රිහාන් ගල් ගැසී තරුණිය අත ඇති ලිලී මල් කළඹ දෙස තවදුරටත් බලා උන්නේය.ඇය මදහසක් ඇතිව තවත් අඩියක් පමණ රිහාන් දෙසට තබා නතර වූවාය.
” මම ඉෂිනි. ඉෂිණි වර්ණකුලසූරිය “
ඇය බොහෝ කාලයක සිට රිහාන්ව හොඳින් දන්නා හඳුනන තැනැත්තියක මෙන් සිනාසී මල් කළඹ ඔහු වෙත දිගු කළාය.රිහාන් එය දෝතට ගත්තේ ඉතා ප්‍රවේසමිනි.
” මම රිහාන් ”
එවර ඉෂිනී සිනාසුනේ හඬ නගාය.
” මම දන්නවා ”
ඉෂිනිගේ සිනහවට රිහාන් ද එකතු වූයේය.
” මම ඔයාව අවුරුදු ගානක ඉඳලා දන්නවා “
ශෙනෝලි පසෙක සිට මේ සියල්ල බලා හුන් නමුත් රිහාන් හෝ නන්නාදුනන යුවතිය පවසන කිසිවක් ඇගේ සවනට ඇසුණේ නැත.යුවතියගේ මුවගේ රැඳී අව්‍යාජ සිනහව සහ දෑස් වල ඇති හැඟීම් හඳුනා ගන්නට ශෙනෝලිට ගත වූයේ තත්පර කිහිපයක් පමණි.
ප්‍රථම වතාවට ශෙනෝලිගේ හදවත බර වෙමින් තිබිණි.එය දුකක්වත් කෝපයක්වත් නොවීය. නමුත් එය හුදෙක්ම හඳුනා නොගත් බලාපොරොත්තුවක් හදිසියේ කඩවී යාමක් වැනි හැඟීමක් ම පමණක් විය. එය කුමක්දැයි හරියටම හඳුනාගන්නට වෙර දරමින් ශෙනෝලි තවදුරටත් බලා උන්නාය.
” මං ඔයාලා ප්ලේ කරන හැම කොන්සර්ට් එකකටම වගේ ඇවිල්ල තියෙනවා ”
” Really ? ”
ඉෂිනි රිහාන්ව පුදුමයට පත් කරමින් හුන් අතර ඔවුන් දෙදෙනා අතර වූයේ අඩි දෙකක පමණ පරතරයකි.
” හැමෝම බැලුවේ අශේන් දිහා. හැමෝම කතා කලෙත් අශේන් ගැන “
තරුණිය තව දුරටත් කියවා ගෙන යද්දි රිහාන් නිහඬව අසා උන්නේය. සැබැවින් ම එය සැබෑවකි. වේදිකාවේ අස්සක් මුල්ලක් නෑර තරණය කරන්නේ අශේන් නිසා සෑම විටම කැපී පෙනෙන්නේ ඔහුය.
“But I’ve always watched the bassist.”
තමා ඉදිරියේ සිටින සුන්දර තරුණියගේ දෑස් දෙස රිහාන් සෘජුව බැලුවේ ඒ වචන කිහිපයත් සමඟය.ජීවිතයට මිනිසුන් මුණ ගැසෙන්නේ අහම්බයෙනි.මෙයද එවැනි අහම්බයකි.
” ආපහු මට මල් එවන්න ඕනේ නම් අපේ ගෙදරට එවන්න එපා. මේ වගේ concert එකකදී හරි , මට පර්සනලි කතා කරලා හරි දෙන්න “
එවැන්නක් කීමට තමා ඉක්මන් වැඩි වූවා දැයි රිහාන් හට සිතුණේ එය කියා අවසන් වූ පසුවය. තරුණියද එවැනි දෙයක් තමා ඉදිරියේ සිටින කඩවසම් දේහධාරී තරුණයාගෙන් බලාපොරොත්තු නොවූ නිසා ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා උන්නාය.
” රිහාන් ඔච්චර වෙලා ෆෑන් කෙනෙක් එක්ක කතා කරනවා මං දැක්කමයි ”
මේඝ පැවසුවේ ශෙනෝලි අසලට පැමිණ නතර වෙමිනි. හදවත බර කරගෙන පියවර ගණනාවක් ඈතින් තරුණියක සමග කතාබහ කරන රිහාන් දෙස බලාහුන් ඇගේ කල්පනා ලොව බිඳ වැටුණේ මේඝ ගේ හඬටය.ශෙනෝලි සැනෙකින් අත වූ සංගීත කණ්ඩායමට අයත් උපකරණ ලැයිස්තුව දෙස බැලුවේ ප්‍රසංගයට රැගෙන ආ එම උපකරණ නැවත ඒ ආකාරයෙන්ම ස්ටූඩියෝව වෙත රැගෙන යා යුතු බැවිනි.
” ඔයා දැන් ඕක කී පාරක් චෙක් කරාද ශෙනෝලි “
” කී පාරක් චෙක් කරත් මදි මේඝ ”
ශෙනෝලි ලැයිස්තුව ද ගෙන වහා පිටවූවාය. මේඝ සමග කතාබහ ඉදිරියට කරගෙන යාමට තරම් උවමනාවක් ඇය තුළ ඒ මොහොතේ නොවීය.කොහේ හෝ ඈතකට වී තනි වන්නට උවමනාවක් පමණක් ශෙනෝලිට මොහොතේ දැනෙමින් තිබුණි.
සංවිධායක මණ්ඩලයේ සහායකයන් විසින් සංගීත කණ්ඩායමට අයත් සියලු උපකරණ සහ සංගීත භාණ්ඩ ස්ටූඩියෝවට පිටත් කර යැවූ පසු අශේන් ඇතුලු සාමාජිකයන් ඔවුන් පැමිණි වෑන් රථය වෙත නැග බලා සිටියේ මේඝ, ශෙනෝලි සහ රිහාන් පැමිණෙන තුරුය.
සෑම දිනකම පාහේ වෑන් රථයේ පළවෙනි අසුනේ වාඩි වීම රිහාන්ගේ පුරුද්දක් නිසා එම අසුන ඔහු වෙනුවෙන් තබා අන් අය පිටුපස අසුන් වල අසුන් ගෙන සිටියහ. රියදුරුට එහා පස වූ අසුන පුරුදු පරිදිම ශෙනෝලි වෙනුවෙන් වෙන් කර තිබූ නිසා ඇය අසුනට ගොඩ වන්නට සූදානම් වන විට දුටුවේ රිහාන්ගේ අසුන මත ප්‍රවේසමෙන් තබා ඇති සුදු පැහැ ලිලී මල් කළඹයි.
කොළඹ නගරය පසු කරගෙන වේගයෙන් ඉදිරියට ඇදෙන වෑන් රථය තුළ වූයේ දැඩි නිහැඬියාවකි. ඒ නිහඬ බව අතරේ සියල්ලෝම පාහේ වෙහෙසකර බවින් යුතුව අඩ නින්දේ පසු වුවත් ශෙනෝලි උන්නේ අවදියෙනි. වෙනදා නොවූ තරමේ හිස් බවක් ඇය වටා සැරිසරමින් තිබුණු අතර ඒ හිස් බව තුළ දරා ගත නොහැකි හැඟීමක් ඇයව දැඩි ලෙස පෙළමින් තිබිණි.
නන්නාදුනන තරුණිය සහ රිහාන් අතර සිදු කෙරුණු කතාබහ කුමක් වුවත් තරුණියගේ දෑස් වල ලියවුණු ගැඹුරු හැඟීම කුමක් දැයි ශෙනෝලි යළි යළිත් සිතුවාය. තමා මෙම සංගීත කණ්ඩායමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ වසර දෙකක සිටය.ඒ වසර දෙක ඇතුළත කාලයේ කණ්ඩායම් සාමාජිකයන් කෙරෙහි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ එකිනෙකට වෙනස් ආකාරයේ ප්‍රතිචාරයන් සහ ආදරයකි. විශේෂයෙන්ම අශේන් වෙත සහ රිහාන් වෙත වැඩි වශයෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරය අතිශය සාමාන්‍ය දෙයකි. එහෙත් අද සිදු වූ සිදුවීම ඒ සෑම මොහොතකටම වඩා වෙනස්ය. ආගන්තුකය. නමුත් ඒ ආගන්තුක බව ඒ මොහොතේදී රිහාන් සහ එම තරුණිය කෙරෙන් දිස්වූයේ නැත. ඔවුන් දෙදෙනාගේම හැසිරීම් වලින් දක්නට තිබුණේ ඔවුන් පෙර සිටම දන්නා හඳුනන බවකි.
සාමාජිකයන් කිහිප දෙනෙකුව ඔවුන්ගේ නිවෙස් වලින් ඇරලවූ පසුව වෑන් රථයේ ඉතිරි වූයේ ශෙනෝලි හැරුණු කොට මේඝ සහ රිහාන් පමණි. රිහාන්ගේ නිවස ඉදිරියේ වෑන් රථය නතර වූ පසුව ඔහු තමාගේ ඇඳුම් බෑගය සහ ලිලී මල් කළඹද ගෙන වෑන් රථයෙන් බැස හෙමින් සීරුවේ දොර වසා දැම්මේ මේඝ තද නින්දේ පසු වූ නිසාය.
” ගුඩ්නයිට් ශෙනෝලි ”
රිහාන් වෑන් රථයේ ඉදිරිපස දොර වෙත පැමිණ කීවේය. ශෙනෝලි දොර විවෘත කරගෙන රථයෙන් බැස දොර වසා තප්පර කිහිපයක් රිහාන් දෙස බලා උන්නාය.
” හෙට උදේ දහය වෙනකොට පේමන්ට්ස් වැටෙයි රිහාන් ”
වෙහෙසකර බව හැරුණු කොට ශෙනෝලි පසුවන්නේ කුමක් හෝ සිත් තැවුලකින් බව හඳුනා ගැනීමට රිහාන් හට අපහසු වූයේ නැත. ඇගේ වචන වල පවා තැවරී තිබුණු හිස් බව සහ ඇගේ දෑස් වල තැවරී තිබෙන මලානික බව ඒ සිත් තැවුල මනාව කියා පෑවේය.
” Are you alright ? ”
ශෙනෝලි දෙතොල් එකිනෙකට තද කර ගෙන බලා උන්නේ කිව යුත්තේ කුමක් දැයි තෝරා බේරා ගත නොහැකිවය. ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් බලා සිටි රිහාන් අඩ අන්ධකාරයේ පෙනෙන මලානික යුවතියගේ මුහුණ හොඳින් නිරීක්‍ෂණය කළේය.
” ශෙනෝලි ? “
ශෙනෝලි පියවි ලෝකයට පැමිණ රිහාන් දෙස තවදුරටත් බලා උන්නාය.
” මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ? “
” ආ.. ”
” ඔයා හොඳින්ද ? ”
රිහාන් නැවත ඇසුවේය. ඒ පැනයෙහි තැවරී තිබුණේ ආඩම්බරකාර තරුණයාගේ සුපුරුදු ස්වරයමය.
” ඔ… ඔව් ”
” ඔයාගේ මූණ හරි නෑ ”
තෙත් වූ දෙනෙත් වලින් රිහාන් දෙස බලා සිටීමට තව දුරටත් නොහැකි බැවින් ශෙනෝලි වහාම ඉවත බලා ගත්තාය.
” මේඝ මොනා හරි කිව්වද ? එහෙම නැත්‍තම් ඔයාට මහන්සිද ? ”
රිහාන් උන්නේ ව්‍යාකූල වීය. කිසිදු අභියෝගයක් හමුවේ නොසැලෙන ශෙනෝලි මේ මොහොතෙහි කුමක් හෝ හදවතෙහි දරා ගෙන හිඳිනා අතර ඒ දරා ගැනීම ඉක්මවා යන බවක් ද පෙනෙන්නට ඇත.
” එහෙම මුකුත් නෑ රිහාන්. යන්නම් ”
ශෙනෝලි සූදානම් වූයේ නැවත වෑන් රථයට නඟින්නටය. තෝරා බේරාගත නොහැකි, මේ යැයි කියා හඳුනා ගත නොහැකි හේතුවකට හදවත රිදෙමින් තිබියදී තව තවත් එය රිද්දා ගත යුතු නැති බැව් ශෙනෝලිට හැඟෙමින් තිබිණි.
” ඔහොම ඉන්න ”
ශෙනෝලි ඉදිරියට තැබූ පියවර නතර කර ගත්තාය. අනතුරුව රිහාන් දෙස බැලුවාය.
” ඔයා මොකක් හරි අවුලක නං ඉන්නේ ඒක කියන්න. මොකද ගෙදර ගිහින් ඔයාට ඒක කියන්න කවුරුත් නෑ කියලා ඔයත් දන්නව මාත් දන්නවා ”
” එක අතකට මට කවුරුත් නැති එක හොඳයි රිහාන් “
” මොකක්ද ඒ කතාවේ තේරුම ? ”


