මලක් වී යළි පිපෙන්නම් – 44

0
114

“ඒ නිළියගේ නම සුභානි. එයා හරි හොඳට වැඩ කටයුතු කරගෙන ගියපු කෙනෙක්. බොහොම අවංකව ඒ  ළමයා වැඩ කළා. මට ඒවා ගැන ආපහු හොයලා බලන්න ඇඟිලි ගහන්න තරම් උවමනාවක් තිබුණේ නෑ. මොකද තාත්තා ගැන අවිශ්වාසයක සේයාවක්වත් මගේ හිතේ තිබුණෙ නෑ. ටික දවසක් යද්දි මේ ගෙදරට නිර්නාමික ලියුම් එන්න පටන් ගත්තා. ඒ ඔයාගේ තාත්තා අර මං කියපු සුබානිත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා. පළවෙනි පාර  තාත්තගෙන් ඒක ඇහුවහම තාත්තා හිනාවෙලා ප්‍රතික්ෂේප කළා. 

දෙවෙනි තුන්වැනි පාරත් අහද්දී තාත්තට කේන්ති ගියා. ඊට පස්සේ මං තාත්තගෙන් ඒ ගැන අහන්න බය වුණා. හැබැයි පුතේ ඒ කාලේ මං පුදුමාකාර විදිහට විඳවපු කාලයක්. හැම තිස්සේම තාත්තව මට නැතිවෙයි කියලා බයෙන් ජීවත් වෙච්ච කාලයක්. එහෙම උනොත් මට ඔයාගේ අක්කත් එක්ක පාරට බහින්න වෙයි කියලා බයෙන් ජීවත් වෙච්ච කාලයක්. ඒ විදවීම ගැන දන්නේ ඒ තත්ත්වෙට පත්වෙච්ච ගෑණු හිතක්ම විතරයි. කාලයත් එක්ක මං ඔළුවේ මවාගෙන හිටියා තාත්ත කවද හරි ඒ ගෑනු කෙනත් එක්ක අපිව දාලා යයි කියලා. සමහර වෙලාවට තාත්තා ඒ අය එක්ක වැඩ කරන පින්තූර පවා අපේ ගෙදරට පෝස්ට් එකෙන් ආවා. ඒ හැම තැනකම ඒ ගෑනු කෙනා තාත්තට හරි සමීප වෙලා හිටියා, විශ්වාසයත් අවිශ්වාසයත් අතර හිතක් නතර කරන්න තරම්. හැබැයි හරි ඉක්මනට ඇත්ත එළියට ආව පුතේ.”

“ඇත්ත එළියට ආව කිව්වේ.”

“මං කිව්වේ අර තාත්තත් එක්ක වැඩ කරන්න ඉඳලා මුදලුත් අරගෙන අන්තිමට අයින් වෙලා ගියපු මනුස්සයා..ඒ මනුස්සයාගේ වුවමනාවන් තමයි මේ සුභානි කියන ගෑනු කෙනා සපුරලා තියෙන්නේ.”

“ඒ කිව්වේ…”

“ඒ මනුස්සයා එහෙන් තව පඩියක් මේ සුභානිට ගෙවලා තියෙනවා. පුළුවන් තරම් ඔයාගේ තාත්තට ලංවෙලා අපේ පවුල් ජීවිතේ විනාස කරන්න තමයි එයාට ඕන වෙලා තිබුනේ.”

“ඉතින් තාත්ත ඒ කතාව විශ්වාස කළාද?”

“තාත්තා ඊට පස්සේ හරි පුදුම කතාවක් කිව්වා.’

“ඒ මොකක්ද ඒ…”

“නයනා ඔයා දැනගන්න කලින් මම සුභානි ගැන දැනගෙන හිටියා. මනුස්සයෙක් කතාබහ කරලා විශේෂ සැලකිල්ලක් තමන් ගැන දක්වන කොට ඒක තේරුම් ගන්න බැරි කමක් මට තිබුණේ නෑ. සුබානි වැඩට ඇවිල්ලා සතියක් දෙකක් යනකොට මට දැනුනා මට ඕනවට වඩා ළං වෙන්න උත්සාහ කරනවා කියලා. ඒ වගේම අපිත් එක්ක වැඩ කරන අනිත් සේවකයෝ අතරේ එයා ගැනයි මම ගැනයි වැරදි ප්‍රතිරූපයක් මවන්න උත්සාහ කරනවා කියලා. අන්න එතන ඉඳලා මං හරියට පරිස්සම් වුනා. ඔයා සමහර වෙලාවට ඒ ගැන අහද්දි ඒකයි මම ඒ වචන ඇහුන නෑහුනා වගේ හිටියේ. මේ ඇත්ත කවදා කොතැනකින් හරි එළියට ගන්න වුවමනාවක් මට තිබුණා. ඔයයි මමයි දෙන්නම කලබල උනානම් ඒක ඒ විදිහට කරගන්න බැරුව යනවා නයනා. මේ ගෙදර දවසින් දවස හිත නිවන තැනක් වෙන්නේ ඔයා නිසා. පැය විසි හතරෙම  මහන්සි වෙලා මේ ගෙදරට ආවත් ඔයාගේ දුවගෙ හිනාව  දකින පළවෙනි තත්පරේම ඒ මහන්සිය නිවෙනවා. ඒ ඇති මට…තවත් කෙනෙක් ළං කර ගන්න තරම් මගේ හිතේ හිස් තැනක් නෑ.’ 

“ඔයා දන්නවද පුතා ඊට පස්සෙ කාලෙක තාත්තා ඊට වඩා ප්‍රසිද්ධ නිරූපිකාවෝ එක්ක නිළියො එක්ක වැඩ කළා. ලියුම් වෙනුවට නිර්නාමික කෝල්ස් මටත් ඉඳලා හිටලා ආවා. තාත්ත සමහරවිට ඒ නිළියො එක්ක පිටරට වැඩවලට පවා ගියා. තාත්ත වයසට ගියපු මනුස්සයෙකුත් නෙවෙයිනේ පුතා. හැබැයි ඉතින් ගෑණු දාහක් මැද්දෙ තනියම තියන්න පුළුවන් කියලා විශ්වාසයක් ඒ වෙද්දි මට ඔයාගේ තාත්තා ගැන ඇතිවෙලා තිබුණා. ඒ විශ්වාසය නිකම්ම ඇතිවුණු එකක් නෙමෙයි පුතා. කාලයත් එක්ක, අපි පරිණත වීමත් එක්ක ඇතිවුණු එකක්. පවුල් ජීවිතයක් කියලා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ ගැටලු නිරාකරණය කරගෙන අපි ටිකෙන් ටික ඉස්සරහට යන එක පුතා.”

“ඇයි අම්මා මේ වගේ දෙයක් ගැන මමත් එක කතා කරන්න හිතුවේ. බබාගේ අම්මා මොනවා හරි අම්මත් එක්ක කිව්වද?”

“නෑ පුතා මට ඉස්සර වෙලාම ඔයාලා දෙන්නගෙ හැසිරීමෙන් ඒ වෙනස දැනුණා. සෝමා  කියන්නේ මට පස්සේ ඔයාලව බලා ගතපු ඔයාලගේ අම්මා. සෝමා මේ දේවල් මුලින්ම මමත් එක්ක කියන්න කැමති වුණේ නෑ පුතා. හැබැයි ඉතින් අන්තිමට ඒ මනුස්සයාට ඇහුණු දැනුනු දේවල් විතරක් මමත් එක කතා කළා. පෙරේදා හවස පුතා තේජන පුතත්  එක්ක ෆෝන් එකෙන් කතා කරනවා මං අහගෙන හිටියා. ඒක වරදක් වෙන්න ඇති. හැබැයි ඉතින් මේ ගෙදර අපි හතර දෙනා එකට බැඳිලා උන්නේ හරියට දම්වැලක පුරුක් වගේ. එක එක්කෙනාගේ සැප දුක හොයාගෙන දුක සැප බෙදාගෙන අපි එකතුවෙලා හිටියා. මට තාත්තත් එක්ක මේ ගැන කතා කරන්න බැරි වුණා. හැබැයි මම අක්කත් එක්ක කතා කළා. ඒ වෙලාවේ අක්ක කිව්වේ අම්මා වචනෙකින්වත් ඒ දෙන්න අතරට යන්න එපාා කියලා. ඒත් අද ඔයා තාත්තා කෙනෙක් හින්දා ඔයාට තේරෙනව ඇති අම්මා කෙනෙකුට එහෙම ඉන්න බෑ කියලා. පුතේ ඔයාගෙන් මොනවා හරි නොදැනුවත්කමට හරි වැරැද්දක් වෙනවනම් මම හිට ගත්තේ  නුලාරා දුවගේ පැත්තෙ. මොකද ඒ ගෑණු හිතක ඇතිවන වේදනාව මං හොඳටම අඳුරන නිසා. මේ කතාව ඔයාට කියන්න හේතු කීපයක්ම තිබුණා පුතේ. ඔයාගේ හිත දන්නවා ඔයා මොන තරම් නිර්දෝෂීද කියලා. අපිට තරහකාරයෝ නෑ කියලා අපි හිතුවට අපිට ඉරිසියා කරන මිනිස්සු තරහකාරයෝ ඕන තරම් ඉන්න පුළුවන් අපිත් නොදැනුවත්වම”

“අම්මා එදා ඒ තාත්තට වෙච්ච දේම තමයි අද මට වෙන්නේ. හැබැයි ඉතින් මන්දස්මි කියන්නේ කාගෙවත් වුවමනාවකට අපේ ඔෆිස් එකට ඇවිල්ල වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමයි අම්මා මන්දස්මි කොයිම වෙලාවකවත් මමත් එක්ක විශේෂ යාළුකමක් ඇති කරගන්න උත්සාහ කරන්නේ නෑ. මට බොහොම රෙක්ස්පෙක්ට්  කරලා මමත් එක්ක වැඩ කරන ළමයෙක් අම්මා.”

“එහෙමනම් පුතාට තියෙන්නෙ ඉවසන්න…”

“මට තේරෙන්නෙ නෑ අම්මා මේ වගේ ප්‍රශ්නෙකට මට මැදිහත් වෙන්න වෙයි කියලා මං කොහොමටවත් හිතුවේ නෑ. එදා වගේම අදත් මං අම්මගේ තාත්තගෙ ගෞරවය ගැන හිතෙනවා. මගේ ගෞරවය ගැන හිතනවා. එහෙම වෙන්න තරම් මගේ හිත හිස් නෑ අම්මා.”

“මට තේරෙනවා පුතා…”

නයනා එසේ පැවසූයේ දෑස්මත කඳුළක් තබාගෙනය. අහේතුකවම තමා එදා විඳ  වූ තරම දන්නේ මේ සිත පමණි. නයනා චාරුක හා කතා කළේ ඒ ගැහැණු සිත ගැන ඔහුට අවබෝධයක් ලබා දෙන්නට සිතා ගෙනය. තමා හැදූ දරුවන් දෙදෙනා ගුණ යහපත් කම්වලින් සිටින්නේ ඉහළ තැනක බව විශ්වාසය.  දරුවන්ගේ විවාහ ජීවිතවල ප්‍රශ්න වලට දෙමව්පියන්ගේ මැදිහත් වීම ඉතා අර පරිස්සමට කලයුතු එකක් බව නයනා දැන සිටියාය. එහෙත් මගහැර  යා නොහැකි කම නිසාම ඇය චාරුක හා කතා කළේත් ඉවසිල්ලේය. 

“ඒ වගේම තමයි පුතා සේවකයෝ සිය ගණනකගේ ප්‍රශ්න විසඳුවත් සමහරවිට ගෙවල් වල ඇතිවන ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳගන්න කොට අපි පුළුවන් තරම් ඉවසිලිවන්ත වෙන්න ඕනේ. මං හිතනවා පුතාට මං කියන දේ තේරෙනව ඇති කියලා.”

“ඔව් අම්මා ඔයා මේ ගෙදර ලස්සන තැනක් කරන හැටි බලාගෙන ඉඳලා තාත්තා ලෝකෙටම නම ගෙනියපු බිස්නස් එකක් ඩිවලොප් කරන හැටි බලාගෙන ඉඳලා මමයි අක්කයි ඒ ඉවසීම හොඳටම පුරුදු වුනා කියලා මට හිතෙනවා. මට තේරෙනවා අම්මා බබා මේ වෙලාවෙ ඉන්නේ වැරදි වැටහීමක. ඉක්මනට මේ දේවල් හරියයි. අම්ම ප්‍රොමිස් වෙන්න ඒ ගැන හිතලා හිතේ දුකක් තියාගන්නේ නෑ කියලා.”

“අක්කගෙයි ඔයාගෙයි සතුට තමයි පුතේ මේ  අම්මගේ සතුට වෙන්නේ.”

නයනා  එවර පැවසූයේ තමා පාමුල අසුන්ගෙන  දෝතම අල්ලාගෙන සිටි පුතණුවන්ටය. 

                                     ************

මෙවරත් වැටුපෙන් ධනුක සංකල්පනීට ලබා දුන්නේ රුපියල් හතළිස් දහසක මුදලක් පමණි. දැන් දැන් බොහෝ දිනවල ඔහු ඇනෙක්සියට පැමිණෙන්නේත් පදමට මත් වූවාට පසුවය. එනිසාම සංකල්පනී රාත්‍රියේ කිසිවක් නොඅසා සිටියේ හිතාමතාමය. 

“ධනුක..මේ මාසේ සැලරි එක  කීයක් විතර තිබුණද ඔයා ඕ ටීත් ටිකක් වැඩපුර කළානේ..”

පසුදා උදෑසන සංකල්පනී ඇසුවේ ඔහු වෙනුවෙන් සැකසූ බිත්තර ඔම්ලට් එකත් පාන් පෙති දෙකක් ඔහු වෙත ලබා දෙම්න්ය. 

ධනුක උත්සාහ දැරුවේ ඇයව නොඇසුනා සේ සිටින්නටය. මේ මස ඔහු වර්ණ ඇඩ්වටයිසින් විසින් ලැබූ වැටුප එක්ලක්ෂ අසූ දහසකට ආසන්නය. ඉන් ලක්ෂයක මුදලක් ඔහු දේවිකා වෙත යැව්වේ සේරසිංහ දුන් චෙක්පතේ මුදල්ද එකතු කරමින්ය. හැටදහසක මුදලක් තමා අත රඳවාගත් ධනුක සංකල්පනී අතට ලබා දුන්නේ හතළිස් දහසක් පමණි. 

බොහෝ කලකින් නිවසෙන් පිටතට යාමට නොහැකි වූ නිසා සංකල්පනී සිතා සිටියේ චිත්‍රපටියක් නරඹා රාත්‍රී ආහාරය පිටතින් රැගෙන පැමිණෙන්නටය. ජීවිතයේ සැහැල්ලුවෙන්ම ගෙවා දැමූ කාලයේ සේ ඒ යතුරුපැදියේ පිටුපස නැගී කොහේ හෝ ඇවිදින්නට යාමට පුදුමාකාර ආසාවක් සංකල්පනීගේ සිතෙහි ඉපිද තිබිණ. එහෙත් ඊට හරස්ව තිබුණේ කාලයයි. ධනුකට  නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් නොවීමයි. නිවසේ සිටින විවේකී ඉරිදා දිනයේ දී පවා ඔහු සංගීත කණ්ඩායමේ පුහුණුවීම්  සඳහා සහභාගී වූයේ ඒ ඔහුගේ සිහිනය වී තිබූ නිසාය. ඒ ගමන වළක්වන්නට හෝ ඉල්ලීම් කරන්නට සිතක් සංකල්පනීට වූයේ නැත.

(හෙටත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here