“නංගිගෙ වෙඩින් එක සෙනසුරාදා….”
රන්දික එසේ පවසමින් දුරකථන ඇමතුමක් ලබා දෙද්දී සංකල්පනී වූයේ ඇඳ මතට වී කල්පනා කරමින්ය.
“ඔව් රන්දික ඔයා මට කලින් කිව්වනේ.”
“පවුලක් විදිහට අපි එකට එකතු වෙද්දී ඔයා නැති අඩුව තදින් දැනෙයි.”
ඔව් ඒක ඔයාගේ පැත්තෙන් හරි ඇති. ඒ උනාට සොරි. මට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ.”
“ඔව් මං ඒක නොදන්නවා නෙමෙයි. ඒත් යුතුකමක් විදිහට ඔයාට මතක් කරන්නයි මම කතා කළේ. මම ඔයාගේ අම්මටයි තාත්තටයි වෙඩින් එක කිව්වා. එයාලා එන බවත් මට කිව්වා.”
ඒ සංකල්පනී නොදැන උන් පුවතකි. අම්මාගේ අවවාද අනුශාසනා අසා සිටින්නට බැරි කමින්ම දැන් ඕ ඇයට කතා කරන්නේ ඉඳහිටය. රන්දිකගේ නිවසින් පිට වූවාට පසුව තමා ඔවුන් දුටුවේත් එකම එක වරකි. කසාඳ සැමියා අතහැර වෙනත් පිරිමියෙකු හා පලා ආ තමන්ව පිළිගන්නට ඒ සිත්වල කැමැත්තක් නොවූ බව දැනඋන් නිසා සංකල්පනී තව දුරටත් ඔවුන් හා ඇගෑළුම්කම් පවත්වන්නට නොගියාය. තවමත් රන්දික ගැන මතක් කරමින් දුක්වන, ධනුකට සාප කරන අම්මාට තමාගේ සිතැඟි පැහැදිලි කර දෙන්නට තරම් හැකියාවක් සංකල්පනීට වූයේ ද නැත. සිත රිදවා ගන්නවාට වඩා ලැබූ ජීවිතයට මුහුණ දෙන්නට ඇය සිත හදාගත්තේ අද ඊයේක නොවේ.
“මං ඒක දැනගෙන හිටියේ නෑ.”
“සමහර විට ඔයා අපිත් එක්ක නැති අඩුව සම්පූර්ණයෙන්ම නොවුනත් ටිකක් හරි පිරි මහන්න එයාලට පුළුවන් වෙයි.”
අවසන රන්දික එසේ පැවසුවේය. දුරකථනය විසන්ධිකර දමන්නට හදිසියක් වූයේ සංකල්පනීටය. අම්මාට දුරකතන ඇමතුමක් ලබාගන්නදැයි සිතූ ඕ බොහෝ වේලාවකට පසුව ඒ අදහස අතහැර දැමුවාය. තමා රන්දිකගේ ජීවිතයෙන් නික්ම ආවත් ඔවුන් අතර පැවැති සම්බන්ධකම් පළුදු වී නැතැයි සිතන්නට හොඳම උදාහරණය වූයේ ඔහුගේ ඒ කතාවය. අදටත් අම්මාටත් තාත්තාටත් රන්දික යනු මේ ජීවිතයේ හමු වූ හොඳම හමුවීමය.
පෙරදා රාත්‍රියේත් ධනුක පැමිණියේ හොඳටම බීමත්වය. සංකල්පනීට චිකන් හොද්දක් සාදා තබන්නයැයි පැවසූ ඔහු පරාටා ගෙන ආවේය. වෙනදා සේම සොඳුරු ආලිංගනයකට ඇරයුම් ලැබුණත් ඈ හිස කකියනවායැයි පවසමින් අනෙක් පස හැරුණාය. බමන මතින් වුවද ඔහු ඉන්පසු වේදනානාශක පෙති දෙකක් ගෙනවිත් ඈ අත තැබුවේ වතුර වීදුරුවක්ද සමඟය. ‘හෙට උදේට උයන්න නැගිටින්න එපා. මම කඩෙන් මොනවා හරි කන්නම්.’
යනුවෙන් පවසා ධනුක යළිත් ඇඳට පැමිණියේ පොරවනය ද සංකල්පනීගේ ඇඟට දැමුවාට පසුවය. කුමක්දෝ අහේතුවකට තමා අදත් ඔහුට මේසා බැඳී සිටින්නේ මන්දැයි සංකල්පනී සිතුවේ දෑස් මුලට උනා ආ කඳුළු වලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. විනාඩි කිහිපයකට පසුව ඇයට ඇසුණේ තමාගේ හිසට අතක් තබාගෙන උන් ධනුක මදක් හයියෙන් හුස්ම ගන්නා හඬය. ඒ ඔහු ගැඹුරු නින්දකට වැටී සිටින බව කියාපාන සලකුණුය.
අනෙක් පස හැරුණු සංකල්පනී ඔහුගේ බඳ වටා අතක් දමා ඒ වතට තුරුළු වූයේ පපුව රිදී යන තරම් වේදනාවකින්ය. ඇයි සිතා සිටියේ මේ තමාගේ ජීවිතයේ හමු වූ සොඳුරුම පිරිමියායැයි කියාය. අතහැර ගන්නට මේ සා ලෝබ වූයේත් එනිසාය. එළිවනතුරා නින්දත් නොනින්දත් අතර කාලය ගත කළ සංකල්පනී අවසන ඇඳෙන් බැස්සේ වෙනදාටත් වඩා වේලාසනින්ය.
ධනුක එපා යැයි පැවසුවත් ඈ කීරි සම්බා හාල් හුණ්ඩු දෙකක් ලිප තබා පෙරදා රාත්‍රියේ ඉතිරි කර තිබූ කුකුළුමස් කෑලි කිහිපයෙන් ඩෙවල් එකක්ද, පරිප්පු හින්දුමක්ද, ලූණු සම්බෝලයක්ද සාදා ඔහු වෙනුවෙන් බත් මුලක් බැන්දාය. ධනුක බොහෝ දිනවලට උදෑසන ආහාරය ගත්තේ පිටින්ය. පෙර දින රන්දිකගේ ඇමතුමෙන් පසුව ක්‍රියා විරහිත කළ ජංගම දුරකථනය ඕ යළිත් ක්‍රියාත්මක කළේ පාන්දරය. නුලාරාගෙන් මගහැරී ගිය ඇමතුම් විසිපහකට වඩා එහි සටහන්ව තිබිණ.
“ඇයි ෆෝන් එක ඕෆ් කරගෙන ධනුක ගෙදර ආවද ඔයාලා රණ්ඩු උනාද මොකක් හරි ප්‍රශ්නයක්ද. ඔයා මට ගොඩක් උදව් කළා. හැම වෙලාවකම මගේ ළඟ මමත් එක්ක හිටියා. ඔයාට මේ වෙලාවේ මගේ උදව් ඕනේ. මොනවද මට කරන්න පුළුවන්. ඔයාට ඕනනම් ඇවිල්ලා මෙහේ නතර වෙන්න. අනේ ප්ලීස් මොකද උනේ කියලා මට කියන්නකො.”
අවසන ඇය විසින් එවූ කෙටි පණිවිඩය කියවූ සංකල්පනී ‘අපි අතර ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. මම ධනුකට මේ කිසිම දෙයක් කිව්වෙවත් ඇහුවෙවත් නෑ. මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ඕනේ කලබල වෙලා නෙමෙයි. මට තද හිස කැක්කුමක් තිබුණා. ඒකයි ෆෝන් එක ඕෆ් කලේ. ධනුක ගියාට පස්සේ මම ඔයාට කතා කරන්නම්’ යනුවෙන් පිළිතුරු පණිවිඩයක් යැව්වාය.
“මං කිව්වනේ නැගිටින්න එපා කියලා දැන් ඔයාට හොඳයිද…?”
ධනුක ඇසුවේ නින්දෙන් නැගී සිටි පළමු තත්පරයේමය. කේතලය ලිප තබා වතුර උතුරවා තිබූ නිසා ඇය ඔහුට තේ කෝප්පයක් සාදාගෙන පැමිණියේ වෙනදා සේම තමාටත් සමගමය.
“ඇඟට ටිකක් අමාරුයි. සමහරවිට උණ හැදෙන්න වෙන්නත් ඇති. මං පේන් කිලර්ස් මොනවා හරි ගන්නම් ඔයා ලෑස්ති වෙන්න පරක්කු වෙනවනේ.”
“මම ඉන්න ඕනේ නෑ. ඔයා හවසට ගිහිල්ලා අර හන්දියේ ඩොක්ටර්ගෙන් බෙහෙත් ටිකක් ගන්න. මොකද අනිද්දා වෙඩින් එක. මං ගියහම ආපහු එන්නේ දවස් දෙකකට පස්සේ. ඒ අතරේ ඔයාට අමාරුවක් උනොත් මට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා.”
“නෑ… නෑ ඒ තරම් අමාරුවක් නෑ. මේක සාමාන්‍ය උනක් හෙම්බිරිස්සාවක් වෙන්න ඇති. එහෙම අපහසුවක් උනත් එහා පැත්තෙ ගෙදර ඇන්ටි ඉන්නවනේ”
අපහසුවෙන් වාවාගත් කඳුලක් දරාගෙන සංකල්පනී පැවසූයේ තමා ගැනම උපන් ආත්මානුකම්පාවෙන්ය. ඈ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුව ධනුකගේ කාර්යාලීය බෑගය අතට ගත්තේ ඔහු නාන කාමරයට ගියාට පසුවය.
අලුතින්ම මිලදී ගත් අහස් නිල් පැහැති කමිසයක් දිළිසෙමින් තිබුනේ උඩින්මය. ඊට යටින් තිබූ කුඩා දින පොත ඔහු සංගීත කණ්ඩායමට ලැබෙන ප්‍රසංග සහ මංගල උත්සවවල දින සටහන් කරගත් එකකි. හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුව එය පෙරළා බැලූ ඇයට දකින්නට ලැබුනේ රුපියල් පනස් දහසක් සඳහන් චෙක්පතකි. ඊට අමතරව වූයේ ඔහු එදිනෙදා භාවිතා කරන බඩු බාහිරාදිය කිහිපයකි.
******************
උදෑසන නැගිටිද්දීම මිතුරෙකු විසින් ඒවා තිබූ youtube link එකට ගිය තේජන කොට්ටය පසෙකට විසිකර ඇඳ මතින් වාඩි වූයේ කලබලයෙන්ය. එහි වූයේ චාරුකත් මන්දස්මිත් වැළඳගෙන සිටින සේයා රූ කිහිපයකි. ඒවා එක් පසෙකින් නොව විවිධ ඇලයන් කිහිපයකින්ම ගත් ඒවාය. මතකයේ හැටියට මේ මන්දස්මි විසින් සාහිල් ඛාන් මේ ප්‍රසංගයට සම්බන්ධ කරගන්නට ගත් වෙහෙස වෙනුවෙන් ඇයට ගෞරව පුද කිරීමට කාර්යාලයේ පිරිස රැස් වූ මොහොතයි. ඒ ආරංචියෙන් උදම් වූ කාර්යාල සේවක සේවිකාවන් මන්දස්මි වෙනුවෙන් කුඩා සාදයක් සූදානම් කර තිබුණේද ඇයව පුදුම කරවනු පිණිසය. එදින කාර්යාලයට පැමිණි ඇයව මල් පොකුරක් දී පිළිගත්තේ අමායා විසින්ය. තමාත් චාරුකත් දෙදෙනාම ඇයව මේ අයුරින් වැළඳ ගත්තේ සතුට ප්‍රකාශ කරමින්ය.
“වර්ණ ඇඩ්වර්ටයිසින් වර්තමාන අධිපති චාරුක රඹුක්වැල්ගේ පරණ පෙම් කතාව යළිත් මතු වෙයි. ඔහුගේ විවාහය දෙදරා යයි…”
ඒ සිරස්තලය යටතේ පළව තිබූ කෙටි විස්තරය තේජන කියවූයේ හදිසියෙන් සේය.
‘වර්ණ ඇඩ්වර්ටයිසින් වර්තමාන අධිපතිතුමා වන චාරුක රඹුක්වැල්ල කලක් මේ ක්ෂේත්රයේ මිනිසුන්ගේ මතකයක් වූ නිරූපණ ශිල්පියෙකි. ටෙලි නාට්‍ය හා චිත්‍රපටි කිහිපයකට ඔහු රංගනයෙන් දායකව තිබූ අතර කලක් යුවතියන්ගේ සිහින කුමාරයා වූයේ කැපී පෙනෙන කඩවසම් රුවක්ද ඔහුට වූ නිසාය. පසුගිය සමයේ නිරූපණ ශිල්පිනියන්, රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු සමග විවිධ සම්බන්ධතා පැවැත් වූ බවට ආරංචි මාර්ග වුවත් ඔහු ඒ සෑම විටකම ඒ චෝදන ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමා තවමත් ප්‍රේමයට ආගන්තුක බවය.
වසර දෙකකට පෙර ඔහු එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී පවසා සිටියේ තමා දැන් පෙම්වතෙකු බවත් ලඟදීම විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටින බවත්ය. ඒ වදන් සත්‍ය කරමින් සුරූපී යුවතියක චාරුක හා විවාහ වූයේ සමාජ මාධ්‍ය කලඹවමින්ය.
ඒත් මෑතක සිට ඔහුගේ පෞද්ගලික විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත්තේ ඒ විවාහය දෙදරා ගොස් ඇති බවය. ඊට හේතුව වන්නේ මින් කලකට ඉහතදී ඔහුගේ පෙම්වතිය යැයි ප්‍රසිද්ධ වූ නිරූපිකාවක වන මන්දස්ම් සමඟ යළිත් අයථා සම්බන්ධතාවයත් ආරම්භ කර තිබ්බ බවත් ප්‍රසිද්ධ රහසකි.
මින් ටික කලකට පෙර මන්දස්ම් විසින් ආරම්භ කළ එම්. සී ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයට මේ දිනවල පවත්වන්නට කටයුතු සූදානම් කරමින් පවතින ජාත්‍යන්තර ප්‍රසංගයේ සම්බන්ධීකරන කටයුතු පවරා තිබීම මේ ආරංචිය තහවුරු කර ගත හැකි එක් මාර්ගයකි.
කෙසේ වුවද චාරුක රඹුක්වැල්ල දැන් එක්දරු පියෙකු වන අතර ඔහුගේ මේ හැසිරීම හේතුවෙන් බිරිඳ මානසිකව ඇඳ වැටී ඇති බවද පැවසේ.
තේජනය ඔහු දැන උන් මෙවන් ගොසිප් පුවත් සපයන ආයතනයකට ඇමතුම් ලබා ගත්තේ කලබලයෙන්ය. එහෙත් මේ කවුරුන් විසින් සිදු කළ වැඩක්දැයි ඔවුන් කිසිවෙකු දැන සිටියේ නැත. එය යූ ටියුබයට මුදාහැර තිබුනේ තමන්ගේ සත්‍ය භාවය සඟවමින් වෙන නම් වලින් පෙනී සිටින අයකු විසින්ය. youtube තුළ පමණක් නොව ෆේස්බුක්, ටික්ටොක්, සහ තවත් සමාජ මාධ්‍ය කිහිපයකම මේ වද්දී ඒ පුවත ඉතා ජනප්‍රිය එකක් බව පැවසූයේත් ඔහු කතා කළ මිතුරෙකි. තේජනට වුවමනා වූයේ චාරුකටවත් නොදන්වා මේ අසත්‍ය චෝදනාව මකා දමන්නටය. ප්රශ්නය වන්නේ නුලාරා මේ ප්‍රවෘත්තිය දුටුවහොත්ය. මිනිසුන්ගේ පුද්ගලික ජීවිතතුල අඩුපාඩු රසවත්කර, අතින් එකතුකර කතා මවන දුර්ජන මිනිසුන් මේ කලාව තුල ඕනෑ තරම් සිටින බවත්, දියුණුවෙහි හිණි පෙත්තටම පා තබන මිනිසෙකුට වරදක් නොකර හෝ තරහකාරයන් ඉරිසියාකාරයන් ඇතිවිය හැකි බවත් තේරුම් ගන්නට තරම් මේරූ මනසක් නුලාරාට නොමැති බව තේජන හොඳින්ම දැන සිටියේය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


