මලක් වී යළි පිපෙන්නම් – 71

0
3471

“ඊයේ අංකල් බලන්න ගියපු වෙලාවෙ සිතාරා ආන්ටිත් මමත් එක්ක ටිකක් මේ ගැන කතා කලා. ආන්ටි ඇත්තටම උඹ ගැන දුක් වෙනවා.”

“ඇත්තටම බබා කරපු සමහර චෝදනා මගේ හිතට බර වැඩී බං. එයා එක තැනකදි කියනවා මං එයා වගේ කෙල්ලෙක් ගෙදරට ගෙනාවේ මට තියෙන්නේ ජීවිත දෙකක් නිසාලු. එයාව සනසවලා බය කරලා ගේ ඇතුලෙ තියාගෙන ඉන්න ගමන් මගේ ලයිෆ් එක මට ගෙනියන්න ඕන හින්දලු.”

“මම හිතන්නෙ නෑ බං නංගි තේරුමක් ඇතුව මේ දේවල් කතා කරනවා කියලා.”

“ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. උඹ දන්නවද මේ දවස් ටික ගත වෙලා ගියේ කොහොමද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. මං මගේ ජීවිතේට හරි ආස කරපු මනුස්සයෙක් බං. ඒ නිසාම මම මගේ ජීවිතේ පරිස්සම් කරපු මනුස්සයෙක්. මම මගේ ජීවිතේ ප්ලෑන් කරපු මනුස්සයෙක්. මගේ කියල හැඟෙන, දැනෙන  හැම කෙනෙක්ම සතුටින් තියන්න ඕනේ කියලා හිතපු මනුස්සයෙක්. ඒ වෙනුවෙන් මහන්සි වුණු  මනුස්සයෙක්. සමහරවිට මට මේක මේ තරමටම දරාගන්න බැරි ඒ හින්ද වෙන්න ඇති.”

“මචං….”

“මුලින් මුලින් මට මේ ප්‍රශ්නෙ වෙද්දි මම හිතුවා බං මේක හරි සාමාන්‍යයි කියලා. බබාගේ තියෙන නොදැනුවත්කම කියලා හිතුවා. ඉක්මනට මේක හරියයි කියලා හිතුවා. ඒක හරියන්නෙ නෑ. බොහොම ඉක්මනට අර අමාය කියපු එක දෙයක් සිද්ධ වෙනවා.” 

“ඒ මොකක්ද….”

“මේක මන්දස්මිගෙන් නතර වෙන්නේ නෑ බං. කොටින්ම කිව්වොත් බබා හිතාගෙන ඉන්නේ මං වනචරයෙක් සල්ලාලයෙක් කියලා. මං පුරුද්දකට එහෙම ජීවිතයක් ගත කරන මිනිහෙක් කියලා. හීනෙකින්වත් තමන් ආදරය කරන කෙනාට, තමන්ගේ වයිෆ්ට වරදක් කරලා නැති මිනිහෙක්ට ඒ චෝදනාව හරි බර වැඩියි. මට දැනෙන ලැජ්ජාව මට දැනෙන දුක මේවා වචන වලින් එළියට දාන්න මං දන්නෙ නෑ බං. අද වෙද්දි මැරේජ් ලයිෆ් එක ගැන මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර කලකිරීමක්.”

“එහෙම කියලා උඹල දෙන්න හැමදාම ඔය විදිහට එක ගෙදර අඳුනන්නේ නැති මිනිස්සු වගේ කාමර දෙකක ජීවත් වෙන්නද හදන්නේ?.”

“මචං මේක මගේ පෞද්ගලික ජීවිතේ මං උඹත් එක්ක උනත් මේ විදිහට බෙදා ගන්න එක හරිද මන්දා. හැබැයි මම අම්මා තාත්තා අක්ක එක්ක උනත් කතා කරන්න බැරි දේවල් උඹත් එක කතා කරලා තියෙනවා. මම බබාට මට පුළුවන් හැම විදිහකටම මේ දේවල් තේරුම් කරලා දෙන්න උත්සාහ කළා. පස්සේ කාලෙක එයා මම රූම් එකට එනවටවත් කැමති වුණේ නෑ. මං එයාගේ ඇඟට අත තියනකොට, එයාගේ ඔලුව අත ගාන්න හදනකොට එයා මාව ප්‍රතික්‍ෂේප කළා. දන්නවද බං එයා හැමදාම නිදා ගත්තෙ මගේ මේ අතඋඩ. ඒ උනාට පහුගිය කාලේ මං එයාගේ ඇඟේ ගෑවෙද්දි එයා හරි පිළිකුලෙන් මගේ දිහා බැලුවා. ඒ බැල්ම මට දරාගන්න බැරි වුණා බං  සමහර තැන්වලදී. මම බාත්රූම්  එකට ගියහම  එයා මගේ ෆෝන් එක චෙක් කරනවා. උඹ දන්නවද මං ඒ වෙලාවට ෆෝන් එකේ පාස් වර්ඩ් එක මාරු කරලා යනවා එයාට ලේසි වෙන්න. සමහර වෙලාවට එයා මගේ අන්ඩවෙයාර්ස්  චෙක් කරනවා. නිර්දෝෂී  මනුස්සයෙකුට ඒක මොන තරම් මානසික වදයක්ද කියන එක උඹට තේරුම් ගන්න පුළුවන්ද කියලා මං හිතන්නේ නෑ. සමහර වෙලාවට එයා මගේ පස්සෙන් ඇවිල්ල හැංගිලා මගේ කෝල්ස් වලට ඇහුම්කන් දෙනවා. මගේ පර්ස් එක චෙක් කරනවා. මගේ ඇඳුම්වල සුවඳ බලනවා බං. අහේතුකව කරන සමහර චෝදනා, ඒවා හරි බරයි බං මගේ හිතට.”

“මට තේරෙනවා…මට කියහං උඹ මොකක්ද කරන්න හිතන් ඉන්නේ කියලා.”

“මේ ප්‍රශ්න අම්මලාගේ තාත්තලාගේ කන් වලට යන්නේ නැති වෙන්න මං සෑහෙන්න උත්සාහ කළා බං, අපි අතර විතරක් තියාගන්න. ඇත්තටම මට ගෙදරට යන්න ලැජ්ජයි. මචං  සෝම කියන්නේ මට අම්ම කෙනෙක් වගේ ගෑනියෙක්. මට තේරුණා ඒ  මනුස්සයා පහුගිය දවස්වල මාව දකින දකින වාරයක් වාරයක් පාසා උඩ ඉඳලා පල්ලෙහාට මගේ දිහා බලනවා. අපේ අම්මා මාව විශ්වාස කළාද නොකලද කියන්න මම දන්නෙ නෑ,  මුලින්ම අපේ අම්මා උනත් මං මට කිව්වේ නුලාරට දුකක් දෙන්න එපා කියලා. මේ හැම දෙයක් මග ඇරලා ගිහිල්ලා වනගත වෙන්න මට බෑ බං. හැබැයි මං ඉන්නේ පුදුමාකාර කලකිරීමක”

“පිරිමියෙක් විදිහට උඹේ ඉවසීම ගැන මේ වෙලාවේ මට කියන්න ඕන නෑ. තීරණයක් ගන්න ඕනේ උඹ.

“අංකල් සනීප වුණාට පස්සේ මං නුලාරා එක්ක කතා  කරනවා. මම කියනවා තවදුරටත් එයා මාව අවිශ්වාස කරනවානම් මාව එයාගේ ජීවිතෙන් නිදහස් කරන්න කියලා.”

“එතකොට පොඩි රඹුක්වැල්ල.” 

“ඒක තමයි බං  මම මගේ ජීවිතේ කරපු හදාගන්න බැරි එකම වරද.”

“මට තේරුන් නෑ.”

“ජීවිතය ප්ලෑන් කරලා ගෙවන්න බෑ බං. අන්තිමට මට තේරුනේ ඒක. මේ මගේ හිතේ තිබුණු ආසාව, මේ මගේ හිතේ තිබුණු කැමැත්ත. අපි මැරි කරලා අවුරුද්දක් යද්දි බබෙක් හදන්න මට ඕන උනා. එහෙම බබාලා තුන් හතර දෙනෙක් ඉන්න පිරිච්ච පවුලක් මට ඕන උනා බං. අද දවසේ මගේ හිතේ ලොකුම දුර්වලකමත් එයා. මං දන්නෑ මට එයා නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා. මට එයාව ඕනෙ බං. මං ඒ ගැන නුලාරගේ අම්මයි තාත්තයි එක්ක කතා කරනවා. ආයේ  මගේ ජීවිතේ කවදාවත් මම මැරේජ් එකක් ගැන හිතන්නෙ නෑ. මට මගේ කොල්ලව හදාගෙන ජීවත් වෙන්න ඕනේ. මට වෙච්ච මේ  දේවල් එයාට වෙන්න ඕනෙ නෑ බං. මගේ කොල්ලා මට ඕනේ”

චාරුක එවර පැවසූයේ මඳ හඬකින්ය. ඔහුගේ සිතෙහි වන වේදනාවත්, කළකිරීමත් ඒ හඬෙහි මුසු වී තිබුණායැයි තේජනට සිතිණ. 

“අපේ දරුවා මේ හිතන විදිය වෙනස් කරගත්තේ නැත්නම් ඒ දෙන්නට එකට ජීවත් වෙන්න අමාරුයි පුතා.” 

පෙර දිනක නුලාරාගේ මව පවා පැවසූයේ ඒ අයුරින්ය. තවත් විනාඩි කිහිපයක් මිතුරා සමග කතා කරමින් සිටි තේජන කාර්යාල කාමරයෙන් පිට වූයේ හිස මත මහා බරක් පටවාගෙනය. සැහැල්ලුවෙන් සිනහසී සිටියාට වෙනදාට වඩා වැඩි වේලාවක් ප්‍රසංගයේ වැඩ කටයුතු වලට වෙන් කළාට ඔහු සිටින්නේ සතුටකින් නොවේ. 

                       ******************

උදැසන ආහාරය සඳහා කඩලත්, ලුණු මිරිසකුත් පොල් හා සැන්ඩ්විච් පෙති කිහිපයකුත් කිරි වීදුරුවකුත් කාමරයට රැගෙන ආ මෙහෙකාරිය නික්ම ගියේ ‘ලොකු නෝනා නාවන්න ඕනෑ’යැයි පවසමින්ය. රන්දිකලා මඟුල් ගෙදරට ලංව  සිටිනා බවට කෙටි පණිවිඩයක් ඒවා තිබුණේත් එවේලෙහිය. 

“කාල බීල නිදහසේ ඇඳට වෙලා ඉන්න.”

යනුවෙන් ඔහු ඒ කෙටි පණිවිඩයේ අවසන සඳහන් කර තිබිණි. සැන්ඩ්විච් පෙත්තක්  හා කිරි වීදුරුව පමණක් ආහාරයට ගත් සංකල්පනීගේ සිතෙහි තම කාමරය දැක බලා ගන්නට දොළක් උපන්නේ ඒ අතරේය. වසර එකහමාරකට ආසන්න කාලයක් ඕ  රැඳී සිටියේ මේ නිවසේය. හෙමින් හෙමින් විසිත්ත කාමරය පසු කරමින් ගිය ඈ නතර වූයේ නිවසේ විසල්ම කාමරය වූ රන්දිකත් තමාත් පරිහරණය කළ ඒ කාමරය අබියසය. අඩවල් කර තිබූ දොරෙන් කාමරය තුළට ගිය ඈ දුටුවේ තමා යද්දි පරිහරණය කළ බඩුබාහිරාදිය එලෙසින්ම ඒ කාමරය තුළ තිබෙනා ආකාරයය. දිගු සුසුමක් මුදාහළ ඕ යුගල යහනාව මත අසුන් ගත්තේ දෑස් වල කඳුළු පුරවාගෙනය. විසිත්ත කාමරයේ වූ විසල් කළ මංගල සේයාරුව සේම කාමරයේ කණ්නාඩි මේසය මත වූ විවාහ මංගල්‍යයේ දෙවෙනි දින ලබා ගත් සේයා රුවත් එහෙමමය. විනාඩි කිහිපයක් නිසොල්මන්ව  කාලය ගත කළ සංකල්පනී කන්ණාඩි මේස ලාච්චුවේ වූ යතුරු කැරැල්ලෙන් අල්මාරිය ඇරියේ හදිසියේ ඇතිවූ සිතුවිල්ලකට අනුවය. 

එදා තිබූ සේම තමා රැගෙන නොගිය ඇඳුම් තවමත් අල්මාරියේ එහෙමමය. තමා සමුගත්තාට රන්දික තමාට සමු දී නැතැයි සිතන්නට හොඳම උදාහරණය වූයේත් එයය. තවත් විනාඩි කිහිපයක් ඔහේ බලා උන් සංකල්පනී කාමරයෙන් පිටව ගියේ දෑස් වල වූ කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. 

අවසන මිතුරියට දුරකථන ඇමතුමක් ගත් ඕ  ඉකිබිඳිමින් හැදුවාය. 

“නුලාරා ආපහු හැරෙන්න එපා. ඔයා දන්නවද මේ ජීවිතේ අපිට මේ හිමි කරලා දීලා තියෙන්නේ අපේ ජීවිත වලට හොඳම අය. ඕනම අය. ජීවිත කාලයක්ම ජීවත් වෙන්න පහසු අය. ජීවිත කාලෙම අපිව වටින අය. අනුන්ගේ ජීවිතවල අපිට වටිනාකම් හොයාගෙන යන්න උත්සාහ කරන්න එපා. මොනම විදිහකින්  හරි අපිට ලැබුණු තැන රැක ගන්න ඕනේ…”

අවසන ඕ එසේ පැවසූයේ ඊයේත් පෙරේදාත් සිදු වූ සියල්ල කෙටියෙන් මිතුරිය හා පැවසුවාට පසුවය. 

“මං  ඉක්මනට චාරුකට  කතා කරනවා ඉක්මනටම..මට මේ දවස් දෙක දෙන්න. මේක ලොකු පටලැවිල්ලක් නුලාරා,  කවුරු හරි කෙනෙක් චාරුකගෙන්  පළිගන්න හිතා මතා කරන දෙයක්. ඔය ධනුක කියන මිනිහට මොනම හේතුවකටවත් කතා කරන්න එපා ප්ලීස්. මට සමාවෙන්න. සමහර තැන්වලදී මමත් ඔය මිනිහට ඕන විදිහට නැටුවා. මං හින්දවත් ඔයා දැන් මේ මොහොතේ චාරුකට කතා කරන්න. සත්තයි….චාරුකල  තරං  ආදරේ කරන්න දන්න මිනිස්සු, රන්දිකළ තරං ආදරය කරන්න දන්න මිනිස්සු මේ ලෝකෙ වෙන නෑ.”

සංකල්පනී එසේ පවසද්දීත් ඇයට ඉකි බිඳිණ.

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here