන්නේ මට දැන් හොඳට නින්ද යාවි.” කවීන් එහෙම කියලා ඇඳෙන් හාන්සි වෙද්දී, ආකර්ෂා හිමින් සැරේ ෂීට් එක අරන් මිනිහගේ පපුව වැහෙනකම්ම පෙරෙව්වා
“හොඳට නිදාගන්න කවීන්. මං ඔයා ළඟම ඉන්නවනේ.” කෙල්ල එහෙම කියලා කවීන්ගේ නළලට හිමින් හාදුවක් දුන්නා. ඒ හාදුව අස්සේ තිබුණේ ආදරයක් නෙවෙයි, මාරයාගේ ආරාධනයක් විත්තිය කවීන් දැනගෙන උන්නේ නැහැ.
කිරි වීදුරුවත් අරන් කාමරෙන් එළියට ඇවිත් දොර වහපු ආකර්ෂා, හෙමින් සැරේ මහා බර හුස්මක් හෙළුවා. කෙල්ලගේ මූණේ තිබ්බ අහිංසකකම සේරම නැති වෙලා, ඒ වෙනුවට මතු වුණේ මාරම බය හිතෙන හිනාවක්.
“වික්‍රමසිංහ පවුලේ විනාශය අද රෑ ඉඳන් නිල වශයෙන්ම ආරම්භ වුණා කවීන්. තමුසෙලා මගේ පවුලට කරපු දේට, මගේ තාත්තගේ කඳුළුවලට මං තමුසෙගෙන් අකුරක් නෑර පළිගන්නවා. තමුසෙට එකපාර මැරෙන්න දෙන්නේ නැහැ. දවසින් දවස විඳව විඳව මැරෙන හැටි මං මගේ ඇස් දෙකෙන්ම බලාගන්නම්!


