වසන්තය තව දුරද – 12

0
154

“දැන් ඒ කියන්නෙ තාත්තට හොර ශොට් එකක් තියෙනවද?” කියා කවදාවත් නැතුව අයියා කාමරයට විත් අහද්දීත් නෙත්මලී උන්නේ පාඩම් පොත දිග ඇරගෙන මේසයට වාඩි වීය. එහෙත් හිත තිබුනේ වෙනදා මෙන් පාඩමට ඒකාත්මික වී නොවේ. දැන් දවස් ගානක් තිස්සේ තමන්ට පාඩමට හිත එකඟ කරගන්නට බැරි වූ බව නෙත්මලී දනී.

විභාගය අත ළඟය. හරිනම් මේ දවස්වල තමන් හිතිය යුත්තේ විභාගය ගැන විතරක්මය. එහෙත් හිත මේ දවස්වල යන්නේම අයාලයේය. ඒ අයාලේ යන හිත එක තැනක නතර කරගන්නේ කෙසේද යන්න ගැන අදහසක් නෙත්මලීට නැත. 

“පුතා අහලා තියෙනවද කතාවක් තියෙනවා සචිත්ත මනුරක්ඛත කියලා?” තාත්තා කිව් කතාවක් නෙත්මලීට මතක් වෙන්නේ ඔය අතරවාරයේය.

“ඔව්”

“මොකද්ද?”

“තමන්ගේ හිත මනාකොට රැකගන්න කියන එක”

“අන්න හරි. පාඩං කරන කාලෙ දරුවො කරන්න ඕනත් ඒක. තමන්ගෙ හිත මනාකොට රැකගන්න එක. පාඩං කරනවාය කියන්නෙත් පුතේ එක්තරා විදියක භාවනාවක් වගේ වැඩක්නෙ, ඒ භාවනාව කරන්නත් හිත මනාකොට රැකගන්න ඕන. එතකොට තමයි පාඩම කියන භාවනාවත් මනාකොට පිහිටන්නෙ. ඒකනෙ ඔය ඉගෙන ගන්න කාලෙ එක එක ආදර සම්බන්ධකම් තියාගන්න, වෙන වෙන වැඩ වලට සම්බන්ධ වෙන්න එහෙම යන්න එපා කියලා කියන්නෙ. අනික පුතේ පුතා අමතක කරන්න නරකයි අපිත් බොහොම සාමාන්‍ය මිනිස්සුනෙ. තාත්තා කියන්නෙත් රජයේ සාමාන්‍ය රැකියාවක් කරන මනුස්සයෙක්. අම්මත් එහෙම ලොකු ජොබ් එක්ක කරන මනුස්සයෙක් නෙවිනෙ. එහෙමෙකේ අපිට ඉගෙන ගත්තොත් තමයි පුතේ හොඳ විදියකට ජීවත්වෙන්න පුලුවන්කමක් හම්බෙන්නෙ. අනික මං මේ රජයේ රැකියාවක් කරන මනුස්සයා උනාට මං කවදාවත් කියන්නෙ නෑ මගෙ දරුවොත් රජයෙ රැකියාම කරන්න ඕනය කියලා. අපිට වඩා හොඳ තැන්වලට යන්නෝන පුතේ ඔයාලා. 

රජයෙ රැකියාවක්ද පෞද්ගකික අංශයේ රැකියාවක්ද කරන්නෙ කියන එක පස්සෙ හිතන්න පුළුවන්. බොරු කියන්න ඕන නෑනෙ මට ලේසි පුතෙ ඔයාලා ගවමන්මන්ට් එකෙන් දෙන ඉගෙන ගන්න ඒවයින් ඉගෙන ගන්නවානම්. මොකෝ බොරු කියන්න ඕන නෑනෙ පුතේ තාත්තට හම්බෙන පඩියෙන් කන්න බොන්න, අනික් විය හියදම් කරාම පුතේ ඉතින් ලොකුවට ඉතින් ඉතුරු කරන්න එහෙම හම්බෙලා නෑ. එහෙම ගත්තම ඔයාලට උනත් ප්‍රයිවට් කොහෙන් හරි ඉගෙන ගන්න උනොත් අපිට ලෝන් එකක් එහෙම අරගෙන තමයි ඒක කරන්න වෙන්නෙ.

ඔයාට කැම්පස් යන්න බැරිවෙලා එහෙම දෙයක් කරන්න ඕන උනොත් මං එහෙම නොකර ඉන්නවා කියලා නෙවෙයි මම මේ කියන්නෙ මම මොනා හරි කරලා ඔයාලාව හොඳ තැන්වලට යවනවා. ඒ උනාට පුතාට තේරෙනවා ඇතිනෙ මං කියන දේ. අනික පුතාට හොඳට ඉගෙන ගන්න හැකියාව තියෙන එකේ ඒකෙන් ප්‍රයෝජන නොගෙන ඉන්න එපා කියලා තමයි මම මේ කියන්නෙ” කියා තාත්තා කිව්වා නෙත්මලීට මතකය. අද මේ ජීවිතෙ වරද්දාගෙන තියෙන්නෙ එදා තමන්ට ජීවිතේ ගැන එයාකාර අවවාද උපදෙස් දුන්න තාත්තාය. තමන්ට ජීවිතේ ගැන අවවාද උපදෙස් දුන්න තාත්තා අද ජීවිතේ මෙයාකාරයෙන් වරදගෙන තියෙද්දී තමන් යා යුත්තේ හරිමගේද වැරදිමගේද කියන ගැටලුව නෙත්මලීට නොතිබුනා නොවේ.

“දැන් ඒ කියන්නෙ තාත්තට හොර ශොට් එකක් තියෙනවද?” කියා අයියා අහද්දී නෙත්මලී කිපුණේ ඒ ගැටළු හිත අස්සෙ දඟකරමින්, වදදෙමින් තිබුණ නිසාවෙනි.

“මං කොහොමද දන්නෙ?” කියා කවදාවත් නැතුව නංගී ඇඟට කඩාගෙන පනිද්දී නෙත්මාල් ගැස්සුණ බව ඇත්තකි. එහෙත් වෙච්ච දේවල් එක්ක තාත්තගේ ඇඟේ ඇලී හැදිච්ච නංගී දුකත් වේදනාවත් හින්දා තරහා අරගෙන ඉන්න එක අයියා කෙනෙකු විදියට තේරුම්ගත්ත හන්දාම නෙත්මාල් කිපුණේ නැත.

“නෑ බං මං ඇහුවේ ඒ වෙලාවෙ මං ගෙදර උන්නෙ නෑනෙ.  මං ගෙදර එද්දි තාත්තා වෙන කාන්තාවක් එක්ක සෙට් වෙලා, ඒ මනුස්සයා එක්ක තේ බොන්න කැෆේ එකකට ගිහින්. ඒක ලොකු අම්මා දැකලා, එයැයි ඒක මෙහෙ ඇවිත් කියලා ගිනි පත්තු කරලා හෙන කෙලියක් වෙලා ගින්න නිවිලත් ඉවරනෙ. තමුසෙනෙ විස්තරේ දන්නෙ ඒකයි මං ඇහුවෙ”

“මං දන්නෙ නෑ. මට කියලා නෙවෙයිනෙ කට්ටිය ඕව කරලා තියෙන්නෙ. ඔයා ඒ හන්දා ඕව මගෙන් අහන්න එපා. ඕව කරපු මිනිස්සුන්ගෙන් ගිහින් අහන්න” කියා නංගී කියද්දි තවදුරටත් නංගී වෙහෙසීම තේරුමක් නැති දෙයක් විත්තිය තේරුණ තැන නෙත්මාල් නංගීව තනිකොට කාමරයෙන් එළියට ගියේ බොහෝ දුර කල්පනාවන් අස්සේ ගිලී යන්නට නෙත්මලීට ඉඩහසර හදා දෙමිනි.

නෙත්මලී උන්නේ දවල් වරුවේ දකින්නට ලැබුණ තාත්තාගේ වෙනස්ම විලාසය ගැන කල්පනා කරන්නට සිත වෙහසමිනි. තාත්තා කිසි දිනක කිසිම දේකට කලබල වනවා නෙත්මලී දැක තිබූණේ නැත. එහෙත් අද තාත්තා කටයුතු කලේ වෙනදා තාත්තා කටයුතු කරන ආකාරයට නොවන බවත්, එසේ වෙනස්ම අයුරකින් කටයුතු කරන්නට තාත්තාට බාහිරින් එල්ල වුණ බලපෑම් හේතුවන්නට ඇති බව නොහිතා ඉන්නට නෙත්මලීට හැකි වුණේ නැත.

“ප්‍රශ්නෙ තියෙන්නේ මාත් එක්ක නම් අක්කේ  ඒක මාත් එක්ක විසඳගන්න. කරුණාකරලා මං එක්ක තියෙන තරහ මගෙ අහිංසක දරුවන්ගෙ ඔලු උඩින් යවන්න හදන්න එපා”

“මහ උන් වැරදි කරද්දී ඒවගේ විපාක විඳවන්න වෙන්නේ දරුවන්ට කියන එක මතක තියෙන්න තිබ්බෙ ඕවා කරන්න කලින්” 

“අක්කෙ මේ මෙන්න මේක හොඳට මතක තියාගන්න හොඳේ, දෙයක් දැක්ක පලියට තමන්ට ඕන ඕන ජාති හිතලා මෙතන අනුන්ගෙ පවුල් ගිනිතියන්න හදන්න එපා හොඳේ”

“අනුන්ගෙ පවුල් වෙන්නෙ කෝමද? මේක මේ මගේ නංගිගෙ..”

“නංගි උනත් කසාද බන්දා දුන්නයින් පස්සෙ වෙන පවුලක් විත්තිය අක්කා අමතක කරන්න එපා. අපේ ප්‍රශ්න අපිට විසඳගන්න පුලුවන් අක්කෙ. අක්කා කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න”

“යකෝ හරි කතාවක්නෙ මේක. තමුන් හරියට කතා කරන්නෙ අපි හන්දා ප්‍රශ්නෙ ඇවිලිච්ච ගානටනෙ. වෙන ගෑනු එක්ක නඩලං නටන්නෙ අපේ නංගිව මෙතන ගෙයින් දොට්ට දාන්න හිතාගෙන වෙන්නැති. ඒවනම් කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා අතුල මේ භද්‍රා ඉන්නකං,

ඉන්නෙනම් කොහොමද මහ ලොකුවට බෝදිසත්තයා වගේ. කරන ඔක්කොම වනචර වැඩ කරන්නෙ වෙස් මූණු බැඳ ගෙනනෙ. තමුන්ගේ ඔය වෙස් මූණට රැවටුනා මදෑ මගේ අසරණ නංගී. තාමත් බලපංකෝ කටේ තියෙන සැර. වැරැද්දකුත් කරලා අහුවුණායින් පස්සෙත් ඇඟට ගොඩවෙන්න හදන හැටි. අක්කලා අයියලා විදියට අපි ඉන්නේ මේ නංගිව තමුසෙට ඕන ඕන විදියට තලලා පෙලාලා ගෙයින් එළියට ඇදලා දානකම් බලන් ඉන්න නෙවෙයි අතුල

මම එදත් කිව්වා අදත් කියනවා තමුසෙ ඔය බෝධිසත්ව මූණක් දාගෙන හිටියට යටින් තියෙන්නෙ මොන තරම් කුණු ගොඩක්ද කියලා අද මුළු පවුල ඉස්සරහම එළිවෙලා ඉවරයි. පාරේ තොටේ යන ගෑනුන්ව මෝටර් සයිකලේ පිටිපස්සේ තියාගෙන තේ කඩවල් අස්සේ රිංග රිංග රවුම් ගහද්දී තමුසෙට මතක් වුණේ නැද්ද තමුසෙට දීග දෙන්න  වයසෙ ඉන්න දුවෙකුයි, පිරිමි පුතෙකුයි ඉන්නවා කියන එක? දැන් මෙතන ඇවිත් අපිට හයිරංකාරකං දාන්න හදන්න එපා වනචරකං කරලා.

තමුසෙට වෙන ගෑනුත් එක්ක නාඩගම් නටන්න ඕන නම්, මේ ගෙදරින් බැහැලා යන දිහාවක ගිහින් නටනවා

 නැතුව අපේ එකීගේ ජීවිතේ අස්සෙ ඉඳගෙන තමන්ගෙ වෙන මජර ඕනෑ එපාකම් ඉස්ට කරගන්න හදන්න එපා.

 බලමුකෝ තමුසෙගේ ඔය මහ ලොකු වීරකම කොච්චර කල් තියෙයිද කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here