5th Avenue – 13

0
62

ශෙනෝලි තිගැස්සුනාය. සියලු දෙනාම පිටව ගිය බව සිතූ නමුත් අනපේක්ෂිත ආකාරයෙන් ස්ටූඩියෝවට ඇතුලු වූයේ රිහාන් ය.

” ඔයා ගෙදර යන්නෙ නැද්ද ශෙනෝලි ? “

රිහාන් ශෙනෝලිගේ උකුල මත වූ ලැප්ටොප් පරිගණකයත් , අසල වූ සටහන් පොතත්, අපිළිවෙල ලෙස විසිරී ඇති කඩදාසි කිහිපයක දෙසත් බැලුවේ එසේ විමසන අතරේය. බැලූ බැල්මට ඇය නැවත නිවසට යන බවක් පෙනෙන්නට නැත.

” අද ඩිස්කෂන් එක ගැන මට මිස්ටර් එදිරිසිංහට මේල් එකක් යවන්න තියෙනවා “

” ඉතින් ඔයාට ඕක හෙටත් යවන්න පුළුවන්නේ ශෙනෝලි ? ” 

” මිස්ටර් එදිරිසිංහ කැමති එදා වැඩ එදාටම කරනවා නම් තමයි ” 

ශෙනෝලි එවන් පිළිතුරක් දුන්නේ රිහාන්ගේ පියා පිළිබඳව කිසිදු අහිතකින් නොවේ. තම පියා වුවද රාජකාරිය සම්බන්ධයෙන් ඉතා වගකීම් සහගත සහ පිළිවෙල පුද්ගලයකු වූයේ රොහාන් එදිරිසිංහ නම් වූ පුද්ගලයා ඇසුරේ සේවයේ නිරත වීම නිසා යැයි ශෙනෝලි තරයේම විශ්වාස කළාය. තමාද එවැනි ආකාරයෙන් සේවය කරන්නේ යැයි විශ්වාසයක් රොහාන් එදිරිසිංහ සතුව පවතින බැවින් ශෙනෝලි සෑම විටම කටයුතු කළේ එම විශ්වාසය සුරැකීමටය.

” ඔයත් අපේ තාත්තා වගේම තමයි “

රිහාන් මදහසක් පාමින් වටපිට බැලුවේය.

” රිහාන් ආපහු ආවේ ? ” 

ශෙනෝලි විමසුවේ සියල්ලන් සමගම පිටත්ව ගිය රිහාන්ගේ නැවත පැමිණීමට ඔහු හේතුවක් නොදැක්වීම නිසාය. 

” ආ.. මට කාර් කී එක අමතක උනා ” 

රිහාන් ඔහු වාඩි වී හුන් අසුන අසල තිබූ වාහනයේ යතුර ගෙන සාක්කුවට දමා ගත්තේය. එහෙත් නිවසට යන්නට තරම් සිතුවිල්ලක් ඔහු තුළ නොවූ බැවින් ඔහු පියවරක් දෙකක් ඉදිරියට පැමිණ ශෙනෝලි අසල නතර වූයේය.

” මං මෙතන පොඩ්ඩක් වාඩි වුණාට කමක් නැද්ද ? ” 

රිහාන් ආගන්තුකයෙකු සේ විමසුවේ තමාගේ පැමිණීම ශෙනෝලි නිරත වී හුන් කාර්යයට බාධාවක් වේදෝ යැයි සිතමිනි. නමුත් ශෙනෝලි එසේ සිතුවේ නැත.ඇය වහාම සෝෆාව මත තැන තැන තිබූ කඩදාසි කිහිපය එක් රැස් කරගෙන සටහන් පොතද laptop පරිගණකයේ යතුරු පුවරුව මතින් තබා ගත්තාය.

රිහාන් මොහොතක් බලා හිඳ සෝෆාවේ අනෙක් කෙළවරින් වාඩි වී 5th Avenue Studio යැයි විශාල අකුරෙන් සඳහන් කර තිබෙන ඉදිරි බිත්තිය දෙස බලා උන්නේය.

” මං හිතුවා ඔයා ගෙදර යයි කියලා “

ශෙනෝලි කීවේ නිහඬතාවය බිඳින්නටය.

” ඔව් මං යන්න තමයි හිටියේ. ඒත් දැම්ම ගෙදර යන්න ඕන නෑ කියලා හිතුනා “

රිහාන් ශෙනෝලි දෙස නොබලාම පිළිතුරු දුන්නේය. වෙනදා නොවූ ආගන්තුක බවක් ඔවුන් දෙදෙනා වටා පැවතීම ශෙනෝලි උන්නේ දරා ගත නොහැකිවය.

” ඔයාටත් එහෙමද ශෙනෝලි ? ” 

රිහාන් එවර ශෙනෝලි දෙස බැලුවේය.

” ඒ කිව්වේ ? ” 

” ඔයාටත් හිතෙනවද දැන්ම ගෙදර යන්න බැහැ කියලා ? ” 

ශෙනෝලි පිළිතුරක් නොදී ඉවත බලා ගත්තාය. ස්ටූඩියෝව කියා වත්, නිවස කියා වත් තමාට වෙනසක් ඇත්තේ නැත. කොහේ කොතැනක වුවද තමා වටා පවතින්නේ දැඩි නිහැඬියාවක් පමණි. එය ජීවිතයේ ඉදිරි කාලයේදීත් තමා වටා නොවෙනස් වී පවතින බව ශෙනෝලි දැන උන්නාය.

” මගේ තාත්තා හැම වෙලාවෙම කියන දෙයක් තමයි මේ ස්ටූඩියෝ එක වෙනස් වෙන්නේ හැමෝම ගියාට පස්සේ කියලා ” 

ශෙනෝලි පිළිතුරක් නොදුන් තැන රිහාන් නැවතත් හඬ අවදි කළේය.

” මට තේරුන්නෑ “

” හොඳම ශබ්දය නිශ්ශබ්දය කියලා අහල තියෙනවද ? ” 

ශෙනෝලි සිනාසුනාය. එහෙත් රිහාන් පුරුදු බැරෑරුම් බවින් යුතුව බලා උන්නේය.

” සද්ද බද්ද නෑ, music නෑ, කාගෙවත් කටහඬවල් නෑ. අඩුම ගානේ හිනාවක්වත් නෑ. ඒක හරිම Peaceful ” 

ශෙනෝලි ස්ටූඩියෝව පුරා බැල්මක් හෙළුවාය. එය බොහෝ පිළිවෙලය.පිරිසිදුය.එක් කෙළවරක පිළිවෙලින් සංගීත භාණ්ඩ ද, ඒවා අසලින් ඒවා වාදනය කරන්නා සඳහා අසුනක් ද තබා ඇත. අනෙක් කෙළවරේ සෝෆා ද, කුඩා අසුන් ද තබා ඇත. ස්ටූඩියෝව තුළ වැඩිපුරම දකින්නට ඇත්තේ හිස් අවකාශයකි. එය සංගීතය වැනි කාර්යභාරයකට මනාසේ ගැලපෙන්නේය. එහෙත් රිහාන් මේ පවසන්නේ වෙනමම කතාවකි.

” ප්‍රැක්ටිස් ඉවර වෙලා, කොන්සර්ට් එකක් ඉවර වෙලා අඩුම පොඩි වෙලාවක් හරි මං තනියම ඉන්නවා ශෙනෝලි. සමහර වෙලාවට මේ ස්ටූඩියෝ එකට ඇවිල්ලත් ” 

ශෙනෝලි පුදුමයට පත් වූවාය. ස්ටූඩියෝවේ ප්‍රධාන දොරටුවෙහි යතුරක් රිහාන් සතුව ඇති බව දැන උන්නත් අන් අය නොමැති අවස්ථාවලදී අහම්බයකින් හෝ ඔහු ස්ටූඩියෝව වෙත පැමිණෙන බවක් තමා සිතා තිබුණේ හෝ නැත.

” ඔයා මෙහෙ එනවා ? ” 

“Yes. This silence feels different.”

ශෙනෝලි කිසිවක් නොකීවාය. වේදිකාව මත තම දස්කම් දක්වන නිහඬ තරුණයා, තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් දේහධාරි තරුණයා බැරෑරුම් බවක් මුහුණට නංවා ගෙන තමා ඉදිරියේ වාඩි වී සිටීයි.

” music කියන්නේ හැම වෙලේම මගේ ඔළුවේ තියෙන දෙයක් ශෙනෝලි. ප්‍රැක්ටිස් ඉවර උනාම, කොන්සර්ට් එකක් ඉවර උනහම උනත් ඒ සද්ද මගේ ඔළුවේ වැඩ කරනවා.මං ඒවා අහන්න මේ මුළු ලෝකෙම සයිලන්ට් වෙනකම් බලන් ඉන්නවා “

තමාද එවැන්නියකි. කාර්යබහුල සෑම දිනයක් අවසානයේදීම තමා බලා හිඳින්නේද ලෝකයම නිහඬවන තුරුය. තමාට තමා හමුවන්නේ එතැනදීය. තමා කවුරුන්දැයි සොයා ගත හැකි වන්නේ ද එවිටය.

” මං හිතනවා ශෙනෝලි ඔයත් එහෙමයි කියලා”

රිහාන් අපූරුවට තම සිත කියවා ඇත.අනෙක් අතට තම ජීවිතයේ සිදුවී ඇති සියළු ව්‍යසනයන් පිළිබඳව හොඳින් දන්නා ඔහුට තමා පිළිබඳව අමුතුවෙන් කිව යුතුද නැත.

” I think…we’re just looking for the right kind of silence “

රිහාන් කතාව සම්පූර්ණ කළේය. ඔහු මෙවැනි කතාබහකට මුල පිරුවේ මන්දැයි කියා වත් තවමත් වැටහෙන්නේ නැත.කල හැකි එකම දෙය වන්නේ එයට ඇහුම්කන් දී සිටීමය.

” මං මෙතන වාඩි වෙලා කියවන්න පටන් අරන් ඔයාගේ වැඩ වලට ඩිස්ටර්බ් කරා නේද ශෙනෝලි ? ” 

පියවි සිහියට පැමිණියාක් මෙන් රිහාන් එකවරම ශෙනෝලි දෙස බලා පැවසුවේය. ඔහු දෙස එක එල්ලේ බලා හුන් ශෙනෝලි සැනෙකින් මුහුණට යන්තමින් සිනහවක් නඟා ගත්තාය.

” ආ.. එහෙම එකක් නෑ රිහාන්.මට ඉතින් මේ වැඩේ ගෙදර ගිහිල්ලා උනත් කරන්න පුළුවන් “

ශෙනෝලි ලැප්ටොප් පරිගණකය වසා දමා අපිළිවෙල කඩදාසි කිහිපය පිළිවෙල කරමින් සටහන් පොත සමග තැබුවාය.

” එහෙනම් ගෙදර නොයන්නේ ? ” 

ශෙනෝලි තිගැස්සී රිහාන් දෙස බැලුවාය. මෙලොව තමාට ඇති සුවදායිම ස්ථානය නිවස වුවත් එය බොහෝ මතකයන්ගෙන් පිරී පවතින, සැනසීම මෙන්ම දරා ගත නොහැකි රිදුමක් ද එකතු කරන ස්ථානයකි. රාත්‍රිය පහන් කිරීම සඳහා පමණක් එහි යන්නට තමා බොහෝ විට උත්සාහ කරන්නේ ඒ නිසාය. ජීවිතය වසා පවතින අඳුරු බව මඳකට හෝ පහව යනවා නම් යන්නේ මේ කාර්යබහුලකම නිසාය. එය තවකෙකුට තේරුම් ගත හැක්කක් නොවේ.

” I understand “

ශෙනෝලි ගේ නිහඬ බව තේරුම් ගත් රිහාන් නැවත පැවසුවේය.අනතුරුව විනාඩි කිහිපයක් දෙදෙනා අතර පැවැතියේ දැඩි නිහැඬියාවකි. අනපේක්ෂිත මොහොතක රිහාන් තමන් සමග මෙවැනි ගැඹුරු කතාබහක නිරත වූ හේතුව තවමත් සිතා ගත නොහැකිව ශෙනෝලි බලා උන්නාය. රිහාන් යනු විටෙක තේරුම් ගත නොහැකි පන්නයේ සංකීර්ණ ගති පැවැතුම් ඇති තරුණයෙක් බව අනතුරුව ඇය සිතුවාය. 

රිහාන් උන්නේ සිතුවිලි ගණනාවක් අතර එහා මෙහා වෙමිනි. ගෙවී යන දිනයන් ජීවිතයේ තීරණාත්මක යමක් කරා තමා කැඳවාගෙන යන බව දැනේ. එහෙත් ඒ කොතනටදැයි තවමත් නොදන්නා නිසා හදවත තිබෙන්නේ සෙලවෙමිනි. 

රිහානුත් ශෙනෝලිත් අතර සෝෆාවේ වූ නිදහස් අවකාශය මත තබා තිබූ රිහාන්ගේ දුරකථනය නාද වූයේ දෙදෙනා අතර පැවති නිහඬියාව බිඳ දමමිනි.දෙදෙනාගේම දෑස් එකවරම ඒ මතට යොමු වූ අතර දුරකථන තිරයේ සඳහන් වූයේ ” ඉශිනි වර්ණකුලසූරිය ” යන නාමයය.ශෙනෝලි එය නොදුටුවා සේ වහාම ඉවත බලා ගත්තේ මෙතෙක් වේලා සැඟවී තිබුණු සිහින් රිදුම හදවත හරහා යන ආකාරය දැනෙන්නට පටන් ගැනීමත් සමඟය.

දුරකථනය අතට ගත් රිහාන් එය නාද වී අවසන් වන තුරු ඒ දෙස බලා උන්නේය. අනතුරුව තප්පර කිහිපයකින් වාඩි වී හුන් තැනින් නැගී සිටි ඔහු ශෙනෝලි දෙස බැලුවේය.

” මං යනවා ශෙනෝලි ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here