පළවෙනි පඩිය අතට ආවේ බ්‍රහස්පතින්දා දවසක දවල් වරුවේය.
බැංකු ගිණුමෙන් ආ පණිවිඩය දුරකතන මුහුණත මත රැඳී තියෙද්දී හිත කොච්චර සන්තෝස වුණාද කියා වචනෙන් කියන්නට නෙත්මලී කොච්චර දක්ෂ සිංහල පිටපත් රචිකාවියක් වුණත් වචන තිබ්බේ නැත. මෙච්චර පොඩි වයසකදී සැලකිය යුතු අන්දමේ පඩියක් ගන්නට හැකි රැකියාවක් කරන්නට පුළුවන් වීම ගැන නෙත්මලී අවංකවම හිත ඇතුළෙන් සන්තෝස වුණාය.
මේ වනාහී තමන් කවදාවත් ගන්නට උන් තීරණයක් නොවන බව ඒ වෙලාවෙ කෙල්ලට මතක් වුණේ නැත. මේ තීරණය ගන්නට දෙවනි වර විභාගයට ලියන එකද, නීතිවේදිනියක වීමේ සිහිනයද අත හරින්නට වූ බවද කෙල්ලට මතක් වුණේ නැත. ඒ වෙනුවට හිත කිව්වේ එක දෙයකි. “ඔයා දැන් ලොකු කෙල්ලෙක්. රස්සාවක් කරලා, සල්ලි හොයන කෙල්ලෙක්” කියන කතාවය.
“මොකටද අනේ මේ එක එක ඒවා උස්සගෙන ආවේ?” කියා සාරා ඇහුවද පළවෙනි පඩියෙන් පොත් කියවන්නට ආසා සාරා වෙනුවෙන් ගත් රොමානා බන්නැහැක අක්කාගේ නොම්බර 14 හැනන් වීදිය පොත වෙත ඇය හෙලූ සන්තෝස සහගත බැල්මම හිත පිනවන්නට කටයුතු කර එකකි.
“පිස්සුනෙ නෙත් ඔයාට. ෆස්ට් සැලරි කියලා ඔයා අපරාදෙනෙ මේ මට එක එක දේවල් ගන්න සල්ලි වියදම් කරේ” කියා සාරා කිව්වාට හිත රිද්දගත්තේ නෙත්මලී නොවේ. සාරා වනාහී කොහොමත් ඕනවට වඩා හිත හොඳ එකියක බව දන්න නිසාම තෑග්ග දුන් සැනින් ඇය මෙහෙම කියන බව නෙත්මලී තෑග්ග දෙන්නට කලියෙන්ම දැනගෙන උන්නාය.
“මට හොඳ යාලුවෙක්ට කියලා ඉන්නෙ ඔයා විතරනෙ සාරා. ඉතින් ෆස්ට් සැලරි එකෙන් ගෙදර අයට තෑගි ගනිද්දි ඔයාට මුකුත් නොගෙන පුලුවන්ද? මං මේ පොත ගන්නමයි බලං උන්නෙ. මං ඒත් හරි බයෙන් හිටියෙ සැලරි එද්දි පොත අවුට් ඔෆ් ස්ටොක් වෙලා තියේවි කියලා. ඒ උනාට පොතක් තිබ්බා අනේ රසකතා එකේ”
“අනේ තැන්ක්‍යු නෙත්. මං මාර ආසාවෙන් හිටියෙ මේ පොත කියවන්න. එක්සෑම් හන්දා අපිට පොත් කියවන්න උනේම නෑනෙ”
“දැන් ඉතින් ආය ඔයාට කැම්පස් ගියාම පොත් කියවන්න වෙන එකකුත් නෑ”
“අයියෝ මතක් වෙද්දිත් පිස්සු වගේ අනේ. අපේ නම් කැම්පස් පටන් ගනිද්දි ලේට් වෙයි කියනවා අනේ. මට නම් බයේ බෑ රැග් එක ගැන එහෙම. ඒවයින් වැඩක් නෑ. කියන්නකො ඔයාගෙ ජොබ් එක ගැන. ඔයා මෙහෙම ලොකු ගෑනියෙක් වගේ සල්ලි හම්බ කරලා තෑගි අරන් එද්දි මට නම් ජෙලසුත් වගේ අනේ. ශෝක් අනේ ජොබ් එකක් කරන්න ලැබෙන එක. මට නං ආසාවෙ බෑ. හරිම ඉන්ඩිපෙන්ඩන්ට් ෆීලින් එකක් නේද ඒක?” කියා සාරා ඇහුවාට රස්සාවක් කරන්නට උනේ කොපමන දේවල් කැපකරද කියා ආයම වතාවක් ඒ දුක්බර අතීතය මතක් කරගන්නට නෙත්මලීට උවමනා උනේ නැති නිසාවෙන්ම ඇය කතාව වෙනස් කරන්නට උත්සහ කරාය.
“ඔව් අනේ. ඒක නම් ඇත්ත.”
“ඔයාට දැන් ඒක දැනෙනවද?”
“මොකක්ද?”
“ඒ ඉන්ඩිපෙන්ඩන්ට් ෆීලින් එක.”
“දැනෙනවා. හැබැයි ඉතින් මට තාම පුරුදු නෑ ඒක.”
“ඒ උනාට දැන් ඔයාට ඔයාගෙම කියලා සල්ලි තියෙනවනෙ.”
“ඒක නම් මාරයි තමයි. ඒ උනාට ඉතින් දැන් ඉස්සරහට එන සැලරි වලින් අම්මට කීයක් හරි දීලා මම ටිකක් ඉතුරු කරගන්න හිතුවෙ මට ලෝ එන්ට්‍රන්ස් කරන්න ක්ලාස් යන්න. මම හිතුවෙ තව මාස කීපෙකින් ලෝ එන්ට්‍රන්ස් කරන්න ක්ලාස් යන්න පටන් ගන්න.”
“මොනවද කියන්නකො ඉතින් පළවෙනියටම ගත්තෙ?”
“ඔයාට මේක.”
“මං ගැන නෙවෙයි අනේ. ඔයාට මොනාද ගත්තෙ.”
“ආආඅ, මට මුකුත් ගත්තෙ නෑ අනේ. මං අම්මට පොඩි හෑන්ඩ් බෑග් එකක් ගත්තා. අයියට ශර්ට් එකක් ගත්තා තාත්තට පර්ස් එකක් ගත්තා.”
“තාත්තටත් ගත්තද?”
“ඔව්.”
“ඒක හොඳයි අනේ”
“හ්ම්ම්ම් ඊට පස්සෙ මට ඕනෙ දේවල් ගන්නවා.”
“මොනවද?”
“දන්නෙ නෑ. ඇඳුමක් එහෙම.”
“ඔයාට දැන් ඔෆිස් එකට අඳින්න ඇඳුම් ඕනෙ ඇති නේ ගොඩක්”
“ඒක තමයි. මුලින්ම මං හිතුවෙ නිකන් shirt දෙක තුනක් අරගෙන ඇති කියලා. දැන් බලද්දි මොනවා ඇඳගෙන යන්නද කියලා හිතන්න වෙනවනෙ. අපේ ඔෆිස් එකේ කට්ටිය මාර ලස්සනට අඳිනවා අනේ. සමහර අක්කලා ඉන්නවා පුදුම ලස්සනට අඳිනවා මැච් කරලා. මං තමයි අනේ හැමදාම ඩෙනිම් එකට ශර්ට් ඇඳන් යන්නෙ”
“ඒක හොඳයි. ඔයාට එහෙම දෙයක් හිතන්නවත් වෙලා තියෙන එක.”
“ඔව් ඉතින්”
“ඉතින් කියන්නකො. ඔෆිස් එක කොහොමද?”
“හොඳයි.”
“ඒක මං දන්නවා. හැබැයි ඇත්තටම කොහොමද?”
“මං හිතුවට වඩා හොඳයි.”
“ඒ කිව්වෙ?”
“මං ඉස්සර හිතාගෙන හිටියෙ ඔෆිස් එකක් කිව්වම හැමෝම computer එකක් ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා කියලානෙ. එහෙම නෑ අනේ. වැඩ තියෙන වෙලාවට නම් හැමෝම පිස්සුවෙන් වගේ වැඩ කරනවා. එක එක දේවල් කතා කර කර ideas හොයනවා. කවුරුහරි ළඟට ගිහින් අනිත් කෙනාගෙන් අහනවා මේක කොහොමද? කියලා. ආයෙ තව කෙනෙක් එනවා. එහෙම තමයි.”
“ඔයාට දැන් ඒ වැඩ පුරුදුද?”
“මුලින් නම් නෑ.”
“දැන්?”
“දැන් ටිකක් තේරෙනවා.”
“ඔයාට වැඩ ගොඩක් දෙනවද?”
“ඔව්. හැබැයි මං තාම එච්චර ලොකු වැඩ කරන කෙනෙක් නෙවෙයිනෙ.”
“මොනවද ඔයාට ඇත්තටම කරන්න තියෙන්නෙ? මට ඔය කිව්වට තාම තේරෙන්නෙ නෑ අනේ ඒ රස්සාව”
“Copy ලියනවා. එකම sentence එක එක එක විදිහට දෙක තුනකට ලියන්න කියනවා. ඊට පස්සෙ බලනවා මොකක්ද හොඳ කියලා. ඔය අපි ෆේස්බුක් එකේ එහෙම දකින ඇඩ්ස් තියෙන්නෙ. ඒවයි තියෙන ටෙක්ස්ට් ලියන එක තමයි තියෙන්නෙ. ඔය ඊජීබී නැතුව කෑම එපා වගේ ඒවා.”
“අනේ ඒක නම් ඔයාට හොඳට ගැලපෙනවා අනේ.”
“මමත් මුලින් බයෙන් ගියේ. හැබැයි දැන් නං මටත් හිතෙනවා මේක තමයි ඇත්තටම මට ගැලපෙන ජොබ් එක කියලා.”
“බනිනවද?”
“කවුද?”
“ඔෆිස් එකේ අය.”
“නෑ අනේ. වැරදුණාම කියලා දෙනවා. ඒක නිසා අවුලක් නෑ. මං නෙ පොඩිම කෙනා එයාලා අනේ බබෙක්ට වගේ අනේ ට්‍රීට් කරන්නෙ.”
“කවුද වැඩියෙන්ම කියලා දෙන්නෙ?”
“නලින්ද්‍ර.”නෙත්මලී ඒ නම කිව්වේ කිසිම විශේෂත්වයක් නැති හැඟීමකින් උනත් ඒ නම කියද්දී ඇගේ දෙනෙත් දැල්වෙන අයුරු සාරාගේ දෙනෙතට නොපෙනුනා නොවේ. “කවුද මේ නලින්ද්‍ර” කියා විමසන්නට හිත කටයුතු කරේම එනිසාය.
“නලින්ද්‍ර?”
“ඔව්.”
“කවුද නලින්ද්‍ර?”
“එයා තමයි අපේ creative head. මාර දක්ශයි හරිද. ලේසියෙන් කොපි එකක් පාස් කරන්නෙ නෑ. අම්මෝ අකුරෙන් අකුර අපෙන් අහනවා ඇයි ඒක ලිව්වෙ අරකද මේකද කියලා”
“අම්මෝ එච්චරට බලනවද?”
“ඔව්. එතකොට මටත් හිතන්න වෙනවානෙ ඇයි මං ඒ වචනෙ දැම්මෙ කියලා.එයා කියන එක හරි ගොඩක් වෙලාවට. අපිට ආර්ගිව් කරන්න බෑ අප්පා එයාගෙ එක්ස්පීරියන්ස් එක්ක. මං සමහර වෙලාවට ලියන දේ ගැන මංම හිතන්නෙ නැතුව ලියනවා. එයා ඒක අල්ලගන්නවා.
අනික එයා මාර ඉවසීමෙන් කියලා දෙන්නෙ. මං සමහර වෙලාවට එකම දේ දෙතුන් පාරක් අහනවා. එතකොටත් ආයෙ බලමු කියලා කියලා ආයෙ explain කරනවා. මං හිතුවෙ creative head කෙනෙක් කියන්නෙ අපිට වැඩ දීලා අන්තිමට බලලා මේක හරි නෑ කියන කෙනෙක් කියලා. එහෙම නෑනෙ. ඇයි හරි නැත්තෙ කියලා කියනවා. හිතන්නෝන විදිය කියලා දෙනවා. ඒක නිසා මට ඊළඟ පාර ඒ වගේ වැරැද්දක් නොකර ඉන්න පුළුවන්.”
“එයා ඔයාට නිතරම දේවල් කියලා දෙනවද? ඔයාටද වැඩියෙන්ම දේවල් කියල දෙන්නෙ” කියා අහද්දී නෙත්මලීගේ දෑස් හා තමන් දෑස් ගට්ටන්නේ නැතුව ඉන්නට සාරා සූක්ෂම වුණාය. ඒ තමන්ගේ නෙත් වලින් හිත මුමුණන කතාව නෙත්මලී තේරුං ගනිවීයැයි, එසේ වුවහොත් ඇය කතාව අතරමග නතර කරාවියැයි බිය නිසාවෙනි.
“ඔව්. මං අලුත් නිසා වෙන්න ඇති. මං ලියන ඒවා බලනවා. සමහර වෙලාවට මේක හොඳයි. හැබැයි තව ටිකක් fun වෙන්න ඕන කියනවා. තව වෙලාවකට මේක හොඳයි. හැබැයි මේ වචනෙ ටිකක් තව emotional වෙන්නෝන කියනවා. එතකොට මං ආයෙ ලියනවා. සමහර දවසට මං ලියලා දීලා එයා ඒක බලලා මට call කරලා කියනවා නෙත්, මෙතන ඔයා මොකක්ද කියන්න හදන්නෙ? කියලා.”
“ඇයි call කරන්නෙ?”
“එයා ඉන්නෙ අනිත් පැත්තෙ cabin එකේනෙ. නිකන් කෑගහලා කියන්න බෑනෙ.”
“ආ.”
“ඒත් එයා මට මේක වැරදියි කියලා නිකන් reject කරන්නෙ නෑ. ඔයා මේකෙන් අදහස් කරන්නෙ මේක නම්, මේ විදිහට කිව්වොත් තව clear වෙයි කියලා කියනවා. මං ඒකට කැමති. මොකද එතකොට මට මං ලියපු එක ගැන ආයෙ හිතන්න පුළුවන්.”
“ඔයාට දැන් ඒ වැඩේ තේරෙනවද?”
“දැන් ටිකක් ඉස්සරට වඩා තේරෙනවා. මුලින් නම් මට හිතාගන්න බැරුව වගේ උන්නෙ. එක වචනයක් වෙනස් කළාම මොකක් වෙනවද කියලා. දැන් ටිකක් තේරෙනවා. නලින්ද්‍ර කියන දේවල් අහගෙන ඉද්දි තේරෙනවා.”
“නලින්ද්‍ර කියන දේවල්?”
“ඔව්. එයා කියනවා copy එකක් ලියනවා කියන්නෙ ලස්සන වචන ටිකක් දාන එක නෙවෙයි කියලා. කෙනෙක්ට කියෙව්වම තේරෙන්න ඕනෙලු මොකක්ද කියන්නෙ කියලා. අනික අපි කියන දේ මිනිස්සුන්ට ඇත්තටම කියවන්න හිතෙන්නත් ඕනෙලු. ඒක හරි නේද?”
“හ්ම්.”
“මං ඒක කලින් එච්චර හිතලා තිබ්බෙ නෑ. මං හිතුවෙ මට සිංහල හොඳට ලියන්න පුළුවන් නම් copy ලියන්නත් පුළුවන් කියලා. ඒ උනාට දැන් තේරෙනවා ඒ දෙකම එකම දෙයක් නෙවෙයි කියලා.”
“ඔයා ඉතින් ජොබ් එකට කැමතිද?”
“මාර කැමතියි.”
“නලින්ද්‍ර නිසාද?”
“නෑ අනේ. ඇයි ඔයා එහෙම ඇහුවෙ?”
“මං නිකන් ඇහුවෙ.”
“ඔව් ඉතින්. නලින්ද්‍ර හොඳයි. ඒක වෙනම එකක්.”
“වෙනම එකක්?”
“ඔව්. එයා හොඳට වැඩ දන්නවනෙ. සමහර වෙලාවට අපි හැමෝම එක තැනක හිරවෙලා වගේ ඉන්න වෙලාවක එයා ඇවිල්ලා ඇයි මේක මෙහෙම බලන්නෙ? වෙන පැත්තකින් බලමු කියලා කියනවා. එතකොට ඇත්තටම වෙන පැත්තක් තියෙනවා. අපිට ඒක පේන්නෙ නැතුව තමයි එච්චර වෙලා ඉඳලා තියෙන්නෙ.”
“හ්ම්.”
“තව නලින්ද්‍රගෙ මාරම ටැලන්ට් එකක් තියෙනවා හරිද? එයාට මිනිස්සුන්ව මාර විදියට තේරෙනවා.” නෙත්මලී එසේ කියා අවසන් කළේද ඒ වචනවල කිසිදු විශේෂත්වයක් නොදැනෙන්නාක් මෙනි. එහෙත් සාරා නම් මඳ වේලාවක් ඇය දෙස බලා උන්නේම ඒ වචනවල වූ විශේෂත්වය සාරාට තේරුණ නිසාවෙනි. අනෙක් අතට මේ ඉන්නේ තමන් මෙතුවක් අවුරුදු ගාණකට දැන උන් නෙත්මලියට වඩා වෙනස් අයෙක් බවද සාරාට ඒ වෙද්දී නොතේරුණා නොවේ.
“ඇයි ඔහොම බලන්නෙ?”
“මුකුත් නෑ.”
“නෑ නෑ මොකක් හරි තියෙනවා.”
“නෑ අනේ මං මේ අහගෙන හිටියෙ.”
“ඉතින්?”
“ඔයා නලින්ද්‍ර ගැන සෑහෙන්න දේවල් දන්නවනෙ.”
“ඉතින් අපි එකට වැඩ කරනවනෙ.”
“හරි හරි.”
“ඇයි ඔය විදියට හිනාවෙන්නෙ?”
“මුකුත් නෑ කිව්වනෙ ඉතින්”
“අනේ සාරා මොකද්ද කියන්නකො”
“මුකුත් නෑ ඉතින්.” කියා සාරා කිචි බිචි හඬින් හිනාවෙද්දී නෙත්මලී ආයෙත් නලින්ද්‍ර ගැන කියන්නට මෙන් මොහොතක් කල්පනා කළාය. එහෙත් ඒ මොහොතේ සාරාගේ මුහුණේ තිබූ කෝමල සිනාව ඇයට පෙනුණේ නැත.
හිත කියමින් උන්නේ එකමෙක දෙයක් පමණි.
“සාරා ඇත්තටම ඔෆිස් එක ගැන කියන්න කිව්වම ඇයි මං නලින්ද්‍ර ගැනම විතරක් කියෙව්වේ?”


