මලක් වී යළි පිපෙන්නම් – 36

0
42

නුලාරාව රෝහල් ගත කෙරුණේ බ්‍රහස්පතින්දා පාන්දරය. පැරකුම් බොරලැස්ගමුව නිවසේ සිටියදී සිතාරා චාරුකගේ නිවසෙහි රැඳී සිටියේ ඔහුගේත් නුලාරාගේත් ඉල්ලීමටය. ගෙවුණු  දින දෙකේම නයනා රඹුක්වැල්ල උන්නේ චාරුකත් නුලාරාත් ගැන විමසිල්ලේය. දෙදෙනා දිනකට කතා කරන්නේත් සීමිත වචන ප්‍රමාණයක් පමණක් බැව් ඈ වටහා ගත්තාය. විටෙක චාරුක බලෙන් මෙන් කතා කරන වචන කිහිපයකට ඇය පිළිතුරු දෙන්නේත් තනි වචනයකින්ය. 

හිතා මතාම නුලාරා පවුලේ සියල්ලෝම එක් වෙන තැන් මඟ හැර සිටිනවා යැයි නයනා වටහා ගත්තේ ඇගේ ඒ හැසිරීමෙන්ය. 

“එයා චුට්ටක් බය වෙලා අම්මා ඉන්නේ.”

ඒ සමහර අවස්ථාවල චාරුක පවසන්නේ නයනා කිසිවක් අසන්නට ප්‍රථමවය. ලංකාවට පැමිණි වේලේ සිටම සැමියා ඔහුගේ මිතුරන් හමුවන්නට වරින් වර නිවසින් පිටතට ගියාය. එනිසා ඔහුට මේ වෙනස නොදැනෙන්නට ඇත.

“අම්මා තාත්තට කියන්න යාළුවො එක්ක පාටි මොනවා හරි දාන්න ඕනේනම් මම එළියේ තැනක් කතා කරලා දෙන්නම් කියලා. මේ වෙලාවේ ගෙදර සද්ද බද්ද ඇහෙන එක, කට්ටිය පිරෙන එක සමහර විට නුලාරට වදයක් වෙන්න පුළුවන්. එයා ඉන්න තත්ත්වය අම්මට තේරෙනවනේ…”

චාරුක නයනා හා එසේ පැවසූයේ ඔවුන් ලංකාවට පැමිණෙන්නට දින කිහිපයකට පෙරදීය.  අත්‍යවශ්‍ය වැඩ කටයුතු කිහිපයක් යොදාගෙන තිබුණත් නුලාරා මේ බරෙන් නිදහස් වනතුරු නිවසෙන් පිටතට නොයන්නට නයනා තීරණය කර තිබුණාය. 

“ඔයා බයවෙලාද පුතා ඉන්නේ..මේක සාමාන්‍ය දෙයක්. මටත් ඔයාගේ අක්කා හම්බවෙන්න ඉස්සර වෙලාම හොස්පිට්ල් ඇඩ්මිඩ් වෙද්දිත් හිතේ පුංචි තිගැස්මක් තිබුණ තමයි. ඔයාගේ අක්කා හම්බ උනේ ගවර්මන්ට් හොස්පිටල් එකක. ඒක මෙතරම් පහසුකම් තිබුණු තැනක් නෙමෙයි පුතා. දුවට කිසිම ෆිසිකලි ප්‍රශ්නයක් නැති හින්දා ඔයා බයවෙන්න හේතුවක් ඇත්තෙම නෑ.”

නයනා චාරුකට එසේ පැවසූයේ රෝහලේදීය. ඒ දෑස් වල කඳුලක් වූ බව නයනා හොඳටම දුටුවාය. චාරුක රෝහලේ රැඳී සිටීමට වෙහෙස වද්දී ‘අම්මා හිටියහම ඇති ඔයාට වැඩ තියෙනවනේ…’යනුවෙන් නුලාරා පැවසූයේ එවදන් ගණනකට නොගෙනය. නයනා ඒ වදන් ඔත්සේ යමින් යමක් වටහා ගන්නට තැත් දැරුවාය. එහෙත් රියදුරකු සමග නයනා තනිවම නිවසට ආවා විනා චාරුක යළි පැමිණියේ නැත. ඇය එද්දීත් ඔහු සිටියේ නුලාරා සිටින කාමරය ඉදිරිපස කොරිඩෝවේ තබා තිබූ පුටුවකය.

“මං තව ටිකකින් නුලාරගේ අම්මව එවන්නම් අම්මා..ඔය කිව්වට එයාට තව ටිකකින් මාව ඕන වෙනවා.”

“වැඩම නෙමෙයි පුතා ජීවිතේ කියන්නේ ඇත්තටම මේක එයාට ඔයාව ඕන වෙලාවක්..ඔෆිස් එකේ වැඩ කොච්චර තිබුනත් බිස්නස් කොච්චර සක්සස් උනත් ඔයාගේ තාත්තා කොයි වෙලාවකවත් මාව මගහැරියේ නෑ. මට එයාව ඕන උන  හැම වෙලාවකම මම කටින් කියන්න කලින් එයා ඒක තේරුම් ගත්තා.”

නයනා එසේ පැවසූයේ චාරුකගේ අවිවේකී බව නිසා නුලාරා සිත රිදවාගෙන ඇතැයි සිතාගෙනය. සෝමා විසින් සාදා ගෙන විත් දුන්  තේ කෝප්පයත් අතැතිව ඈ ආලින්දයේ වූ  සුවපහසු අසුනකට බර වූයේ දෙදෙනා අතර ඇති මේ විරසකය කුමක්දැයි සිතනා ගමන්ය. නුලාරා ඊයේ පෙරේදා තමාත් සැමියාත් අසන ප්‍රශ්නයකට වුවද පිළිතුරු දුන්නේ කතා  නොකර බැරිකමකින් සේය. පවුලේ සියල්ලෝම රාත්‍රියෙහි එක්වන කෑම මේසය පවා ඈ මග හැර සිටියාය. ඒ සෑම විටකම ඇය වෙනුවෙන් පෙනී සිටියේ චාරුකය. 

“සෝමා..සෝමා….මෙහෙට එන්න…”

නයනා නිවසේ සේවිකාවට කතා කළේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. ඇය නයනා  රඹුක්කැල්ල විදේශ ගතවන්නට වසර හතකට පමණ පෙර මෙම නිවසට පැමිණිි සේවිකාවයි. ඉන් පෙර වසර දහතුනක් තිස්සේ රඹුක්වැල්ල නිවසෙහි සිටියේ සෝමාගේ නැන්දණියකි.

“ඇයි ලොකු නෝනා..”

“සෝම හදිසි වැඩකද හිටියේ..”

“මම මේ සුප් එකක් හදන්න  ලෑස්ති කරන ගමන් හිටියේ. අපේ චූටි නෝනට ගෙනියන්න පුළුවන්නේ.”

“සෝමා පහුගිය කාලේ නිවාඩු අරගෙන ගමේ ගියාද..?”

“ලොකු නැන්දත් නැති උනාට පස්සේ මට ඉතින් එහේ බලන්න යන්න කියලා කෙනෙක් හිටියේ නෑනේ ලොකු නෝනා. ඔය ඉඳලා හිටලා දවසක් දෙකක් නිවාඩු ගත්තහම ගිහිල්ලා එනවා.”

“චූටි නෝනා සෝමට ආදරෙන් සලකනව නේද..?”

“අනේ ඔව් අපේ නෝනා චූටි නෝනාගෙන්වත් අපේ සුදු මහත්තයාගෙන්වත් වරදක් නෑ.”

“සෝම එහෙනම් පුළුවන් තරම් කාලයක් ඒ දෙන්නා එක්ක ඉන්න ඒක මගේ හිතට සැනසීමක්.” 

“මට යන්න එන්න තැනක් නෑනේ ලොකු නෝනා.”

“එහෙම හිතන්න එපා. සෝම එහෙම තනිවෙච්ච හින්දා වෙන්න ඇති සමහරවිට අපි වගේ ඔයාට ආදරේ කරන පිරිසක් ලැබුණේ.”

“මමත් එහෙම හිතනවා හැම වෙලාවකම.”

“සෝමගෙන් මං දෙයක් අහන්න මට  හංගන්නෙ නැතුව ඇත්තම කියන්න ඕනේ. සෝම දන්නවනේ මං කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙවෙයි. සෝම අපිත් එක්ක ඉඳපු අවුරුදු හත අටට ඒක හොඳටම තේරුම් ගන්න ඇති..මේ මට දැනුණු දෙයක් මං බලන් ඉඳපු දෙයක්. ඒත් පුතයි, නුලාරා දුවයි එක්ක කතා කරන්න කලින් මට හිතුනා සෝමගෙන් මේක අහන්න.”

“මොකක්ද ලොකු නෝනා…”

“නුලාර දුව මේ ගෙදර ඉන්නේ සතුටින්ද… චූටි මහත්තයා ඔෆිස් එකේ වැඩ බදාගෙන ඒ ළමයව මග හරිනවද සෝමා..”

සෝමා විනාඩි කිහිපයක් නිහඬ වූයේ කුමක් කියන්නේදැයි සිතමින්ය. මේ ඇත්ත ඇය හා පවසන්නට ඊයේ පෙරේදාත් සිතුණු වාර ගණන අනන්තය. ඇය කිසි දිනක මේ නිවසේ රණ්ඩු සරුවල් කරනු සෝමා දැක තිබුණේ නැත. රඹුක්වැල්ල නිවසෙහි වූයේ සිනහව පමණි. 

“සෝම දන්න දෙයක් තියෙනවනං මට කියන්න. මං ඒක අහන්නේ වැරදි හැඟීමකින් නෙමෙයි සෝමා. සුදු මහත්තයා වගේම නුලාර දුවත් කසාද ජීවිතය ගැන දැනුම් තේරුම් තියෙන අය නෙමෙයි. අපි මේ ජීවිතය ගත කරලම තමයි සෝමා ඒ ගැන තේරුම් ගන්න ඕනෙ. සෝම දන්නෙ නැහැ සෝමගෙන් නැන්ද දන්නවා මහත්තයා මේ බිස්නස් පටන් ගත්තු කාලේ අපි මොන තරම් අමාරු ජීවිතයක්ද ගත කළේ කියලා. සමහර වෙලාවට මම මහත්තයා දකින්නේ සතියකට විතර පස්සේ. හැබැයි ඉතින් අද කාලෙ ඊට වඩා වෙනස්. දැන් නුලාරා  දුව කියන්නෙත් මේ ගෙදර දරුවෙක් මිසක් අපි පිට තැනකින් එක්කරගෙන ආපු දරුවෙක් නෙමෙයි සෝමා. කොතැනක හරි වරදක් වෙනවනම් හිත් රිදීමක් වෙනවනම් දෙමව්පියෝ විදිහට අපි හිතන්න ඕනේ පිටින් හරි ඉඳගෙන කොහොමද අපි  එයාලට උදව් කරන්නෙ කියලා. මේ ගෙදරට පය තියපු මුල් තත්පරේ ඉඳලම මට ඒ වෙනස දැණුනා. අර දරුවාගේ අම්මා උනත් ඉන්නේ හැම තිස්සෙම ගැස්සිලා වගේ.”

“අනේ නෝනා මං මේ කේලම් කියනවා නෙමෙයි…”

“මං කවුරුත් කියන කේලං අහන්නේ නෑ සෝමා. සෝමට මතකද දන්නේ නැහැ අපි ඇමරිකාවට යන්න කලින් දවසෙ රෑ මම සෝමට කිව්වා දැන් ඉතින් මේ දරුවෝ දෙන්නගෙ අම්මා ඔයා තමයි කියලා. තමන්ගේ දරුවෙක් බලා ගන්නවා වගේ ආදරෙන් මේ දෙන්නා බලාගන්න කියලා”

“අනේ ඔව් ලොකු නෝනා.. මං ඒ විදිහටම තමයි හැමදේම කලේ.”

“මොකක්ද සෝම මේ දෙන්න අතර තියෙන්නේ හිත් රිදීම.”

“ඉස්සර චූටි නෝනා හරි සතුටින් හිටියේ. හැම තිස්සෙම හිනාවෙලා මේ ගෙදර වැඩ පළ කරගෙන කොච්චර එපා කිව්වත් කුස්සියට ඇවිල්ලා මටත් උයන්න උදව් වෙනවා. මහත්තය ආස කරන දේවල් නෝනගේ අතින්ම හදලා දෙන්න තමයි නෝනා ආස. මහත්තයාගේ ඇඳුම පවා තෝරලා දුන්නේ චූටි නෝනා. මහත්තයත් ගෙදර ආවට පස්සේ මේ ගෙදර හිනාවෙන් කතාවෙන් පිරිලා ගිහිල්ලා තිබුණා. චූටි නෝනා චූට් දරුවෙක්ම තමයි..” 

“ඒ දේවල් වලට මොකද සෝමා වුනේ…ඇයි මේ දෙන්නා නාඳුනන්නෝ වගේ ඉන්නේ”

“මං දන්නෙ නෑ නෝනා. එක පාරටම චූටි නෝන වෙනස් වුණා. මට ඇහිලා තියෙනවා ඒ ගැන මහත්තයා නෝනගේ අම්මත් එක්කත් කතා කරනවා. මහත්තයන් නිතරම කිව්වේ නෝනා ඉන්න තත්ත්වෙත් එක්ක එයාගේ හිතට බය ඇති කියලා. ගොඩක් වෙලාවට නෝනා හිටියේ  කාමරේටම වෙලා. අර නෝනගේ යාලුවා සංකල්පනී මිස් ආපු වෙලාවට විතරයි නෝනා එළියට බැහැලා ඉන්නවාවත් දැන්. අපේ  සුදු මහත්තයා එළියට යන්න කතා කළත් නෝනා වැඩිය එළිපහලියටවත් ගියේ නෑ. සංකල්පනී නෝනා ආවට පස්සේ තමයි මේ මිදුලේ අපේ චූටි නෝනව ඇවිද්දවන්නේ. 

දවසක් මට චූටි නෝනයි මහත්තයයි කතා කරන දෙයක් ඇහුන අපේ ලොකු නෝනා. මං වැරදි ඇති මං ඒක අහගෙන හිටියා.”

සෝමා එවර පැවසූයේ බිම බලාගෙනය. 

“ඒකට කමක් නෑ සෝමා. සමහර දේවල් තියෙනවා අපේ හොඳටම සිද්ධ වෙනවා. ඒ කතා බහේ මොනවා හරි වෙනසක් තිබුණු හින්දනේ සෝමට අහගෙන ඉන්න හිතෙන්න ඇත්තේ. මොනවද සෝම දෙන්න කතා වුනේ.?”

නයනා එවර ඇසුවේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. කුමක් හෝ සිදුව තිබෙන බව විශ්වාසය. 

“අපේ චූටි නෝනා….අපේ චූටි නෝනා කිව්වේ…”

නයනා තමා උන් අසුනෙන් නැගී සිටියේ ඇය එසේ යමක් පවසන්නට ගොස් ගිල ගනිද්දීය. අත වූ  කෝප්පය පසෙක තබා ඇය  සෝමා අසලට ගොස් ඒ  දෑත් අල්ලා ගත්තේ ලෙන්ගතුකමින්ය. 

“සෝමා සමහරවිට අපි මේ වෙන්න තිබුණු ලොකු විපතක් වළක්වනවා වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නවලට අපි කලබල වෙලා විසඳුම් හොයන්න බෑ සෝමා. කොහොමත් දෙන්නෙක් එක වහලක් යටට එකතු වෙච්ච අලුත නොගැලපීම් දහසක් තියෙන්න පුළුවන්. තරුණ දරුවෝ ඒවට ආවේගශීලීව උත්තර හොයන්නත් පුළුවන්. අපි දෙන්නටම වගකීමක් තියෙනවා සෝමා අපේ දරුවන්ව නිවැරදි මාර්ගයකට යොමු කරන්න. නුලාරා දුව අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගතපු වෙලාවෙත් මං මහත්තයට කිව්වේ සෝමා ඉන්නවනේ මං වගේම බලා ගනියි කියලා.  ඒ නිසා දන්න දෙයක් තියෙනවා නම් මට හංගන්නෙ නැතුව කියන්න. ඒක මේ වෙලාවේ සෝම අපිට කරන ලොකු උදව්වක්.”

“අපේ ලොකු නෝනා…අපේ චූටි නෝනා ..සුදු මහත්තයා…අනේ ලොකු නෝනා මං කොහොමද ඒක කියන්නේ.”

“සෝමට කියන්නම වෙනවා. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. අපි මේ දරුවෝ දෙන්නා ගැන බලන්න ඕනේ. දැන් ඒ සම්පූර්ණ පවුලක්. තුන් දෙනෙක්.”

“අපේ චූටි මහත්තයා අර..මන්දස්මිතා කියන නෝනත් එක්ක යාළුයි කියලා..ඒකට අපේ චූටි නෝනා රණ්ඩු වුණා…”

නයනා රඹුක්වැල්ල එහා පස වූ පුටුවට කඩා වැටුනේ “මොනවා…” යැයි කියාගෙනය. මේ ඈ කිසිසේත්ම බලාපොරොත්තු වූ පුවතක් නොවේ..

(හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here