ආදර මල්වල පාට කියන්නද? – 47

0
52

“මට ඇත්තටම මතක නෑනෙ මිස්ට ලියනගේ මං එහෙම ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරන්න කිව්ව විත්තිය” කියලා කවීන් කිව්වෙ සයින් එක අර්ජන්ට්ලි උවමනා වෙච්ච ඩොකියුමන්ට්ස් වගයක් අරගෙන කවීන්ගෙ කම්පනි ලෝයර් ඔෆිස් එකේ ඉඳන් ගෙදර ආ වෙලාවක.

ආකර්ෂා උන්නෙ එවෙලෙ ලෝයර්ට තේකක් හදාගෙන ඒක උඩ තට්ටුවට අරගෙන යන ගමන්. පඩිපෙළ නැගලා කාමරේ දොර ළඟට ලං වෙද්දීම ඇහිච්ච කවීන්ගේ ඒ වචන ටිකත් එක්ක කෙල්ල ඇවිදන් ආව එක එහෙම්ම නතර වුණා. කෙල්ල දොර රෙද්දට මුවා වෙලා කාමරේ ඇතුළේ වෙන දේ දිහා හීන් සීරුවෙ බලාගෙන උන්නා.

“ඒත් සර්, සර්මනේ ගිය සතියේ මට පර්සනලි කෝල් කරලා කිව්වේ මේ ප්‍රොජෙක්ට් එකේ අලුත් ඇග්‍රීමන්ට් එක ලෑස්ති කරලා සයින් එක ගන්න ගේන්න කියලා? සර්මයි ඒකට ඕන කරන ක්ලෝසස්  ටිකත් මට ඩ්‍රාෆ්ට් කරලා එව්වේ” ලෝයර් මිස්ට ලියනගේ මහා පුදුමයකින් වගේ තමන්ගේ කණ්ණාඩි කුට්ටම උස්සන ගමන් කිව්වෙ ඇත්තටම කවීන් මේ කියන දේ ඒ මනුස්සයට පොඩ්ඩක් හිතාගන්න බැරි වෙච්ච හන්දා කියන එක දොර අස්සෙ හැංගිලා උන්න ආකර්ෂාට නම් තේරුණා. හැබැයි “දැන්ම මට ඇතුළට යන්න වෙලාව නෙවෙයි” කියන එක මතක තිබ්බ හන්දා කෙල්ල නම් උන්නෙ සද්ද කරන්නෙ නැතුව.

“තේක නිවෙයිද දන්නෙත් නෑ” කියලා පොඩ්ඩක් කෝප්පෙ අල්ලලාත් බැලුව. කියන්න බෑනෙ හොර අල්ලන අතරෙම තේක නිවුනොත් ලෝයර් මහත්තයට වැඩේ අහුවෙයි කියලා සාධාරණ සැකේකුත් කෙල්ලගෙ හිතේ තිබුණා.

කවීන් උන්නේ ඇඳ උඩ වාඩි වෙලා, දකුණු අතෙන් තමන්ගේ නළල තද කරලා අල්ලගෙන. මිනිහගේ මූණේ තිබුණේ මහා අසරණ බැල්මක්. තමන්ගේම ඔළුව අස්සේ තියෙන මතකයන් එකින් එක ගිලිහිලා යනවා වගේ හැඟීමක් මිනිහට දැනෙන්න අරන් තිබුණා කියන එක ඒ ඇස් අස්සෙන් එච්චර දුරක ඉඳන් උනත් තේරුං ගන්න පුළුවන්කමක් ආකර්ෂට තිබුණා.

“මට, මට ඇත්තටම ඒක මීටර් නෑ ලියනගේ. මං දන්නවා මං වැඩ සෑහෙන්න කරනවා කියලා සහ මං ඔයාට සෑහෙන ඉන්ස්ට්‍රක්ශන්ස් දීලා තියෙනවා කියලා. ඒත් මේ වගේ ලොකු තීරණයක් මං කිව්වා නම් මට ඒක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනනේ. ඒත් මගේ ඔළුව මාරම බරයි. කිසිම දෙයක් පැහැදිලිව හිතාගන්න බෑ. අනික ඔනස්ට්ලි මට මෙහෙම දෙයක් කිව්ව විත්තියක් පොඩ්ඩක්වත් මතක නෑනෙ” කියලා කවීන් එහෙම කියද්දී මිනිහගේ කටහඬ යාන්තමට වෙවුලුවා කියන එකත් කෙල්ලට තේරුණා.

දොර ළඟ හිටපු ආකර්ෂාගේ හිත ඇතුළේ මහා නපුරු සිනහවක් මතු වුණේ ඕවා ඇහෙද්දි. කෙල්ල තමන්ගේ අතේ තිබ්බ බෝතලෙන් දවසින් දවස කවීන්ට කිරි එක්ක එක්කහු කරලා පොවන ඒ වස, දැන් මිනිහගේ ස්නායු පද්ධතියටයි මොළයටයි උපරිමයෙන්ම වැඩ කරලා ඉවරයි කියලා කෙල්ලට තේරුණේ මේක අහද්දි. මේක හරියටම මිනිහගේ තාත්තා වික්‍රමසිංහට ලෙඩේ මුල් කාලේදී මතු වුණු සිම්ප්ටම්ස්  මයි. එකපාරටම දේවල් අමතක වෙන එක, ඔළුවේ මහා බරක් දැනෙන එක, වචන එකතු කරගන්න බැරුව ගොත ගැහෙන එක වික්‍රමසිංහටත් තිබ්බ විත්තිය කෙල්ලට කිව්වෙ වෙන කවුරුවත් නෙවෙයි කවීන්මයි. කවීන්ටත් දැන් ඒ දේම සිද්ධ වෙමින් පවතිනවා. තමන්ගේ තාත්තව ලෙඩ ඇඳට ඇදලා දාපු පවුලේ ලොකු පුතා, අද තමන්ගේම ඇස් ඉස්සරහාම ඒ වගේම දරුණු ඉරණමකට ගොදුරු වෙන ගමන් ඉන්නවා දකින එකම ආකර්ෂාගේ හිතට අරං ආවෙ අමුතුම සන්තෝසයක්.

අන්න ඒ සන්තෝසෙ හින්දම තමයි කෙල්ල මුණිච්චාවට හිනාවක් තොල් උඩ ඇඳගෙන කරගෙන හිමින් සැරේ කාමරේ ඇතුළට ආවෙ.

“මං මිස්ට ලියනගේගෙ තේක කාමරේටම අරගෙන ආවා. කවීන්, ඔයා ආයෙත් ඔළුව අවුල් කරගන්නවා නේද මේ වැඩ අස්සෙ හිරවෙන්න ගිහින්? ඩොක්ටර් කිව්වේ ඔයාට මේ දවස් ටිකේම කිසිම දේකට ස්ට්‍රෙස් වෙන්න එපා කියලානෙ” ආකර්ෂා මාරම ආදරෙන් කවීන් ළඟින් වාඩි වෙලා, මිනිහගේ උරහිස වටා අතක් යවන ගමන් කිව්වෙ පොඩ්ඩක් ලියනගේටත් තේරෙන්න එක්ක “තමන් මේ නිකන්ම නිකන් කෙල්ලෙක් නෙවෙයි මේ ගෙදර ඊළඟ අයිතිකාරයව කසාද බඳින්න ඉන්න කාන්තාව” කියන එක.

“නෑ මිස් සර්ට ගිය සතියේ අපි කතා කරපු ඩොකියුමන්ට් එකක් එකපාරටම මතක නෑ කිව්වා. ඒකයි මං මේ බැලුවේ” ලියනගේ තේ උගුරක් බොන ගමන් කිව්වේ.

“අනේ මිස්ට ලියනගේ, ඔයාටත් තේරෙනවනේ කවීන්ට තාම ඇඟට ලොකු ෆිට් එකක් නෑ කියලා. එදා ඔෆිස් එකේදී කලන්තේ දාලා වැටුණට පස්සේ මෙයාගෙ ඔලුවෙ කොහේ හරි වැදුණද මන්දා  මතකය පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ” කියලා කෙල්ල කිව්වෙ හිනාවෙවී.

“ඔය එක එක දේවල් අමතක වෙන එක මං හිතන්නෙ ඕනවට වඩා ස්ට්‍රෙස් උනාම වෙන දෙයක්. ඔයා මහන්සි වෙනවා හොඳටම වැඩි. වැඩ කරනවා කියලා ඔච්චර මහන්සි වෙන්න ඕන නෑනෙ කවීන්. මොකෝ පොඩි රෙස්ට් එකක් ගත්තා කියල ඔයාලා මෙච්චරකල් බිල්ඩ් කරපු දේවල් නැති නාස්ති වෙලා යන්නෙ නෑනෙ. ඔයා ඕවා ගණන් ගන්න එපා කවීන්.ඔයාට ටික දවසක් යද්දී ඕවා ආයෙත් මතක් වෙයි. මිස්ට ලියනගේ, ඔය ඩොකියුමන්ට්ස් සේරම මෙතනින් තියලා යන්න. කවීන් හෙට අනිද්දට හිමින් සැරේ බලලා සයින් එක දාලා එවයි”

“හරි මිස්, මං මේ ඩොකියුමන්ට්ස් ටික මෙතනින් තියන්නම්. සර්. සනීප වෙලා හිමින් බලන්නකෝ එහෙනම්. මං ගිහින් එන්නම්, ගෙට් වෙල් සූන් සර්” කියලා ලියනගේ ෆයිල් ටික මේසෙන් තියලා කාමරෙන් එළියට යන්න ගියා.

ලෝයර් ගියපු ගමන් කවීන් ආයෙත් තමන්ගේ ඔළුව අත් දෙකෙන්ම බදාගත්තා.

 “මට මොනා වෙලාද මන්දා ආකර්ෂා. මං කවදාවත් මෙහෙම දේවල් අමතක කරන කෙනෙක් නෙවෙයිනේ අනේ. මගෙ ඇඟටත් මාර අමාරුවක් දැනෙනවා මට කියන්න තේරෙන්නෙ නෑ.”

“මොන වගේ අමාරුවක්ද බබා ඔයාට දැනෙන්නෙ?”

“දන්නෙ නෑ කියන්න තේරෙන්නෙ නෑ නිකන් පණ නෑ වගේ. අර උණ හැදුණම තියෙන්නෙ අන්න ඒ වගේ. මට මෙහෙම ඉඳලා තව ටික දවසකින් පිස්සු හැදෙනවා අනේ. මට පුරුදුම නෑනෙ මෙහෙම ඉඳලා” කියලා කවීන් මූණ අත් දෙකෙන් වහගෙන කියද්දි ආකර්ෂා කවීන්ගේ අත් දෙක හිමින් පල්ලෙහාට කරලා, මිනිහගේ ඇස් දිහා ආදරෙන් බලන් හිනාවුණා.

“ඔයා ඕනවට වඩා හිතන හන්දා තමයි ඔය. මං කිව්වේ ඔයාට හොඳටම මහන්සියි කියලා. දැන් ඔය ෆයිල් පැත්තකින් තියලා මං අරන් එන සුප් එක බීලා ටිකක් නිදාගන්නකෝ මහත්තයෝ. මං ඔයා ළඟින්ම ඉන්නම්.” කෙල්ල එහෙම කියද්දී කවීන් තමන්ගේ බර ආකර්ෂාගේ උරහිසට දීලා ඇස් පියාගත්තා.

කවීන්ට හොඳටම නින්ද ගියාට පස්සේ ආකර්ෂා හිමින් සැරේ මිනිහගේ ඔළුව කොට්ටෙන් තියලා ඇඳෙන් නැගිට්ටා. කාමරේ වහගෙන තිබුණේ මහා මූසල, හුස්ම හිරකරන සයිලන්ස් එකක්. කෙල්ල මේසෙ උඩ තිබ්බ ලෝයර්ගේ ෆයිල් ටික දිහා බලලා ඊටපස්සේ හිස් තේ කෝප්පෙත් අරන් කාමරෙන් එළියට ඇවිත්, දොර හිමින් වහලා පල්ලෙහා තට්ටුවට ආවා.

කුස්සියට ගිහින් කෝප්පේ සින්ක් එකෙන් තියද්දීමයි ආකර්ෂාට සාලේ කෙළවරෙන් යාන්තම් ඇහුණු කොඳුරන සද්දයක් හන්දා හැරිලා බැලුවේ. සෙලීනා උන්නෙ කුස්සියෙන් එළියෙ තියෙන ඕපන් ගාඩ්න් එකේ කියන එක ජනේලේ වහලා තිබ්බට මොකෝ ආකර්ෂට තේරුණේ සෙලීනා නිකන් මොනවාහරි කොඳුර කොඳුර කියනවා කෙල්ලට ඇහිච්ච හන්දා. ඕපන් ගාඩ්න් එකේ  කොනකට වෙලා, ෆෝන් එකත් කනේ  ගහගෙන මාරම කලබලෙන් එහාට මෙහාට ඇවිදිමින් උන්නා කියන එක කෙල්ල දැක්කෙ හොරෙන් වගේ බලද්දි. වෙනදා මේ වගේ වෙලාවක කට බලියන් තමන්ට එක එක ඒවා කියන්න උඩ පනින තේ උඩිච්චි, උදේ කෑම මේසෙදීත් මෙලෝ සද්දයක් නැතුව වෙනමම ලෝකෙක හෙන කල්පනාවක හිටපු හැටි ආකර්ෂාට එකපාරටම මතක් වුණෙ ඕන්න එවෙලෙ. “මෙතන මොකක් හරිම තියෙනවා තමයි” කියලා හිත කිව්ව හන්දා තමයි කෙල්ල සද්ද නොකර, හෙමින් හෙමින් අඩි තියලා කුස්සියේ ඉඳලා එළියට බහින දොරට මුවා වෙලා සෙලීනා කාටදෝ හොරෙන් මොනවද කියන දේ අහගෙන ඉන්න ට්‍රයි කරේ.

“නෑ මං  කියන දේ අහන්නකෝ! මේ වෙලාවේ ඔයා කලබල වෙලා මෙහෙට එන්න හදන්න එපා. ඔයා දන්නෙ නෑනෙ දැන් මෙහෙ වෙන දේවල්.  අරකි දැන් මේ ගෙදර රන් කරන ප්ලෑන් එකක ඉන්නෙ.  ඒ විතරක් නෙවෙයි දැන් ඒකි මුළු බිස්නස් එකේම කන්ට්‍රෝල් එක ගන්නයි හදන්නේ. කවීන්ටත් සනීප නෑ. මිනිහට දේවල් අමතක වෙන්නත් පටන් අරන්. මට හිතාගන්න බෑ මේ ගෙදර මොනවා වෙනවද කියලා.

හැබැයි එක දෙයක්

මේ ගෙදර මොනවා උනත් ඔන්න පස්සෙ මට කියන්න එපා  ප්ලෑන් එක මෙතනින් නතර කරන්න වෙනවා කියලා හොඳේ. යූ ප්‍රොමිස්ඩ් මී අ ලොට්” සෙලීනා වටපිට බලන ගමන් කොඳුරන සද්දෙ ආකර්ෂට ඇහුනෙ අන්න එහෙම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here