ආදර මල්වල පාට කියන්නද? – 49

0
1631

ආකර්ෂා කොච්චර මහන්සි වුණත් එළියට එක්කරගෙන ගිහිල්ලා කවීන්ව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ආච්චි අම්මා ඒකට දැඩි සේ විරුද්ධ වෙච්ච හන්දා ආකර්ෂත් උන්නෙ අසරණ වෙලා.

හැබැයි කෙල්ල උන්නෙ හිත යටින් පුදුමාකාර සන්තෝසෙක. තමන් හිතුවටත් වඩා හොඳට තමන්ගෙ ප්ලෑන් එක ඉස්සරහට කරගෙන යන්නෙ ආච්චි අම්මා දන්නෙම නැතුව දුන්න මේ සපෝට් එක කෙල්ලව මාරම ලොකු සන්තෝසෙකට අරගෙන යන්න හේතුවක් වුණා කිව්වොතින් හරියටම හරි. ලේඩි කලම්බු සෙවන් හිතන් ඉන්නේ එයා ගේම ගහනවා කියලා වුණාට, ඇත්තටම නාකිච්චි කරේ තමන් හදපු උගුල ඇතුළටම එයාගෙ මුළු පවුලම තල්ලු කරපු එක කියලා දැනගෙන උන්නෙ කෙල්ල විතරයි.

කවීන් දැන් තමන්ට ඕන ලෙවල් එකට අසනීප වෙලා ඉන්න හන්දා කෙල්ල තවදුරටත් කොල්ලගෙ උණු කිරි එකට එයා මෙච්චර දවසක් ඇඩ් කරපු දේ ඇඩ් කරන්න හිතුවෙ නෑ. හැබැයි කෙල්ල ආදරේ කිසිම අඩුවක් කරන්නෙ නැතුව, කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව කවීන්ව පුදුමාකාර ආදරේකින් බලාගත්තා. කවීන් ඇත්තටම ඇඟ පතෙනුත් හොඳටම කෙට්ටු වෙලා, කිසි දෙයක් කරකියාගන්න බැරි, තනියම ඇඳෙන් නැගිටින්නවත් බැරි ලෙවල් එකේ මනුස්සයෙක් වෙද්දි මෙච්චර දවසක් කවීන් එයා උන්න රූම් එකේ ඉඳලා ඔෆිස් රූම් එකට යන්න සීක්‍රට් ඩෝ එකක් තිබුණ වික්‍රමසිංහගෙ රූම් එකටම මාරු කරගත්තෙ එකපාර තාත්තාවයි පුතාවයි දෙන්නවම බලාගන්න එතකොට ආකර්ෂට ලේසි වෙච්ච හන්දා. ආකර්ෂා තමන්ට මෙයාකාර අසනීප වෙලා ඉන්දැද්දිත් තමන්ව සෑහෙන ආදරේකින් බලාගන්න එක දරාගන්න බැරිම තැන වගෙ කවීන් ගොත ගහ ගහා ආකර්ෂට කීප සැරයක්ම කියන්න ට්‍රයි කරා.

“ඔයා මාව දාලා යන්න, තේරුමක් නෑ මං වගේ ලෙඩෙක්ව බලාගෙන” කියලා. ඒත් ආකර්ෂා නම් උන්නෙ ඉස්සරහට තිබ්බ අඩිය තමන්ගෙ ප්ලෑන් එක හරියටම සක්සෆුල් කරගෙන මිසක් පස්සට අඩියක් තියන්නෙ නෑමයි කියලා හිතාගෙන කෙල්ල මුණිච්චාවට හිනාවෙවී කවීන්ගේ ඔළුව අතගෑවා මිසක් කිසිම සැබෑ අනුකම්පාවක් කෙල්ලගේ හිතේ තිබ්බේ නෑ.

“ඔයා හිතුවෙ ඔයා මෙහෙම අසරණ වෙලා පැත්ත වැටිලා ඉද්දි මං ඔයාව දාලා යාවි කියලනං ඔයාට වැරදිලා මහත්තයො. ඔයා මගේ ආදරේ ගැන හරියට දැනගෙන ඉඳලා නෑ. ඒකයි ඔහොම කියන්නෙ. මං ඔයා වැඳ වැටිලා කිව්වත් ඔයාව සනීප කරගෙන මිසක් මේ ගෙදරින් අඩියක් එළියට තියන්නෙ නෑ. ඔයා මාව දන්නෙ නෑ සුදූ හරියට” කියලා කෙල්ල කිව්වෙ කවීන්ගෙ ඔලුව මාර ආදරේකින් අත ගාන ගමන්.

ඔහොම දවස් කිහිපයක් ගෙවිලා ගියා.

කවීන් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ හැමෝගෙම හිත් අස්සෙ තෙරපි තෙරපි තියෙද්දි ආච්චි අම්මා ලෝයර් එක්ක කතා කරලා “කවීන් ටිකක් අසනීපෙන් ඉන්නෙ ඒ හන්දා මේ ටික කාලෙකට බිස්නස් එක බලාගන්න” කියලා අදාල ඩිරෙක්ශන්ස් දීලා තිබුන නිසා කවීන්ට ගෙදරට වෙලා රෙස්ට් කරන්න ඕනවටත් වඩා හොඳට ඉඩකඩ හම්බවුණා.

අන්න එහෙම දවස් ගෙවිලා ගිහින් එක දවසක් මහ රෑ මුළු ගෙදරම මල ගෙදරක වගේ මහා මූසල, හුදකලා නිශ්ශබ්දතාවයක ගිලිලා තිබුණා.

 ජනේලෙන් ගලාගෙන ආපු හඳ එළිය විතරක් කාමරේ බිමට වැටිලා තිබුණා.

 වික්‍රමසිංහ එක ඇඳක අප්‍රාණිකව වැටිලා නිදියන් ඉද්දී, අනෙක් ඇඳේ කවීන් හොඳටම අසනීප වෙලා මහා බර නින්දකට වැටිලයි උන්නේ. උදේ ඉඳන් ලෙඩ්ඩු දෙන්නෙක්වම තනියම නාවලා, කවලා, බලාගෙන මාරම මහන්සි වෙලා හිටපු ආකර්ෂාටත්, ඇඳන් දෙක මැද තිබ්බ ලී පුටුව උඩම ඔළුව තියාගෙන තදටම නින්ද ගිහින් තිබුණා. මුළු ලෝකෙම තිබ්බෙ මහා අන්ධකාරෙක වගේම සයිලන්ස් එකක් අස්සෙ හිරවෙලා.

හැබැයි එකපාරටම, මහ රෑ 1ට විතර, මුළු කාමරේම හිරිවැටිලා යන විදිහේ හීන් සීරුවේ ඇහෙන මොකක් හරි සද්දෙකට ආකර්ෂා එකපාරටම ගැස්සිලා ඇහැරුණා. කෙල්ලගේ ඇස් දෙක අඳුර අස්සෙන් ලොකු වුණේ මහා කුතුහලයකින් වගේම තිගැස්මකින්. ඒ සද්දේ ආවේ වෙන කොහෙන්වත් නෙවෙයි කවීන් නිදාගෙන ඉන්න ඇඳට පිටිපස්සෙන් තිබ්බ, අර ඔෆිස් රූම් එකට යන්න තියෙන රහස් දොර අස්සෙන් කියන එක ආකර්ෂට තේරුණේ ටිකක් වෙලාව යද්දි.

මහ රෑ එකට, ගෙදර හැමෝම නිදි වෙලාවක ඔෆිස් රූම් එක ඇතුළේ කවුරුහරි ලාච්චු අදිනවා වගේ, ලොකර් එකක් ඇතුළේ තියෙන ෆයිල්ස් පෙරළනවා වගේ හීන් සීරුවේ ඇහෙන සද්දයක් එන්න විදියක් තියෙනවද කියන ප්‍රශ්නාර්තෙ හිත අස්සට එද්දි, කවුරුහරි මාරම හින් සීරු විදිහකට, හැබැයි කලබලෙන් මොනාහරි දෙයක් හොයනවා කියලා ආකර්ෂාට තේරුණා. කෙල්ලගේ හදවත ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තෙ පරාණ බයට.

“මේ මහ රෑ කවුද ඔෆිස් රූම් එක අස්සෙ දඟලන්නෙ?” කියලා හිතන ගමන් කෙල්ල කරෙ වික්‍රමසිංහ නිදාගෙන උන්න ඇඳ දිහාව බලන එක.

ඉස්සර නම් වික්‍රමසිංහ අංකල් මහ රෑ ඇහැරගෙන ඔහොම විකාර නටන්න තියාගත්තට මොකෝ තමන්ගෙ සාත්තු සප්පායම් එක්ක ඒ මනුස්සයා පහුගිය ටිකේම එහෙම පිස්සු නැටුවෙ නෑ නේද කියලා ආකර්ෂා ඒත් කල්පනා කරා. හැබැයි වික්‍රමසිංහ උන්නෙ ඇඳේ හාන්සිවෙලා මර නින්දක.

“එහෙනම් මේ කවුද ඔෆිස් රූම් එක අස්සෙ ඉන්නෙ? එයාට මේ වෙලාවෙ ඔෆිස් එක අස්සෙ කරන්න තියෙන රාජකාරිය මොකද්ද?” කියන එක හිතට ආවට ආකර්ෂට ඇත්තටම ගට් එකක් තිබ්බෙ නෑ නැගිටලා ගිහිල්ලා ඒ ඉන්නෙ කවුද කියන එක බලන්න.

කෙල්ල බය වුණ පාරටම ඇඳ විට්ටම අල්ලගෙන සෑහෙන වෙලාවක් එකම විදිහට ගල් වෙලා උන්නා. පපුව “ඩග් ඩග් ඩග්” ගගා  ගැහෙන සද්දේ කාමරේ පුරාම දෝංකාර දෙනවා වගේ දැනෙද්දී, ආකර්ෂා හිමින් සැරේ කවීන් නිදාගෙන ඉන්න ඇඳ පැත්තට එබුණා. කවීන් මර නින්දේ. මිනිහගේ හුස්ම වැටෙන සද්දේ විතරයි අන්ධකාරෙ අස්සෙන් ඇහුණේ.

“එතකොට මේ ඇතුළේ ඉන්නේ කවුද?” කෙල්ල හිතින් මුමුණගත්තා.

ඒත් එක්කම, ඔෆිස් රූම් එක ඇතුළෙන් ආයෙමත් සද්දයක් ඇහුණා. මෙදා සැරේ ඇහුණේ යකඩ ලොකර් එකක් ඇරලා ඒක ඇතුළේ තියෙන බර ෆයිල් වගයක් මේසයක් උඩින් අතහරිනවා වගේ පොඩි ඩග් ගාපු සද්දයක්. කෙල්ලගේ ඇඟේ මයිල් කෙළින් වුණා.

ආකර්ෂා තමන්ගේ බය එකපාරටම කන්ට්‍රෝල් කරගත්තේ හිතට ආපු මාරම කුතුහලයක් හන්දා. කෙල්ල ඇඳ අයිනේ තිබ්බ ලී පුටුවෙන් නැගිට්ටේ සේරටම ලෑස්ති වෙලා. පය තියන සද්දේ බිමට දැනෙන්නෙ නැතිවෙන විදිහට මාරම හෙමින්, පූසෙක් වගේ අඩිය තිය තියා කෙල්ල අර ඔෆිස් රූම් එකට යන්න පුළුවන් රහස් දොර ළඟට ලං වුණා. දොර සම්පූර්ණයෙන්ම වහලා තිබ්බෙ. ඒ වගේම තමන් මේ රහස් දොර ඇරගෙන යන්න ගියොත් පොත් රාක්කෙ අංශක ගානකින් කැරකෙන බව දන්න හන්දත්, ඒකෙන් සද්දයක් ආවොතින් එහා පැත්තෙ ඉන්න හොරා මොකෙක් උනත් උට පැනලා යන්න පුළුවන් විත්තියත් අන්තිම තප්පරෙ ආකර්ෂට කල්පනා වුණා.

අන්න ඒ හන්දා තමයි කෙල්ල හිතුවෙ “මෙතනින් යන්නෙ නෑ මං දුවලා දුවලා වටෙන් ගිහින් බලනවා” කියලා.

කාමරෙන් එළියට යන මේන් ඩෝ එක ඇරගෙන තමන්ගෙ කාමරේ තියෙන පැත්තට යන්න සෑහෙන වෙලාවක් යන බව තේරුණාට වෙන කරන්න දෙයක් කෙල්ලට තිබ්බෙ නෑ.

අන්න ඒ හන්දයි කෙල්ල ෆෝන් එකේ ටෝච් එකත් ගහගෙන වික්‍රමසිංහගෙ කාමරේ ඉඳලා තමන්ගෙ කාමරේ ළඟ තිබ්බ මේ ගෙදර ඔෆිස් රූම් එකට යන්න ගමන පටන් ගත්තෙ.

“හොරාට හරි ලේසියි ඔක්කොම අරන් පැනලත් යන්න. ඇයි ඉතින් ගෙවල් හදලා තියෙනවනෙ මාළිගා වගේ. මෙතන ඉඳන් අතනට යන්න පික් මී එකක් දාන්නෝන” කියලා හිතෙන බණින ගමන් කෙල්ල ගමන යන්න පටන් ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here