“මේ ගෙදරට මෙහෙම මූසල කමක් ගැහුවෙ මේ කොහෙවත් ඉන්න ගෑනුන්ව මේක අස්සට දාගත්තයින් තමයි” කියලා ලේඩි කලම්බු සෙවන් කියනවා උදේ බ්‍රෙක්ෆස්ට් එකට කවීන්ව වත්තං කරගෙන වගේ එද්දි ආකර්ෂට ඇහුණා.
වෙනදා වගේ කවීන්ට තමන් වෙනුවෙන් ෆයිට් කරන්න විදියක්, හයියක් නෑ කියලා තේරෙද්දි තමන් දිගටම කටවහගෙන ඉන්නවද එහෙම නැත්තං දෙපිටින් යන්න දෙයක් කියනවද කියන එකත් කෙල්ල ඒ වෙලාවෙ කල්පනා කරා.
“ආච්චි අම්මා මේ මං ආස නෑ මේ උදේ පාන්දර කෙහෙ වලු පටලවගන්න. අඩුම කවීන් අසනීප වෙලා ඉන්නෙ කියන එකවත් කන්සිඩර් කරල පොඩ්ඩක් ඔය දොස් දෙවොල් තියන එක නවත්තගන්නවද? වෙන මූසල කමක් නෙවෙයි මේ ගෙදෙට්ට පල දීලා තියෙන්නෙ ආච්චි අම්මගෙ ඔය කටවහ තමයි.අනික දැන් ආච්චි අම්මා කියන්නෙ මං ආවයින් පස්සෙ තමයි කියලද මේ ගෙදර මිනිස්සු ලෙඩ වෙන්න ගත්තෙ? එතකොට වික්‍රමසිංහ අංකල් කොහොමද දන්නෙ නෑ නේද අසනීප වුණේ?
මං එන්න කලින් නෙ එයා අසනීප වුණේ. ආච්චි අම්මා හැමදේම දන්නෙ නෑ, හැමෝගෙම වැරදි අඩුපාඩුත් දන්න එකේ ඒකටත් ඔයාට මොකක් හරි උත්තරයක් ඇතිනෙ. නිකන් කට තිබ්බ පලියට කියවන්න එන්න එපා. මේ වෙලාවෙ අපි බලන්න ඕන කවීන් අසනීප වෙලා ඉන්න වෙලාවෙ එයාව අපි කොහොමද පරිස්සම් කරගන්නෙ කියන එක මිසක් මෙතන මේ මරාගන්න එක නෙවෙයිනෙ. මොන දේ උනත් මේ වෙලාවෙ අපිට හැමදේටම වඩා වැදගත් වෙන්නෝන ආච්චි අම්මා ඔය බොරුවට මේන්ටේන් කරන්න හදන ඊගෝ එක නෙවෙයි කවීන්වයි එයාගෙ තාත්තවයි කියන එක අමතක කරන්න එපා” කියලා ආකර්ෂා වක්කඩ කැඩුවා වගේ කියාගෙන කියාගෙන යද්දි කවීන් උන්නෙ දිගටම පපුව අල්ලගෙන කහින ගමන්. ඒ වෙලාවෙම වගේ තමයි සිරිදාසත් වික්‍රමසිංහ වාඩිවෙලා උන්න වීල් චෙයාර් එක තල්ලු කරගෙන කෑම මේසෙ ළඟට එක්කරගෙන ආවෙ.
වික්‍රමසිංහ ඒ වෙලාවෙ තමයි කවීන් අසනීප වෙලා ඉන්න විත්තිය දැක්කෙ වගේම කවීන්ගෙ මූණෙ තිබ්බ වේලිච්ච, සුදු මැලි පාට දැක්කම හරි සිහියකින් උන්නෙ නැති උනත් මොකද තමන්ගෙ පුතා ඉන්නෙ මොකක් හරි දරුණු ඉරණමකට මූණ දෙන ගමන් කියලා කියන්න වගේ තමයි වික්‍රමසිංහගෙ මූණෙ තිබ්බ ඉරියව් වෙනස් වුණේ.
“පුප්…..පුප්ප්ප්ප්…” කියලා ගොතගහන ගමන් වික්‍රමසිංහ තමන්ගෙ එක අතක් උස්සලා කවීන්ගෙ මේසෙ උඩ තිබ්බ අත අල්ලන්න හදන විත්තිය ආකර්ෂට තේරුණා. කෙල්ල අන්න ඒ හන්දා තමයි තමන්ගෙ අතෙන් අල්ලලා වික්‍රමසිංහගෙ අත අරගෙන කවීන්ගෙ අත උඩින් තිබ්බේ.
“තාත්තෙ බයවෙන්න එපා, කවීන්ට පොඩි කලන්තයක් ආවෙ, තාත්තට බයවෙන්න කිසි හේතුවක් නෑ. මම ඉන්නවනෙ ඔයාවයි කවීන්වයි දෙන්නවම බලාගන්න ඒ හන්දා චුට්ටක්වත් හිත රිද්දගන්න එපා” කියලා කියද්දි මාරුවෙන් මාරුවට තමන් දිහාවටයි කවීන් දිහාවටයි මාරුවෙච්ච වික්‍රමසිංහගෙ ඇස් කෙවෙණි අස්සෙන් වැටිච්ච කඳුළු බිංදුවක් ආකර්ෂා මාරම ආදරේකින් වගේ පිහදලා දැම්මා.
“අඬන්න එපා තාත්තෙ, ඔයා දුකෙන් ඉන්නවා දැක්කොත් කවීන්ට තව හිතට අමාරු වෙනවනෙ. ඒ නිසා අඬන්න එපා. අනික මේ පොඩි කලන්තෙකට මොකටද ඔච්චර බයවෙන්නෙ නේද කවීන්?” කියලා ආකර්ෂා කවීන් දිහාවට හැරිලා බලලා එතන තිබ්බ වාතාවරණෙ ටිකක් නිස්කලංක කරන්න වගේ ඇහුවට මොකෝ ඒකට උත්තර දුන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ලේඩි කලම්බු සෙවන්.
“පොඩි කලන්තයක් විදියට තමයි මෙයාගෙ ලෙඩෙත් පටන්ගත්තෙ. අන්තිමේ වෙච්ච දේ පේනවනෙ” කියලා ගෑනි ඇස් දෙකෙන් වික්‍රමසිංහව පෙන්නද්දි එයා කිව්ව කතාව තේරුණා වගේ වික්‍රමසිංහ කරේ ලේඩි කලම්බු සෙවන් දිහා එක දිගටම බලාගෙන ඉන්න එක.
“එහෙම මේ තාත්තට හැදිච්ච ලෙඩේම පුතාට හැදෙනවා කියලා එකක් නෑනෙ ආච්චි අම්මෙ. ඔයා මේ කොරහෙත් කිඹුල්ලො දකිනවා. නිකන් විකාර කියවන්නෙ නැතුව ඉන්නකො. මේ උදේ පාන්දර කතා කරන්න ඕන ටොපික්ස්ද මේවා. දැන් ඇති මේ කතාව. කවීන් ඔයා මොනවද කන්නෙ කිරිබත් ද පාන්ද?
තාත්තට මම ඕට්ස් හදන්න කියලා කිව්වා. ඊයෙත් පාන් කෑවනෙ. කිරිබත් සීතල හන්දා. ඔයත් මං කියන්නෙ කැස්ස තියෙන එකේ කිරිබත් කන්න එපා. පාන් කන්න, නැත්තම් ඔයාටත් මම ඕට්ස් එකක් හදාගෙන එන්නද?” කියලා ආකර්ෂා ආදරෙන් වගේ අහද්දි කවීන් කරේ ඔලුව වනලා ආකර්ෂා කියන දේට එකඟ වෙච්ච එක. අනික කොහොමත් මිනිහගෙ හිතයි ඇඟයි තිබ්බෙ කොහොමත් මිනිහගෙ කන්ට්‍රෝල් එකෙන් එළියට ගිහිල්ලා වගේ කියලා තමයි කවීන්ට හිතුණෙ.
“දැන් ඔයා තව දවස් කීයක් මේ ගෙදෙට්ට වෙලා ඉන්නද ප්ලෑන් කරගෙන ඉන්නෙ?” කියලා ආච්චි අම්මා ආයෙ වතාවක් බෝම්බයක් තමන් දිහාවට ඇදලා අරිද්දිත් කවීන් උන්නෙ ඒකට දෙන්නොන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. හැබැයි මේ වතාවෙ තමන්ගෙ පැත්තට කතාකරන්න ඕනවටත් වඩා හොඳට ආකර්ෂා උන්නෙ අවි ආයුධ ටික ලෑස්ති කරගෙන කියලා තේරිච්ච හන්දා ලොකුවට බයවෙන්න, කලබල වෙන්න හේතුවක් තිබුණෙ නෑ.
“කවීන්ට තාම ඇඟට ලොකු ෆිට් එකක් නැති හන්දා මම කියන්නෙ ඔයා මේ දවස් ටිකේ ඔෆිස් එකට යන්න ඕන නෑ කවීන්. මොන දේ කරන්න උනත් ඉස්සෙල්ලා ඔයා ෆිට් එකේ ඉන්න ඕන නෙ. ඔය හරියට කෑමක් බීමක් නැතුව, ඕනවට වඩා වැඩ වලට මහන්සි වෙන එකෙන් තමයි ඔයාටට් මෙහෙම අසනීප වෙන්නත් ඇත්තෙ. ඕනම මනුස්සයෙක්ට කවීන් රෙස්ට් එකක් ඕන. ඔයාලා ඒව හිතන්නෙ නෑනෙ. බිස්නස්ම බදාගෙන ඉන්නකො ඔයා. මං උන්නෙ නැත්තං ඔයා මැරිලා තමයි නතරවෙන්නෙ ඔය වැඩ කරන වැඩකිරිල්ලටයි මහන්සිවෙන මහන්සිවිල්ලටයි.
ඒ හන්දා නෑ ඔයා මේ වීක් එකේම ඔෆිස් යන්න උවමනා නෑ. අර්ජන්ට් වැඩ මොනාවහරි තියෙනවා නම් ඔයා සෙක්‍රටරිට හරි ලෝයර්ට හරි කතා කරලා කියන්නකො. ඔයා පොඩි රෙස්ට් එකක් ගන්න බව කියන්න. ඔයාගෙ සයින් එක ගන්න ඕන මොනවහරි ඩොකියුමන්ට්ස් තියෙනවා නම් ඒවා ගෙදෙට්ට එවන්න කියන්නකො” කියලා ආකර්ෂා ලොක්කි වගේ කියද්දි ලේඩි කලම්බු සෙවන් මූණ ඇඹුල් කරගත්ත විත්තිය කවීන් වගේම ආකර්ෂත් නොදැක්කා නෙවෙයි. ඒ උනාට මේ වෙලාවෙ ආකර්ෂා කිව්ව එක වචනයක්වත් වැරදි නෑ කියලා තේරිච්ච හන්දා කවීන් නෙවෙයි ආකර්ෂා කිව්ව ඒවට විරුද්ධව හ්ම් කියලා කිව්වෙ.
“ඔහොම ඉතින් සනීප වෙනකම් කියලා කොච්චර දවසක් ඔෆිස් යන්නෙ නැතුව ඉන්නද? ඔයාට කරගන්න බැරිනං සජිත්ට…” කියලා ආච්චි අම්මා කියාගෙන යන්න ආව වාක්‍ය කම්ප්ලීට් කරන්න ආකර්ෂා නෙවෙයි ඉඩ තිබ්බෙ.
“නෑ නෑ ඔය කොහෙවත් ඉන්න අයව ආය මොකටද මේ බිස්නස් අස්සට වැද්දගන්නෙ. මෙච්චර දවසක් ඒව බැලුවෙ ඔය කොහෙවත් ඉන්න මිනිස්සු නෙවෙයිනෙ. එහෙමෙකේ කාවවත් ගෙන්නගන්න ඕන නෑනෙ. මෙහෙම මේ පොඩ්ඩක් දවසක් ලොක්කා රෙස්ට් කරද්දි කරගෙන යන්න බැරි විදියෙ ඔෆිස් එකක්ද ඕක? පුදුම ඔෆිස් නෙ? ඔය කියන විදියට මරණෙකට මගුලකටවත් නිවාඩුවක්, රෙස්ට් එකක් ගන්න පුලුවන්කමක් නෑනෙ.
කාවවත් ඕන නෑ මේ කවීන්ගෙ වැඩ ටික බලන්න. මම ඔයාගෙ සෙක්‍රටරිට කතා කරලා කියන්න අර්ජන්ට් වැඩ ඔක්කොම ගෙදෙට්ට එවන්න කියලා. ඔයාට මහන්සි නැති වෙලාවක හිමින් සැරේ බලබල කරන්න පුලුවන් නෙ නේද?” කියලා ආකර්ෂා කියද්දි කවීන් පපුව අල්ලගෙන කහින ගමන්ම ඔලුව වනලා හා කියන්න උත්තර දුන්නා.
තවදුරටත් ආකර්ෂා එක්ක කතා කරලා තේරුමක් නැති විත්තිය ලේඩි කලම්බු සෙවන්ට තේරුණේ ආකර්ෂගෙ මූණෙ තිබිච්ච දරදඬු ගතියයි, කටහඬේ තිබ්බ මුරණ්ඩු කමයි එක්ක.
ඒ නිසාම කටවහගෙන ඉන්න ලේඩි කලම්බු සෙවන් තීරණේ කරා. අන්න ඒ වෙලාවෙ තමයි ලේඩි කලම්බු සෙවන්ට වගේම ආකර්ෂාටත් දෙයක් තේරුණේ.
ඒ තමයි වෙනදා මේ වගේ දේවල් වලදි කට බලියං ආකර්ෂට එක එක ඒව කියන්න එන සෙලීනා උඩැක්කිය උන්නෙ මෙලෝ සද්දයක් නොකර, වෙනම කල්පනා ලෝකෙක බව.


