“ඔයාට පුළුවන් නම් මම ඊළඟට කියන්න යන දේ කියන්න කලින් මෙන්න මේ ෆොටෝ ටික බලලා ඉන්න”
තේජන තමාගේ ජංගම දුරකථනය නුලාරා වෙත දිගු කළේ ඒ අතරේය. දුරකථනය සිය දෑත් වලින් අල්ලා නොගෙන තත්පර කිහිපයක් ගතව යනතුරු තේජන දෙස බලා උන් ඈ අනතුරුව දිගු සුසුමක් මුදා හැරියාය.
“මගේ අතින් සිද්ධ වුණේ නිවැරදි කරගන්න බැරි වැරැද්දක් කියන පසුතැවීම ඔයාගේ ජීවිතයට එකතු නොකරන්නයි මං මේ උත්සාහ කරන්නේ. ඒ චාරුකගේ යාළුවෙක් විදිහට නෙමෙයි. ඔයාගේ සහෝදරයෙක් විදිහට. ඔයා මේ ලෝකෙ ගැන දන්නේ හරි පුංචි කොටසක් විතරයි. මේ ලෝකෙ සුදු මිනිස්සු, කළු මිනිස්සු විතරක් නෙමෙයි. සුදුයි කළුයි දෙකම කලවං වෙච්ච මිනිස්සුත් ජීවත් වෙනවා කියලා ඔයා දන්නේ නැතුව ඇති. මිනිස්සු තමන්ගේ අරමුණුවලට යන්න අනිත් මිනිස්සුන්ව පාවිච්චි කරනවා, විනාශ කරනවා, පාගල දානවා කියලත් ඔයා දන්නෙ නැතුව ඇති. අපේ රටේ උසාවි වල දවසකට නඩු තිහක් හතළිහක් අහලා දික්කසාද කරන්නේ දික්කසාද වෙන්න ඕනෙම මිනිස්සුද නංගි..”
නුලාරා යළිත් වරක් තේජන දිගු කළ ජංගම දුරකථනය තමාගේ දකුණතින් අල්ලා ගත්තේ ඔහු එසේ පැවසුවාට පසුවය. එහි වූයේ පැහැදිලි සේයා රූ කිහිපයකි. මුලින්ම අමායා මල් කළඹක් දී මන්දස්මිව සිප වැළඳගෙන පිළිගන්නා අයුරුත්, දෙවනුව තේජන ඇයව සිප වැළඳගෙන පිළිගන්නා අයුරුත්, තෙවනුව චාරුක දම් පැහැති දිළිසෙන කොළයක ඔතා තිබූ කුඩා ත්‍යාගයක් දී ඇයව සිප වැළඳගෙන පිළිගන්නා අයුරුත් ඒ සේයා රූ වල විය.
“ඔයා මන්දස්මිවයි චාරුකවයි සැක කරන්න හේතුව මං අහන්නේ නෑ. ඔයා කැමතිනම් මට ඒක පස්සේ කියන්න. මං දැන් ඔයාට කියන්නම් මන්දස්මි ගැන.
මන්දස්මිව මුලින්ම අපි අඳුන ගන්නේ මොඩ්ලර් කෙනෙක් විදිහට වුනාට චාරුකගේ අම්මයි තාත්තයි මන්දස්මිලා අඳුන ගන්නෙ එයාලගේ ෆැමිලි ප්‍රෙන්ඩ් කෙනෙක්ගේ දුවෙක් විදිහට. අන්න ඒ නිසයි මන්දස්මි රඹුක්වැල්ල අන්කල් ගාවට එවන්නේ. මන්දස්මිගේ තාත්තා මේ රටේ පිළිගත් අමාත්‍යංශයක ලේකම් කෙනෙක්. අම්මත් ප්‍රින්සිපල් කෙනෙක්. ගෑණු ළමයිම තුන් දෙනෙක් ඉඳපු මන්දස්මිගේ ගෙදර පවුල් පරිසරය හරි වෙනස් එකක් නුලාරා. මන්දස්මි මේ කලාවට සම්බන්ධ හැම තැනකටම ආවේ ගියේ එයාගේ අම්මත් එකක, එහෙම නැත්තං එයාගේ ලොකු අක්ක හරි තාත්තා හරි එක්ක. අදටත් ඒකේ වෙනසක් නෑ. ඒ ගෑණු ළමයට කලාව විනෝදාංශයක් විතරයි. අන්න ඒ නිසා එයා තෝර ගත්තු වෘත්තියේ යන්න පුළුවන් ඉහළම තැනට ගියා. අංකල් ඒ දවස්වල වර්ණ එකෙන් කරපු ගොඩක් ඇඩ් වලට මන්දස්මිවයි, චාරුකවයි තෝරගන්න හේතුව තමයි ප්‍රශ්න අඩුවීම. එහෙම රඟපෑවත් චාරුක අතරේ මන්දස්මි අතරේ විශේෂ යාළුකමක් කවදාවත් තිබුණේ නෑ.
මන්දස්මි මේ ක්ෂේත්‍රය ඇතුලේ හැසිරෙන විදිහයි, එයාගේ උගත්කමයි හින්දා අපි ඕනම වැඩකට එයාව සම්බන්ධ කරගන්න බය වුණේ නෑ. ඉස්සර ඕන තරම් පත්තර පිටුවල මන්දස්මිගෙයි චාරුකගේ ෆොටෝ යන්න ඇති. මිනිස්සු තමන්ගේ හිත්වලින් ඒ දෙන්නව කසාද බන්ඳවන්නත් ඇති. තවමත් ඒ දෙන්නා එකතු වෙනවට ආසාවේ බලන් ඉන්න මිනිස්සු මේ ලොකේ ඇති. ඔයා කොහොම තේරුම් ගත්තත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වය ඒක. මිනිස්සු හරි ආසයි තමන් ආදරය කරන කලාකාරයෝ එකට ජීවත් වෙනව දකින්න.
ඔයා දන්නවද එක වතාවකදී චාරුකගේ අම්මා ඇත්තටම මන්දස්මි ගැන චාරුකත් එක්ක කතා කරලා තිබුණා. ඒක මන්දස්මි දන්නවද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒ වෙලාවෙත් චාරුක දීල තිබුනේ බොහොම පැහැදිලි උත්තරයක්. ඒ තමයි මම කවදාවත් මේ ක්ෂේත්‍රයේ කෙනෙක් කසාද බඳින්නේ නෑ කියන එක.
මේ සංවත්සර ෂෝ එකේදි අපේ කෝඩිනේටර් විදිහට කාවද සම්බන්ධ කරගන්නේ කියන එක ගැන මමයි, අමායයි, චාරුකයි දිගින් දිගටම සාකච්ඡා කළා. සමහර අවස්ථාවලදී අපි අන්කල්වත් සූම් එකෙන් මේ මීටින් වලට සම්බන්ධ කරගත්තා. නුලාරා වැඩක් බාර දෙන්න ඕනේ ඒක පැහැදිලිව විශ්වාසයෙන් කරයි කියලා හිතන්න පුළුවන් කෙනෙකුට. මේක මිලියන ගානක ප්‍රඩක්ෂන් එකක්. මෙතනින් රඹුක්වැල්ල ගෲප් එක ආයේ නැගිටින්න බැරි තැනකට වැටෙන්න පුළුවන්. කාලයක්ම ලංකාවේ ගොඩක් ප්‍රඩක්ට් වල ඩ්‍රෑන්ඩ් එම්බසිඩර් උනේ මන්දස්ම්. ඒ වගේම ඔයා දන්නව ඇති දැනට මේ ෆීල්ඩ් එකේ උගත්කමින් වැඩිම කෙනත් එයා. ඒ වෙලාවේ අපි හතර දෙනාම යෝජනා කරපු නම තමයි මන්දස්මි. මොකද අපිත් එක්ක කලින් කරපු වැඩ නිසා අපිට ලොකු විශ්වාසයක් එයා ගැන තිබුණා. ඒ ඇරෙන්න අපි කාටවත් පුද්ගලික සම්බන්ධකමක් මන්දස්මි එක්ක තිබුනේ නෑ.
ඔය තමයි අපේ ඔෆිස් එකේ ඔෆීෂියලි කැමරාමන් ගතපු ෆොටෝස්. නුලාරා, මන්දස්මි ඒ දිනපු අභියෝගය මේ ලංකාවේ වෙන කාටවත් දිනාගන්න බැරි එකක්. ඒක සැමරිය යුතු එකක්.”
“ඔය ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්. ඒත් චාරුක මට පොරොන්දු වුණා.”
“ඔව් ඌ ඒ පොරොන්දුව ගැන මට කිව්වා. ඊළඟට මං ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වුනේ අන්න ඒක. ප්‍රසිද්ධ ආයතනයක් වැඩක් පටන් ගෙන ඒක ඉස්සරහට කරගෙන යනකොට හේතුවක් නැතුව ඒකට සම්බන්ධ එක පාර්ශවයක් අයින් කරන්න බෑ. ඒක නඩු මගට බහින්න උනත් පුළුවන් දෙයක්. අපි ඒ වැඩේට මිලක් නියම කරනවා. ගිවිසුමක් අත්සන් කැනවා. මුලින් චාරුක හිතුවා මන්දස්මිට මේ ඇත්තම විස්තරේ කියන්න. මොකද එඩියුකේටඩ් l කෙනෙක් විදිහට මන්දස්මි මේ සිටුවේශන් එක තේරුම් ගනියි කියලා අපි විශ්වාස කළා. මේ හැම තැනකම චාරුකත් එක්ක මම හිටපු නිසයි අපි කියන බහු වචනය පාවිච්චි කරන්නේ. අපි කාටවත් නැතුව කතා කලොත් නුලාරා එතනදි ඔෆීෂියලි මන්දස්මිට වෙන අසාධාරණයවත්, ඩැමේජ් එකවත් අපිට මොනම ක්‍රමයකින්වත් මකන්න බෑ. බොහොම හොඳ චරිතයක් වෙච්ච මන්දස්මි උනත් එතැනදී තමන්ගේ නමට කැළලක් ඇති කරගන්න උත්සාහ කරයි කියලා මම හිතන්නේ නෑ. අනිවාර්යෙන් එයා එතනදි කතා කරනවා. එයා කතා කරන්නේ වර්ණ එකට විරුද්ධව නෙමෙයි. චාරුකට විරුද්ධව, ඔයාට විරුද්ධව.”
“එහෙමනම් ඔයාලා කියන්නේ එයා හරි විශ්වාසයි කියලා.”
“ඔව් විශ්වාසයි. හැබැයි කිසිම වරදක් නොකර කෙනෙක් තමන්ගේ ජීවිත කාලෙම තමන්ගේ නමට කැළලක් ඇතිකර ගනියිද? නුලාරා අපි මේ ෂෝ එකේදී එයාව අයින් කළොත් එයාට ඇතිවෙන කැළල නිසා ආපහු කිසිම ඉවෙන්ට් එකක් එයාගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් එකට නොලැබෙන්න පුළුවන්. මං අර ඉස්සර වෙලා කිව්වා වගේ මන්දස්ම් කියන්නෙත් ඕපදූප මවන චරිතයක්. එයාට ප්‍රිය කරන පිරිසක් වගේම, එයාට ආදරේ කරන පිරිසක් වගේම එයාව මේ ක්ෂේත්‍රයෙන් කපල දාලා තමන්ට එතැන හිමි කරගන්න බලන් ඉන්න පිරිසකුත් මේක ඇතුලේ ඉන්නවා. අන්න ඒ අයට පුළුවන් එතනදි මන්දස්මිව බිංදුවටම වට්ටන්න. තමන්ගේ අතේ කිසිම වැරැද්දක් නැතුව ඒ තරම් ඩැමේජ් එකක් ජීවිතයට කර ගන්න මන්දස්මි වගේ කෙනෙක් කැමති වෙයිද? එතනදි නුලාරා ඔයාගේ නමට වෙන ඩැමේජ් එක ගැන චාරුක දහස් වතාවක් හිතුවා. ඔයාල දෙන්නගෙ ෆැමිලි ලයිෆ් එකට රඹුක්වැල්ල ෆැමිලි එකට වෙන ඩැමේජ් එක ගැන දහස් වතාවක් හිතුවා”
“මොකක්ද ඒකෙන් මට වෙන ඩැමේජ් එකයි රඹුක්වැල්ල ෆැමිලි එකට වෙන ඩැමේජ් එකයි”
“අංක එක මේ මුළු ලෝකෙම දැනගන්නව නුලාරා ඔයාලට හොඳ පවුල් ජීවිතයක් නෑ කියලා. ඔයා චාරුකව සැක කරනවා කියලා. ඒ වෙලාවේ ඉඳලා මේ ෆීල්ඩ් දෙකේ මිනිස්සු චාරුක දිහා ඔයා දිහා අමුතු විදිහට බලන්න පටන් ගන්නවා. මනුස්සයෙක් අවුරුදු ගානක් පුරා තමන්ගේ ක්ෂේත්‍රය තුළ ගොඩනඟා ගතපු ගෞරවය විනාශ කරන්න එක තත්පරයෙන් පුළුවන්. ඒ මෙන්න මේ වගේ පට්ටපල් බොරු කාරයන්ගේ බොරු වලට. එදා ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න චාරුක අඩියක් ඉස්සරහට තිබ්බනම්, මන්දස්මිට මේ ඇත්තම කිව්වනං සමහරවිට අද ඔයා මෙහෙම මෙතන නැති වෙන්න තිබුණා. මේ හැම දේකටම අමායත් සාක්ෂි. මන්දස්මි අයින් කලොත් හෙට ඒ තැන තව කෙනෙක්ගෙන් පිරෙනවා. ඔයා එයාවත් කම්පැනි එකෙන් අයින් කරනවාද..වෙන්න ඕනේ දේ ඒක නෙමෙයි කියන එක මමයි අමායයි හැම වෙලාවකම චාරුකට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා…
මතක තියාගන්න නංගි මේ ගොසිප් එකේ තියෙන ෆොටෝස් කවුරු හරි කෙනෙක් හොරෙන් අර ගතපුවා. ඒ කෙනා අපේ ඔෆිස් එක ඇතුලේ වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන්, එහෙම නැතුව පිටින් ඉදන් ඔෆිස් එකේ කෙනෙක් ලව්වල කරගත්ත වෙන්නත් පුළුවන්. වයිෆ් කෙනෙක් විදිහට ඔයා කරන්න ඕනේ මේක නෙමෙයි. මේ වෙලාවේ කවුද චාරුකට ඉන්න හතුරා කියලා හොයාගන්න එක. අවුරුදු ගානකට පස්සේ තමයි මේ වගේ ගොසිප් එකක් ඌට හැදුනේ. තරහා වෙන්න එපා! මන්දස්මි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහ හරි ග්‍රේට්. ඉස්සර වෙලාම මේ ගොසිප් එක දැකපු ගමන් මන්දස්මි කතා කළේ අමායට. එයාම අමායට කියලා තිබුණා දැන් තමයි චාරුක මේ ෆීල්ඩ් එකට අභියෝගයක් වෙලා තියෙන්නේ කියලා.
ඒ වෙලාවේ මම හිටියෙත් අමාය එක්ක. මම ඇහුවාම නංගි මේ ගොසිප් එක ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිද කියලා, මන්දස්ම් කිව්වේ අයියේ දැන් තමයි අපි වැඩක් කරනවා කියලා ඇඟට දැනෙන්නේ කියලා. ඔයා සමහර විට මන්දස්මි ගැන තොරතුරු හොයලා ඇති. මන්දස්ම් කියන්නෙත් චාරුක වගේම මේ ෆීල්ඩ් එකේ නම කැත කර ගතපු කෙනෙක් නෙමෙයි. වැදගත් වෙන්නේ ඔයා මේ වගේ පොඩි කටකතාවකට රැවටිලා චාරුකව දාලා අර නොදරුවත් අරගෙන ගෙදර දුවන එක නෙමෙයි නංගී. චාරුකව ආරක්‍ෂා කරගන්න එක. කට කතාවකින් මනුස්සයෙක් වට්ටන්න පුළුවන්. නැත්තටම නැති කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අද මේ වගේ කටකතාවක් ලෝකෙට ගේන්න ඕන වෙච්ච මනුස්සයාට හෙට චාරුකට කරදරයක් කරලා නැත්තටම නැති කරලා දාන්න ඕන වෙන්නත් පුළුවන්.
මේ ප්‍රශ්නෙදි චාරුකට තිබුණ කලබල වෙන්න. ඔයාව අවුල් කරන්න. ඒත් හැමදේම දරාගෙන ඔයාගේ හැම චෝදනාවක්ම දරාගෙන එයා හරි හයියෙන් මේ ජීවිතේ ඔයාව අල්ලගෙන හිටියා. හැම වෙලාවකම චාරුක කිව්වේ නුලාරා මේ ක්ෂේත්‍රය ගැන දන්නේ නෑ කියලා. එයා බයවෙන එක, කලබල වෙන එක සාධාරණයි කියලා. අන්තිමට චාරුක ඔයා ගැන තීරණයක් අරගෙනයි තිබුණේ.”
“මං ගැන…”
“ඔව්..අපේ පොඩි මෑන්ට මාස තුනක් වුනාට පස්සේ ඔයාව කම්පැනි එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් විදිහට සම්බන්ධ කරන්න චාරුක තීරණය කරලා තිබුණා. ඒ ගැන අන්කල් එක්කත් කතා කළා. චාරුකට ඕන වුණේ ඔයා ලෝකෙ දකිනව දකින්න. ජීවත් වෙන්න ඕන විදිහ පුරුදු කරන්න. අබියෝග වලට මුහුණ දෙන විදිහ කියලා දෙන්න. චාරුක පෙරේද මමත් එක්ක කිව්වා ‘මචං මට මොනවා හරි උනොත් බබා මේ හැම දෙයක්ම හැන්ඩ්ල් කරගෙන ජීවත් වෙන විදිය ඉගෙන ගන්න ඕන’ කියලා.”
නුලාරාගේ දෑස් කඳුළින් පිරී ගියේ ඔහු එසේ පවසද්දීය. ඕ යමක් පවසන්නට උත්සාහ උත්සහ කලත් තේජන තම දකුණත ඉහළට ඔසවමින් ඇය වැළැක්වුවේය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්…..)


