ගීතාංජලී – 07

0
168

ජනේලෙ වහන්න ගොහින් වෙච්ච ඇබැද්දිය මයි හිතේ ඒ පන්දම් එලිය එක්ක හක්මන් කොරපු මනුස්සයට ඇහෙන්න ඇති.ඒකතමා උන්දැ එකපාර මේ ඉසව්වට එලිය විහිදන්න ඇත්තෙ.

මන් ඩිංගක් වෙලා උන්දැගෙන් වහන් වෙන්න කියාල පාතට නැවිල උන්න.මගේ හිතේ පුදුම බයක් තමා තිබ්බෙ.ඒ වෙලේ තමා මහ හයියෙන් පහල ලොකු ඔරලෝසුව සද්ද වෙනව ඇහුනෙ. ඒ සද්දෙට ආයෙ මම උඩ ගොහින් බිම වැට්ට කිව්වොත් හරි.තව ඩිංගක් වෙලා බලන් ඉඳල හීමීට ජනෙල් කන්ඩියෙන් ඔලුව උස්සල එලිය බැලුව.

ඒ වෙලේනම් අර වවුල්ලු වත් පන්දම් එලියවත් පේන්නෙ තිබ්බෙ නැති හන්ද මන් ජනේලෙ හෙමීට වහල ඇඳට ගොහින් බුදියගත්ත.

හැබෑටම කවුද මේ මහ රෑ පන්දමක් පත්තු කොරන් එහෙට්ට මෙහෙට්ට හක්මන් කොරන්නෙ?

උදේ පාන්දර වෙනද වගේම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දිත් මගෙ හිත අස්සෙ ඔඩු දිව්වෙම ඔය පුරස්නෙ. තනියම යන්න හන්න හන්ද අද සියාතු මාම ආවෙ නෑ ඉස්කෝලෙට එක්ක යන්න.මන් මගක් දුර යද්දි තමා පිටිපස්සෙන් බයිසිකලේක සද්දයක් ඇවිදින් මන් හැරිල බැලුවෙ.

“ආහ් අලුත් ඉස්කෝලෙ නෝන උදෙන්ම යනව වගේ…”

ආසිරි ඉස්කෝලෙ මහත්තය උන්දැගෙ බයිසිකලේ ඇවිදින් මගෙ ලඟ නවත්තන ගමන් කතාකොලේ.

“ආසිරී ඉස්කෝලෙ මහත්තය නෙව මේ.මන් ඒත් බැලුව කවුරුන්ද කියල”

මන් එහෙම කිව්වම එයැයි අමුතු විදිහට හිනාඋනේ.ඒ හිනාවෙච්චි විදිහට වගේම උන්දැගෙ ඇස්වල තිබ්බ බැල්මට මට ඉබේම බිම බැලුන කිව්වොත් හරි. හිමීට මන් අඩිය ඉස්සරහට කරද්දි ආසිරි මහත්තයත් ඒ එක්කම උන්දැගෙ බයිසිකලේ තල්ලු කොරගෙන ඉස්සරහට ආව.

“ගෙවල් ගාල්ලෙය කිව්වනෙ නෝනෙගෙ?”

“ඔව් ගාල්ලෙ වැකුනගොඩ “

“කොහෙ ට්‍රේනිං කොලීජියටද ගියේ?” මේ පලවෙනි පත්වීම වෙන්නැති මයෙ හිතේ”

“මන් උනවටුනෙ අමරසුරිය ට්‍රේනිං කොලීජියෙන් පාස් වෙලා ආවෙ.ඔව් පලවෙනි පත්වීම”

“මාරුවක් හෙම ගන්න අදහසක් තිබුනෙ නැද්ද ? මේ තරම් දුර එනවට අම්මල හෙම අකමැති වුනේ නැද්ද?”

“අම්මල අකමැතිඋනා දුර එනවට.ඒඋනාට මන් ඕනම කිව්ව ඉතින් එන්න.මෙහෙ ලමයින්ටත් උගන්නන්න ගුරුවරු ඉන්න එපෑය”

“හැබෑවහැබෑව.අනික ඉංගිරිසි ගුරුවරු මෙහෙ එන්න කැමති නෑ නෙව.”

කතා කොර කොර ඉස්කෝලෙ වත්ත අද්දරටම එනව දැනුනෙවත් නෑ. අපි දෙන්න එකටම වගේ තමා ගුරු කාමරේ පැත්තට අඩිය තිබ්බෙ.ආසිරි මහත්තය බයිසිකලේ නවත්තල එනකම් මන් ගුරුකාමරේට ගියා.

කල්පනා, ඉන්ද්‍රා ඉස්කෝලෙ හාමිනේ තේ වක්කරන්නද කොහෙද ලැහැත්තිය.

“ආ අලුත් ඉස්කෝලෙ හාමිනේ, එන්න එන්න ඇතුලට.අපිමේ තේ බොන්න කියාල හැදුවෙ”

ඉන්ද්‍රා ඉස්කෝලෙ හාමිනේ එහෙම කියද්දි කල්පනා හැරිල මා එක්ක හිනාඋනා.කල්පනා හරි අහිංසක පාටයි.

“ඔයාටත් තේ හදන්නද?”

මන් පොත් ටික මේසෙ උඩින් තියාල එයා ඉන්න පැත්තට යන්න හදද්දිම තමා කල්පනා මගෙන් එහෙම ඇහුවෙ.මන් හිනාවෙලා හා කියල කිව්ව.

“මටත් ඕන් ඔහොමම තේ එකක් වක්කරන්න ඉන්ද්‍රා නෝන”

පොත් ඩිංගත් කිහිල්ලෙ ගහගෙන එක අතකින් කන්නාඩිය පිහිද පිහිද ආවෙ සේන් ඉස්කෝලෙ මහත්තය.සේන මහත්තය පස්සෙන් ආසිරිත් ගුරු කාමරේට සේන්දු උනා.

“ආහ් අලුත් ඉස්කෝලෙ නෝනත් ඇවිදින් ඉන්නෙ.කෝමද ඉතින්.ඊයෙ එහෙමකට කියාල විස්තර කතාකොරන්නත් බැරිඋනා නෙව.කොහොමද ඉතින්?”

“හොඳයි සේන මහත්තය.වරදක් නෑ”

“ගාල්ල පැත්තෙ කීව නේද ගෙවල්? අපරාදෙනෙ මේ මෙහෙට්ට ආවෙ.ලඟපාතකට හදා ගත්ත නම් ඉවරයි නෙව.අපි නාන් අර කොරන්න දෙයක්.නැති කම් හන්දා මේව්ව අස්සෙ ලැග ගෙන ඉන්නද මිසක්ක මෙව්වයි ඉන්න උන්ට ඉගෙන ගන්න ඕනෙ නෑ .උන්ට මේ වේලක් කාල, හේනක් කොටන් උන්නම ඇති.”

මක්ක කියන්නද කියල හිතාගන්න බැරි හන්ද මන් බිම බලාන හිනාවෙන ගමන් තේ කෝප්පෙ දටේ ඇඟිලි තුඩු වලින් කරකව කරකව උන්න.

“අනික ඉංගිරිසි ගුරුවරුන්ට ඕන අහකට මාරු වීං හදාගන්න බැරිය.නේද සේන මහත්තය ?”

“එහෙනං”

තේ බී බී උන්නු ඉන්ද්‍රා ඉස්කෝලෙ නෝනත් කොහෙන්දෝ කෙලවරකින් කතාවට සම්මාදම් වෙද්දි කල්පනයි මමයි මූනට මූන බලාන යාන්තමට හිනාඋනා.ආසිරි නම් උන්නෙ මේ ලෝකෙ නෙවි වගේ ගුරු කාමරේ බිත්තිය දිගට ගහල තිබ්බ දැල් පේලිය අද්දර ඉඳන් ඉස්කෝලෙ වත්ත දිහා බලන් තේක බොන ගමන්.උන්නැහේට නම් මේ කතා ඇහුනද කියලත් මට සැකයි, මොකෝ එයැයි උන්නු පුදුම දුර කල්පනාවක.

“මන් ඔය අපේ ආසිරි මහත්තයටත් කිව්වෙ පමනට වඩා වෙහෙස මහන්සි වෙලා මුන්ට උගන්නන්න ඕන නෑ කියල.මුන්ට ඔය ඉස්කෝලෙ අහවර වෙලා නවත්තන් එක.එක.ක්‍රීඩා කියල දීල  කොහෙ යවන්නද නෝන”

සේන මහත්තය කියෝනව කියෝනව ඉවරයක් නැති උනාට ඒ කිව්ව කිසි දේකට ආසිරි නෙවි හ්ම් කියලවත් කිව්වෙ.උන්දැ නිකන් ගුරු කාමරේ දැල් අස්සෙන් අහස දිහා බලාන උන්නෙ කවුරුහරිට කතා කරන්නැහේ.

“ආසිරි ඉතින් අපි කියනව ඒව අහන කෙනෙක්‍ යැ?”

ඉන්ද්‍රා ඉස්කෝලෙ හාමිනේ එහෙම කිව්වම තමා ආසිරි හැරිල බැලුවෙ. ඒ හැරිල බලල උන්නෙත් මේ ලෝකෙ වෙච්චි කිසිම දෙයක් දන්නෙ නැති එකපාර උඩින් පාත්වෙච්චි මිනිහෙක්ගේ හේ බැල්මක් මූනෙ තියාන.ඒඋනාට ඒ පෙනුම නැතිවෙන්න ගියේ තප්පර ගානයි

“මෙහෙ ලමයින්ටත් උගන්නන්න ලමයි ඉන්න එපාය ඉන්ද්‍රා නෝන.”

එහෙම කියල උන්දැ තේ කෝප්පෙ මේසෙ උඩින් තියාල එලියට බැස්ස.ඒඑක්කම තමා සීනුව ගහන සද්දෙ ඇහුනෙ.

 අපිත් පොත් එකලස් කොරන් එලියට බැස්සෙ පංතිවලට යන්න හිතාන.

මට මුලින්ම තිබ්බෙ හයේ කැලෑසියට උගන්නන්න.

මන් පංතියට යද්දිම ලමයි ටික නැගිට්ටා.

“ආයුබෝවන් ගුරුතුමී’

“ආයුබෝවන් ලමයි”

ඊයෙ ලමයි එක්ක ඩිංගක් කතාකොරල හෙම තිබ්බ නිසා ඊයෙට වඩා සබකෝලෙ ඩිංගක් අඩුවෙන් තමා තිබුනෙ.ඒඋනාට උගන්නන්න යද්දි නම් ඒ සබකෝලෙ ආයෙ මතු වුනා හේ තමා මටදැනුනෙ.

“මගෙ නම හෙම ඔයාල දන්නව ඇති නෙව.ඔයාල ගෙ විස්තර අපි කතාකරමු තව ඩිංගකින්

ඊට කලින් මට කියන්න බලන්න ඔයාල කලියෙන් ඉංගිරිසි පාඩම නතර කරේ කොතනින්ද කියල?”

මන් එහෙම කීවම ඒ ලමයි මූනට මූනබලාන උන්නෙ කියන්නෙ මක්කද කියල හිතාගන්න බැරුව හේ.

“ඇයි පුතේ?”

“අපිට කලියෙන් ඉංගිරිසි ඉගැන්නුවෙ නෑ නෝන. කලියෙන් ආව ඉංගිරිසි මහත්තය සති දෙකකින් යන්න ගියා මාරුවක් ලැබිල.ඊටපස්සෙන් කවුරුවත් ඉංගිරිසි ගුරුවරයෙක් ආවෙ නෑ”

මට හැබෑවටම දැනුනෙ දුකක් වගේම මන් මෙහෙ එන්න ගත්තු තීරනේ මේ ලමයිට පිහිටක් නෙවෙයිදකියන එකත් මට හිතුනා.

“ඒකට කාරි නෑ.අපි අද ඉඳල අලුතෙන් පටන් ගමු ආයෙම”

“වැඩක් නෑ නෝන.කලින් ආව මහත්තයත් දවසක් උගන්නල ගියා.මාරුවක් ආවම නෝන යන හන්දා අපරාදෙ උගන්නන එක”

හුනු කූර අරන් කලුලෑල්ලෙ ලියන්න හදද්දිම පන්තිය පිටිපස්සෙ උන්නු කොල්ලෙක් කෑ ගැහුව.කීපදෙනෙක් හිනාවෙනව ඇහුනත් පන්තියෙ අනිත් ලමයි උන්නෙ නම් මන් බනීවි කියාල බයෙන් බිරන්ත වෙලා වගේ.

“ඒකට කාරි නෑ.මාරුවක් ඇවිදින් යනකම්ම අපි කරමුකො.”

මන් එහෙම හිනාවෙලා ආයෙ ගල්.ලෑල්ලෙ ලියන්න පටන් ගත්තා.

“ඔයාල ඉංගිරිසි අකුරු හෝඩිය ඉස්සෙල්ල දන්නවද කියන්නකො.කෝ දන්න අය අත උස්සන්න බලන්න”

පන්තියෙ කීප දෙනෙක් තමා අත ඉස්සුවේ.ඒකෙනුත් සමහරු අත ඉස්සුවෙ අඩමානෙට හේ.ඒ හන්ද මන් හිතුව  එතනින්ම පටන් ගන්නවය කියල.

“ඉංගිරිසි අකුරු හෝඩියෙ අකුරු විසි හයක් තියනව”

මන් එහෙම කියල හුනු කූර අරගෙන කලුලෑල්ලෙ අකුරුටික ලියන්න පටන් ගත්තා. 

“අපි මේ අකුරු කියවන විදියයි, ඒ ඒ අකුරෙන් කියවෙන වචනයි ඉස්සෙල්ලා කියවන්න බලමු.හරි ඔය පුතා නැගිටින්නකො.මොකද්ද පුතාගෙ නම? “

“සංජීව”

“හරි සංජීව, ඔයා පුලුවන් තරමක් කියවන්න බලන්නකො මේ අකුරු.”

මන් එහෙම කිව්වම ඒ ලමය ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන හිනාඋනේ.

“ලැජ්ජවෙන්න එපා පුතේ.අපි හැමෝටම හොඳටම ඉංග්‍රිසි බෑනෙ.පුලුහන් තරම් කියවමු.අපේ බාසාවක් නෙවිනෙ අනික මේක”

“ඒ, බී, සී …….අයි”

අයි වෙනකම් කියෙව්වට පස්සෙ සංජිව නැවැත්තුවෙ එතනින් එහට්ට එයාට කියවගෙන යන්න බැරිය කියල පෙන්නන්න හේ හිනාවෙන ගමන්

“ඒකට කාරි නෑ පුතේ.පලවෙනි දවසට ඔය කියෙව්ව හොඳටම හොඳයි නෙව.”

පංතියෙ උන්නු ලමයින්ගෙන් එක්කෙනෙක්ට විතරයි මුලු හෝඩියම කියවන්න ඇහැක් උනේ.

එදා මුලු දවසෙම මන් කියල දුන්නෙ ඒ ලමයින්ට ඉංගිරිසි හෝඩියෙ අකුරු ටික කියවන්න උගන්නපු එක.

එදා කරපු පන්ති තුනකම හේ ලමයින්ට එකම දේ තමා කියල දෙන්න තිබුනෙ. හවස් වරුවෙ අතිරේක පන්තියක් දාල ලමයින්ට තව ඩිංගක් ඉංගිරිසි උගන්නන්න මට හොඳටම උවමනාව තිබුනත් තාම අලුත හන්ද මන් ඒ අදහස හිත ඇතුලෙම හංගාන උන්න.

දවල් ඉස්කෝලෙ අහවර වෙලා ගෙදර යන්න එද්දි ආසිරි ආයම බයිසිකලේ තල්ලු කොරාන මා එක්ක එන්න ආව.ඒ එන ගමන් නම් උන්දැ මා එක්ක බෝම හොඳට කතා බහ කොලා.

“කෝමද අද පන්ති ටික?”

“මුල ඉඳලම කියල දෙන්න උනාට කාරි නෑ.මට සන්තෝසයි ඒ ලමයි මක්ක හරිම ඉගෙන ගන්න එක ගැන”

“ඒක හැබෑව.සමහරු ඔය ලමයිව අතෑරල දාල වගේ උන්නට එහෙම කොරන එක හරි නෑ ගීතාංජලී. මේ ලමයිටත් යන කලක් තියෙන්න ඕන”

ආසිරි එකපාරම ගීතාංජලී කියල කතා කොරද්දි මට දැනුනෙ මහ අමුත්තක්.කවුරුවත්ම මීට කලියෙන් මගෙ නම ඒ විදිහට කියල නෑනෙව.

ආසිරි ගෙ මූනෙ තිබුනෙ මහ අමුතු පෙනුමක්. එයාගෙ ඇස් මේ තරම් යටට ගිලිල ඇත්තෙ උදේ හවා ක්‍රීඩා වැඩ වලට මහන්සි වෙන හන්දා වෙන්නැති.

“අද හවහට නැද්ද ක්‍රීඩා වැඩ?”

“අද ලමයිට ඉන්ද්‍රා නෝන ගණිත පන්තියක් දාල නෙව.ඒ හන්දා ක්‍රීඩා පන්තිය අහෝසි උනා.මාත් මේ ඒකයි ගෙදර යන්නෙ”

“ආසිරි මහත්තය කොයිබද නතරවෙලා ඉන්නෙ?”

“මන් ඉන්නෙ ලොකු ඉස්කෝලෙ මහත්තයලයි අයියලයි ගෙදර නෙව.ගුරු නිවාසෙ කැඩිල බිඳිල ගොහින් හන්ද ඉඩ කඩ නෑ නෙව”

කතාවෙන් කතාවෙන් අපි කැලෑ පාර පහුකරන් යද්දි ආසිරි දිගටම කොලේ කැලෑව දිහාව බලාන උන්නු එක.එයාගෙ ඇස් වල තිබුනෙ මහ අමුතු පෙනුමක්.එක දිගටම එයා කොලේ පස්ස හැරි හැරු කැලෑව දිහාව බලාන ආව එක.

“ඇයි මහත්තය ?”

“නැහ් මුකුත් නෑ ගීතාංජලී මට මෙතනින් එද්දි හිතෙන්නෙම කවුරුහරි අපි දිහාව බලාන ඉන්නව කියලමයි.”

මට එකපාර අකුනක් ගැහුව හේ මතක් උනේ පලවෙනිම දවසෙ රෑ එද්දිත් මට දැනුනෙ කවුරුහරි බලාන ඉන්නව වගේ කියලමයි නේද කියල.මන් හිතාන උන්නට මගෙ හිත අස්සෙ තීන දෙයක් ය කියාල එහෙන නැති පාටයි.

“හ්ම්ම්ම්ම්”

 වෙන කියන්න කිසි දෙයක් නැති හේම මන් කොලේ ඔහේ කල්පනා කොර කොර දිගටම ඇවිදන් ගියාපු එක තමා.

රදන්පොල වලව්වට යන්න මන් හැරෙද්දි ආසිරි බයිසිකලේ නැගල යන්න ගියා.

පඩිපෙල නැගල මන් ආයෙ නිකමට හැරිල බලද්දි ඈතින් බයිසිකලේ පැදන් යන ආසිරිව මන් දුටුව.

කලින්ද වගේම නැන්ද කෑම ලැහැත්ති කොරගෙන මන් එනකම් ඉස්තෝප්පුවේ බලාන උන්න.කෑම හෙම අහවර කොරල මන් ඇඟ පත සෝදගන්නය කියල පොකුනට ගියේ අදත් රංජිත් උන්නොත් මට මක්ක කියාවිද කියල් දන්නෙ නැති හන්ද.

වෙනද වගේම රෙදි ඩිංග පෙඟෙන්න බාල්දියට දාල මන් පොකුනු ගැට්ටෙ වාඩිවෙලා බලාන උන්නෙ රංජිත් ඒවිද කියාල. මන් නාක අහවර වෙනකනුත් උන්දැ ආවෙ නෑ.කරදරයක්  වුනත් මගෙ හිත කිව්වෙම උන්දැ ආවනම් මොනතරම් හොඳයිද කියලමයි.

මක්කද මන්ද මාත් මේ හිතන එව්ව?

එදා හවහ ගෙවිල ගියේ වෙනද වගේමයි. හවස් වරුවෙ වෙනසකට කියල උනේ මමයි නැන්දයි එක්කහු වෙලා වත්ත ඩිංගිත්තක් සුද්ද කරපු එක.

“මේ ළිඳ වහල දැන් සෑහෙන කල් දුවේ.නරක් උනාට පස්සෙ වහල දැම්ම.නිල් කැටේට වතුර තිබ්බ ලිඳ

 අපි ඉස්සර බොන්න, කෑම උයන්න හේම නාන්න වතුර ගත්තෙත් මේ ලිදෙන් නෙව. අන්තිමේ නරක් උනාටපස්සෙ වහල දාන්න අපි තීරනේ කෙරුව.”

හැබෑටම ලිඳ නරක් වෙච්චි ගඳ නම් උහුලන්නම බැරුවා.ඒ හරියට වැඩිය කවුරුවට් යන්නෙ නැති හන්දද කොහෙද වල්ගස් තමා ලිඳ වටකොරගෙන තිබුනෙ.මේ ඉසව්වෙදි කැලෑව පේන මායිම මන් විපරම් කොලා කවුරුහරි ඉන්නවද කියල.ඈතින් පේන ගොඩකවෙල වලව්ව ඇරෙන්න වෙන මොකෙක්වත් උන්නෙ නෑ. රෑටරෑට කවුද මන්ද හක්මන් කොරන්නෙ පානක් අරන් කියන පුරස්නෙ කැලෑව දිහා බලාන උන්නු මට හිතුන.

මට දැනුනෙ කැලෑවෙ ඉඳන් කවුරුහරි මට කතාකරනව හේ එන්නය කියාල.හරියට මායාවක් වගේ.

එදා රෑ හැබෑටම කිසිම සද්දයක් එලියක් කරදරයක් නැතුව නින්ද ගියා. දවස් ගාණක් යනකම්ම එලිය පේන්නෙ නැතුව තිබ්බ වගේම වවුලු කරදරෙත් එහෙමකට කියල තිබුනෙ නෑ.

ආසිරිත් හැමදාම වගේ උදේට මා එක්ක ඉස්කෝලෙට යන්න ආව.උන්දැ ඩිංග ඩිංග මා එක්ක දැන් එක්කාසුයි.ඉස්කෝලෙ ලමයිට උගන්නන කාරනාව සම්බන්දව අපි දෙන්නම දැරුවෙ එක වගේ අදහස් හන්දද කොහෙද අපිට කතා බහ කොරන්න සෑහෙන තරන් දේ තිවුනා.

ඔය දවස් ටිකේම මන් රංජිත් එනකම් පොකුන ලඟ බලාන උන්නට එයා ආවෙ නෑ.

දවස් තුන හතරකට පස්සෙ තමා පුදුම සිද්දියක් උනේ….

-මතු සම්බන්ධයි-

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here