ගෙවී යමින් පවතින දිනය ශෙනෝලිගේ හදවත බොහෝ සේ බර කර තිබිණි. ඒ හේතුව නිසාවෙන්ම නිදන යහනට පැමිණ බොහෝ වේලාවක් ගත වුවද නින්ද ඇය කරා පැමිණෙන සේයාවක් වත් තිබුණේ නැත.අවට ලෝකයම දැඩි නිහඬියාවක ගිලී තිබුණු අතර නිදන කාමරයේ ක්‍රියාත්මකව පවතින වායු සමීකරණ යන්ත්‍රයේ හඬ පමණක් යන්තමින් ඇසෙද්දී ශෙනෝලි යහනේ දෙපස හැරෙමින් අසීරු හෝරාවක් ගත කරමින් උන්නාය.
සංගීත කණ්ඩායම වෙත සජීවී රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් ලැබුනු ආරාධනාව කිසිසේත්ම අහම්බයක් නොවන බව ශෙනෝලි හට සිතුනේ ඉශිනි පිළිබඳව කල්පනා කර බලන විටය. ඇය වචන වලට නොනගන බොහෝ දේ ඇය පෙර දිනයේ පැවති ප්‍රසංගයේදී රිහාන් වෙනුවෙන් නැගෙන ආ මල් කළඹේද, වැඩසටහන් මැදිරියේදී සහ අවන්හලේදී සිදුවූ සිදුවීම් වලද ලියැවී තිබෙන බව ශෙනෝලි තේරුම් ගත්තාය.
හිස තබාගෙන හුන් කොට්ටයට මෙහායින් තබා තිබු ජංගම දුරකථන දෙකෙන් ශෙනෝලිගේ පෞද්ගලික ජංගම දුරකථනය නාද වූයේ ශෙනෝලි දෑස් පියාගෙන අඩ නින්දේ පසුවෙද්දීය. ඒ වන විට මධ්‍යම රාත්‍රිය ද පසු වෙමින් තිබුණු බැවින් ශෙනෝලි දුරකථනය අතට ගත්තේ සමහරවිට ඇමතුම පැමිණෙන්නේ රිහාන්ගෙන් විය හැකි බැව් සිතමිනි.
ඇමතුම පැමිණෙමින් තිබූයේ අශේන් ගෙන් බැවින් දුරකථන තිරය දෙස උවමනාවෙන් බැලූ ශෙනෝලි ගේ බලාපොරොත්තු කඩ වූයේ සැනෙකිණි. මෙවැනි මොහොතක ඔහු තමා අමතන්නේ කුමක් අරභයා දැයි සිතා ගත නොහැකිව ශෙනෝලි ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තේ යහනේ වාඩි වන අතරේය.
” අශේන් ”
එහා පසින් නැගුනේ මද සිනහවකි.
” මං දැනගත්ත ඔයා නිදි නෑ කියලා “
සිනහව අවසානයේදී අශේන් පැවසුවේ ජයග්‍රාහී හඬිනි
” ඇයි ? ”
අශේන් ගේ හදිසි ඇමතීමට හේතුව කුමක්දැයි ශෙනෝලි නැවත සිතුවේ ප්‍රශ්නාර්ථයක් සහිතවය.
” ඔයා ඊයේ ඉඳන් නෝමල් නෑ ශෙනෝලි. ඔයා හරිම සයිලන්ට් වෙලා ”
එවර අශේන්ගේ හඬෙහි තිබූයේ බැරෑරුම් බවකි.
” I was just tired ”
මේ කතාබහ දිගින් දිගටම පවත්වාගෙන යාමට ශෙනෝලි තුළ කැමැත්තක් වූයේ නැත. එම නිසා ලැබෙන පළවෙනි අවස්ථාවේදීම එය නතර කර දමන්නට ඇය සිතා ගත්තාය.
” නෑ. වෙන මොකක් හරි හේතුවක් වහ ගන්න ඔයා මහන්සි බව පෙන්නනවා.මං ඔයාව දන්නේ අවුරුදු දෙකක ඉඳලනේ ශෙනෝලි ”
ශෙනෝලි පිළිතුරක් නොදී මුනිවත රැක්කාය. දැනෙන වෙහෙසකර බව හමුවේ ඇයට වෙන කළ හැකි යමක් වූයේ නැත.
” ඔයාගේ ඔළුවේ වෙන මොන හරි තියෙනවා නම් මං ඒක දන්නවා ”
අශේන් තවදුරටත් පැවසු අතර ශෙනෝලි තවදුරටත් පිළිතුරක් නොදීම උන්නාය.
” ඔයා හැමෝම ගැන බලනවා. හැම ශෙඩූල් එකක්ම, හැම බුකින්ග් එකක්ම , හැමෝගෙම කෑම ගැන , ප්‍රැක්ටිස් තියෙන දවස් ගැන.. මේ හැම එකක්ම ඔයාගේ ඔළුවේ තියෙනවා ”
මේ හා සමානම කතාවක් පෙර දිනයක රිහාන් ද තමා වෙත පැවසූ බව ශෙනෝලි සිහිපත් කළේ ශෝකයෙනි. එහෙත් ඔහු පිළිබඳව දැනුනු ළයාදර බවක් අශේන් පිළිබඳව බිඳක් හෝ දැනෙන්නේ නැත.
” හැබැයි ”
අශේන් නතර වූයේය. දුරකථනය කනට තද කරගෙන හුන් ශෙනෝලි සුසුමක් පමණක් හෙළුවාය.
” කවදද අන්තිමට කාටහරි ඔයාව මතක් උනේ ? කවදද කවුරු හරි ඔයා එනකම් බලාගෙන හිටියේ ? ”
අශේන් අසන්නේ බැරෑරුම් ප්‍රශ්නයකි. තමා වටා ඇති වගකීම් නිසා මිස කිසිවෙකු තමා වෙනුවෙන්, තමා කෙරෙහි ඇති හැඟීමක් සහිතව බලා සිටියේ නැත. වසර දෙකක් පුරාවට තමා මේ ගෙවමින් සිටින්නේ එවැනි ජීවිතයකි.
” මං ඔයාට රිද්දන්න එහෙම ඇහුවේ නැහැ ශෙනෝලි. ඒත් මොකක් හරි නිසා ඔයාට රිදිලා තියෙන බව මට තේරෙනවා ”
” එහෙම දෙයක් නෑ අශේන් ”
ශෙනෝලි තවදුරටත් තමා නැගීම් සඟවා ගැනීමට උත්සාහ දරමින් පිළිතුරු දුන්නාය.
” I ‘ ll be okay ”
අශේන් හට සුභ රාත්‍රියක් පතා ශෙනෝලි දුරකථන ඇමතුම අවසන් කලේ පෙරටත් වඩා වූ ශෝකි හැඟීමක් සහිතවය.
එළඹුණු දිනය සියල්ලන්ටම පුහුණුවීම් වලින් තොර විවේකී දිනයක් වූයේ කීබෝඩ් වාදන ශිල්පියා වූ සසිත හදිසියේ අසනීප බව දන්වා තිබූ නිසාය. විශේෂිත ප්‍රසංගයක් හෝ වෙනයම් කටයුත්තක් ඉදිරි දින කිහිපය තුළ නොපැවැත්වෙන බැවින් සියලු දෙනාටම විවේකී දිනයක් ලබා දීමට මේඝ තීරණය තිබුනේ අනතුරුවය.
වර්ණ TV මගින් සංවිධානය කර තිබෙන පුණ්‍ය කටයුත්ත සඳහා 5th Avenue හී දායකත්වය ලබා දීමට රොහාන් එදිරිසිංහ විසින් අනුමැතිය ලබා දීම නිසා මේඝ විසින් එය ඉශිනි වෙත දන්වා යවා තිබිණි. අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කණ්ඩායම් සාමාජිකයන් හමුවීමට අවශ්‍ය බවට ඉශිනි කරන ලද ඉල්ලීමට අනුව ඒ සඳහා ඊලඟ දිනයේ වේලාවක් සකස් කර ගැනීමට සහ එය කණ්ඩායම් සාමාජිකයන්ට දැනුම් දීමට ශෙනෝලි හට සිදු වූයේ සවස් යාමයේය. ඉශිනි මේ ආකාරයට සංගීත කණ්ඩායම ඇසුරේ කාලය ගෙවීමට හේතුවක් සකස් කර ගන්නා ලද්දේ හිතා මතාම යැයි නොසිතා සිටින්නට ශෙනෝලි දැඩි වෙහෙසක් ගනිමින් උන්නාය.
ශෙනෝලි 5th Avenue හී නිල ඇඳුම් සැපයුම්කරු වෙත ගොස් 5th Avenue ස්ටූඩියෝව වෙත පැමිණෙන විට දහවල් දෙක පමණ විය්. ඒ වන විටත් කණ්ඩායම් සාමාජිකයන් සහ මේඝ එහි පැමිණ එය සුපුරුදු සංගීතමය හඬවල් වලින් පිරී ගොස් තිබිණි. ශෙනෝලි ස්ටූඩියෝවේ කෙලවරේ ඇති සෝෆාව වෙත ගොස් laptop පරිගණකය විවෘත කරගෙන තම සටහන් පොතද පිටතට ගෙන තවත් සුළු වේලාවකින් පවත්වන්නට නියමිතව තිබෙන සාකච්ඡාව සඳහා සූදානම් වූවාය.
” කවුරුහරි මට කියන්නකෝ මේ මීටින් එකේදි අපිට කන්න බොන්න දෙනවද කියලා ? ”
අශේන් විමසා සිටියේ සියල්ලන්ටම ඇසෙන්නටය. එයට පිළිතුරු දෙනවා වෙනුවට සියල්ලෝම මහා හඬින් සිනාසුනහ.
” සොරි අශේන්. කන්න බොන්න නම් නෑ ”
ශෙනෝලි සියල්ලන් වෙනුවෙන්ම වශයෙන් හට පිළිතුරු දෙමින් නැවත laptop පරිගණකය වෙත දෑස් යොමු කළාය. රිහාන් සියුම් ලෙස තම බේස් ගිටාරය වාදනය කරමින් කාලය ගත කළ අතර අනෙක් සාමාජිකයන් සහ මේඝ ද ඔවුනොවුන්ගේ කාර්යයන් වල නිරත වෙමින් කාලය ගෙවමින් සිටි මොහොතක දෙවරක් පමණ ස්ටූඩියෝවේ දොරට තට්ටු කළ ඉශිනි රූපවාහිනී නාලිකාවේ තවත් සගයන් දෙදෙනෙක් සමග ස්ටූඩියෝවට ඇතුළු වූයේ සවස තුන එළඹෙන්නට විනාඩි පහක් පමණ ඉතිරිව තිබියදීය.
” Welcome to 5th Avenue Studio ! Finally you are here ”
අශේන් සිනාමුසු මුහුණින් ඉදිරියට පැමිණ ඉශිනිව සහ අනෙක් දෙදෙනාව පිළිගෙන ශෙනෝලි වාඩි වී හුන් සෝෆාවට මෙහායින් වූ අසුන් කිහිපය ඔවුන්ට පෙන්වමින් ඔවුන්ට වාඩි වීමට ආරාධනා කළේය. ඒ අතරතුර ඉශිනි ඔවුන්ගේ පුණ්‍ය වැඩසටහනේ සැලසුම ඇතුලත් ලිපි ගොනුවක් මේඝ වෙත ලබා දී අසල හුන් රිහාන් දෙසද බලා සෝෆාවේ වාඩි වූවාය.
සාකච්ඡාව ආරම්භ වූයේ ඉශිනි සමග පැමිණි අයෙක් ඔවුන්ගේ වැඩසටහනෙහි කෙටි විස්තරයක් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වෙත ලබාදීමෙන් අනතුරුවය. එම වැඩසටහන සිදු වන්නේ ඒ තරම් ආධාර නොලැබෙන එහෙත් වැඩිහිටියන් විශාල සංඛ්‍යාවක් සිටින වැඩිහිටි නිවාසයක් මූලික කර ගෙනය.ඉන් පසුව ඉශිනි විසින් ඔවුන් ලබාදීමට සූදානම් වන ආධාර සහ බෙහෙත් පිළිබඳවද , එම වැඩිහිටියන් සතුටු කිරීම සඳහා පවත්වන්නට බලාපොරොත්තු වන සංගීතමය සන්ධ්‍යාව පිළිබඳවද වැඩිදුර විස්තර සඳහන් කළාය.
අනතුරුව කණ්ඩායම් සාමාජිකයන් විසින් ඔවුන්ගේ අදහස් පැවසූ පසුව මේඝ විසින් අවශ්‍ය තාක්ෂණික කාරණා ඇතුලු අනෙක් අත්‍යවශ්‍ය කාරණා පිළිබඳවද සාකච්ඡා කළේය.ශෙනෝලි ඇගේ අදහස් ප්‍රකාශ කරන අතරතුර සියලු කාරණා සටහන් කර ගනිමින් කාර්යබහුල වෙමින් උන්නාය.
රිහාන් තම අදහස් ප්‍රකාශ කරන සෑම මොහොතකම ඉශිනි ඇය දෙස බලා සිටින බැල්ම ශෙනෝලි කිහිප වරක්ම තම දෑස් වල ග්‍රහණයට හසුකර ගත්තාය. ඒ සෑම වරකම එයට අවධානය යොමු නොකරමින් දෑස් තම සටහන් පොත වෙත බර කරගන්නට ශෙනෝලි කටයුතු කළේ දැනටමත් හදවතෙහි පවතින රිදීම තවදුරටත් තීව්‍ර කර නොගෙන සිටින්නටය.
සියලු කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැය එකහමාරකට පසුව සාකච්ඡාව අවසන් කෙරිණි. ඉශිනි සහ අනෙක් දෙදෙනා කණ්ඩායම් සාමාජිකයන්ට සමුදී පිටව ගිය පසුව මේඝ ද හදිසි කටයුත්තකට පිටව යාමට අවශ්‍ය බව සඳහන් කරමින් ස්ටූඩියෝවෙන් ඉවතට ගියේය. අනතුරුව අනෙක් සාමාජිකයන්ද පුහුණුවීම් නොපැවැත්වෙන බැවින් පිටව ගියද ශෙනෝලි පමණක් පැවැත්වුණු සාකච්ඡාවේ කරුණු සාරාංශ ගත කර රොහාන් එදිරිසිංහ හට ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දීමට ඇති බැවින් ස්ටූඩියෝවේ නතර වූවාය.
සියල්ලන්ම පිටව ගිය පසු හිස්වූ ස්ටූඩියෝවේ සෝෆාව මත හිඳ ශෙනෝලි තම සටහන් පොතේ ඇති කරුණු දෙස නිසොල්මනේ බලා උන්නාය. විනාඩි කිහිපයකට පසුව අනපේක්ෂිත ලෙස ස්ටූඩියෝවේ දොර නැවත විවෘත වූයේය.
” ශෙනෝලි ”


