රිහාන් ස්ටූඩියෝව පිහිටි ගොඩනැගිල්ලෙන් පිටවී වාහන අංගනයේ නවතා තිබූ වාහනයට නැග දුරකථනය රියදුරු අසුනට එහා අසුන මතින් තබා කල්පනාවට වැටුණේය. මොහොතකට පෙර ඉශිනිගෙන් පැමිණි දුරකථන ඇමතුම ශෙනෝලි පැහැදිලිව දුටු බවට සැකයක් නැත. එහෙත් ඇය එය නොදුටුවා සේ සිටීම පුදුමයකි. එක අතකට තමාට පැමිණෙන දුරකථන ඇමතුම් පිළිබඳව උනන්දු වන්නට ඇයට හේතුවක්ද නැත. රිහාන් උන්නේ ව්‍යාකූල වෙමිනි. බොහෝ සිතුවිලි සිතට නැගෙද්දී රිහාන් වාහනය ප්‍රධාන පාරට ගත්තේය.
දුරකථනය නැවත නාද වූයේ ඒ අතරය.රිහාන් අත දිගුකර එහා අසුනේ වූ දුරකථනය අතට ගෙන බැලුවේය.
ඇමතුම ඉශිනි ගෙනි.
රිහාන් තත්පර කිහිපයක් දුරකථනය නාද වන්නට හැර ඇමතුමට සම්බන්ධ වූයේය.
” Yes ඉශිනි ”
” ඔයා හිතලම මගේ කෝල්ස් ආන්සර් කරන්නේ නෑ කියලා මං හිතන්න පටන් අරන් තිබුණේ “
රිහාන් මෘදු ලෙස සිනාසුනේය. ඒ ඉශිනි පැවසූ දෙයට නොව, ඇය එය පැවසූ විලාසයටය.
” එහෙම දෙයක් නෑ ඉශිනි. මට ආන්සර් කර ගන්න බැරිවුනා කෝල් එක ”
” බිසීද ? ”
ඉශිනි අනෙක් අතට ඇසුවාය. ආඩම්බරකාර තරුණයා තමාගේ සමීපතමයකු වෙමින් සිටින බව සිතන්නට ඇය උත්සාහ ගනිමින් උන්නාය.
“Something like that.”
තම පෞද්ගලික කාරණා බොහෝ දෙනකු හා බෙදා නොගන්නා පුරුද්දට රිහාන් සරල පිළිතුරක් දුන්නේය.
” මට ඔයාට තෑන්ක්ස් කරන්න ඕන උනා රිහාන්”
ඉශිනි කතාව වෙනතකට යොමු කළාය. ඇයට වුවමනා වූයේ රිහාන් සමඟ සංවාදයකට පැටලෙන්නටය.එය ඉදිරියට පවත්වා ගෙන යන්නටය.
” for what ? ”
” ප්‍රෝග්‍රෑම් එකේදි මම ටිකක් nervous වෙලා හිටියේ ”
” ඒකට ඉතින් හැමෝම සපෝර්ට් කලානේ ඉශිනි.අනික… ඔයා එහෙම nervous වෙලා හිටියා කියලා නම් මම දැක්කේ නෑ ”
රිහාන් එසේ පැවසුවේ ඇත්තටමය. තමා වැඩසටහනට සහභාගි වීමට පෙර එහි පෙර වැඩසටහන් කිහිපයක් නැරඹුවේ වැඩසටහන පිළිබඳව අදහසක් ගැනීමටය. ඒවා ඉදිරිපත් කළා සේම ඉශිනි පෙර දින වැඩසටහන ඉදිරිපත් කළේද අතිශය සාමාන්‍ය ලෙසය. ඒ හැරුණු කොට විශේෂ වෙනසක් හෝ තැතිගැන්මක් ඇය වෙතින් දක්නට තිබුණේ නැත.
“That’s because I’m good at pretending.”
ඉශිනි සිනා සී පිළිතුරු දුන්නාය.එසැණින් රිහාන්ගේ මතකයට පැමිණියේ ශෙනෝලිවය. මවාපෑම සඳහා තමා දන්නා අති දක්ෂයකු ඇත්නම් ඒ ශෙනෝලිය. ඇය බොහෝ දුක් සංකා සිනහවෙන් සඟවමින්, සතුටින් ඉන්නා බව මවා පාන්නේ පුරුද්දක් ලෙසය. ඒ අතින් බැලූ කල ඉශිනි යනු තවමත් ලදරුවෙකි.
” ඇත්තටම.. මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා රිහාන් ”
දුරකථන ඇමතුමේ අනෙක් පස හිඳින රිහාන්ගේ නිහඬ බව හමුවේ ඉශිනි හඬ අවදි කළාය.
” මොකද්ද ? ”
රිහාන් ඇසුවේ උනන්දුවකින් නොවේ. මෙය තවත් එක් සාමාන්‍ය කතා බහක් බව සිතන්නට ඔහු උත්සාහ ගත්තේය.
” Not over the phone ”
රිහාන් වාහනයේ වේගය අඩු කළේය. ඉශිනි අසන්නට සූදානම් වන්නේ කුමක්දැයි සිතාගත නොහැක.සමහර විට එය පෞද්ගලික යමක් හෝ සංගීත කණ්ඩායම පිළිබඳ කාරණාවක් විය හැකිය. නමුත් සංගීත කණ්ඩායම පිළිබඳව යම් කාරණාවක් නම් ඇයට එය පැය කිහිපයකට පෙරද අසන්නට තිබිණි.
” Drive safely රිහාන් ”
රිහාන් යමක් අසන්නටත් පෙර ඉශිනි දුරකථන ඇමතුම අවසන් කළ බැවින් ඔහු පෙරටත් වඩා ව්‍යාකූල තත්ත්වයකට පත් වූයේය.ඉශිනි තම ජීවිතයේ යම් කොටසක් නිහඬවම අත්පත් කර ගනිමින් සිටියි. සැබවින්ම එය එසේ වන බව දැන් පිළිගත යුතුව තිබේ.
රිහාන් පිටව ගිය පසු විනාඩි ගණනාවක් ගත වන තුරුත් ශෙනෝලි ගල් ගැසී බලා උන්නාය.අනතුරුව ඇය සෝෆාවට හිස හේත්තු කරගෙන දෑස් ද තදින් පියා ගත්තාය.
” I think…we’re just looking for the right kind of silence “
එවර ශෙනෝලිගේ මුවගට නැගුනේ සිනහවකි. රිහාන් පැවසූ සෑම වචනයක්ම තම මතකයේ පැහැදිලිව ගබඩා වී තිබෙන්නේය.නමුත් එයට පැහැදිලි හේතුවක් ද සිතා ගත නොහැක.
ශෙනෝලි හෙමින් සීරුවේ දෑස් විවර කළාය.
මේ වසර දෙක පුරාවට තමා බොහෝ පුද්ගලයන් සමග කතාබහ කර ඇත.බොහෝ පුද්ගලයන් මුණ ගැසී ද ඇත. බොහෝමයක් රැස්වීම් වලට කාලය වැය කර ඇත. කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සෑම පුහුණුවීම් වාරයකට ද සහභාගි වී ඇත.
එහෙත් ඒ සියල්ලක්ම අතරෙන් තමාගේ මතකයේ පැහැදිලිව රැඳී තිබෙන්නේ රිහාන් විසින් පැවසූ දේවල්ය, ඔහු හා බැඳි මතකයන් ය.
Love Beats ප්‍රසංගයට පෙර දිනයේදී මධ්‍යම රාත්‍රිය ද පසු වී මේඝ තමාව විහාර මහා දේවී එළිමහන් රංග පීඨය වෙත කැඳවාගෙන යන්නට සූදානම් වෙද්දී රිහාන් එය වළක්වා තමා වෙනුවට ඒ ගමනට සහභාගී වූ සිදුවීම ශෙනෝලි හට සිහිවිය.
අන් සියලු දෙනාටම වඩා රිහාන් පමණක් තමා පිළිබඳව උනන්දු වූ සෑම කුඩා මොහොතක්ම ශෙනෝලි එකින් එක මතකයට නගා ගත්තාය. තමා බැඳී සිටින්නේ ඒ කුඩා මොහොතවල් සහ කුඩා මතකයන් සමගය. වසර දෙකක් පුරාවට හුදෙකලා ජීවිතයක් ගෙවන තමාගේ ජීවිතයට කුඩා හෝ ආලෝකයක් ලැබීම ආරම්භ වී තිබුණේ ඒ කුඩා මතකයන් සමඟය.
හේතුවක් සිතා ගත නොහැකි, කෙළවරක් නොමැති මේ සිත් රිදීම් වලට හේතු වී ඇත්තේද ඒවාය.
” මේක කොහොමද උනේ ? ”
ශෙනෝලි තමාගෙන්ම අසා සිටියාය. එහෙත් ඇයට නිසි පිළිතුරක් හෝ නිසි හේතුවක් ලැබුණේ නැත. ඇයට ලැබුණු එකම පිළිතුර නම් නිහඬතාවය පමණි.
සෑම දිනකම තමා වටා තිබෙන මේ නිහඬතාවය අද වෙනස් ස්වරූපයක් ගෙන තිබේ. ශෙනෝලි නැවත කුඩා සිනහවක් ආයාසයෙන් නගා ගත්තාය. ඒ, ඇයට පිළිතුරක් ලැබුණු නිසා නොව ඇය ගිලී හිදිනා ගැටලුව සොයාගත් නිසාය. ශෙනෝලිගේ සිත දිව ගියේ ඇය බොහෝ කාලයකට මතක් නොකරන්නට සිතාගත් මතකයක් වෙතය.
නැවත පියා ගත් ශෙනෝලි ගේ දෑස් ඉදිරියේ මැවී පෙනුනේ තම අම්මාට සහ තාත්තාට මැදිව හිඳිනා කුඩා දැරිය ය.
ඔවුන් දෙදෙනා අතර වූයේ අසීමාන්තික ආදරයකි.එය කෙදිනකවත් කුමන හේතුවක් නිසා මතවත් පළුදු වූයේ හෝ නැත. එම ආදරය ඔවුන් දෙදෙනා තමාටද නොඅඩුවම ලබා දුන්නේ කොන්දේසි විරහිතවය.
වචනයෙන් නොපැවසූ ආදරය ඔවුන් දෙදෙනා එකිනෙකා වෙත ඔප්පු කර පෙන්වූයේ ක්‍රියාවෙනි.ඔවුන් දෙදෙනා අතර විශාල පොරොන්දු හෝ බලාපොරොත්තු තිබුණේ නැත. ඔවුන් අතර නිරන්තරයෙන් තිබූයේ ආදරය සහ කරුණාවය. එකිනෙකා කෙරෙහි ඇති නොබිඳුනු ගෞරවය ය.
හදිසි අනතුරකින් ඔවුන් දෙදෙනා ජීවිතයෙන් සමුගත් පසුව බොහෝ දෙනා පැවසූ කාරණාවද ශෙනෝලිගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි.
” ඒ දෙන්නා මැරෙනකන්ම හිටියේ හරිම ආදරෙන් “
ආදරය යනු එවැන්නකි. එකිනෙකා පිළිබඳව සොයා බැලීමකි.එකිනෙකා පිළිබඳව වද වීමකි.ඊටත් වඩා වග වීමකි. ආදරයේදී සෑම විටම සිදුවන්නේ අනෙකාගේ සතුට ප්‍රාර්ථනා කිරීමය. එය බලා සැනසීමය.
ශෙනෝලි සන්සුන්වීමට වෙර දරමින් සිතිවිලි එකින් එක ගලපා ගත්තාය. ගැටලුවකට විසඳුමක් සොයා ගැනීමට පෙර ගැටලුව හඳුනාගත යුතුය. තත්ත්වය කුමක් වුවද, ප්‍රතිඵලය කුමක් වුවද සියල්ලටම පෙර තමා දැන් කළ යුතු වන්නේ එයය.
රිහාන් තමා පිළිබඳව සොයා බැලූ බව සැබෑය. නමුත් එයින් ඔහු තමා පිළිබඳව උනන්දු වන බව හෝ තමාට ආදරය කරන බව කියවෙන්නේ නැත. රොහාන් එදිරිසිංහ විසින් 5th Avenue හී මෙම තනතුර තමාට ලබා දුන්නේද තම තාත්තාට ඇති ගෞරවය සහ තමා කෙරෙහි උපන් අනුකම්පාව සහ ආදරය නිසාය. එවැනි තත්ත්වයක් යටතේ රිහාන් තුළද තමා කෙරෙහි පවතින්නේ අනුකම්පාවක් පමණක් විය හැකිය.
එහෙත්,
රිහාන් තමා පිළිබඳව සොයා බැලීම සහ වගවීම කෙරෙහි නොදැනුවත්වම තමා බැඳී අවසානය. එය පහසුවෙන් අමතක කළ හැක්කක් හෝ ඉවත දැමිය හැකි හැඟීමක් නොවේ.
දෑස් අගින් හෙමින් සීරුවේ ගලා හැලෙන කඳුළු පේලි පිසදා ගත් ශෙනෝලි දෑස් වලට තවත් කඳුළු උනා ඒම ආයාසයෙන් වළක්වා ගෙන සෝෆාවෙන් නැගී උන්නාය. ඒ මොහොතේම එය මත වූ දුරකථනය නාද විය.
” රිහාන් “
ශෙනෝලි ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තාය.
” ඔයා තාම ස්ටූඩියෝ එකේද ශෙනෝලි ? ”


