ධනුකගෙන් දිගින් දිගටම සංකල්පනී ගේ දුරකථනයට ඇමතුම් ලැබෙමින් තිබුණේ ඔවුන් පොලිස් ස්ථානයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදීය. දෙවරක් තුන්වරක්ම ඈ ඒ දුරකථන ඇමතුම නොසලකා හැරියත් ඔහු නවතින පාටක් නොවේ.
“මේ දිගටම කතා කරන්නේ ධනුක.”
ඇය එවර පැවසූයේ රන්දික දෙස බලමින්ය. වදනක් දෙකක්වත් කතා කරන්නට නොහිතෙන තරමටම ඔහු සංකල්පනීට පිළිකුල්ය.
“හැමදාම හැංගිලා ඉන්න බැහැනේ කතා කරලා කියන්න ඔයා මං ළඟට ආව කියල.”
රන්දික එසේ පැවසූයේ ඉදිරිය බලාගෙනය. දිගු සුසුමක් මුදා හැරි සංකල්පනී යළිත් වතාවත් ධනුකගෙන් පැමිණෙන ඇමතුම හා සම්බන්ධ වූයේ ස්පීකර් ඔන් කළාට පසුවය.
“තමුසෙ මේ බහුබූතයක් ලියලා කොහෙද ගිහිල්ලා ඉන්නේ. පිස්සුද සංකල්පනී. ඉන්න තැනකින් එනවා. නැත්නම් ඉන්නේ කොහෙද කියල කියනවකෝ. මං එක්කරගෙන යන්න එන්නම්”
එහා පසින් ඇසුණේ මදක් දැඩි වූ හඬකි. සංකල්පනී රන්දිකගේ මුහුණ දෙස බැලුවේ අසරණවය.
“ඔයා මාව එක්කරගෙන යන්න එන්නවත් මම ඔයාගේ ළඟට එන්නේවත් නෑ. ඒ නිසා මං ගැන හොයන්න එපා.”
“ඒ කියන්නේ තමුසෙ කොහෙද ඉන්නේ…”
“මම මගේ තැනට ආවා. මගේ ගෙදරට ආවා. ඔයත් ඔයාගේ තැනට යන්න ධනුක.”
“මොනවද හලෝ මේ කියවන බහුබූත. පිස්සු හැදිලද තමුසෙට?”
“බහුබූත නෙමෙයි ධනුක. දේවිකා කියන්නේ අවුරුදු ගානක ඉඳලා ඔයාව විශ්වාස කරපු කෙනෙක්. තවදුරටත් ඒ විශ්වාසේ කඩන්න එපා. පව් පිරෙනවා. මටත් ඒ පවේ හවුල්කාරික් වෙන්න බෑ තව දුරටත්”
“මේ…මේ ඒක වෙනම කතාවක්. ඒ කතාව තමයි ඔයාට කියන්න තියෙනවා කියලා මම කිව්වෙත්. කවුරු උනත් ඔයාගේ ඔලුවට දාලා තියෙන්නේ වැරදි අදහසක්. ඇත්ත කතාව දන්නේ නැතුව කතා කරන එක වැරදියි. දේවිකා මාව විශ්වාස කරනවා තමයි. හැබැයි දේවිකා කියන්නේ මට නොතේරුම් කාලෙක මම ගතපු තීරණයක්.”
රන්දික දුරකතනයට එබුනේ ඔහු එසේ පවසද්දීය.
“ඒක වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ අපිට ආපස්සට හැරෙන්න බැරි තැන් තියෙනවා ධනුක. මම මේ තීරණය ගත්තේ ගොඩක් දුර හිතුවට පස්සේ. එකට එක පාරක ගමනක් යන්න බැරිනම්, ලෝකෙන් හැඟි හැංගි තවදුරටත් අපි දෙන්නා එක වහලක් යට ජීවත් වෙන එක තේරුමක් නෑ. එනිසා ඔයා ඔයාගේ ගමන නිදහසේ යන්න.”
“දැන් තමුසෙ කොහෙද ඉන්නේ කියනවකෝ බණ කියන්නේ නැතුව”
“ධනුක සංකල්පනී ඉන්නේ මමත් එක්ක. එයාගේ හස්බන්ඩ් එක්ක. ඔයයි මමයි එක වගේ නොවුනට එක තැනකදි අපි දෙන්නා එකතු වෙනවා. ධනුක උඹටයි මටයි දෙන්නටම රකින්න රහසක් තියෙනවා. ඒ රහස මං කාටවත් කියන්නෙත් නෑ. උඹ කාටවත් කියන්න ඕනෙත් නෑ. දේවිකා කියන්නේ බොහොම හොඳ ගෑනු ළමයෙක්. අනිත් එක ධනුකගේ අම්මා ධනුක ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මං හිතන්නේ මට ඒ ටික සංකල්පනී තේරුම් කරවන්න පුළුවන් වුණා. මිනිස්සු අතින් වැරදි වෙනවා ධනුක. සංකල්පනී අතින්, මම අතින්, උඹ අතින් උනත් වැරදි වුණා. තමන් වැරදියි කියලා තේරුම් ගතපු දවසට ඒ වරද හදාගන්න ඕන මනුස්සයෙකුට අයිතිය තියෙනවා. මං හිතනවා ධනුක මෙතනින් එහාට සංකල්පනී ගැන හොයන එකක් නෑ කියලා.”
රන්දික දැඩිවූත්, පැහැදිලි වූත් හඬකින් පැවසූයේ වාහනය මදක් පාර අයිනට කර නතර කලාට පසුවය.
“රා…රන්දික…මට එහෙම දෙයක් කිව්වෙ නෑනේ ඊයෙවත්.”
“වෙඩින් එක අස්සේ එහෙම දෙයක් කතා කරන්න තරම් උවමනාවක් මට තිබුණේ නෑ. මං හිතනවා සංකල්පනී ආවෙ එයාගේ හස්බන්ඩ් ළඟට නිසා ධනුකට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා.”
“නෑ….නෑ…මට කොහොමටවත් එහෙම ප්‍රශ්නයක් නෑ. සංකල්පනී ඒක පැහැදිලිව ලියලා ගිහිල්ලා තිබුනනම් මං එයාගෙන් එහෙම අහන්නෙත් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ රන්දික. අර රන්දික කිව්ව වගේ මේ රහස එළියට නොයා තිබුනොත් ඇති. ඒකෙන් රන්දිකටවත්, මටවත්, රන්දිකගේ නංගිටවත් හොඳක් වෙයි කියලා මම හිතන්නෙ නෑ.”
“ඉට්ස් ඕකේ ධනුක. එහෙනම් බය වෙන්න දෙයක් නෑ. සංකල්පනී ඉන්නේ මමත් එක්ක. ඔයාට මොනවාම හරි දෙයක් සංකල්පනීත් එක්ක කතා කරගන්න තියෙනවනම් ඒක කතා කර ගන්න.”
“නෑ රන්දික. මට කතා කරන්න කිසිම දෙයක් නෑ. මට ඕන වුණේ සංකල්පනී කොහෙද ගියේ කියල දැනගන්න විතරයි.”
මුලින්ම දුරකථනය විසන්ධි වී ගියේ එහා පසින්ය. ඒ වද්දීත් සංකල්පනීගේ කොපුල් හරහා කඳුළු බේරී යමින් තිබිණ. ඇය අත වූ දුරකථනය විසන්ධිකර පසෙකින් තැබුවේත් රන්දිකමය.
“ඇයි මේ…ඔයාට ධනුකත් එක්ක කතා කරන්න ඕනෙනං කතා කරලා ඒ ප්‍රශ්නෙ විසඳගන්න.”
“නෑ මට එයත් එක්ක කතා කරන්න දෙයක් නෑ. මට මං ගැනම ලැජ්ජයි ඇත්තටම මට මං ගැන ලැජ්ජයි…”
“මේ අහන්න….සමහර වෙලාවට අපි ජීවත් වෙන්නේ අන්ධකාරේ අතපත ගානවා වගේ. ඒ වෙලාවට අපි වැරදි තීරණ ගන්නවා. ඔයා ජීවිතේ බරපතල තීරණයක් ගත්තෙ වැරදි විදිහට. ඒක ජීවිතේ නරක වෙලාවක් කියලා අපි හිතමු. මටත් වැරදුනු තැනක් තිබුණු හින්දා මට ඔයාට චෝදනා කරන්න බෑ. ඔයා කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් ඉඳපු කෙල්ලෙක්. නොදැනුවත්වම හරි මගේ ගෙදරට ඔයාව එක්කරගෙන ආවට පස්සේ සිද්ධ වුණේ අත්තටු කපල දාලා ඔයාව හිර කරන්න. ඒක මං හිතා මතා කරපු දෙයක් නොවුනට ඒක එහෙම උනා.
මැරි කරාට පස්සේ ජොබ් එකෙන් නතර වෙන්න කියලා මං ඔයාගෙන් කරපු ඉල්ලීමට ඔයා දෙපාරක් හිතන්නෙ නැතුව එකඟ වුණා. ඔයා එහෙම කළේ මාව විශ්වාස කරලා. ඔයාට ඕන කරන මානසික කායික නිදහස මගේ ළඟ ඇති කියලා හිතල වෙන්නන ඇති. මම ඇමරිකාවේ ජීවත් වෙද්දී උපයපු මුදලත් එක්ක ලංකාවේ මේ ජොබ් එකෙන් මට ලැබුණේ හරි පොඩි සැලරි එකක්. ඒක නිසාම වෙන්න ඇති මං ඒ දවස්වල ප්‍රමෝෂන් පස්සේ දිවුවා. මට මතකයි සමහර දවස්වලට ඔයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන නිදාගත්තා. මං ඔෆිස් එකේ ප්‍රපෝසල් හැදුවා. ඊට පස්සේ අම්මා අසනීප වුණා. අම්ම ඇඳකට සීමා වෙද්දි ඔයා ගෙදර උයනවා පිහනව විතරක් නෙමෙයි අම්මගේ බර දරන්නත් ඔයාට සිද්ධ වුණා. ඔයාගේ මූණේ කොයි වෙලාවකවත් හිනාවක් තිබුණේ නෑ. අඩුගානේ මං ඔයාව දැකපු මුල් කාලෙ වගේ ඔයා ලස්සනට ඇන්ඳේ පැලැන්දේ නෑ. හැබැයි ඒ ඇයි කියලා අහන්න මට වෙලාවක් තිබුණෙත් නෑ. වෙලාවක් හොයාගන්න වුවමනාවක් තිබුනෙත් නෑ. ඔයාගේ ජීවිතේ එක්තරා පුංචි සීමාවක් ඇතුලේ කොටු වෙද්දි මේ ඉන්නේ ඒ තරම් බරක් දරන්න පුළුවන් මහගෑනියෙක් නෙමෙයි කියලා හිතන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. එහෙම ගෑනියෙක් තමන්ට නිදහස ආදරේ දැනෙන තැනක නවතින්න උත්සාහ කරන එක අරුමයක් නෙමෙයි. ජීවිතේ ගොඩක් දේවල් වැරදියි කියලා තේරුම් ගන්නකොට මමත් පරක්කු වැඩියි කියලා මට හිතුණා. කවුරු ඔයාට කොහොම චෝදනා කළත් ඒ චෝදනාව කරන්න මගේ හිත ඉඩ නොදුන්නේ ඒ නිසා. හැබැයි ඔයා විශ්වාස කරන්න සංකල්පනී හැම තත්පරේකම මං ඔයාගේ සතුට පැතුවා. ඩිවෝස් එක උනත් ඔයාට දෙන්න මං එකඟ වුණේ ධනුක ඔයාව මැරි කරන්න ඕනේ කියන තැනට ආවට පස්සේ.”
“මේ දේවල් ගැන මෙහෙම එක තැනක ඉඳගෙන විනාඩි පහක් කතා කරන්න පුළුවන් උනානම් අපිට මෙහෙම වෙන්නේ නෑ රන්දික. මං දන්නවා ඔයා වෙහෙස වුණේ අපිට සැපවත් ජීවිතයක් හදලා දෙන්න තමයි. හැබැයි ඒ ජීවිතේ ඇතුලෙ දවසින් දවස කාලේ ගතවෙලා ගියේ මගේ හිත කලකිරීමකින් පුරවලා. ධනුක කියන්නෙ මොන විදිහේ මනුස්සයෙක්ද කියලා නොදැන උනත් ඒ වචන වලින් මම ජීවිතේ හෙව්වා. කසාද බැඳපු ගෑනියෙක් සීයට සීයක් පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි එහෙම හිතන්න තරම් මගේ හිතට නිවනක් තිබුණේ නෑ. අන්තිමට මට වැරදුනා. මම මාව සාධාරණීකරණය කරන්න උත්සාහ කරන්නේ නෑ රන්දික”
“ඔයාට නෙමෙයි, අපි දෙන්නටම වැරදුනා. මිනිහෙක් කරන්න ඕනේ තමන්ගේ වයිෆ්ට නිදහස දීලා එයාව රැක ගන්න එක මිසක්කා තටු කපල දාලා හිර කරන එක නෙමෙයි. ගෙදර උයන එක, අස්පස් කරන එක, ලස්සනට තියාගන්න එක, මගේ වැඩ කරන එක, රෙදි හෝදන එක, අම්මට සලකන එක, ගෙදරට එන ඥාතීන්ට සලකන එක ඔයාගේ යුතුකමක් වගකීමක් කියලා විතරයි මම හිතුවේ. හැබැයි ඒ වෙනුවට ඔයාට හිත පිරෙන්න ආදරේ දෙන්න මට අමතක උනා. ඔයාගේ මූණට හිනාවක් දෙන්න ඕනේ මම කියලා හිතන්න මට අමතක වෙලා තිබුණා. හෙට දවසේ ඔයාලට සැපවත් ජීවිතයක් දෙන්න ඔයා මං ළඟ ඉන්නේ අද දවසේ මං ඔයාව ආදරයෙන් බලා ගත්තොත් කියන එක හිතන්න මට අමතක වෙලා තිබුණා.”
“රන්දික එසේ පැවසූයේ සංකල්පනීගේ දකුණතින් අල්ලා ගෙනය. දැන් අපි ආයේ මැරි කරලා ජීවිතේ මුල ඉඳලා පටන් ගමු. නංගිලා අනිද්ද එනවා කිව්වා. එයාල දවස් හතර පහක් අම්මලා එක්ක නතර වෙයි. අපි නුවරඑළියෙ යමු.”
සංකල්පනී හිස වැනුවේ රන්දික එසේ පවසද්දීය. ගැහැනියකට ජීවිතය වරදින්නට බොහෝ කල් ගතවන්නේ නැත. එවන් ගැහැණුන්ට ආපසු ජීවිතය දකින්නට ශක්තිය වන මෙවන් උත්තම මිනිසුන් හමුවිය යුතුමය. ඔහු දෑස් පියා ගත්තේ රන්දිකගේ උරහිසට වාරු වී ගෙනය. මේ ඒ සිහින සැබෑ කර ගැනීමට කාලයයි.
“අපි මෙහෙමම නුලාරව බලාගෙන යමුද…”
ඕ එසේ පැවසූයේ දෑස් පියාගෙන විනාඩි ගණනාවක් ඒ අයුරින්ම සිටියාට පසුවය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


