මලක් වී යළි පිපෙන්නම් – 65

0
1274

නුලාරා සුවපහසු අයුරින් ආලින්දයේ අසුනකට බර වූයේ සංකල්පනී එහා පසින් ඇමතුම විසන්ධි කලාට පසුවය. ඒ අතීත මතක සුන්දරය. යෙහෙළියකගේ නිවසේදී මුල් වරට චාරුක දුටුවාට පසුව ඔහුගේ දෑස් බැල්ම ඇයට අමතක කළ හැකි එකක් වූයේ නැත. තමා සමග කතා කිරීමට අවශ්‍ය යැයි ඔහු මුලින්ම පවසා තිබුණේ ඒ යෙහෙළියටය. අවසන දුරකථන අංක හුවමාරු විය. 

තමා ගැන බොහෝ දේ පැවසුවාට පසුව ‘මම ඔයාව මැරි කරන්න කැමතියි. ඔයාව බලාපොරොත්තුවෙන් වෙන කෙනෙක් නැත්තං මට ඔයාගේ උත්තරය දෙන්න’ යනුවෙන් චාරුක පැවසූයේ තමාගේ සිතෙහි මල් දහසක් පුබුදුවමින් බව විශ්වාසය. මොන විදිහකින් බැලුවත් ඔහුට අකමැති වෙන්නට තරම් හේතුවක් නුලාරාට වූයේ නැත. එවන් කඩවසම් පිරිමියෙකු තමාගේ සැමියායැයි  හඳුන්වා දෙන්නට කිසිදු යුවතියක තරුණියක මැලි  නොවන බව විශ්වාසය. ඔහු කලක් මෙරට ජනප්‍රියම නිරූපණ ශිල්පියා වූ බව ඈ දනී. නිරූපණ ක්ෂේත්‍රයෙහි පැවැත්වෙන තරඟ කිහිපයකට මෙරට නියෝජනය කරමින් ඔහු සහභාගී වූ බවද ප්‍රසිද්ධය. එදා තමාට ඔහුගේ රැකියාවවත්, ඔහු නියෝජනය කරන ඒ ක්‍ෂේත්‍රයවත් ගැටලුවක් නොවූයේ මන්දැයි නුලාරා සිතුවේ  පුදුමයෙන්ය. කිහිප දිනක්ම චාරුක තමාගේ කැමැත්ත ප්‍රකාශ කරද්දී ඈ පැවසූයේ අම්මාගෙනුත් තාත්තාගනුත්  ඇසිය යුතු බවය. ඇය නොසිතූ මොහොතක තේජනත් සමඟ ඔහු නිවසට පැමිණියේ අම්මාත් තාත්තාත් හමුවන්නටය. එදා ඔවුනුත් පුදුමයට පත් වූ බව විශ්වාසය. 

සියල්ලෝම පැවසූයේ රඹුක් වැල්ල පවුලේ ලේලියක වීමට අවස්ථාව ලැබීම වාසනාවක් බවය. චාරුකට වූයේ තමාව විවාහ කරගෙන මේ නිවසට කැඳවාගෙන ඒමට හදිසියකි. 

“තමන්ගේ හිතට හරියන කෙනා හම්බ වුණාට පස්සේ දෙපැත්තෙන්ම බාධාවක් නැත්නම් මොකටද තවත් අපි වෙඩින් එක කල් දාන්නේ. මට ඕනෙ ඉක්මනට ඔයාව මගේ ළඟට ගන්න.”

ඔහු පැවසූයේ ඒ අයුරින්ය. විවාහයට තමාගේ සිතෙහි බියක් තිබූ බව සැබෑය. අලුත් පරිසරයකට හුරු වන්නේ කෙසේද, ලේලියකගේ, බිරිඳකගේ වගකීම් තමා අතින් නිසි අයුරින් ඉටු වේද යන්න ගැන සිතමින්, පසුතැවෙමින් බියෙන් වූ කාලයකට පසුව තමා ඇගේ මනාලිය වූයේ තරු පන්තියේ හෝටලයකදීය. නුලාරාට එදවස වූ⁣යේද චාරුක සමීපයට වී සිටින්නට  උවමනාවකි. 

තමා සිතූ සියල්ල වැරදියැයි නුලාරාට සිතුනේ මේ රඹුක් වැල්ල නිවසට පැමිණියාට පසුවය. තමාගේ නිවස තරම්ම සුවදායී පරිසරයක් නිර්මාණය කරන්නට මේ නිවැසියන් සෑම විටකම උත්සාහ ගත් බව විශ්වාසය. විශේෂයෙන්ම චාරුකගේ මව තමාට සැලකූයේ ලේලියක ලෙස නොව දියණියකට සේ ළෙන්ගතුවය. චාරුක නිරතුරුවම තමා වටා දැවටෙමින් සිටියේ තනිකමක් පාළුවක් නොදැනෙන ලෙසය. 

“ඔයාල දෙන්නගේ දුව ඔයාලා දෙන්න වගේම ආදරෙන් අපේ ගෙදර හැමෝම බලා ගනීවි. එයා මට ලේලියක් නෙමෙයි දුවෙක්. තව ගෙදරක හුරතලයට හැදුනු ගෑණු දරුවෙක් තමයි මගේ ගෙදරට එන්නේ කියන එක මට අමතක නෑ. විශේෂයෙන් ඔයයි මේ මල්ලියි දරුවා හදපු විදිහ අපි දැන් හොඳටම දන්නවනේ..”

නයනා රඹුක්වැල්ල එදා දුන් පොරොන්දුව ඇය මේ රටින් පිටවෙන තුරුම නොකැඩූ බව විශ්වාසය. තමාගේත් චාරුකගේත්  සුව පහසුව සඳහා වෙන් වූ උඩුමහලට ඇය පා නොතැබූ තරම්ය. චාරුක තමාව බලා ගත්තේ සුවඳ මලක් සේ පරිස්සමටය. විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවෙන තුරුත් තමා පෙම්වතියක යැයි ඇයට දැනුනේ එනිසාය. 

ඒ ජීවිතය කනපිට පෙරළුණේ කොතැනකදීදැයි මතකයක් ඇයට නොවේ. අම්මා, සංකල්පනී පමණක් නොව සෝමා පවා පවසන්නේ තමාට සමාජ අත්දැකීම් නොමැති බැවින් තීරණ ගැනීම ඉක්මන් බවය. පසුගිය කාලය පුරාම ඇය චාරුක හා කතා කළේ අත්‍යාවශ්‍ය කාරණයකදී පමණි. හිතා හෝ නොහිතා තමා ඔහුගේ සිත රිද වූ වාර ගණන අනන්තය. එහෙත් ඔහු ඒ සියල්ල දරා ගනිමින් තමා සමඟ සිටි බව නුලාරාට  පසක් වූයේ සංකල්පනීගේ වදන් වලින් පසුවය. වර්තමානය එසේ නොවේ. තමා  තනි වූවාය යන හැඟීම නුලාරාගේ සිතට දැනෙන්නට වූයේ ඔහුගේ මේ මගහැර යාම නිසාය. 

‘එයාට හිතකින් සිතුවිල්ලකින්වත් වරදක් නොකරපු මම එයා ළඟදි වරදක් කළා කියලා පිළිගන්න ඕනද බං. ඒක මට කොහොමටවත් කරන්න බෑ. මගේ ජීවිතේ  ඉන්නේ එයා විතරයි කියන එක එයා තේරුම් ගන්න ඕන. මම වැඩ කරන මේ ෆීල්ඩ්  එක මොකක්ද කියල එයා ඊළඟට තේරුම් ගන්න ඕන. මටත් අමාරුයි බං. ඇත්තටම මට පහුගිය දවස් ටිකේ හිතුනා මේ හැම දෙයක්ම දමල  ගහලා අම්මයි තාත්තයි ලඟට යන්න. මම මේ මොනවා මොන විදිහට ගොඩ නැගුවත් වැඩක් නෑ බං මගේ ප්‍රයිවට් ලයිෆ් එක අසාර්ථක නම්. මම ඒ ගැන කොච්චර හිතුවද කියන එක උඹ හොඳටම දන්නවා.  සමහර වෙලාවට එයා  හිතනවා මම එයාව මැරි කලේ එයාව ගෙදර තියලා මට නිදහස ගන්න ඕන නිසා කියලා. ඇයි බං එහෙම හිතන්නේ. උඹ  දන්නවා මං හරි පරිස්සම් වෙච්ච මනුස්සයෙක් කියලා. මට කවදාවත් ඕන වුණේ නෑ මගේ අම්මටයි තාත්තටයි වැරැද්දක් කරන්න. ඒ වගේම තමයි බං මං විශ්වාසයෙන් කියනවා නුලාරට වරදක් කරන්න මට කො⁣හොමටවත් ඕන වුණේ නෑ. මොකද මං එයාට ඒ තරමටම ආදරෙයි. එයාගේ ඇස්වල කඳුලක් දකිනවා කියලා කියන්නේ මට මාව නැතිවෙනවා කියන එකක බං…”

පෙර දිනක ඔහු තේජන සමග කළ දුරකථන සංවාදය  නුලාරාට ඇසුණේ අහම්බයෙනි. හෙදිය උදෑසන දරුවා රැගෙන ගේ උයනට ගොස් මඳ වේලාවක් සිටින්නේ හිරු එළිය ඔහුට අවශ්‍ය බව පවසමින්ය. ඒ බොහෝ වේලාවට නුලාරාත් ඒ සමීපයට ගොස් ඔහු හා සෙල්ලම් කරමින් සිටීම සිරිතකි. ඇයට ⁣තේජනගේත් චාරුකගේත් ඒ සංවාදය ඇසුණේ එසේ ගේ උයනට යද්දීය. 

විවාහ ජීවිතය යනු ප්‍රශ්න පත්‍රයකට නිවැරදිව පිළිතුරු ලියා නිම කිරීමක් බවට නුලාරා අසා තිබුණාය. අම්මා නිරතුරුවම පැවසූයේ කලබලව ප්‍රශ්නවලට පිළිතුරු නොසොයන ලෙසය. තාත්තාගේ ජීවිතය මේ අයුරේ අවදානමකට වැටුණේත් තමා සිතා නොසිතාගත් ඒ තීරණය නිසායැයි නුලාරාට සිතෙන්නේ දැන්ය. සංකල්පනී පවා පවසා සිටියේ සැකය පවුල් ජීවිතයක් තුළට ඇතුළු නොවිය යුතු බවය. මධ්‍යම රාත්‍රියේ පැමිණෙන චාරුක උදෑසනම නිවසින් පිටව යන්නේ තමා සමග වන කෝපයෙන් නිසා විය යුතුය. මේ අයුරින් තවත් දින කිහිපයක් ගත කරන්නට සිදු වේදැයි නොදනී.

සමාජ අත්දැකීම් අඩුවෙන් ඇති තමා මේ ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය නිවැරදි නොවේ යැයි ප්‍රථම වතාවට නුලාරාට හැඟෙන්නට විය. ගැහැණියක විසින් ඉවසීම ප්‍රගුණ කළ යුතු යැයි සෝමා කිහිප වතාවක්ම පැවසුවාත් මතකය. චාරුකවන් ජනප්‍රිය චරිතයක් අලලා මිනිසුන් ඕපාදූප පැවසීම පුදුමයක් නොවේ යැයි පැවසූයේ තේජනය. 

“මේ බලන්නකෝ මේ නිළිය එයාගේ බබාව දාලා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා කියලා කියනවානේ.”

දිනක් දුරකථන තීරය මත එවැනි පුවතක් නරඹමින් උන් තමා නාන කාමරයෙන් පිටතට පැමිණි  චාරුකට ඒ පුවත පැවසුවා මතකය. 

දුරකතන තීරයට එබුණු ඔහු අවඥය සහගත සිනහවක් මුහුණෙහි රඳවා ගෙන පැවසූයේ,

“ඔය කියලා තියෙන දේවල් වලින් සීයට එකක්වත් ඇත්ත නොවෙන්න පුළුවන් බබා. මිනිස්සුන්ට දැන් සල්ලි හම්බ කරන්න එක එක ක්‍රම තියෙනවා. youtube කියන්නෙත් ඒ වගේ එක ක්‍රමයක්. අපේ රටේ මිනිස්සු තවමත් ආසයි අනුන්ගේ කුණු කියවන්න. ඕපාදූප අහන්න. එහෙම මිනිස්සු ඉන්න තාක්කල් ඔය වගේ පෝස්ට් ට්‍රෙන්ඩින් වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද ඔය මිනිස්සුන්ට ඩොලර් හම්බ වෙනවා. ඒ නිසාම මිනිස්සු කතා මවනවා. ඒවට පණ දෙනවා.  ඔයාට මතකද බබා ඉස්සර අපේ තාත්තල කියනව කැලෑ පත්තර ගහනවා  කියලා. අන්න එහෙම වැඩක් තමයි ඔය කරන්නේ…”යනුවෙන්ය. එදවස මේ කිසිදු සැකයක් තමාගේ සිතෙහි නොවූ කාලයකි. 

සංකල්පනීත් තේජනත් එක අයුරින්ම පැවසූ  චාරුකට ඇති ජීවිත තර්ජනය කුමක්දැයි සිතද්දී ඕ වෙව්ලා ගියාය. තමාට චාරුක අවශ්‍ය යැයි හඩගා පවසන යටි සිතට එකඟව ගලා ගියේ කඳුලකි. මේ සා දුක් වින්දේත් ඒ නිසාය. ඔහුව අහිමි කරගෙන ජීවත් වන්නට බැරි කමක් ඒ පපුවට දැනෙන්නට විය. නුලාරා අසුන්ගෙන උන්  පුටුවෙන් නැගී සිටියේ තවත් විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය. 

                                     ************

පැමිණ සිටින අමුත්තා යළිත් වරක් දොරට ගසද්දී සංකල්පනී නැගී සිටියේ කුතුහලයත්, බියත් එකසේ දරාගෙනය.   බාගෙට විවර වූ දොරෙන් ඇතුලට එබුණු ඈ දුටුවේ කිසි ලෙසකත් මෙවේලෙහි බලාපොරොත්තු නොවූ රුවකි. 

“රන්දික….”

ඇයට ගොත ගැසුනේත් එනිසාය. බාගයට විවර වූ දොර පළුව සම්පූර්ණයෙන්ම විවර වූයේ සංකල්පනී නොදැනුවත්වමය. තමා සිටිනා මේ  ඇනෙක්සිය ගැන ඔහු දැනගත්තේ කෙසේදැයි ඊළඟ තත්පරයේ ඒ සිතට ඇති වූයේ පුදුමයකි. තමාගෙන් ආරාධනයක් නොවීම රන්දික ඇනෙක්සිය තුළට ඇතුළුවද්දී නිරායාසයෙන්ම සංකල්පනී අඩියක් පසුපසට ඇද ගත්තාය. සමහර විට ඔහු මේ පැමිණෙන්නට ඇත්තේ දික්කසාද නඩුව පිළිබඳව යමක් පවසන්නට විය යුතුය. පසෙක වූ ප්ලාස්ටික් පුටුව ඉදිරියට ඇද තැබුවත් එහි අසුන් ගන්නට පෙර රන්දික කුඩා කාමරය වටා සිය දෑස් බැල්මක් යවනු සංකල්පනී බලාගෙනය. ඉන්පසු ඔහු ඇඳ මත වූ ගමන් බෑග් දෙස ඉතා වුවමනාවෙන් බලා සිටිනවා ඈ දුටුවාය. දොර අරින්නට පෙර ඒවා ඇඳ යටට දමන්නට නොහැකි වීම ගැන එවේලෙහි ඇගේ සිතේ ඇති වූයේ පසුතැවීමකි. 

‘ඇහුවොත් කියනවා ගමේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ ධනුක එනකං කියලා…’

වෙලාවේ හැටියට එවන් බොරුවක් ගලපා ගන්නට ලැබීම ගැන ඈ තමාගේ සිතුවිලි වලට ස්තුතිවන්ත වූවාය. 

(හෙටත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here