“බුදු අම්මෝ………….”
බාල්දිය ඇතෑරෙනව විතරයි මයෙ අම්මෙ මට මතක තිබුනේ.
බයටම මන් ඇස් දෙක වහගෙන උන්න.කෝමද දෙයියනේ මේ මිනිහ හොල්මනක් උනෝතින් මේ ඇස් වලින් ඔව්ව දකින්නෙ.
ඩිංගක් වෙලා යනකම් කිසිම සද්දයක් බද්දයක් තිබුනෙ නෑ.
කිසිම සද්දයක් තිබුනෙ නැත්තෙ ඒකා හොල්මනක් හන්ද නෙවිද? මිනිහෙක් උනානම් මෙලහකට මක්ක හරි කියල නේද? මගෙ හිත ඩිග් ඩිග් ගාන සද්දෙ සත්තමයි මටම ඇහෙන තරම් නිස්සද්දයි ඒ වෙලාවෙ ඒ පැත්ත.
“මොන උලව්වක්ද ගෑනියෙ මේ කරේ?”
එකපාර රංජිත් ගෙ තරහෙන් බරවෙච්චි කටහඬ මට ඇහුනම තමා දෙයියනේ මගෙ ඇඟට දාඩිය ඩිංගිත්තක් වැක්කුරුනෙ.මුන්දැ මාව මැරුවත් කමක් නෑ, මේ ඉන්නෙ හොල්මනක් නෙවෙයිය කියන කාරනාව අම්මප මගෙ හිතට එක්කාසු කලේ පුදුම සැනසීමක් නෙව.
“මොන මල යකෙක් වැහිලද මේ මාව නෑව්වෙ? තමුන් ඉන්නව දැකල ටිකක් කතාකොරන්න ආව මට මෙහෙම වතුර බාල්දියකින් ඇද බෑවෙඅහවල් යකෙක් වැහිලද?”
කියන්නෙ මක්කද කියල නිච්චි නැතිව එක දිගටන එයැයි දිහා බලාන උන්නු මන් දිහාව බලාන උන්දැ ගෝරනාඩු කරද්දි තමා මන් දුටුවෙ උන්දැගෙ කලිසම් කොටෙයි කමිසෙයි හොඳටෝම තෙතබරියං වෙලා විත්තිය.
“කවුදැයි හිතුවෙ ඔය ඇත්තො විත්තියක්?”
මන් එහෙන කිව්වම උන්දැට තව කේන්ති ගියාද මන්ද.
“මන් නෙවි මොකා ආවත් ඔහොම වතුර බාල්දි වලින් ගහන සිරිතක් තියනවද? “
උන්දැගෙ කටහඬේ තිබ්බෙ මහ නපුරු බව එකලස් වෙච්චි ගතියක්.මහ බයංකාර විදිහට නෙව කතාකොලේ.
“කීවනම් හොඳයි මොකද කියල වතුර බාල්දියකින් ඇද බෑවෙ මට? මට නෙවි මොකාට හරි”
“මන් හිතුවෙ හොල්මනක් ය කියාල?”
මන් එහෙම කිව්වම උන්දැ ආයෙ මගෙ ඉහේ ඉඳන් පය දක්වාම දෙතුන් පාරක් බැලුවෙ මහ අමුතු තාලෙට.
“හැබෑටම ඔලුව ඩිංගිත්තක් අතගාල බලන්න අං එනවද කියල.මන් ඔය ඇහැව්වමයිනෙ හොල්මන් වලට වතුර බාල්දි ගහන සිරිතක් තියන විත්තිය.කොයි ඉස්කෝලෙන්ද දන්නෙ නෑ ඔව්ව ඉගෙන ගත්තෙ “
හැබෑටම ඇත්ත කතාව.මන් මෝඩ වාහෙකෙනෙක් හේ මාව පෙනුනද දන්නෙ නෑ මේ ඇත්තට.
“මොකද දැන් බිංකුන්ඩෙක් හේ බිම බලාන ඉන්නෙ? මෙතන මාව වතුර නාවල”
“ලෙච්චමී තමා කිව්වෙ”
“මොනවද ලෙච්චමී කිව්වෙ?”
“ඔයැයි හොල්මනක් විත්තිය”
“මන් හොල්මනක් විත්තිය ලෙච්චමී කෝමද දන්නෙ? අනික මන් කීව නෙව ඔයාට මාව මුලිච්චි වෙච්චි කතාවක් කාටවත් කියන්න එපාය කියල.ඔයා මොකටද ඒක ලෙච්චමීට කියන්න ගියේ?”
“මන් කිව්වෙකක් නෑ ඔයැයි මුලිච්චි වෙච්චි කතාවක්.”
“එහෙනම් ලෙච්චමී කෝමද දන්නෙ මාව?”
“මන් පොකුනෙන් නාන්න ආවය කිව්වම ලෙච්චමී කිව්ව පොකුන ලඟ හොල්මනක් ඉන්නවය.පිරිමි හොල්මනක් ය කියාල.”
“ඔයා ඒ පාර හිතුව මන් තමා ඒ හොල්මන කියල? එහෙමද?”
“මන් තලනව අම්මප ඔය ලෙච්චමීගෙ කටඕකිව හම්බුවෙච්චි දවසක.”
උන්දැ ඒක කිව්වෙ මහ නරුම තාලෙට දත් මිටි කන ගමන්.
ඔව් ය කියල කියන්න ලැජ්ජ හන්ද මන් බිම බලාගෙනම ඔලුව හෙල්ලුව.
“දැන් එතකොට අහවල් එකටද හොල්මන් නාවන්න යන්නෙ?”
“මන් නාවන්න ගියේකක් නෑ”
“එහෙනම් මේ වතුර ගැහැව්වෙ මොකටද?”
“මන් අහල තිබ්බ වතුර ගැහුවම ඉන්නෙ හොල්මනක්ද මනුස්සයෙක්ද කියාල අඳුරගන්න ඇහැකකියල.ඒකයි ඔයැයිගෙ ඇඟට වතුර ගැහැවේ.”
“ආහ් ඇත්තද? ඉස්කෝලෙ ගුරියක් හැසිරෙන විදිහ වෙන්නැති ඔය නේ.හරි හපන්කම් නෙව කරන්නෙ.ලමයින්ට මොනවද දන්නෙ නෑ කියාල දෙන්නෙ”
ලැජ්ජාව දාගන්න තැනක් නැති හන්දම මන් බිම බලාන උන්න.එයැයිතුත් වතුර පෙරි පෙරී එතන හිටගෙන මන් දිහාව බලාන උන්නෙ හරියට වැරැද්දක් කොරාපු පොඩි එකෙක් දිහාබලාන ඉන්න වැඩිමල් ඇත්තෙක් හේ.
“දැන් ඒකෙන් කාරිනෑ.හැබැයි මේකට මොකක් හරි දඬුවමක්දෙන්න වෙනව”
“කාරිනෑ.කැමැති දඩුවමක් දෙන්න.වැරැද්ද මගෙ නෙව.”
මක්කොරන්නද කියල හිතලමයි මන් එහෙම කිව්වෙ.
“දැන් බාගයක් නෑව්ව එකේ ඉතිරි ඩිංගත් ඔයාම නාවන්න.වෙන කොරන්න දෙයක්නෑනෙ.”
“මක්කද කිව්වෙ?මන් කෝමද ඔය ඇත්තන්ව නාවන්නෙ.අනික මේ මිනිස්සු මක්ක නොකියාවිද? මොන නව නිංගිරාවක් විඳින්න වෙයිද කියන්න බෑ. බෑ බෑ මටනම් බැරුවා.”
“මේ මේ ඒ කතා හරියන්නෙ නෑ ඉතින්.දැන් මාව නෑව්වනම් ඉතිරි ටිකත් නාවල යන්න. බාගෙට තෙමිල මන් මලොත් ඔන්න ඔයා පිටින් තමා පව් සේරම ගලන් යන්නෙ”
“බෑ බෑ.මක්කද මේ කියන්නෙ.එහෙම මේ බවලතුන්ට කියල නාවගන්න සිරිතක් තියනවද පිරිමි? දෙයියනේ මට බෑ.බැරුවාමයි”
මොන වින්නැහියක්ද මේ වෙන්න යන්නෙ.දෙයියනේ මටම මේ හංගදි වෙන්නෙ මක්කටද? මගෙ ඇස් වලින් බයටයි ලැජ්ජාවටමයි කඳුලු බිංදු වැක්කෙරෙන්න ගත්ත.ඒඋනාට උන්දැ නෙවි ඩිංගිත්තක් වත් මෙල්ල උනේ.
“මේ මේ ඔය ඇඬිලි වලට මාව මෙල්ල කරනවබොරු ගීතෝ. හා හා හිටින්න මන් ඔතනින් වාඩිගන්න.ඔයා පොකුනෙන් වතුර අරන් මයෙ ඇඟට හලල නාවන්න.හරිනෙ.නැත්තම් ඉතින් මා එක්ක වාද කොර කොර මෙතන්ටම වෙලාඉන්න තමා වෙන්නෙ”
උන්දැ කිසි ගානක් නැති හේ කමිසෙත් ගලෝලා පොකුන අද්දර තිබ්බ ගලක් උඩින් වාඩිඋනා.
“මන් කවදාවත් අපෙ තාත්තා වත් නාවල නෑ දෙයියො.මන් කෝමද මේම නාඳුනන ඇත්තෙක්ව නාවන්නෙ?
මගෙ ඇස් වලින් හැබෑවටම බයටයි විස්සෝපෙටයි කඳුලු වැක්කෙරෙන්න ගත්තෙ උල්පතක් හේ.උන්දැ නෙවි තඹේකට මායිම් කොලේ ඒඋනාට
“ඒකෙන්කාරි නෑ.පුරුදු වෙන්නත් එක්ක මාව නාවන්න.හා හා තව පමා උනොත් ඔයාටම තමා ප්‍රස්න.මට කාරි නෑ. ඒහන්ද ඉක්මන් කරානම් හොඳයිනේද?”
ඩිංගිත්තක් වෙලා එයැයි දිහා බලාන උන්නු මට අන්තිමේ සිද්ද උනේ මන් දිහා කිසිම හිතක් පපුවක් නැතුව බලාන උන්නු එයාව නාවන්න. පොකුනෙන් වතුර අරන් එයැයිගෙ ඔලුවට වක්කරන වාරයක් හේ මයෙ ඇස් වලින් කඳුලු කැට කෝටියක් විතර එයැයිගෙ ඔලුවට වැක්කෙරෙන්න ඇති.
එයැයිටනම් ඒකෙ වගක් තිබ්බෙ නැති ගානයි. මන් ඔලුවට වතුර වක්කොරොල, ඔලුවෙ සබන් ගාල නාවල පිහදාන කනුත් එයැයි උන්නෙ කිසි වගක් නැතුව.
“හරි අහවරයි”
“ආහ් එහෙමද මන් හිතුවෙ තව තියනව කියල”
එයෑයි එහෙම කියාල හිනාඋනා.හිනා නෙවි මට නම් උන්නැහැ මරන්න තරම් කේන්තියකින් අම්මප උන්නෙ.මෙහෙම විලි ලැජ්ජ නැති වැඩ කොරනවට.
“මන් එහෙනම් යන්නම්. ඕනෙනම් ඉන්නම් ඉතින්”
“අර මක්කටද ඉන්නෙ?නාල කරල අහවරයිනෙ.ගෙදර ගොහින් බුදියගන්න. ගෙදර එක්කෙනා හෙම බලාන ඇති ඔයැයි එනකම්.”
“ඒකතමා මාත් මේ කල්පනා කොලේ.ඉන්නන් කියල කිව්වෙ හොල්මනක් හෙම මේ ඉසව්වට ආවොත් හැරිල යන්න, නැත්තම් නාන්න තමා වෙන්නෙ කියල කියන්න.කාරි නෑ. හෙනම් ගෙදර එක්කෙනත් බලන් ඉන්නවැති මන් එනකම්.මන් යන්නම්.එහෙනම්.”
අම්මප මේ වගේ අසමජ්ජාති මිනිහෙක් එක්ක දීග එන්නත් ගෑනු ඉඳල නෙව මේ රටේ.අපෙ අම්මල උනානම් හේ හොඳහැටි හොයල බලල නෙව කටයුත්තක් කරන්නෙ.මුන්දැගෙ හාමිනේගෙ මව් දෙමව්පියො මිය පරලොව ගිහිල්ල වෙන්නැති මේ මිනිහට දූව කසාද බඳින්න වෙන්නැත්තෙ. නැත්තම් මුන්දැ ඉන්නැති කොස් ඇට ගිලාපු බලල් තඩියෙක් හේ කිසි සද්දයක් නැතුව.
කේන්තියෙන් උන්දැ යන දිහාව බලන් උන්නු මන් හනි හනික නා කියාගෙන ආවෙ තව උන්නොතින් තව මොන මල යකෙක් මෙතෙන්ට කඩන් පාත් වේද කියාල කියන්න බැරි හන්දා.
ගෙදර ඇවිදින් රෙදි ටික වැලට වේලෙන්න දාද්දි තමා නැන්ද කතාකරනව ඇහුනෙ.
“දුවේ, ඩිංගිත්තක් මෙහෙ ආවනම්”
“එනව නැන්දේ.”
මන් ඉස්සරහ පැත්තට යද්දි තමා දුටුවෙ මන් මීට කලියෙන් දැකල නැති ටිකක් වයස පහේ මනුස්සයෙක් ඉස්තෝප්පු කෑල්ලෙ ඉන්නව දැක්කෙ.
“ආහ් දුවේ මෙහෙ එන්නකො අඳුන්නල දෙන්න”
නැන්ද මගෙ අතින් අල්ලන් ඉස්සරහට එක්කන් යද්දි ඒ මනුස්සය හැරිල අපි දිහාව බලල හිනාඋනා.
දුඹුරු පාට දිග කලිසමකට සුදු ආට ආරිය සිංහල කමිසයක් තමා උන්නැහෙ ඇඳල උන්නෙ.අවුරුදු පනහක් විතර වෙන්නැති වයස.තට්ට ඔලුවෙ තිබ්බෙ කෙස් ගස් බෝම ඩිංගක් උනාට ඒ ඩිංගෙ මක්ක හරි කලුපාට ආලේපනයක් උලල තිබ්බ.හැබැයි ඒ සායම් මැද්දෙන් සුදු පාට නර කෙස් එහෙන් මෙහෙන් පනින්න දඟල දඟල උන්නෙ හංගන් ඉන්න මන් ඉඩ දෙන්නෙ නැත කියාල කියන හැඟීම් ගොන්නක් වගේ.
උන්නැහේගෙ මූනෙ තිබ්බෙ මහ අහිංසක පෙනුමක්.බෝම කරුනාවන්ත පාටයි.
“දුවේ මේ තමා ගොඩකවෙල වලව්වෙ ඉස්ටීවන් මලය”
එහෙම කියාල නැන්ද අඳුන්වල දෙද්දි තමා මන් දැනගත්තෙ මේ ඉස්ටීවන් මහත්තය විත්තිය.මන් හිතාන උන්නෙ වලව්වක හාමු මහත්තයෙක් ය කිව්වම මීට වඩා වෙනස් ඇත කියාල නෙව.ඒඋනාට මුන්නැහේ බෝම කරුනාවන්ත පාටට මා එක්ක හිනාඋනේ මන් හිතාන උන්නු බෝමයක් දේ බොරුය කියාල ඔප්පු කරන ගමන්.
“මලයො මේ තමා මන් අර කිවෙ අපෙ ගෙදර නතරවෙලා ඉස්කෝලෙ උගන්නන්න යනවය කියල.”
“ආහ් ඒකතමා.කෝමද දුවේ?”
“හොඳයි මහත්තය.”
“ගෙවල් ගාල්ලෙ කීව නේද? ගාල්ලෙ කොහෙද?”
“ගාල්ලෙ වැකුණගොඩ මහත්තය”
“වැකුනගොඩල කියන්නෙ අපෙ පැත්තෙ හරි ප්‍රසිද්ද වංසවත් පවුලක් නෙව මලයො”
අපි කතාකර කර උන්නු ටිකට කුස්සිය පැත්තට ගිහින් උන්නු නැන්දා කැවිලි බන්දේසියකුත් අරන් එන ගමන් එහෙම උත්තර දුන්නා.
“දැන් කොහෙ ගියත් නෑයෙක් ඉන්නව නෙව අක්කෙ. “
“ඒකනම් හැබෑව”
“ඉතින් කෝමද දුවේ ඉස්කෝලෙ හෙම හොඳද? අද යන්න හෙම ඇතිනෙ?”
“වරදක් නෑ මහත්තය “
“පලවෙනි දවස හන්ද හරියටම කියන්න බෑ නේ නේද?”
බන්දේසියෙන් කෙසෙල් ගෙඩියක් කඩාන ලෙල්ල අරින ගමන් ඉස්ටීවන් මහත්තය එහෙම කියල මන් දිහාව බලල හිනාඋනා.
මාත් ඔව් කියන්නැහේ බිම බලාන හිනාවෙන ගමන් කනප්පුවෙ කොනක් අතින් පහුරුගෑව.
“මේ දවස්වල උදේ හිට හීතල.ඒ අස්සෙ මේ වවුල්ලු කරදරයක් පටන් අරන් ගහක ගෙඩියක් තියාගන්න බෑ නෙව.මන් නිතරම රෑට පාන පත්තු කොරල බලද්දි ඕකුන් ඉගිල්ලිලා යනව.”
රෑට පාන පත්තු කොරන කතාව ඇහුනම තමා මට ඊයෙ රෑ දුටුව කැලෑවෙ තිබ්බ එලිය මතක් උනේ.මන් තාම කා එක්කවත් ඒ ගැන කීවෙ නෑ.මොනතරන් හිතවත් උනත් ඉස්ටීවන් මහත්තයගෙන් හේම නැන්දගෙනුත් ඒ එලිය ගැන හේම රංජිත් ගැනත් වහං කොරගෙන ඉන්න ඕනය කියලමයි මගෙ හිත කිව්වෙ.
“වවුල්ලු කරදරේ නම් කතාකරල වැඩක් නෑ මල්ලියෙ.අපෙත් මේ ගෙයි සමහර කාමරවල වවුල්ලු ලැගල ඉන්නව.කොහෙ එලවන්නද? අනික කවුරු කියක එලවන්නද? ඕන් ඔහේ ඉඳහන් කියල මන් අතෑරල දාල ඉන්නව.”
“හ්ම්ම්ම්ම්. අක්කට දැන් හැබැයි පාලු නැතුව ඇති නෙව මේ දූත් ඉන්න හන්දා”
“අනෙ ඔව් මල්ලියෙ, දැන් ආයෙ නිකන් ගේ පිරිලහේ මේ දරුව ආවට පස්සෙ.””
එහෙම කියල නැන්ද ආයෙ මන් දිහාව බෝම ආදරෙන් තමා බැලුවෙ. අපිදෙන්න දිහාවම බලාන උන්නු ඉස්ටීවන් මහත්තය ඈලිමෑලිඇරල පුටුවෙන් නැගිට්ටෙ, බීල අහවර කොරපු තේ කෝප්පෙ පුටු ඇන්ද උඩහින් තියාල.
“මන් හෙනම් ගොහින් එන්නම් අක්කෙ.පමාඋනා.පන්සලට ඩිංගක් ගොඩවෙන්නත් ඕන.හාංදුරුවො එන්නය කියල තිබුනා.”
“හරි මල්ලියෙ.ආයෙ එන්නකො මේ පැත්තෙ.”
“මන් යනව දුවේ.”
මන් වැන්දම ඉස්ටීවන් මහත්තය බෝම ආදරේන් ඔලුව අතගාල,
“බුදුසරණයි දුවේ.හොඳට වැඩකටයුතු කරාන ඉන්න ඕන.ලොකු ඉස්කොලේ මහත්තය හම්බුවෙන්න වෙලාවක එන්න ඕන.මන් එහෙනම් යනව අක්කෙ.යන්නන් දුවේ”
ඉස්ටීවන් මහත්තයට යන්න ඇරල මමයි නැන්දයි ඉස්තෝප්පුවට වෙලා බලාන උන්න.
“ඉස්ටීවන් මහත්තය මන් හිතුවට වඩා වෙනස් නෙව.වලව්වක හාමු මහත්තයෙක්ය කීවට මන් හිතාන උන්නෙ මහ නපුරු කෙනෙක් ය කියාල.එහෙම නෑනෙ”
මන් එහෙම කීවම නැන්ද හයියෙන් හිනාඋනා.
“අපෙ සුවර්නත් ඉස්සර ඔහොම කියනව.සුවර්නයි වෙද මහත්තයයි ඉද්දි ඉස්ටීවන් මලය නිතර මෙහෙ ආව ගියා.දැනුත් බෝම විට එනව.උන්දැ තමා ඉතින් ලෙඩටයි දුකටයි ඉන්නෙ.”
“ඉස්ටීවන් මහත්තය නැන්දලගෙ නෑයොද?”
“අපෙ වෙද මහත්තයගෙ අප්පච්චිගෙ එක මලයෙක්ගෙ පුතෙක් නෙව ඉස්ටීවන්.එහෙම තනා නෑ වෙන්නෙ”
“ඉස්ටීවන් මහත්තය තනියමද නැන්දෙ ඉන්නෙ?”
“මලය ඉස්සර කසාද බැඳල උන්න දුවේ. දරුවෙකුත් උන්න.හැබැයි ආබාදිතයි.ඒ දරුව මැරුන ඒ දවස්වලම. ඊටපස්සෙ ඒ ගැණි මලයව දාල යන්න ගිහින් තිබ්බ.ඉන් පස්සෙ ඉඳල උන්දැ තනියම ඔය වත්ත පිටිය බලාන ඉන්නව.”
මන් කල්පනා කොලේ මේ ගමේ මිනිස්සුන්ගෙ ජීවිත ගෙවෙන හැටි.මෙහෙවිතරක්.නෙවි කොහෙ උනත් කීයෙන් කී දෙනාටද අප්පෙ සන්තොසෙන් ඉන්න ලැබෙන්නෙ?
රෑ වෙද්දි එලි පත්තු කොරන් ඉන්න සිරිතක් නැති හන්ද හනික කෑම හෙම අහවර කොරල අස් පරස් කොරල අපි නිදාගන්න කියල ගියා.
මන් උන්නෙ අද ඩිංගක් වෙලා රෑ ඇහැරන් අර එලිය දිහාව බලාන ඉන්න ඕනය කියල.ඒඋනාට ඇඳෙ හාන්සිවෙලා උන්නු ඩිංගට නින්ද ගොහින් ආයෙ ඇහැරුනේ ඊයෙ හේම රෑ ජනේලෙ හුලඟට ඇරිල හුලං පාර ඇතුලට එනව දැනුනත් එක්කමයි.
ජනේලෙ වහන්න ගියාම මන් දුටුවෙ කාමරේ ඇතුලට එන්නැහේ ජනේලෙ අද්දර තටු ගගහ උන්නු තඩි වවුලෙක්ව.
උන්දැ දැක්කම බයට අත ගැස්සුන පාර ජනෙල් පලුව ගොහින් බිත්තියෙ වැදුනෙ මහ සද්දෙට…
ඒ ඒක්කම තමා මන් දුටුවෙ ඊයෙ හේම අර එලිය අදත් කැලැව මැද්දෙ එහෙ මෙහෙ හක්මන් කොරන විත්තිය.
ජනේලෙ බිත්තියෙ වැදිච්චි සද්දෙට ඒ එලිය මයෙ කාමරේ පැත්තට වැදිල හනික නැතිවෙලා ගියා.
කවුරු උනත් උන්දැ මාව දැක්කාවත්ද?…
-මතු සම්බන්ධයි-







