මලක් වී යළි පිපෙන්නම් – 63

0
312

ඒ සියලුම සේයා රූ ධනුක යුවතියක් සමග ගත් ඒවාය. සමහර සේයා රූ වල ඔහු උන්නේ ඇයව තුරුළු කරගෙනය. සමහර ඒවායේ ඒ උරහිස වටා දකුණත යවාගෙන ඇයව තම වතට බර කරගෙන උන්නාය. තවත් සමහර සේයා රූ වල ඔහු උන්නේ අම්මාත් ඇයවත් දෙපස තබාගෙනය. මේ ඔවුන් සේයා රූ  ලබා ගනිද්දී වෙනත් කැමරා කාචයකින් ගත් ඒවායැයි සංකල්පනීට සිතුනේ ඒ එකකවත් ඔවුන් ඉදිරිපස බලාගෙන නොසිටිය නිසාය. අම්මාගේ රූපය හඳුනා ගත්තත් ඔහුගේ වතට තුරුළුව සතුටින් සිටින ඒ ගැහැනු රූපය ගැන සංකල්පනී දැන සිටියේ නැත. ඒ දේවිකා විය යුතුය. ගැහෙන ඇඟිලි තුඩු  අපහසුවෙන් දරාගෙන ඕ යළි යළිත් ඒ සේයා රූ ලොකු කරමින් ඒ මේ අත හරවමින් බලා උන්නාය. 

හදිසියේ යමක් සිහිවූවා සේ ඕ ඒ ඡායාරූප ඒවා තිබූ ජංගම දුරකථන අංකය පරීක්ෂා කළේ කලබලයෙන්ය. ඒ මින් පෙර දැන උන් එකක් නොවන බව විශ්වාසය. අවසන ඔහු ඒ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේ බොහෝ දුර සිතා බැලුවාට පසුවය. 

එහා පසින් ඇසුණේ ගැඹුරු පිරිමි කටහඬකි. 

“මට කියන්න පුළුවන්ද මේ කවුද කියලා.”

මං කවුරු වුනත් ඔයාට ඇත්ත පැහැදිලි කරන්න ඕන හින්දයි ඔය ෆොටෝස් ටික එව්වේ. ඔය ඉන්නේ අවුරුදු දහයකට කිට්ටු වෙන්න ධනුක යාළුවෙලා ඉඳපු කෙල්ල. එක පැත්තකින් එයාගේ ඇවැස්ස නෑනා. ගෙවල් දෙකෙන්ම කතාබහ කරලා ලබන අවුරුද්දෙ මැයි වලදි වෙඩින් එක ගන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. නම දේවිකා. මං හිතන් නෑ ඔයාට ඊට එහා ගිය විස්තර ඕන වෙයි කියලා. 

“බොහොම ස්තූතියි. ඒත් ඔයා කවුද කියලා මට දැනගන්න පුළුවන්ද? කොහොමද මගේ මේ නම්බර් එක ඔයාට හම්බ උනේ.”

“නංගි මම ඔයාට බොහොම හිතවත් කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ ඇති. මේ වෙලාවේ ඊට එහා දෙයක් හිතලා හිත වෙහෙස කරගන්න ඕන නෑ. ඔයාට පුළුවන් මේ ගැන ඇත්ත නැත්ත හොයලා බලන්න.”

දුරකථනය මුලින්ම විසන්ධි වූයේ එහා පසින්ය. දිගු සුසුමක් මුදා හල සංකල්පනී යළි යළිත් ඒ සේයා රූ වල තමාට මග හැරුණු  තැනක් ඇත්දැයි සොයා බැලුවාය. ධනුක සිටින්නේ සතුටින්ය. අන් කවරදාටත් වඩා වැඩි වූ සිනහවක් ඒ මුහුණෙහි වූ බව විශ්වාසය. 

ඔහු  සමග පැමිණ මාස දෙක තුනක් ගෙවී යද්දී සංකල්පනී මුහුණු පොත ගිණුමක් සෑදුවාය. ධනුකගේ යතුරුපැදියේ පිටුපස වාඩි වී ඔහුව වැළඳගෙන ලංකාව පුරා ඇවිදින්නට ගිය ගමන්වලදී ගත් සේයා රූ ඔහු ඒ  මුහුණු පොතට එක් කළේ පුංචි පුංචි කවි පදත් ලිව්වාට පසුවය. එහෙත් මෑතකදී  ධනුක ඒ සියල්ලම මකා දමන්නයැයි ඇයට පැවසූයේ ඒවා දික්කසාද නඩුවට බලපාවියැයි පවසමින්ය. 

“මේ ෆොටෝස් ඉදිරිපත් කරලා ඔයා නන්නත්තාරෙ ගියපු ගෑනියෙක් කියලා ඕන වෙලාවක රන්දිකට ඔප්පු කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඩිවෝස් එක ලැබුනට ඔයාට එන කැත නාමේ නැති කරගන්න බෑ. එහෙම වෙන්න ඕනෙ නෑනේ. අපි තව ටිකක් ඉවසමු”

එදා ඔහු තමාව තුරුළු කර ගනිමින් පවසද්දී අංශුමාත්‍රයක සැකයක් සංකල්පනීගේ සිතෙහි වූයේ නැත. ඇය ඒ  මුහුණු පොත ගිණුමත් අවහිර කර දැමුවේ ඔහුගේ තුරුලේ සිටමය.

සංකල්පනී ධනුකට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. එහෙත් දිගින් දිගටම නාද වුවත් ඒ දුරකථනයට පිළිතුරු වූයේ නැත. අවසන ජංගම දුරකථනය විසන්ධි කර දමමින් සංකල්පනී දෑස් වසා ගත්තාය.

                              *********

අමායා වූයේ සිය ලැප්ටොප් පරිගණකය මත සටහන්ව තිබූ සේයා රූ නරඹමින්ය. ඒවායේ සිය ජංගම දුරකථනය ඉදිරියට මානාගෙන වීඩියෝ කරමින් උන් ධනුකගේ රූපය යළි යළිත් විසල් කර බැලූ අමායා සැකයට තුඩු දෙන අයුරේ යමක් සොයා ගැනීමට වෙහෙස වූවාය. ඇගේ සැමියා නිරන්ජන් පසුපසින් පැමිණ ඇයව වැළඳ ගත්තේ එවේලෙහි. 

“මොනවද මේ බොහොම උවමනාවෙන් හොයන්නේ…”

“අර මං ඔයාට කිව්වේ ධනුක කියලා මනුස්සයෙක් ගැන. අර චාරුකගේ වයිෆ්ගේ යාලුවගේ හස්බන්ඩ්..”

“ඔව් ඔයා කිව්වෙ මට නම් දිරවන්නෙම නෑ කියලා.  දැන් මොකක්ද ප්‍රශ්නේ…”

අමායා තමාගේ සිතුවිලි ඔහු හා පැවසූයේ ඉවසිල්ලේය. 

“අපරාදේ තාත්තට තිබුණේ ඔයාව වර්ණ ගෘප් එකට සම්බන්ධ කරවන්න නෙමෙයි සී අයි ඩී එකට යවන්න.”

“ඔයා චුට්ටක් හිතන්න මගේ සැකය සාධාරණ නැද්ද කියලා. මේ ෆොටෝස් ගන්න අනිත් හැමෝම අපි තුන්දෙනාම මන්දස්ම්  පිළිගන්න කොට එක විදිහටම ෆොටෝස් ගන්නවා. හැබැයි ධනුක විතරක් ෆොටෝ ගන්නේ හරි, වීඩියෝ කරන්නේ හරි චාරුක මන්දස්මිව පිළිගන්න වෙලාවේ විතරයි.”

“ඔව් ඉතින්  එහෙම බැලුවහම එතන සැකයක් ඇති වෙනවා තමයි. දැන් චාරුකගේ ගෙදර තත්වෙ කොහොමද?”

“නිරංජන් අපේ තාත්තා ඒ දවස්වල කියනවා ලස්සන කතාවක්. කෙනෙක් මැරි කරන්න ඕනේ තමන්ගේ මට්ටමේ ඉන්න කෙනෙක් කියලා. තාත්තා එතනදි තමන්ගේ මට්ටම කියලා කිව්වේ  සල්ලිවත්, බලයවත්, පෙළපතවත් නෙමෙයි තමන් වැඩ කරන ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්, එහෙම නැත්තං තමන් තරමටම විවෘතව ලෝකෙ දිහා බලන උගත් කෙනෙක්. චාරුකට වැරදුනේ අන්න එතන. එක අතකින් නුලාරා පව්. ගෙදරට වෙලා අම්මයි තාත්තයි එක්ක හැදුනු අහිංසක පුංචි ගෑණු ළමයෙක් චාරුක  වැඩ කරන හරි සංකීර්ණ මේ ෆීල්ඩ් එක ගැන අවබෝධයක් ලබා ගන්නේ කොහොමද. සමහර විට නිරන්ජන් ඔයාටත් මම ගැන මගේ තනතුර ගැන, මේ ෆීල්ඩ්  එක ගැන අවබෝධයක් නොවුනනම් සැක කරන්න හිත රිද්දගන්න ඕන තරම් හේතු කාරණා තියෙන්න තිබුණා. මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් ගෑනු අයට, පිරිමින්ට ජීවිතේ වරදින්නේ ඔන්න ඔතනින්. 

“ඔයා කියන දේ හරි. මං සීයට සීයක් එකඟයි. දැන් අපි මොකද මේ ප්‍රශ්නෙට කරන්නේ. අපි මේ ගැන චාරුකට කියනවද…?”

“කියන්න ඕනේ.  හැබැයි චාරුක මේක පිළිගනීද නැද්ද කියලා මං දන්නෙ නෑ. මං ඊට කලින් මේ ගැන තේජනත් එක්ක කතා කරන්න හිතුවා. සමහරවිට ධනුක මේ කම්පැනි එකට ජොයින් වෙන්නම ඇත්තේ කාගේ හරි ඉත්තෙක් විදිහට වෙන්න ඇති.”

“මොනවා කළත් පරිස්සමෙන්. ධනුක ෆොටෝ එකක් ගහගත්ත පලියට අපිට මෙතනදි එයාව සැක කරන්නවත් වැරදි කාරයා කරන්නවත් බැහැ. ඒකෙන් සමහරවිට චාරුකලාට  ඔයා වැරදි කාරියක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අමායා ඔයා ඉස්සර වෙලාම මේ ගැන තේජන එක කතා කරන්න. එහෙම උනොත් චාරුකට නොදැනෙන්න ඔය දෙන්නට ධනුක ගැන ඇලර්ට් එකේ ඉන්න පුළුවන්නේ.”

“මමත් එහෙම තමයි හිතුවේ….”

“දැන් සී අයි”ඩී නෝනා නිදාගමුද?”

නිරංජන් එසේ පැවසූයේ ඇගේ කෙහේ රැල්ලක් කන් පෙති අතර රඳවමින්ය. සමහර විටක තමා දිවා රාත්‍රී නොබලාම කාර්යාලීය වැඩ අතර සිරව සිටියදීත් ඔහුගේ මේ අපූරු ආදරය මේ අයුරින්ම ලැබුණු බව අමායාට මතකය. නිරන්ජන් සේවය කළේ පුද්ගලික දුරකථන ආයතනක විධායක නිලධාරියෙකු විලසින්ය. එනිසාම තම රැකියාවේදී ඔහුගෙන් තහංචි බාධා වූයේ නැත. කාර්යාලීය වැඩකට තමා කවුරුන් සමඟ කොහේ ගියත් අමායා ඔහුට දුරකථන ඇමතුමක්, කෙටි පණිවිඩයක් හෝ හඬ පණිවිඩයක් තැබුවා පමණි. පරිස්සමෙන් ගිහින් එන්න යැයි පැවසුවාට නිරන්ජන් ඒ යන්නේ කා සමගද? කොතැනකද? රාජකාරිය කුමක්ද? යන්න පිළිබඳව එළව එළවා විමසූයේ නැත. අමායාගේ සාර්ථකත්වය පසුපස වූයේ ඒ නිදහස හා විශ්වාසය බව සහතිකය. 

                                ***********

චාරුක නුලාරාව රෝහල වෙත කැඳවාගෙන ගියේ රාත්‍රී හතට පමණය. පෙරදින  සේම කිසිදු කතාබහක් නොවූවාට ඔහු ඇයට වාහනයේ දොර ඇර දුන්නේය. ඇයට ඉස්සර වන්නයැයි පවසා ඔහු පසුපසට විය. අම්මා තාත්තාත් සමඟ කතා කරමින් පැමිණෙනතුරු ඉවසිල්ලේ බලා සිටියේය. යළිත් නිවසට පැමිණ සුපුරුදු ලෙසම ඇයව ඇරල වූයේය. 

“සෝමා ඔයාගේ චූටි නෝනට  කියන්න මම ආපහු හොස්පිට්ල් එකට ගිහිල්ලා තාත්තා ළඟ ටිකක් වෙලා ඉඳලා එනවා කියලා…”

නුලාරාව නිවසට ඇරලූවාට පසුව වාහනයේ පැති වීදුරුව පහත් කළ චාරුක කෑ ගැසුවේ ඇයටත් ඇසෙන්නටය. ඒ වද්දී ඈ උන්නේ දරුවා වඩාගත් හෙදිය පසු පසින් නිවසට ඇතුළු වෙමින්ය. ඕ ආපසු හැරී බලන අයුරු චාරුක දුටුවේ වාහනය හරවා ගනිද්දීය. පැය තුනකට අධික කාලයක් ඔහේ කියවමින් රෝහල් කාමරයට වී සිටි චාරුක යළිත් නිවසට පැමිණියේ රාත්‍රී එකොළහට පමණය. එදත් ඔහු කෑම මේසයට ඉඳගත්තේ තනිවමය. නුලාරා ආහාර ගත්තේදැයි එදිනත් ඔහු විමසූයේ නැත. 

“චූටි නෝනත් සැන්ඩ්විච් පෙත්තක් කාලා කිරි එකක් බිව්වා විතරයි සුදු මහත්තයා.”

සෝමා එසේ පවසද්දීත් ඔහු හ්ම්…කිව්වා පමණි. 

සිතූ පරිදි සවස පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව  ප්‍රසංගය නරඹන්නට බලා උන් ප්‍රේක්ෂකයන් උද්දාමයට පත්ව තිබිණ. අදාල රූපවාහිනී නාලිකාවෙන් ජන මත විමසුමක් කරද්දී  සියල්ලෝම පවසා සිටියේ එය ජීවිත කාලයේ එක් වරක් පමණක් අත්විඳින්නට ලැබෙන අත්දැකීමක් විය හැකි බවය. 

සුපුරුදු ලෙස නිදන කාමරයට ගිය චාරුක ඉන් පිට වූයේ හිස් සුදු බිත්තිය දෙස බලාගෙන කල්පනා කරන නුලාරා සමග වදනක්වත් කතා නොකරමින්ය. එදා රෑත් ඔහු නිදා ගත්තේ උඩුමහලෙහි වූ කාමරයකය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here