ගීතාංජලී – 5

0
127

“ඔව් නෝනෙ.පිරිමි හොල්මනක්.පොකුනෙ ගිලිල මැරිච්ච හොල්මනක් ඉන්නවලු”

“පිරිමි හොල්මනක්? ගිලිල මැරිල? දෙයියනේ”

රෙදි වන වන ඉඳපු අත් දෙක වෙව්ලනව වගේ තමයි මට දැනුනෙ.

ඒකියන්නෙ රංජිත් හොල්මනක්ද?…

මන් දන්නෙ නෑ මට නිකන් දැනුනෙ කලන්තෙ හැදෙන්නාහේ වගෙ.දෙයියනේ හේනම් මන් අච්චර වෙලා දොඩල තියෙන්නෙ හොල්මනක් එක්කද? එක එක විකාර කල්පනා කොර කොර මන් කොලේ ලෙච්චමීගෙ මූණ දිහාව බලාන උන්නු එක.ඒකිටත් තේරුනාද මන්ද මන් බයගත්තු විත්තිය මගෙ මූණ දැක්කම.

“නෝනෙ බය උනාද?”

“නෑ…නැහ් නැහ් ලෙච්චමී මක්කටද බයවෙන්නෙ? “

“නෝනෙට මුණ ගැඋනද හොල්මනව?”

“නෑ ලෙච්චමී මොන හොල්මන්ද ? මන් යස අගේට මේ නාගෙන ආවෙ.”

එහෙම කියල මන් හනිකට බාල්දියෙ තිබ්බ වතුර ඩිංග නාරං ගහ මුලට ඉහලගෙට එන්න පය ඉස්සර කොලා.

“මන් මේ කෑම කන්න එන්න කියල කතාකරන්න හැදුව විතරයි.යන් දුවේ කන්න”

මන් කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් වෙද්දිමයි නැන්ද ඇවිදින් කතා කොලේ.

“යන් නැන්දෙ මන් එන්නම් බාල්දිය තියල.”

“ලෙච්චමී උඹත් ඇවිත් කාහන්.මන් බත් බෙදල වහල ඇති ආන් කුස්සියෙ මේසෙ උඩ”

කෑම මේසෙ උඩ ගම්මැදි වෑංජන ජාති තියෙනව දැක්ක. කරවල බැදුමක්, කෙසෙල්මුව තෙල් දාල, පරිප්පු හින්දල හදල, තව මක්කද කොල සම්බෝලෙකුත් තිබුන.

“මන් වැඩිය සීතල ජාති හැදුවෙ නෑ දුවේ, උදේ පාන්දරම කිතුල් පිටි කැඳ බීව හන්දා.දූ කනවද මන්ද මෙව්ව. මන් කිරිකොස් ඩිංගක් හැඳුව, හිටින්න දුවේ ඒකත් අරන් එනකම්”

නැන්දගෙ කෑම නම් හැබෑටම රහයි.අපේ අම්ම උයනව වගේම ලුනු මිරිස් හෙම ගානට දාල හදල තිබුනා.මන් කාල නැති තැල් කොල කියාල ජාතියකුත් හදල තිබුනා. කන ගමන් දිගටන නැන්ද කතාකොලේ ඉස්සර මෙහෙ තිබ්බ විස්තර තමා.

“අපි තමා දුවේ දැන් අවුරුදු ගානක ඉඳන්ම මහ පිරිතට ඔක්කොම වියහියදම් දරන්නෙ.පන්සලෙන් හන්ද ඉස්කෝලෙ නඩත්තු කොරන්නෙ, ඉස්කෝලෙ තමා පිරිත කොරන්නෙ.හාංදුරුවො අන කොරල තියෙන්නෙ මුලු ගමේම ඇත්තන්ට එන්න ඕනය කියල පිරිතට..හැබෑටම ඉතින් දුවෙ අන්තිමෙ යන තැනකටය කියාල ඉතුරුවෙන්නෙ ඔච්චර තමා.”

“ඉස්කෝලෙ තියෙන්නෙ මේ ලඟදි නැන්දෙ?”

“ලඟම නෙවි දුවේ.ඩිංගක් යන්න ඕන.දූ බයවෙන්න එපා.මන් සියාතුට කිව්ව දූව හෙට ඩිංගක් ඉස්කෝලෙට එක්කන් යන්න එන්නය කියාල.”

එහෙම කිව්වමනම් මට ඩිංගක් හිතට සැනසිල්ලක් තමා දැනුනෙ.හිත අස්සෙ රංජිත් කියන්නෙ හොල්මනක්ද කියන සැකේ ඔඩු දිව්ව. දෙයියනේ මන් දන්නෙ නෑ මටම මේ මෙව්ව වෙන්නෙ මොකෑ කියල.

“අම්මට ලියුම් කරදහියක් යවන්නත් ඕන”

මන් එහෙම කිව්වම නැන්ද ආයෙම මන් දිහාව බලල හිනාඋනා.

“අනෙ ඔව් දුවේ.අම්මල බයවෙලත් ඇති දූ ගැන.ලියුම් කරදහියක් අදම ලියල හෙට ඉස්කෝලෙට යද්දි තැපෑලට දීගෙන යන්න පුලුවන්නෙ දුවේ.”

“ඒකතමා නැන්දෙ අම්ම බයේ ඉන්නව ඇත්තෙ.මන් එනවටත්  එයා වැඩිය මනාප උනේ නෑ දුර හන්ද. මෙහෙ පරණ ඉස්කෝලෙ නෝනෙක්ගෙ ගෙදර නතර වෙන්න ඇහැක්‍ ය කිව්වට පස්සෙ තමා අම්ම ඩිංගක් හිත සනසගත්තෙ”

“අනේ ඔව් දුවේ.දරු හැවිකාරෙ තරම් ලොකු නෑ දුවේ වෙන මුකුත්. අම්මෙක්ම තමා ඒක දන්නෙ”

කාල බීල අහවර වෙලා ලෙච්චමී ගෙදර යන්න ගියා. නැන්දාට කුස්සිය අස් පස් කරගන්න උදව් පදව් උනාට පස්සෙ මන් උඩහ කාමරේට ආව ආයෙම.

මගෙ හිත තාම බයේ ගැහෙනව ලෙච්චමී රංජිත් ගැන කිව්ව කාරනාවට පස්සෙ.මන් කාමරේට ඇවිල්ලත් කොරේ උන්දැ ගැන කල්පනා කොරාපු එක තමා.

හොඳට කාල හිටපු හන්ද වෙන්නැති ඇඳේ හාන්සිවෙච්ච ඩිංගට නින්ද ගියා නෙව.ආයෙ ඇහැරෙද්දි හොඳටෝම හවස් වෙලා.නැන්ද කුස්සියට වෙලා වංගෙඩියෙ මක්කද දාගෙන කොටනව.

“නැගිට්ටද දුවේ.මන් ඇවිදින් බලද්දි දූ සනීපෙට නිදාගෙන උන්න.මන් ඩිංගක්.ඔලුවත් අතගාල ගියේ.ඇහැරෙව්වෙ නෑ ඒ හන්ද”

නැන්ද හරි ආදරණීය විදිහට තමා ඒක කිව්වෙ.ගෙදරදි නිදියෑවනම් අපෙ අම්ම බනිනව නෙව, “ලමිස්සියො ඔහොම බුදියනවද” කියල.

“ඇඳේ ඇල්වෙච්චි පමාවට නින්ද ගිහින් නෙව නැන්දෙ.නැන්දට් තිබ්බෙ කතාකොරන්න නෙව”

“ඒකට මක්වෙනවද දුවේ.ඔය ඩිංගක් නිදාගත්ත කියල මොකද?”

“නැන්ද මොනවද හදන්නෙ?”

“මන් මේ රෑට ඉඳිආප්ප හදන්නය කියාල හැදුවෙ දුවේ.පොල්සම්බල් හදන්න කියාල බැලුවෙ.”

“තව් මොනවද් නැන්දෙ හදන්නෙ?”

“දූ මොනාද කන්නෙ? තක්කාලි හොඳ්දක් හදන්නය කියල හිතුවෙ මන්”

“මන්හදන්නම් නැන්දෙ.නැන්ද ඉන්න.”

“දූට පුලුහනිද හදන්න?”

“මට ඇහැකි නැන්දෙ.මන් හදන්නම්.”

උයන ගමනුත් නැන්ද සෑහෙන විස්තර කිව්ව උන්දැ තරුන සන්දියෙ වෙච්චි එව්ව, කෙලිකමට කොරාපු එව්ව කියද්දි උන්දැගෙ මූන දිලිහුනේ ආයෙ ඒ සන්දියට ගියා හේ.පව්දෙයියනේ… දැන් තනියම ඉන්න හන්ද කතාබහකොරන්න කෙනෙක් නැතුවට වෙන්නැති මා එක්ක ඔව්ව කියවන්නෙ. මාත්  ඉතින් කතාවට රුසිය හන්දා ඔහේ එක එක වල් පල් දොඩව දොඩව උන්නෙ.

රෑට කෑම හෙම කාල හෙට උදහැන්ක්කෙ ඇඳන් යන්න ඕන සාරිය හෙම ලැහැත්ති කොරල, මන් නිදියෑවෙ හෙට උදේන් පටන් ගන්න අලුත් ජීවිතේ ගැන සෑහෙන හීන ගොඩක් හිතේ පුරවන්…

එකපාර රෑ මැද්දෑවෙ ඇහැරුනේ හුලං පාරක්  මගේ ඇඟ පුරා දැවටෙද්දි. සනීපෙට රෙද්ද පොරෝගෙන නිදියගන්න හිත කිව්වත් ආයෙම ඇහැරිල බැලුවෙ මේ හීතල හුලං පාරක් කොහෙන්ද කාමරේ අස්සට ආවෙ කියල.

බැලින්නම් ආයෙ වතාවක් අර ජනේලේ ඇරිල.හෝ හෝ සද්දෙට හුලං පාර මහ හයියෙන් කෑගහගෙන කාමරේ අස්සට ආවෙ උදව් ඉල්ලන් කෑගහන ගෑනියෙක් වගේ.හැබෑටම ඒ සද්දෙට මගෙ හිත ගැස්සුනා නොකිව්වොත් බොරු. බයෙන් බයෙන් මයි මම ජනේලෙ ලඟට ගියේ ජනේලෙ වහන්න කියල හිතාගෙන.

ජනේලෙ වහන්න එලිය පැත්තට බරවෙලා ජනේලෙ පියන අදිද්දි මන් නිකමට වගේ තමයි කැලෑව දිහාව බැලුවෙ.

මගෙ ඇස් රැවටුනාවත්ද?

මහ කැලෑව මැද්දෑවෙ කහ පාට එලියක් එහෙට්ට මෙහෙට්ට කැරකෙනව. හුලු අත්තක එලියක් වගෙත් නෙවි. අනික මේ මහ රෑ කැලෑව මැද්දෑවෙ හුලු අත්තක් පත්තු කරන් උනත් යන්නෙ කවුරුන්ද?  ඩිංග ඩිංග ඒ එලිය උඩහට යනව වගේ තමා මන් දුටුවෙ.

එච්චර හීගතුව තිබිලත් දෙයියනේ මගෙ ඇඟ පුරාම දාඩිය වැක්කුරුනෙ බයටම වෙන්නැති.

මන් දිගටම බලාගෙන උන්නා ඒ එලිය කොහෙටද යන්නෙ කියාලා. එකපාර ගොඩකවෙල වලව්ව පැත්තෙ මහ පාන පත්තු කොරනවත් එක්කම අර කහ පාට හින්නික්කිතර එලිය නැතිවෙලා ගියා.

ඉස්ටීවන් මහත්තය මහපාන පත්තු කරාපු හන්දමද කොහෙදෝ එකපාර කැලෑව අස්සෙ ගස් වල එල්ලිලා උන්නු වවුල්ලු රෑනක් මහ හයියෙන් තටු ගගහ ඉගිල්ලුනේ උන්ගෙ නින්දට ඉස්ටීවන් මහත්තය බාදා කරාට තරහෙන් වගේ කෑගහගෙන.

මන් ආයෙ ඩිංගක් වෙලා බලාන උන්නා අර කහපාට එලිය ආයෙ පත්තු වෙයිද කියාල.විනාඩි ගානක් ගිහිල්ලත් ඒ එලිය ආයෙ ආවෙ නැති හන්දා මන් ගොහින් නිදාගන්න තැනුවෙ. ඩිංගවෙලාවක් යනකම්ම හිත අස්සෙ පුරස්න කෝටියක් කැකෑරිච්ච හන්ද නින්දට මාව හොයාන එන්නත් වෙලා ගියා.

හැබෑටම මේ මහ රෑ කවුදෝ මහකැලෑව අස්සෙ එලිපත්තු කොරන් හක්මන් කොරන්නෙ? ඉස්ටීවන් මහත්තය වෙන්න බෑ නොව.උන්දැ ගෙදර හන්දනෙ මහ පාන පත්තු කලේ. ඒ ඇරෙන්න මේ මහරෑ කවුරුන්ද කැලෑවෙ හක්මන් කොරන්නෙ? අනික මක්කටද? රංජිත් වත්ද? රංජිත් කියන්නෙ හොල්මනක්නම් උන්දැට මක්කටද එලියක්? ඒකියන්නෙ රංජිත් හොල්මනක් නෙවිද? හොල්මනක් නෙවි නම් එයැයි කවුද? මක්කටද මේ රෑ තිස්සෙ කැලෑව අස්සෙ කොරන්නෙ? එයැයිද මේ ගෑනු ලමයි අන්තරස්දාන කොරන්නෙ?

ඔව්ව මෙව්ව කල්පනා කොර කොර ඉද්දි මට ඉබේම නින්ද ගියා.ආයෙ ඇහැරුනේ උදේ පාන්දර. හනික නැගිටල ටැංකියට් පිරෙව්ව වතුරෙන් මූන කට හෝදන් ආවෙ හීතල ගැබ වගතුවක්වත්  නැතුව වාගෙයි. පලවෙනි දවස හන්ද කහ පාට සාරියක් ඇඳල කොණ්ඩෙ ගෙඩියක් බැදල හීනි චේන් පට බෙල්ලෙ බැඳගන්න වෙනදට වඩා ඩිංගක් වෙලා ගියා. පොත් දාපු කරේ දාන මල්ලත් අරන් පල්ලෙහට බහිද්දි මට එකපාරටම කල්පනා උනේ ස්වර්ණව.එයැයිතුත් මේ වගේම බලාපොරොත්තු තියාන නේද මුල් දවසෙ ඉස්කෝලෙ උගන්නන්න යන්න ඇත්තෙ.

මන් පඩිපෙල දිගේ පල්ලෙහට බැහැන් එද්දි නැන්ද පඩිපෙල කෙලවරේ ඉඳන් බලාන උන්නෙ ඇස් වල මතුවෙච්චි කඳුලු බිංදු ඔසරි පොටෙන් පිහදාන් ගමන්.

“යන් දුවේ කිරිබත් ඩිංගක් කන්න.මන් කෑම ලෑස්ති කොලා.ඊට කලියෙන් දූගෙ අතින්ම බුදුන්ට පාන තියන්න.”

බුදුන්ට පාන තියල කිරිබත් ඩිංගක් කාල මන් ගෙයින් එලියට බහිද්දි නැන්ද ගේ දොරකඩ අද්දර වතුසුද්ද මලක් දාපු වතුර වීදුරුවකුත් තියාගෙන උන්න. අම්ම උන්නනම් එයැයිත් මෙහෙම කරාවි නේද?

මාව ඉස්කෝලෙට එක්කන් යන්න සියාතු මාම ඇවිදින් උන්න.උන්දැගෙ දෝණියැන්දද කොහෙදෝ ඈතින් උන්න.අපි එක පෙලට ඇවිදන් යද්දි සියාතු මාම අපේ පස්සෙන් ආව. ගම්මැද්දෑවෙන් යද්දි, කඩපිල ලඟදි හෙම මන් කවදාවත්ම දැකල නැති මිනිස්සු හේ බෝම යටාත් පාත්ව තමා ඔලුව හෙම නවල මාව පිලිගත්තෙ.මුලු පාරම සුදු පාට ගවුම් සරම්, කලිසම් ඇඳ ගත්ත ලමයින්ගෙන් පිරිල.සුදු කොක්කු රෑනක් වගේ.

ගමේ ඉස්කෝලෙ පිහිටල තිබ්බෙ හරි ලස්සන ඉසව්වක.ගස් කොලන් වලින් හෙවන වෙච්චි ලොකු පිට්ටනියක් කෙලවරේ තැන් තැන් වල විහිදිච්ච ඉස්කෝලෙ පන්ති තිබුන. මන් ඉස්කෝලෙට ඇතුල් වෙද්දිත් ලමයි හෙම ඔක්කෝම වැඩ රාජකාරි නවත්තල බලාන උන්නෙ කවුදැයි මේ අලුතෙන් ඇවිදින් ඉන්න එක්කෙනා කියාල හේ . ලැජ්ජත් හිතුන උන්දැල බලාඋන්නු හැටියට.

ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ කාමරේට ගොහින් එතුම එක්ක කතාකොරාට පස්සෙන් නම් ඩිංගක් විතර බය ඇරුනා.ලොකු ඉස්කෝලෙ මහත්තය හරි හොඳයි. උදෑසන රැස්වීම වෙලාවෙදිනම් මගෙ හිත ආයෙ ආපස්සට මන් ඉස්කෝලෙ ගිය සන්දියට ගියා.අපිත් එක  දවස්වල උදෑසන රැස්වීමෙදි අපි රැස්වීම අහවර වෙනකම් බලාන උන්නු හැටි මතක් උනා.

“මේ ගීතාංජලී නෝන ඇවිදින් ඉන්නෙ ගාල්ලෙ ඉඳල.බෝම උනන්දුවෙන් ඉගෙනීමෙ කටයුතු කොරල ට්‍රේනිං කොලීජියෙන් ඉංගිරීසි ඉස්කෝලෙ නෝනෙක් විදියට එලියට ඇවිත් මේ බෝම ඈතකට ඇවිදින් තියෙන්නෙ ඔය ලමයිට අකුරු සෑස්තරෙ කියාල දෙන්න.ඒ හන්ද ඔය ලමයින්ගෙ යුතුකම තමයි මේ නෝන කියන විදිහට ඉගෙනීමෙ කටයුතු කොරගෙන යහපැවැත්මෙන් කල් ගෙවන එක.”

රැස්වීම අහවර උනාට පස්සෙ ලොකු ඉස්කෝලෙ මහත්තයම මාව එක්කන් ගොහිල්ල අනිත් ගුරුවරුන්ට අදුන්නල දුන්න.මහ ගොඩක් උන්නෙ නෑ, ඔක්කොම ගුරුවරු ඕන්නං අටක් ඉන්න ඇති.

“මේ ඉන්නෙ කල්පනා ඉස්කෝලෙ නෝන.කල්පනා නෝනා තමා සිංහල, ගෘහ ආර්තිකේ හෙම බලන්නෙ.”

කල්පනාත් ඕනෙනම් මගෙ වයසෙම වෙන්නැති.එයාගෙ ගෙවල් නම් නුවර පලාතෙය කිව්ව.

“මේ ඉන්නෙ ඉන්ද්‍රා ඉස්කෝලෙ නෝන.ඉන්ද්‍රා නෝන තමා ගණිත පංතිය කියල බලන්නෙ.”

ඉන්ද්‍රා නෝන ඩිංගක් විතර සැර පාටයි.වයසයිත් එක්ක.මහත දෙහත මනුස්සයෙක්.

“මේ ඉන්නෙ සේන ඉස්කෝලෙ මහත්තය තමා ආගමයි, ඉහල පන්තිවල ලමයින්ට දේසපාලන විද්‍යාව, ඉතිහාස හෙම කියල දෙන්නෙ.”

උන්නැහේ නම් බුලත් හෙම කන, ආරිය සිංහල ඇඳුම ඇදල උන්නු වයසක මනුස්සයෙක්.කතාවටනම් හරි රුසියෙක් පාටයි.

” මේ ඉන්නෙ ආසිරි ඉස්කෝලෙ මහත්තය. උන්නැහෙ උගන්නන්නෙ සාරීරික් අභ්‍යාස, ක්‍රීඩා, විද්‍යාව.”

ආසිරි ඉස්කෝලෙ මහත්තය හරිම තරුණ පහේ කෙනෙක්.ක්‍රීඩා, සාරීරික අභ්‍යාස වලට ගැලපෙන්නෙ නැති කෙට්ටු උස සරීරයක් තමා උන්නැහේට තිබුනෙ. හරිම කඩවසං පෙනුමක් තමා උන්නැහේට තිබුනෙ.

උන්නැහේගෙ ඇස් බෝම යටට ගිලිච්චි ඇස්.ඒවයෙ තිබුනෙ හරි අමුතු හැඟීමක්.උන්නැහේ ලඟදි මගෙ හිත බෝම වේගෙන් ඩිග් ඩිග් ගානව මට ඇහුනා.උන්නැහේ බෝම ලස්සනට හිනාඋනා උනත් මට හිනාවෙන එක ඩිංගක් විතර අමාරු උනේ මක්කද කියල මට තේරුනේ නෑ.

එදා ඉස්කෝලෙ වේලාවෙදි ලමයි මා එක්ක ඉක්මනට එක්කහු වුනා.එදා පලවෙනි දවස හන්ද වැඩිය වැඩ රාජකාරි තිබ්බෙ නෑ. ලමයි එක්ක ඔහේ විස්තර කියව කියව උන්න.ඒ ලමයින්ටසෑහෙන පුරස්න තියන විත්තිය මට එයැයිල එක්ක කොරපු කතාවෙන් තේරුම් ගියා.

දවාලෙ ඉස්කෝලෙ අහවර වෙලා එද්දි ලමයි පේලියට මයෙ එක්ක වැටිල  වලව්ව කිට්ටුව වෙනකම්ම ආව. දවාලෙ උනත් මහලොකුවට අව්වක් කියාල තේරුනේ නෑ.

ඉස්කෝලෙ අහවර් වෙලා මන් එනකම් නැන්ද බලාන උන්නා. උන්දැගෙ පුරස්න කෝටියයි ඉස්කෝලෙ ගැන විස්තර අහල.මාත් සාරිය ගලෝල හැට්ටෙයි යට සායයි පිටින්ම කෑම කන ගමන් උන්දැ එක්ක දොඩව දොඩව උන්න. කෑම අහවර වෙලා නාගන්න කියල පහල පොකුනට යන්න ලක ලැහැත්ති උනාම තමා ආයෙ මගෙ හිතට රංජිත් ගැන පුරස්නෙයි ඊයෙ රෑ කැලෑව අස්සෙ හක්මන් කොලේ කවුදැයි කියන පුරස්නෙයි ආවෙ.

හෝදන්න ඕන රෙදි පෙරෙදි ටිකත් බාල්දියට දාගෙන නාරං ගහ අද්දරින් බහින ගමනුත් මන් පොකුන තියන දිහාව බැලුව කවුරුහරි ඉන්නවද කියා බලන්න.උන්දැ උන්නෙ නෑ. ඒ හන්ද මන් බය නැතුව පොකුන ලඟට අඩිය ඉක්මන් කොරා.

රෙදි ටික පෙඟෙන්න වතුර දාල, ඩිංගක් වෙලා පොකුනු කන්ඩිය උඩ වාඩිවෙලා ඉද්දිතමා ආයෙමත් මට ඇහුනෙ  පොකුනට ගලක් වැටෙනව.

හිත ඩිග් ඩිග් ගානව.

“අනෙ දෙයියනේ මන් දැනුවත්ව ඔබ වහන්සේට වරදක් කොරල නෑ.මාව මේ හොල්මනකට අහුවෙන්න නම් දෙන්න එපා.”

” ආහ් ගීතෝ, නාන්න ආවද අදත්?”

කිසි බයක් හැකක් නැතුව පිටිපස්සෙන් මට රංජිත්ගෙ කටහඬ ඇහෙද්දි ඇඟේ ලේ වතුර උනේ.උන්දැ මක්කටෙයි බයවෙන්නෙ? මන් නෙව බයවෙන්න ඕන හොල්මනකට…මට වෙන කොරන්න දෙයක් තිබ්බෙ නෑ….

හොල්මන් වලට ඇඟක් නෑ නෙව.ඒ හන්ද වතුර ගැහුවොතින් වදින්නෙත් නෑ නෙව.ඒම හිතල මම වතුර බාල්දියක් අරන් එකපාර උන්දැ උන්නු පැත්තට ගහල දැම්මා.

“බුදු අම්මෝ………….”

බාල්දිය ඇතෑරෙනව විතරයි මයෙ අම්මෙ මට මතක තිබුනේ.

-මතු සම්බන්දයි-

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here