මලක් වී යළි පිපෙන්නම් – 56

0
3140

තමාගේ ජීවිතයට මේ කුමක් වීදැයි සිතද්දී සංකල්පනීට හැඬුම වළක්වා ගැනීමට හැකියාවක් වූයේ නැත. දුරකථනයත් ක්‍රියා විරහිතකර දමා ඕ රිසි සේ ඇඳ මතට වී තම දුකත් වේදනාවත් කඳුළුවල දිය කළාය. සියල්ල අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගලපා බලද්දී සංකල්පනීට  තමා ගැනම ඇති වෙමින් තිබුණේ ආත්මානුකම්පාවකි. හිරකාරියක සේ රන්දිකගේ නිවසෙහි ගතකල  කාලය පිළිබඳව අදටත් ඇයට වන්නේ කලකිරීමකි. ඒ කාලය නිමා කරමින්, ධනුකගේ ජීවිතය තුළ තමාට හිමි තැන පතමින්, ගතව ගිය කාලයත් වසර එකහමාරකට ආසන්නය. 

මේ එළඹ ඇත්තේ තමා තමාවම ආරක්ෂා කර ගත යුතු කාලය බව විශ්වාසය. මේ ජීවිතය තුළ තමාට හිමි වන්නට මිස අහිමි වන්නට දෙයක් නොවේ. ධනුක තමාගේය. දැන් ඇත්තේ හිමිකර ගැනීමය.පැරදුම බාරගන්නට තරම් සිතක් සංකල්පනීට නොවුණි. 

එකවර යමක් සිහි වී මෙන් සංකල්පනී ඇඳෙන් නැගී සිටියාය. ධනුක මේ මස වියදමට දුන් මුදල් වලින් සෑහෙන ප්‍රමාණයක් ඇගේ පසුම්බියේ ඉතිරිව තිබිණ. පසුගිය කාලයේම රූපලාවන්‍යාගාරයකට නොගිය බව ඇයට සිහි වූයේත් ඒ හදිසියේමය. 

“බැඳපු ගෑනියෙක් කියලා කියන්න බැරි තරමට ඔයා ලස්සනයි…”

එදවස ධනුක නිරතුරුවම පැවසුවේය. පසුගිය කාලයේ වූ අගහිගකම් නිසා සංකල්පනී රූපලාවණ්‍යාගාරයකට ගියේ ඇහි බැමි සකසා ගැනීමට පමණි. එහෙත් මෙවේලෙහි ඕ මූණට, දෑත් වලට,  දෙපාවලට පමණක් නොව හිසටද සාත්තු සත්කාර කර ගත්තාය. ඊට ගත වූ කාලය පැය තුනකට ආසන්නය. 

සංකල්පනීට තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කල බව සිහි වූයේ සියල්ල නිම වූවාට පසුවය. ඕනේ එය ක්‍රියාත්මක කළේ  ත්‍රී රෝද රථයට නැඟුනාට පසුවය. ධනුකගෙන් එකම ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොවුනත් නුලාරාගෙන් ඇමතුම් කෙටි පණිවිඩ  රාශියක්ද, චාරුකගෙන් ඇමතුම් කිහිපයක්ද දුරකථන තිරයෙහි සටහන්ව තිබිණ. 

                                  ***************

බිමට යොමු වූ දෑස් ඇතිව පැමිණි නුලාරා තේජනට මදක් එහායින් අසුන් ගත්තේ කිසිවක් නොකියමින්ය. තේජනට මේ නිවස අමුතු තැනක් වූයේ නැත. නුලාරා මෙහි පැමිණියාට පසුවත් ඈ තේජනව ඇසුරු කළේ යහළුවෙකු සහෝදරයෙකු විලසින්ය. තිදෙනා ඔහේ කතා කරමින් කෙටි කෑම වර්ගයක් හපමින් ගෙවී ගිය සවස් වරු ඕනෑ තරම්ය. දෙදෙනා ලංකාව පුරා ඇවිදින්නට ගිය සමහර අවස්ථාවලද චාරුක තේජනව හවුල් කරගත්තේ නුලාරාගේ කැමැත්තට මුල් තැන දෙමින්ය. ඒ මිතු දම පළුඳු  වූයේ මෑතකදීය. චාරුකගේ නොමනා ක්‍රියාවන්ට තේජනද හවුල්යැයි සිතා සිටි නුලාරා ඔහුට මුහුණ දීම, කතා කිරීම අත්හැර දැමුවාය. ඔහු තමාට මේ සියල්ල සඟවාගෙන සිටිනවා යැයි සිතූ ඈ තේජන සමග කෝප ගත්තාය. තේජන  රඹුක්වැල්ල  මැදුරට පැමිණීම සිතා මතා අත්හැර දැමුවේ එනිසාය. අඩු ගණනේ පසුගිය සමයේ දෙදෙනා දුරකථනයෙන්වත් කතා කර තිබුණේ නැත. තේජන දරුවා බලන්නට නිවසට පැමිණි කිහිප වතාවකදීම දරුවා හෙදිය අතට දෙමින් නුලාරා මගහැර සිටියාය.  දෙදෙනා නිහඬව ගෙවී ගිය කාලය තත්පර ගණනාවක් විය. අවසන හඬ අවදි කළේ තේජනය. 

“නංගි චාරුක කෝල් කරලා කියන්න ඇති නේද තාත්තව රූම් එකට දැම්මා කියලා.”

නුලාරා හිස වැනුවේ ඔහු එසේ පැවසුවාට පසුවය.

“ඔයා ආපහු මමත් එක්ක ජීවිතේ කවදාවත් කතා නොකලට කමක් නෑ. ප්ලීස් අද මං මේ කියන ටික අහගෙන ඉන්න. සමහර මිනිස්සු ඉන්නවා  මේ ජීවිතේ එක පැත්තක් විතරක් බලලා තීරණ ගන්න. එහෙම මිනිස්සු මුළු ජීවිත කාලෙ පුරාම දුක් විඳලා මැරිලා යනවා හරි කතාව දන්නේ නැතුව.”

ඒ වදන් මදක් දැඩි විය. නුලාරා හිස ඔසවා තේජන දෙස බැලුවේ එනිසාය. 

“ඔයා ඔය කියන්නේ මටද….?”

“ඔව් මෙතන වෙන කෙනෙක් නෑනේ. සමාවෙන්න නංගි මේ වෙලාවෙත් මං කතා කරන්නේ ඔයා මට දීපු අයියා කියන ගෞරවනීය තනතුරු නිසා. මට මතකයි ඔයයි චාරුකයි මට සප්‍රයිස් බර්ත්ඩ් ඩේ  පාටි එකක් දීපු දවසේ ඔයා මාව බදාගෙන කිව්වා ‘මේ ජීවිතේ මට සහෝදරයෙක් නැති අඩුව හැමදාම තිබුණා අදින් පස්සේ ඒ අඩුව මගේ හිතේ නැති වෙයි’ කියලා. අන්න ඒ නිසා මට ඔයාට හැම දෙයක්ම නැතිවෙනවා බලන් ඉන්න බෑ. 

“ඒත් මේ හැමෝම හදන්නේ චාරුක හොඳයි කියලා මට කියන්න.”

“ඒක ඔයා තීරණය කරන්න මගේ මේ කතාව ඇහුවට පස්සේ. ඔයා මං එහෙම කතා කරනවට අකමැතිනම් ඒකත් කියන්නෙ.” 

නුලාරා යළිත් වරක් හිස ඔසවා තේජන දෙස බැලුවේ ඔහු එසේ පැවසුවාට පසුවය. 

“මේ ඔයාට රිදිලා ඉන්න වෙලාවක්. ඒක ඇත්ත. ඒ උනාට සමහර ප්‍රශ්න තියෙනවා ඒවා කතා කරලා ඉවර කරගන්න සුදුසු වෙලාවක් එන්නේ ජීවිතේට එකම එක පාරක් වෙන්න ඇති.” 

තමා එසේ පවසද්දී නුලාරාගේ දෑස් මහත්ව කඳුළු පිරී තිබෙනු තේජන හොඳටම දුටුවේය. ඔහුට උවමනා වූයේ ඒ කඳුළු මගහැර ගොස් ඇයට ඇත්ත පහදා දෙන්නටය. අද දවසේ ඇය ගත් හදිසි තීරණය නිසාවෙන් සිදුවන්නට තිබුණේ මහා විනාශයකි. හෙට දවසේත් ඕ එසේ නොකරාවියැයි  සිතිය හැකි කමක් නොවේ. 

“අංකල්ට කිසිම ප්‍රශ්නයක් තිබිලා නෑ බං ඒක හින්දා ඩොක්ටර්ස්ලා කියන්නේ මේක හදිසියේ  ඇති වෙච්ච ෂොක් එකක් කියලා. ඒක බබා දැනගන්න ඕනෙ නෑ බං. ඒ උනාට මට හිතෙනවා මේ ප්‍රශ්නෙ කොතනකින් හරි ඉවර වෙන්න ඕනේ කියලා.”

මිතුරා මින්  විනාඩි කිහිපයකට පෙර කතා කරමින් පැවසූයේ ඒ අයුරින්ය. තේජන ඔහුටත් නොකියාම තම යුතුකම ඉටු කරන්නට සිතුවේත් එනිසාය. 

“නංගි  තේජන කියලා කියන්නේ ජීවිතේ හැම සැප සම්පතක්ම විඳලා හැදිච්ච කොල්ලෙක්. ගොඩක් අඩු වයසකින් ෆීල්ඩ් එකට ආපු නිසාද මන්දා මේ ෆීල්ඩ්  එක ගැන ඌට අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් වුණා. චාරුක කියන්නේ එදා ඉදලම තමන්ට ලැබෙන වැඩේට ෆෝකස් වෙලා ඒ වැඩේ හරියට කරපු කෙනෙක්. චාරුකගේ අම්මා වගේම තාත්තත් නිතරම ඌට දීපු අවවාදයක් තමයි තමන්ගෙ නමයි, ගෞරවයයි, කම්පැනි එකයි ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න කියන එක. මේ ගේ ඇතුලේ හැමදාම මම දැක්කේ පුදුමාකාර නිවීමක්. එහෙම පරිසරයක හැදිච්ච චාරුක වගේ කොල්ලෙකුට තමන්ගේ ජීවිතේ ඉබාගාතෙ ගෙනියන්න වුවමනාවක් තිබුණේ නෑ. සමහර ඇක්ටර්ස්ලගේ, මොඩර්ස්ලගේ  නම්  ඈඳලා අපිත් ඌට විහිළු කරලා තියෙනවා. ඌට තිබුණා ඕනම වෙලාවක තමන්ගේ සල්ලියි, බලයයි, රූපෙයි පාවිච්චි කරලා නිදහසේ ජීවත් වෙන්න. එහෙම කලානම් අංකල්ට ආන්ටිට උනත් කරන්න දෙයක් නෑ. හැබැයි මං හිතන්නේ චාරුක කියන්නේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් එක්ක ඉස්සරහට ආපු කෙනෙක්.

මං ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ ෆීල්ඩ් එකේ ඉන්නවා තමන්ගේ තැන හදාගන්න ඕනම විදිහේ දෙයක් කරන්න දෙපාරක් නොහිතන මිනිස්සු. මං හිතන්නේ චාරුකට එහෙම තැනක් හදාගන්න කාගෙවත් කරේ එල්ලෙන්න වුවමනාවක් තිබුණේ නෑ. අනිත් එක කවද හරි මේ කම්පැනි එක  තමන්ට බාරගන්න සිද්ධ වෙනවා කියලා දැනගෙන ඉඳපු ඌට සල්ලි හොයන්න වෙන ක්‍රම අවශ්‍ය වුනෙත් නෑ. 

අහම්බෙකින් හරි ඌ ඔයාව දැකලා ඔයාව තෝර ගනිද්දි මං උගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයයි. මේ ෆීල්ඩ් එකේ කෙල්ලන්ගෙ නැති නුලාර ළඟ තියෙන උඹ දැකපු දේ මොකක්ද කියලා. එතකොට ඌ කිව්වේ මට ඕනේ බං චාරුක රඹුක්වැල්ල කියන මොඩ්ලර්ටවත්, මේ කම්පැනි එකටත් ආදරේ කරන කෙල්ලෙක් මැරි කරන්න නෙමෙයි කියලා. අනිත් එක මවාගෙන ඉන්න ජීවිතේ  ඇතුලේ කෙල්ලන්ව දවස ගානෙ දකින මං හොයපු අහිංසකකම ඒ පුංචි කෙල්ලගේ ඇස් දෙක ඇතුළේ තිබුණා කියලා. තව දෙයක් චාරුක මට කිව්වා. මේ කම්පැනි එක  ඇතුළෙ වුණත්, මොඩ්ලර් කෙනෙක් විදිහට ගත කරන ජීවිතේ ඇතුළෙ උනත් අපි ඉන්නේ මවා ගතපු චරිතෙක, ඒ මවා ගතපු චරිතේ ගේ ඇතුළෙදිත් නඩත්තු කරන්න මට ඕනෙ නෑ බං කිව්වා. මට ඕනේ මගේ ගේ ඇතුලෙදි මම වෙලා නිදහස් වෙන්න කියලා කිව්වා. එහෙම කරන්න පුළුවන් මාව චාරුක රඹුක්වැල්ල කියන සරල පිරිමියා විදිහට දකින ගෑනියෙක්ට විතරයි කියලා කිව්වා.”

නුලාරා යලිත් දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ඔහු එසේ පැවසුවාට පසුවය. ඒ දෑස් වල වූයේ කඳුලකි. එහෙත් ඒ චාරුක නිසා උපන් කඳුළක් නොවන බව විශ්වාසය. 

“නංගී මේ  ගෙදරින් එළියට බැහැලා කම්පැනි එකට  ගියාට පස්සේ ඌ එතන පාලකයෙක්. ඇත්තටම කිව්වොත් එතන බාගෙට බාගයක් ඉන්නේ ඌට වඩා වයසින් වැඩිමල් අය. එහෙම සේවකයෝ සිය ගණනක් හැන්ඩ්ල් කරන්න සරල මනුස්සයෙක්ට බෑ. ඒ නිසාම ඌ එතැනදී රඟපාන්නේ වෙනම  චරිතයක්. හැබැයි මේ ගේ  ඇතුලෙදි ඌ කොට කලිසමක් ඇඳගෙන බොටම් එකක් උඩින් ස්කිනි එකක් ඇඳගෙන ඔයත් එක්ක දඟල දඟල කෑ ගගහා හිනා වෙවී ඉන්නව මං ඕන තරම් දැකලා තියෙනවා. අන්න ඒක තමයි චාරුක රඹුක්වැල්ලගේ හැබෑ චරිතේ.”

අනිත් එක ඔයා ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න ඕන දේ තමයි චාරුක රඹුක්වැල්ල කියන්නේ පැය අටේ ජොබ් එකක් කරන කවුරුවත් නොදන්න මනුස්සයෙක් නෙමෙයි. කාලයක් ඌ  නළුවෙක්,කාලයක් මොඩ්ලර් කෙනෙක් දැන් වර්ණ ඇඩ්වටයිසින් කියන ඉන්ටර්නැෂනල් මාර්කට්  එකත් හැන්ඩ්ල් කරන කම්පැනි එකක අයිතිකාරයෙක්. මිනිස්සු gossip හොයනවා විතරක් නෙමෙයි නංගි ගොසිප් විකුණනවා. ඔයා අම්මලා ළඟ හිටියනම් ඔයාට එහෙම කරන්න කිසි කෙනෙකුට වුවමනාවක් නෑ. මොකද ඔයා සාමාන්‍ය චරිතයක්. හැබැයි අද උදේ ඔයා මේ ගෙදරින් එළියට බැහැලා ගියපු එක ඔය කවුරු හරි දන්නවනම් හෙට උදේට ඔය හැම ගොසිප් සයිට් එකක්ම ඒ නිව්ස් එකෙන් පිරෙනවා. ඒකෙ මුලින්ම නම දාන්නේ නුලාරා කියලා නෙමෙයි ‘චාරුක රඹුක්වැල්ලගේ බිරිඳ මාස එකහමාරක් වයස ඇති සිඟිති දරුවාද රැගෙන නිවසින් පිටව යයි’ කියලා. මාකට් එක තියෙන්නේ ඔයාට නෙමෙයි චාරුකට. ඔයාට මාකට් එකක් හැදෙන්නේ ඔයා චාරුක රඹුක්වැල්ලගේ වයිෆ් නිසා. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here