පසළොස්වක මල් – 09

0
373

” මින්දුලාව මට මුලින්ම හම්බුණේ අපේ ෆස්ට් ලෙක්චර් එක වෙලාවෙදි. මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටියේ එයා. ඒ කාලේ ගෙවුණෙම අලුත් යාලුවෝ හදාගන්නනේ. මින්දුලා හරි ලස්සන , අහිංසක ළමයෙක්. කොණ්ඩේ තිබ්බා ඉනෙනුත් පල්ලෙහාට. කිසිම කලබලයක් නැති , ඕන වෙලාවක කට පුරා හිනාවෙන ළමයෙක්. ඉතිං මට එයත් එක්ක යාලුකමක් පවත්වන එක හරි සැහැල්ලුවක් උනා. කොච්චර උනත් කැම්පස් එකේ තිබ්බ ස්ට්‍රෙස් එක මට මින්දුලා නිසා නැති උනා. මින්දුලා ආවේ රත්නපුරේ ඉඳන්. අර කලින් කිව්වා වගේ එයා නැවතිලා හිටියේ කැම්පස් එක කිට්ටුව බෝඩිමක. එතන කැම්පස් ළමයි විතරයි හිටියේ. මින්දුලාට හිටියා ලස්සන අයියා කෙනෙක්. “

එවර එතෙක් පැවති දුක්මුසු ස්වරූපය ඉවත්වී ගොස් සුභාවීගේ උවන පුරා හසරැල්ලක් නැඟෙන ආකාරය මිහිදුමී යටැසින් බලා සිටියාය. 

” බෝඩිමේ හිටියේ ගර්ල්ස්ලා විතරයි. ඒ නිසා භරණ බෝඩිමට ගියේ නෑ. එයා මින්දුලා මුණගැහෙන්න ආවේ කැම්පස් එකට. මං හිතන්නේ එතකොට භරණ ඉන්ටර්න් හිටියේ. මං මින්දුලාගේ යාලුවෙක් වෙන්න අර කලින් කියපු හේතු කාරණා ටිකට භරණ එයාගෙ අයියා වෙච්ච එකත් එකතු කරන්න ඕනේ. මුලින්ම සතියකට සැරයක් වගේ කැම්පස් එකට මින්දුලාව බලන්න ආව භරණ පස්සේ පස්සේ සතියට දෙතුන් වතාවක් ආවා. කටින් කිව්වෙ නැති උනාට ඒ වෙද්දි මින්දුලාටත් වඩා භරණ එනකන් බලන් හිටියේ මං. අන්තිමේදි අපි දෙන්නාට අපි දෙන්නා නැතිව බැරි උනා. මින්දුලා වචනෙකින්වත් අපිට නෑ , බෑ කිව්වෙ නෑ. එයා හරි සතුටින් හිටියේ භරණයි , මායි ගැන. මගේ ජීවිතේ ගෙවිච්ච ලස්සනම කාලේ ඒ පුංචි කාලේ නංගි. “

යළිත් වතාවක් අඳුරු වූ සුභාවිගේ උවනින් කඳුළු වැලක් කඩා වැටුණු අතර මිහිදුමී වහා තදින් ඇගේ අත අල්ලා ගත්තාය. 

” ඔහොම ඉන්න අතරේ මං ඇක්සිඩන්ට් උනා. මාස එකහාමාරක් විතර මං හිටියේ එකතැන. ඒ කාලේ අපේ අම්මලා මාව ගෙදර එක්කන් ගියා. ඔය කාලේ ඇතුළත දෙපාරක් වගේ භරණයි , මින්දුලායි මාව බලන්න ආවා. ඒ දවස්වල අපේ අම්මා , අප්පච්චිලාගෙත් හරි නීති නංගි. ඉතිං මට භරණව තියා මින්දුලා එක්කවත් වැඩිය කතා බහ කරන්න උනේ නෑ. අනික එයාලට මෙහෙ ඉඳන් ට්‍රින්කෝ එන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ. ඒ දවස්වල භරණ හිටියේ ගාල්ලේ. පුලුවන් ඉක්මන්ට සනීප වෙලා ආයේ කැම්පස් එන එක ඇරෙන්න මට වෙන විසඳුමක් තිබ්බේ නෑ. මාස දෙකකින් විතර කැම්පස් ආවාම මට මින්දුලාට වඩා ඕන උනේ භරණව මීට් වෙන්න. එක දිගට දවස් කීපයක්ම අපි දෙන්නා තැන් තැන් වල ඇවිද්දා. අපි හිටියේ අපේ ලෝකේ. බොරු කියන්න ඕනේ නෑනේ. ඇත්‍තමයි මට මින්දුලාව මඟ ඇරුණා. “

එවර සුභාවීගේ උවන බොහෝ සේ බර වී පොළොවට විතැන් විය. 

” මං කැම්පස් ඇවිල්ලා සති දෙකක් වගේ ගියාට පස්සේ තමයි මින්දුලා එයාගේ බෝඩිමේ එයාගේ කාමරේ එල්ලිලා හිටියේ. “

ඈ නැවත වතාවක් දෙනෙතින් ගැලූ කඳුළු පිසදමා ගත්තාය. 

” අම්මා කියන විදිහට මින්දුලා ඉඳලා තියෙන්නේ ස්ට්‍රෙස් එකේ. දෙපාරක්ම අම්මට කිව්වලු කැම්පස් නොයා ගෙදර එන්නද කියලා. අම්මා හිතලා තියෙන්නෙ අක්කාත් නැති නිසා එයා පාළුවට ඔහොම කතා කියනවා කියලා. “

මිහිදුමීද නෙතට ඉනූ කඳුළු බිඳුවක් පිසළා දැමුවාය. 

” ඒ සිද්ධියෙන් පස්සේ භරණ සෑහෙන්න වෙනස් උනා නංගි. එයා කා එක්කවත් කතා කළේ නෑ. මාවත් අතෑරියා. මං කොච්චර එයාගේ පස්සෙන් ගියාද ? ඒත් .. එයා මට කෙලින්ම කිව්ව මේක නතර කරමු කියලා. අමාරුවෙන් උනත් අම්මා අප්පච්චිලට පිටු පාන්න බැරි නිසයි මං අන්තිම වෙනකන් ඉගෙන ගත්තේ. මට ඒ කාලේ භරණ එක්කත් තරහක් තිබුණා නංගි. නැති උනේ එයාගේ නංගි. ඇයි මාව අතෑරලා දැම්මේ කියලා. දැනුයි තේරෙන්නේ භරණ කොයි තරම් නං ස්ට්‍රෙස් එකක ඉන්නැතිද කියලා. මොකද ඒ අයියා නංගිට කරපු ආදරේ මං ඇස් දෙකෙන් දැකලා තියනවනේ. කොටින්ම මගේ අප්පච්චිවත් මට ඒ තරම් ආදරේ කරලා නෑ. “

” මොන දේ සිද්ධ උනත් මාමගේ ජීවිතේ එයාගේ නංගිට තිබ්බ තැන වෙන කාටවත් එයා දුන්නෑ අක්කේ. මාමා , මාමා කිව්වට මාමා ඉන්නේ මට අයියා කියන්න පුලුවන් වයසක. ඒත්.. එයාමයි මුලින්ම මට අයියා නොකියා මාමා කියන්න කියලා හුරු කළේ. ගොඩක් දුරට එයාට අයියා කියනවා ඇහෙද්දි දරාගන්න බැරුව ඇති. “

මිහිදුමීගේ කතාවත් සමඟ සුභාවිට නැවත වාරයක් විසල් සුසුමක් වැටිණි. 

” අක්කා එතකොට දන්නවද මින්දුලාගේ මරණෙන් අවුරුදු දෙකකට විතර පස්සේ ඔයාලට වඩා අවුරුද්දක් වැඩි බැච් එකක නැති උනු ගෑනු ළමයි පස් දෙනා ගැන ?” 

” අම්මෝ නංගි. ඒක නම් මතක් කරන්නවත් එපා. මතක් වෙද්දිත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. මතක විදිහට මං ඒ වෙද්දි තර්ඩ් ඉයර් එකේ. ඔය සිද්ධිය උනේ ෆෝර්ත් ඉයර් එකේ පස් දෙනෙක්ට. “

සුභාවීගේ කතාව අතරම මිහිදුමී තම ගමන් බෑගය තුළින් අතට ගත් දින පොතක් පෙරළා එහි වූ සටහන් කිහිපයක් ඈ හට පෙන්වූවාය. 

” අක්කේ.. මේ බලන්න. ඒ සිද්ධියෙන් නැති උනේ මේ පස් දෙනා. “

සියළුම විස්තර හා ඝාතනයට ලක්වී තිබූ සිසුවියන් පස් දෙනාගේ ජායාරූපද එකින් එක සුභාවී දෙසට දිගු කළ මිහිදුමී යටි තොල් පට සපමින් ඈ දෙස බැලුවාය. 

” දැන් .. දැන් ඇයි ඔයා මේවා.? මොකද්ද ප්‍රශ්නේ නංගි ?” 

දෙනෙතින් බේරී වැටෙන කඳුළු බිඳු පිසළෑමට හෝ ඉඩක් නොගත් මිහිදුමී වහා සුභාවීගේ අතකින් අල්ලා ගත්තාය. 

” මේ අන්තිමටම නැති උනේ සිංදුමී ආලෝක්‍යා. ඒ මගේ අක්කා අක්කේ. මගේ එක කුස උපන් අක්කා. “

” මගේ දෙයියනේ..!” 

ඉකි ගසමින් හඬා වැටෙන තරුණිය දෙස බලා සිටි සුභාවී මිනිත්තු කිහිපයක් යන තුරු ප්‍රකෘති තත්වයට පත් වීමට නොහැකිව සිටියාය. 

” මට එතකොට වයස අවුරුදු දහයක් වගේ ඇති. මට ඒ දවස්ටික හොඳට මතකයි. මගේ තාත්තා නැති උනේ මං ගොඩක් පුංචි කාලෙදි. තාත්තා ගැන මහා ලොකු මතකයක් මට නෑ. පුංචි පුංචි මතක ගොඩක් විතරයි තියෙන්නේ. තාත්තා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා අක්කාව කැම්පස් යවන්න. තාත්තා විතරක් නෙමෙයි අම්මත්. අක්කා කොහොමහරි අඩුපාඩු මැද්දේ ඉගෙනගත්තා. ගමේ ඉස්කෝලෙට ගියෙ. අපිට කියලා මහ ලොකු දේවල් තිබ්බේ නෑ. යාන්තං තුන් වේල කන්නයි , අමාරුවෙන් හරි ඉගෙනගන්නයි අපේ අක්කා ලොකු සටනක් කරලා තියනවා. කොහොමහරි අක්කා කැම්පස් ආවා. එයා නැවතිලා හිටියේ කැම්පස් එක කිට්ටුව තැනක. අවුරුදු දෙක තුනක් කිසිම කරදරයක් , ප්‍රශ්නයක් නැතුව ඉඳලා අන්තිම දවස් ටිකේ , අන්තිම නිවාඩුවට එයා ආවේ පිස්සියෙක් වගේ. 

 අක්කා කැම්පස් එකේ ඉඳන් ගෙදර ආවේ හරි කලබලෙන්. මට ඒ දවස් ටික හොඳට මතකයි. ඒ කැම්පස් නිවාඩු කාලයක් නෙමෙයි. කොහොමහරි අක්කා දවස් දහයක් විතර ගෙදර හිටියා. ඒ දවස් දහයම එයා කිසිම කෙනෙක් එක්ක කතා නොකර කාමරේට වෙලා හිටියේ. අපේ අම්මා කොයි වෙලෙත් කාමරේට එනවා. අක්කට බනිනවා යනවා. අම්මට අහන්න තිබ්බේ ප්‍රශ්න දෙකයි ..,

එක.. , ඇයි ඔහොම මුළුගැන්විලා ඉන්නේ ? 

දෙක.. , අර ප්‍රවුත්ති වලට කිව්ව මැරිච්ච ළමයි හතර දෙනා උඹලගේ විස්ස විද්‍යාලේ නේද ?

කොච්චර ඇහුවත් අපේ අක්කා අම්මට උත්තර දුන්නෑ අක්කේ. එයා හිටියේ කවුරුහරි එයාගේ පස්සෙන් එළවන් එනවා වගේ මහා විශාල බයකින්. කොයි වෙලෙත් වටපිට බැලුවේ සැකෙන්. කාමරේ මුල්ලකට වෙලා කකුල් දෙකත් වකුටු කරන් ඒක උඩට අරන් ඒ කකුල් දෙක මැද්දේ මූණ හිර කරන් එයා ඒ දවස් ටිකේ පුදුම වේදනාවක් වින්ඳේ.  

එදා සති පොළ දවස. අම්මා පොළේ ගියා. මට කියලමයි ගියේ අක්කව ටිකක් බලන්න ගියා. මටත් අක්කා පැත්තක් ගහල , කල්පනාවට වැටිලා ඉන්නවා බලන් ඉන්න බැරි උනා. ඔක්කොටම හපන් උනේ එයා හොරෙන් හොරෙන් අඬපු එක. අපේ අක්කා හරි ආසයි ජම්බු කන්න. මං යාලුවෙකුත් එක්ක ගිහිල්ලා අපේ ගේ ලඟ වත්තකින් හොරෙන් ජම්බු කඩන් එක පිම්මට ගෙදර දුවලා ආවා එක්ක. මට ඕන උනේ අක්කට ජම්බු ගෙඩි දීලා අක්කා අඬන එක නතර කරන්න.  

ඒත්.. මං එද්දි කාමරේ.. සමන් දෙයියනේ..! මං ඒ මිනිහව දැක්කා අක්කේ.. මං ඒ මිනිහව දැක්කා…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here