මලක් වී යළි පිපෙන්නම් – 53

0
225

“බබා නාවන්න ලෑස්ති කරන්නද මැඩම්..”

යනුවෙන් ඇසූ හෙදිය පිටව ගියේ නුලාරා  හිස වනා පිළිතුරු දුන්නාට පසුවය. කුඩා පුතුට දැන් මාස එකහමාරකි. සෝමා කිරි වීදුරුවක් රැගෙන කාමරයට ඇතුළු වූයේ එවේලෙහිය. ඕ දැන් නුලාරාට කෑම බීම ලබා දෙන්නේත් හෙදියගේ උපදෙස් පරිඳි ඒ පිළිවෙලටය. ඇඳෙන්  බැසගොස් කණ්නාඩියට එබුණු නුලාරා දුටුවේ තමා දැන් වෙනදාට වඩා මදක් තර වී ඇති බවය. තත්පර කිහිපයක් ගතව යනතුරු ඕ කණ්ණාඩි මුහුණතෙහි සටහන්ව ඇති තමාගේ රුව දෙස බලා සිටියාය.

“මැඩම් බබා නාවන්නද මම…”

නුලාරා කාමරයෙන් පිටතට ගියේ හෙදිය එසේ අසද්දීය. සෝමා විසින් සූදානම් කර තිබෙන වතුර බේසම වූයේ එළිමහනේය. නුලාරා හෙදිය පසු පසින් ඇවිද ගියාට බබා නාවන්නේත් පිස දාන්නෙත් ඈය. ඕ බලා සිටියා පමණි. සියල්ලටම පසු බේබි ක්‍රීම් ස්වල්පයක් ඔහුගේ වතේ ආලේප කරන්නේ නුලාරාය. දැන් අම්මා හොඳින් හඳුනන ඔහු නුලාරා දුටු වනම සිනහසෙන්නේ දෑත් ගසමින්ය.

“අම්ම කෙනෙකුට පුතෙක් කියන්න ඉතින් ලෝකයක් තමයි…”

සිය තරුණ බවින් මිදී උන් හෙදිය පැවසූයේ නුලාරාගේත් කුඩා පුතුගේත් සුරතලය දෙස බලාගෙනය. නුලාරා මද සිනහවක් පෑවාය.

“සර්රුත් පුතාට හරි ආදරේ නේද මැඩම්. මැඩම් හරි වාසනාවන්ත කෙනෙක්.

ඕ නොනවත්වාම කියවා ගෙන ගියත් නුලාරා  ඒ වදන් වලට සවන් දෙනවාට වඩා කලේ පුතු හා සුරතල් වීමය. ගත වූ විනාඩි කිහිපයකට පසුව කුඩා පුතු මද හඬකින් හඬන්නට පටන් ගත්තේ නොසන්සුන්වය.

“දැන් නාල කිරි බීලා නිදිමත වෙලා මැඩම්….”

“ඔයා එහෙනම් බබාව නිදි කරවන්නකෝ. මම කාමරයට යන්නම්.”

නුලාරි නැගී සිටියේ හත් අට වතාවක්ම කුඩා පුතුව  සිප ගත්තාට පසුවය. සත්තකින්ම ඔහුව දැන් මේ සිතට දැනෙන්නේ ලෝකයක් තරමටය. ආලින්දය තෙක් ඇවිද ගිය නුලාරා යළිත් කාමරයට පැමිණියේ  සිතෙහි වූ කම්මැලිකම දරාගෙනය. විශ්‍රාමික බැංකු නිලධාරීන්ගේ උත්සවයකට සහභාගි විය යුතු නිසා අම්මා නොඑන බව පැවසූයේ ඊයේ රාත්‍රියේය. සංකල්පනීව අමතන්නට උත්සාහ කළත් ඇගේ දුරකථනය ක්‍රියා විරහිතකර තිබිණ. 

චාරුකගේ පැරණි සේයා රූප නරඹමින්, මන්දස්මිගේ විස්තර සොයා බලමින් දුකකට හේතු සොයමින් උන් ඈ යළිත් යූ ටියුබය වෙත ගොස් නතර වූයේ එවේලෙහිය. 

මන්දස්මිගේත් චාරුකගේත් සේයා රූ අබියස දෑස් නවතින්නට බොහෝ වේලා ගත වූයේ නැත. වෙව්ලන දෑඟිලි වලින් අපහසුවෙන් අල්ලා ගත් ජංගම දුරකථනය මඳක් ඉහළට ඔසවාගෙන නුලාරා  ඇඳ විට්ටමට වාරු වූයේ ගැහෙන පපුවට ඉඩ දීගෙනය. දුරකථන තිරයෙහි දිස් වූ ඒ සේයා රූ දෙස මඳ වේලාවක් බලා උන් ඈ  ඊට යටින් වූ  වාක්‍ය කිහිපය කියවූයේ එක හුස්මටය. දෑස් වලින් නොනවත්වාම  ගලා යමින් තිබූ කඳුළු ඇඳ ඇතිරිලි මත වැටී බොඳව ගියේ ඇයටත් හොර රහසේය. යළි යළිත් සංකල්පනීව අමතන්නට උත්සාහ කළ ජංගම දුරකථනය පසෙකට විසි කළ නුලාරා කෑ ගසා හැඬුවාය. විශ්වාසය මේ සිටින්නේ ඔවුන්මය. ඒ සා සෙනෙහසකින් වැළඳගෙන සිටින්නේ ඔවුන්මය.තවගිය කාලය කොපමණක්දැයි ඇයට නිනව්වක් වූයේ නැත. ඒ අතරතුරම දෙවරක් ජංගම දුරකථනය දෙදරන අයුරු ඈ අසාගෙනය. තවත් තත්පර කිහිපයක් ගතව ගිය  තැනදී සෝමා ‘චූටි නෝනා..’යැයි කෑ ගසාගෙන පැමිණෙුත්  ඈ අසා ගෙනය. කොට්ටයකින් මුහුණ වසාගත් ඕ දෑස් තද කර පියා ගත්තේ සෝමා තවත් තත්පර  කිහිපයකින් කාමරයට පැමිණෙන බව දැන උන්  නිසාය. 

“චූටි නෝනට නින්ද ගිහිල්ලා සුදු මහත්තයා…”

සෝමාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගෙන  තිබුණේ චාරුකය. 

“අපේ චූටි බබත් නෑවනේ  සුදු මහත්තයා දැන් හොඳටම නිදි…”

තත්පර කිහිපයකට පසුව නුලාරාට ඒ හඬ ඇසෙන්නට වූයේ මදක් එහායින්ය. 

තවත් විනාඩි කිහිපයක් එසේ ගෙවී යන්නට විය. අවසන නුලාරා ඉඳහිට  තමාගේ දුක සැප සොයා බලමින් කතා කරන යෙහෙළියකට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අවනතවය. 

“මං ඔයාට ලොකේෂන් එක එවන්නම්. ඔයා ඒ ලොකේෂන් එකට මට කාර් එකක් දාලා දෙන්න පුලුවන්ද තව විනාඩි විස්සකින්. හරියටම විනාඩි විස්සකින් මගේ ගේ ඉස්සරහට එන විදිහට.”

නුලාරා ඇයට කතා කළේ හැකි තාක් සාමාන්‍ය ස්වරූපයට පත් වෙමින්ය. අවශ්‍යතාවයක් නොවූ නිසාම ඇගේ දුරකථනයෙහි ඒ යෙදවුම වූයේ නැත. 

“මොකක් හරි හදිස්සියක්නං මට ඔයාව ගන්න එන්න පුළුවන්.”

“අනේ නෑ එපා මේක මට නෙමෙයි. මගේ පුංචි කෙනෙක් ඇවිත් ඉන්නවා. එයාව අපේ ගෙදරට යවන්න ඕනේ. වාහනයක් ගෙන්න ගන්න විදිහක් නෑ චාරුක මීටින් එකක. පුංචිත් කියනවා එයාට කරදර කරන් නැතුව කැබ් එකක් දාල දෙන්න කියලා. මගේ ෆෝන් එකේ ඔය ඇප්ස් මොකුත් නැහැ. ප්ලීස් මට මේක කරලා දෙන්න.”

අනතුරුව ඈ කලින් සිතා මතා සැලසුම් කළ බොරුවම ඒ යෙහෙළියට පැවසුවාය. අමතර ඇඳුම් කාමරයෙහි වූ බෑගයක් සොයාගත් නුලාරා බබාගේ ඇඳුම් කිහිපයක්ද අතට හසු වූ තමාගේ ඇඳුම් කිහිපයක්ද ඒ තුළට ඔබා ගත්තාය. කුඩා පුතු  පමණක් නොව හෙදිය උන්නේද සුව නින්දේය. 

මේ සෝමා දහවල ආහාරය පිළියෙල කරන වේලාවයි. නුලාරා  අවසන දරුවාව ගෙන තමාගේ උරහිස මත නිදි කරවා ගත්තේ එහාට වන්නට වූ සුවපහසු අසුනට බරව උන් හෙදිය යාන්තමට ඇස් අරිද්දීය. 

“මං බබා මගේ කාමරේට ගෙනියනවා. ඔයා ටිකක් නිදා ගන්න. මං එයා නැගිට්ටහම කතා කරන්නම්.”

එසේ පවසා ළදරු  කාමරයෙන් එළියට පැමිණි නුලාරා කුඩා ගමන් බෑගයද ආලින්දයේ කෙළවරක තබාගෙන බලා සිටියේ තම ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණෙන තුරුය.  වෙහෙස කර වූ දෑස් වල විඩාව නිමාවට පත් කරමින් ආරක්ෂක නිලධාරියා කලබලයෙන් නිවස වෙත දිව එන අයුරු දුටු පළමු තත්පරයේම නුලාරා ගමන් බෑගය සිය දකුණතින් අල්ලා ගත්තාය.

“නෝනා කැබ් එකක් ඇවිත් තියෙනවා. මෙහෙන් කතා කරාලු.”

“මහත්තයා දාලා තියෙන්නේ.. ඉක්මනට මට ඔෆිස් එකට එන්න කිව්වා පොඩි වැඩ වගයක් තියෙනවා කියලා. මෙන්න මේ බෑග් එක ඇතුලට දාන්නකෝ…”

නුලාරා ඔහුට පැවසූයේ ඉදිමී රතුව තිබූ දෑස් සඟවා ගන්නට වෑයම් කරමින්ය. ආරක්ෂක නිලධාරියාගේ සැක මුසු බැල්ම තමා වෙත යොමු වන අයුරු පෙනුනත් ඔහු යමක් කිරීමට පෙර ඉක්මන් වන්නට නුලාරා සූක්ෂම වූවාය. 

ඕ මවට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ කුලීරියට නැගුණු සැණින්ය. 

දුරකථනය එහා පසින් මුලින්ම ඇසුණේ සංගීත රාවයකි. සුහද හමුවලදී ඔවුන් කා  බී සින්දු කියමින් විනෝද වන බව නුලාරා දැන සිටියාය. 

“අම්මා පොඩි හදිසියක් මං ගෙදර එනවා. ඔයා ඉන්න තැනකින් පුළුවන් තරම් ඉක්මනින් ගෙදරට එන්න.”

“ඇයි අඇ…..යි දුව මේ…”

එහා පසින ඇසුණු ඒ හඩ කලබලය.

“හැමදේම ඉවරයි අම්මා මට යන්න තැනක් නෑ මං එන්නේ ගෙදරට ඒක හින්ද මගෙන් මුකුත් අහන්නේ නැතුව අම්ම පුළුවන් තරම් ඉක්මනට එන්න. ආවට පස්සේ මම හැමදේම කියන්නම්.”

නුලාරා එවර  පැවසූයේ මදක් උස් හඬින්ය. රථයේ  රියදුරා පසුපස හැරී බැලුවේත් එනිසාය. 

                                   ************

“මචං…මට ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ගොසිප් එක ගැන නෙමෙයි. මේ ෆොටෝස් ටික එළියට ගිහින් තියෙන්නේ අපේ ඔෆිස් එක ඇතුලෙන්. අන්න ඒ කවුද කියලා හොයාගන්න තමයි මට උවමනාව තියෙන්නේ.”

චාරුක තමා ඉදිරිපස සිටින තේජනටත් අමායාටත්  පැවසූයේ මදක් උස් හඬකින්ය. ඔහු සිටියේ අන් කවරදාකවත් නොවූ තරමේ කෝපයක් දරාගෙනය. මේ පුවතත්, ඡායාරූපත් සමාජ මාධ්‍යවලින් ඉවත් කරන්නට තේජන දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. අවසන ඔහු අමායාත් කැඳවාගෙන චාරුක හමුවට පැමිණියේ එනිසාය. 

“චාරුක කියන දේ හරි.”

ආරක්ෂක නිලධාරියාගෙන් දුරකථන ඇමතුමක් පැමිණි නිසා චාරුක  තම සවනතක ඵලදාගෙන උන් ශ්‍රවය උපකරණයට තට්ටුවක් දැමුවේ  දකුණත ඔසවා අමායාට නිහඬ වන්න යැයි පවසමින්ය. 

“මේ දැන්ද  සරත්. මට ඉක්මනට වාහනේ නම්බර් එක මැසේජ් එකක් දාන්නකෝ.”

දුරකතනය විසන්ධි  කළ ඔහු “නුලාරා ගිහින් බං..”යනුවෙන් තේජන දෙසට හැරී පැවසූයේ සිය නළලත ඇඟිලි තුඩු වලින් මිරිකා ගනිමින්ය. ඒ සමගම දුරකථනයට පැමිණියේ වාහනයක අංකයක් සටහන් කළ කෙටි පණිවිඩයකි. වාහනය ඇනවුම් ස්ථානයේ නමත් ඒ සමගම සරත් විසින් එවා තිබිණ.

“ඉක්මනට මේ කම්පැනි එකට කෝල් කරලා මේ වාහනේ බලන්න කියලා උන්ට කියපන්. උඹට මතකයිනේ නිර්වාන්. ඌ තමයි ඕකේ මැනේජර්. මගේ ෆෝන් එකේ නම්බර්  එක තියෙනවා උඹ ඉක්මනට ඌට ගනින්. මේක අර්ජන් කියලත් කියපං. මගේ නම්බර් එක ඌ දන්නවා බං.”

නුලාරාගේ  මවගේ අංකය සටහන් කරමින් යළිත් චාරුකගේ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. 

“පුතා දුව දැන් හදිස්සියේ කෝල් කරලා අඬ අඬා කිව්ව ගෙදර එනවා කියලා.  පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද..?”

“ප්‍රශ්නයක් නෑ අම්මා නුලාරා කාලෙක ඉඳලා ප්‍රශ්නයක් කරගතපු දෙයක්  නිසා එයා ටිකක් කලබලෙන්. මම ඔෆිස් එකේ අම්මා ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට මං ගෙදරට එනවා. එයා ආවහම පරිස්සමෙන් බලා ගන්න. බබත් එක්ක තමයි ඇවිත් තියෙන්නේ. මට දැන් සිකියුරිටි  එකෙන් කතා කළා.”

“අනේ පුතේ මේ ළමයා ගන්නේ හදිසි තීරණ”

“අම්මා එයාගේ හිත රිදෙන්න කිසිම දෙයක් කියන්න එපා. එයාගේ හිත රිදෙන දෙයක් වෙලා තියෙනවා. මටත් එයාව නවත්ත ගන්න බැරි උනා. මේ වෙලාවේ අපි එයාව  බලාගන්න ඕන අම්මා පරිස්සමට. තාත්තටත් කියන්න මං එනකල් එයාගෙන් කිසිම දෙයක් අහන්න එපා කියලා.”

“අපිත් පුතේ මේ බැංකුවේ ගෙට් ටූ ගෙදර්  එකකට ආවා. විනාඩි දහයක් පහළොවක් ඇතුළත අපිට ගෙදර යන්න පුළුවන්. අපි දෙන්නම දැන් මෙතනින් පිටත් වුණා.”

“මම දැන් මෙහෙන් එනවා අම්මා…”

“මචං නුලාරා කැබ් එක ඕඩර් කරලා තියෙන්නේ ගෙදරට යන්න.”

“අම්මා තමයි කතා කළේ. මං යනවා. අමායා  ටිකක්  බලන්න. සමහරවිට මන්දස්මිත් දැන් කලබල වෙලා කතා කරයි. එයාට මේ කිසි දෙයක් කියන්න අවශ්‍ය නෑ.”

“උඹට තනියම යන්න පුළුවන්ද මම එන්නද…?”

“පුළුවන්. කොහොමත් මං මේ සිටුවේෂන් එක තනියම හැන්ඩ්ල්   කරගන්න ඕනේ.”

එසේ පැවසූ චාරුක කාර්යාලයෙන් නික්ම ගියේ කලබලයෙන්මය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here