වසන්තය තව දුරද – 25

0
293

“මං අර වගේ බොරුවක් කිව්වට පස්සෙත් ඇයිද දන්නෙ නෑ මාව රස්සාවට ගන්න හිතුවෙ?” කියා හිත කියද්දිත් නෙත්මලී උන්නේ හිතේ එක පැත්තකින් මේ රස්සාව හෝ හරියාම පිළිබඳව සන්තෝසයකිනි.

එක අතකින් දැන් අතට කීයක් හෝ හම්බවේ. එයින් ගෙදරට කීයක් හෝ දෙන්නට හෝ මොන මොනවා හෝ අරගෙන එන්නට හැකියාව ලැබේ. අනෙක් අතට අම්මාගේ කන් කරච්චලයෙන් මිදී ගෙයින් එලියට ගොස් ඉන්නට ලැබීමම ලොකු වාසනාවක් ලෙස, කරදරයකින් මිදිමක් ලෙස නෙත්මලී හිත සනසාගන්නට කටයුතු කරාය.

උදේට ගෙදරින් පිටවී ගියාට හවසට ආපසු ගෙදර පැමිණිය යුතු වුවත් ඒ අතර ගතවන පැය කිහිපය තමන් කැමති ලෙස  ගත කරන්නට හැකි වනු ඇතැයි නෙත්මලීට සිතුණේ ඒ නිසාවෙනි. දවස පුරාම අම්මාගේ ප්‍රශ්නවලට උත්තර දීමටවත් තමන් මොනවා කරන්නේදැයි පැහැදිලි කිරීමටවත් සිදු නොවනු ඇතැයි නෙත්මලීට සිතුණේ ඒ නිසාවෙනි. කවුරුන් හෝ “රස්සාවක් හොයාගත්තද?” කියා අසන විට බිම බලාගෙන “තාම නෑ” කියා පිළිතුරු දෙන්න සිදු නොවන නිසා හිත තිබුණේ එක්තරා දුරකට සැහැල්ලුවෙනි. මුලින්ම ලැබෙන්නේ ලොකු පඩියක් නොවුණත් කමක් නැතැයි ඇයට සිතුනේ ඒ නිසාය. මේ ලැබුනේ ලොකු දෙයක් නොවුණත් ලැබෙන පොඩි දෙයකින් උනත් හිත සන්තෝස කරගන්න නෙත්මලී ඒ වෙද්දී හිත පුරුදු කරගෙන උන්නාය. ලැබෙන්නේ ලොකු තනතුරක් නොවුණත් කමක් නැත. තමන්ට ඕන වී තිබුණේ ගෙදරින් එළියට බැස තමන්ට කියා යමක් පටන් ගැනීමට පමණක් බව නෙත්මලී දැන උන්නාය. ඒ අතරතුර ලියන්නට හැකිද මේ රස්සාව තමන්ට ගැළපේද ඉස්සරහට තවත් හොඳ දෙයක් කරගත හැකිද යන්න බලාගැනීමටද අවස්ථාව ලැබෙනු ඇතැයි නෙත්මලී හිතුවාය. එහෙම හිතද්දී ලැබුණ අඩු ඒලෙවල් ප්‍රතිඵලයවත් ආයෙම වරක් විභාගයට පෙනී සිටිය යුතුද නැද්ද යන ගැටලුව ගැනවත් හිතට බරක් දැනුණේ නැත.

 අඩුම තරමේ දැන් ඒ ගැන සිතා තීරණයක් ගැනීමට තවත් අවස්තාවක් ලැබී තිබේ. එකවරම ජීවිතයේ තිබෙන හැම ප්‍රශ්නයකටම උත්තර සොයාගැනීමට අවශ්‍ය නැතැයි නෙත්මලී ඒ වෙද්දී තීරණය කර තිබුණි.  

“අඩුම තරමෙ දැන් මට ගෙදරට වෙලා අම්මගෙන් කතන්දර අහ අහ ඉන්න ඕනෙත් නෑනෙ. මට දැන් එලියට යන්න හරි හේතුවක් තියෙනවනෙ. මෙහෙම හරි රස්සාවක් හම්බෙච්ච එක කොච්චර දෙයක්ද. අඩුම අතට සල්ලි ටිකක් හරි එනවනෙ. දැන් අම්මගෙන් සල්ලි ඉල්ලනෝනත් නෑ. කතන්දර අහන්නෝනත් නෑනෙ. මංම හම්බ කරගන්න සල්ලිවලින් මට ඕන දෙයක් ගන්න පුළුවන්නෙ. ගෙදෙට්ට මොන මොනවා හරි අරගෙන දෙන්නත් පුළුවන්නෙ. මට ලෝ එන්ට්‍රන්ස් කරන්නත් කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්නෙ.. එතකොටවත් මං නිකන් ගෙදරට වෙලා ඉන්න ළමයෙක් නෙවෙයි කියලා අම්මට තේරෙයිද දන්නෙ නෑ. අනික දවසම ගෙදර ඉන්නෙ නැතුව වෙන මිනිස්සු එක්ක ඉන්න ලැබෙන එකත් හොඳයිනෙ. අඩුම ඒ මිනිස්සු මට මේ ගෙදර මිනිස්සු වගේ එක එක හිත රිදෙන කතන්දර කියන්නෙත් නෑනෙ මොන වගේ තැනක්ද, මොන වගේ මිනිස්සුද කියලා තාම දන්නෙ නැති එක ඇත්ත. ඒ උනාට කොහොම හරි පටන් ගන්න එකනෙ වැදගත්” කියා නෙත්මලී තමාටම කියාගත්තෙ උදේ පාන්දර රස්සාවට යන්නට සූදානම් වෙන අතරවාරයේය.

නෙත්මලී උදේ පාන්දරම ගෙදරින් පිටවුණේ හිතේ තිබූ බරෙන් කොටසක් ගෙදර දොරකඩ ළඟම තබාය.

 අලුත් රස්සාවක් ලැබුණු පළමු දවස නිසා හිතේ තිබුණේ සතුටක්ද, බයක්ද, නැතිනම් මේ දෙකම එකට මිශ්‍ර වූ හැඟීමක්ද කියා ඇයත් උන්නේ ඇයටත් තේරුම් ගන්නට බැරි සිතුවිලි සමුදායක ගිලී යමිනි.

 බස් එකේ යන අතරතුරත් කිහිප වතාවක්ම නෙත්මලී තමන්ගේ ඇඳුම දෙසත්, බෑගය දෙසත් බලමින් ඒවා හරියට තිබේදැයි පරීක්ෂා කරගත්තාය. ඊයේ වනතුරු රස්සාවක් ලැබෙන්නේ නැතැයි බලාපොරොත්තු අතහැර සිටි තමන් අද රස්සාවකට යමින් සිටීමම හිතට අරගෙන ආවේ මහම මහ අමුතුම හැඟීමක් බව ඇයට නොදැනුණා නොවේ.

ඔෆිස් එක තිබූ ගොඩනැගිල්ල ඉදිරිපිට බසයෙන් බැසගත් පසු නෙත්මලී මොහොතක් එතැනම නතර වූවාය. ඇතුළට ගිය පසු මොනවා සිදුවේදැයි ඇය දැන සිටියේ නැත. කවුරුන් හමුවේද, මොනවා කරන්නට සිදුවේද, තමන්ට මේ රස්සාව ඇත්තටම කළ හැකිද යන ප්‍රශ්න එකින් එක හිතට පැමිණියද ඒවාට උත්තර හොයන්නට නෙත්මලී උත්සාහ නොකළාය. නෙත්මලී Spark Ads ගොඩනැගිල්ලට ඇතුළු වූවේ අඩුම තරමේ අද දවසවත් ගෙවා බලමු යන සිතුවිල්ල පෙරදැරිවය.

ඇයව පිළිගනු ලැබූ පසු කාර්යාලයේ කෙනෙකු විසින් ඇයව නලින්ද්‍රගේ කාමරය වෙත කැඳවාගෙන යනු ලැබුවේ ඒ අනුවය. හිත තිබුණේ බයෙනි. තිගැස්මෙනි. නලින්ද්‍ර දේවමිත්ත අනිවාර්‍යෙන්ම තමන් විසින් කියන්නට යෙදුන බොරුව ගැන ආයෙ වරක් තමන්ගෙන් අසන බව දැන දැනම මේ ගමන ආව එකක් මෝඩකමක් බව නෙත්මලීට හිතුණේ ඒ වෙලාවේය. එහෙත් ආපහු හැරී යන්නට මගක් නැත. හැටියක් නැත. මේසය අසල වාඩි වී සිටි නලින්ද්‍ර හිස ඔසවා තමන් දෙස බලද්දී කොහොමත් ආපසු හැරී යන්නට මගක් නෙත්මලිට තිබුණේ නැත.

“හෙලෝ නෙත්මලී එන්න එන්න නෙත්මලී. වාඩිවෙන්න.”

පෙරදාක තමන් නලින්ද්‍ර ඉදිරියේ ඇඬූ බව මතක් වීම නිසා නෙත්මලී උන්නේ නලින්ද්‍ර දෙස එක එල්ලේ බලන්නට අපහසුවෙනි. 

“First day එක හන්දා ටිකක් nervous ඇති නේද?” කියා නලින්ද්‍ර තමන් දෙස බලා හිනාවෙද්දි නෙත්මලී පෙරළා යන්තමින් සිනාසුණාය.

“ඔව් ටිකක්”

“නෝමල් නේද. ඒක ගණන් ගන්නෙපා. හරි ඒවයින් වැඩක් නෑ මෙහෙ ඔයාට කරන්න තියෙන දේවල් ටික මං explain කරන්නම්.” කියා  නලින්ද්‍ර කතා කරගෙන යද්දී නෙත්මලී අවධානයෙන් අසා සිටියාය. එහෙත් ඔහු කියන දේවල්වලට වඩා ඇගේ හිතේ කියමින් තිබුණේ වෙනත් ප්‍රශ්නයකි. එදා තමන් කියූ බොරුව දැනගෙනත්, ඒ බොරුව අසුවී තිබියදීත් මේ රස්සාව තමන්ට දෙන්නට තරම් නලින්ද්‍රට හේතුවූ කාරණාව කුමක්ද කියා හිතාගන්න බැරුව නෙත්මලී උන්නෙ දෙගිඩියාවෙනි.  

නලින්ද්‍ර මොහොතකට කතාව නතර කර ඇය දෙස බැලුවේම ඇත්තටම නෙත්මලී හිතන දේ ඔහුට තේරුණාක් මෙනි. දෙතොල මද සිනාවකින් මෑත් වුණේද ඒ නිසාවෙනි.

“ඔයා කල්පනා කරනවා ඇති නේද” කියා නලින්ද්‍ර කතාවට අලුත් පාරකින් මැදිහත් වෙද්දි නෙත්මලීගේ දෑස් ඔහු වෙත එසවිණි.

“ඔයා අච්චර බොරුවක් කියලත් අපි ඔයාව හයර් කළේ ඇයි කියලා.” 

ඒ වනාහී හිත අලුතෙන් ලැජ්ජාවට පත් කරන්නට කාරණාවක් වුණත්, දෙතොල නොකීදේ දෙනෙතින්ද නොපෙනෙන පරිද්දෙන් නලින්ද්‍රගෙන් දෙනෙත් මුවා කරගන්නට නෙත්මලීට දෙනෙත් පහලට හරවාගන්නට පුළුවන්කමක් ලැබුණේ නැත. නලින්ද්‍ර උන්නේ එතරම්ම විපරම්කාරී ලෙස නෙත්මලී දෙසම බලාගෙන දෙතොල මන්දස්මිතයකින් සරසාගෙනය.

“ඒකට හේතුවක් තියෙනවා,” කියා නලින්ද්‍ර ආපසු වතාවල් දෙතොල හිනාවකට මෑත් කරගද්දී නෙත්මලී ඒ අවසරයෙන් දෙනෙත් පහලට බරකරගත්තාය.

. “ඔයා බොරුවක් කිව්වා කියන එක, ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක මං එදාත් කිව්වනෙ. හැබැයි ඔයා එදා අපි ඔයාට කරන්න කියලා දීපු ටෙස්ට් එකේ ලියලා තිබුණ දේවල් මං දැක්කා. ඒක බලද්දි ඔයාට ලියන්න පුළුවන්කමක් තියෙනවා කියලා මට තේරුණා. ඒ වයසට ඒ ටැලන්ට් එක නිකන් අත ඇරලා දාන්න ඕනෙ දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඒ නිසා එක අවස්ථාවක් දීලා බලමු කියලා මං හිතුවා” කියා නලින්ද්‍ර කතාව මදකට නැවැත්තුවාට ඒ කතාවට තව කොටසක් ඇති බවට හිත කියූ සිතුවිල්ල අර පහලට හරවාගත් දෙනෙත ඔසවා නලින්ද්‍ර දෙස බලන්නට නෙත්මලීව පෙළඹුවාය.

“ අනික ඉතින් මාකටින් කියන්නෙත් ටිකක් ක්‍රියේටිව් විදිහට බොරු කියන එක තමයි,” කියා නලින්ද්‍ර සිනාසෙද්දී එයට මද සිනා නොපා ඉන්නට නෙත්මලීට හැකිවුණේ නැත.

 “හැබැයි ඒ බොරුවෙයි ඔයා එදා කියපු බොරුවෙයි පොඩි වෙනසක් තියෙනවා. අපි කියන බොරුව ඇතුළෙ ඉන්සයිට් එකක් තියෙන්න ඕනෙ. නැත්තං ඒක මාකටින් හෝ ඇඩ්වටයිසින් නෙවෙයි, කෙලින්ම මිනිස්සුන්ව රැවටීමක් වෙනවා. ඒක නිසා මෙතනින් පස්සෙ ඔයාට බොරු කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඔයාට තියෙන දේවල්වලින්, ටැලන්ට්ස්වලින් වැඩක් කරලා පෙන්නන්න. ඉතිරි ටික අපි ඊටපස්සෙ බලමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here