5th Avenue – 4

0
86

ශෙනෝලි තවදුරටත් මුනිවත රැක්කාය. සරල ප්‍රශ්නයක අඩංගු වූ බර ඇයට තදින්ම දැනෙමින් තිබිණි. වේගයෙන් වැටෙන හුස්ම පාලනය කර ගන්නට ඇය වෙහෙස දැරුවේ දුරකථනය තව තවත් කනට තද කර ගන්නා අතරතුරේය. දිගු දිනයක අවසානයේ මෙතෙක් කල් කිසිවෙකු විසින් නෑසූ යමක් තම සමීපයේ රැඳී ඉන්නා ආඩම්බරකාරයා ඇසූයේ මන්දැයි ඇය තවත් තත්පර ගණනාවක් පුරාවට කල්පනා කළාය.

” Are you there ? ” 

ශෙනෝලි තිගැස්සී ගියේ රිහාන්ගේ බරැති හඬ නැවතත් අනෙක් පසෙන් ඇසෙද්දීය.

” කි.. කියන්න රිහාන් ” 

” කියන්න නෙමෙයි මං ඔයාගෙන් දෙයක් ඇහුවා “

ශෙනෝලි ආයාසයෙන් තම මුහුණේ මදහසක් ඇඳ ගත්තාය. 

” නෑ.. මං කෑවේ නෑ ” 

” Exactly ” 

රිහාන් ස්ථීර සහ පහත් හඬින් මිමිණූ නමුත් දුරකථනය කණට තද කරගෙන හුන් ශෙනෝලි හට එය පැහැදිලිව ඇසිනි.

” What exactly ? ” 

ශෙනෝලි ගෙන් එවදන් පිටවූයේ ඉබේටමය.රාජකාරී මට්ටමෙන් හැරුණු කොට මෙවැනි දිගු සංවාද තමා හට කෙදිනක වත් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ තිබුණේ නැත.එබැවින් එය වෙනස් කරන්නට හේතු වූ කාරණාව සිතන්නට ද ශෙනෝලි වෙහෙස නොවී උන්නාය.

” මං දැනගෙන හිටියා , ඔයා බෑන්ඩ් එකේ හැමෝවම බලා ගන්නවා, කන්න බොන්න ටිකත් ගෙනල්ල දෙනවා,ඔයාට අදාලම නැති හැමෝගෙම ප්‍රශ්නත් විසඳලා දෙනවා , and then  එක විනාඩියකටවත් ඔයා ගැන හිතන්නේ නැතුව ගෙදර එනවා “

රිහාන්ගේ හඬෙහි වූයේ රුදු බවකි. ඔහුගේ ස්වරය ස්වභාවයෙන් එසේ වුවත් මෙහි ඇත්තේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් වූ ස්වරයකි. දෙමව්පියන්ගේ අභාවයෙන් පසුව මුළුගැන්වී සිටි තමාව කාගේ හෝ අවධානයකට ලක්වීම ශෙනෝලි හට පුරුදු දෙයක් වූයේ නැත. එබැවින් මේ ගෙවී යන්නේ ඉතා නුහුරු නුපුරුදු විනාඩි ගණනාවකි.

” I was just tired Rihan ” 

ශෙනෝලි එසේ මුමුණද්දී රිහාන්ගේ මුහුණට නැගුනේ උපහාසාත්මක සිනහවකි. රාජකාරියේ දී කිසිවිටෙකත් නිදහසට කරුණු නොකියන තරුණිය ජීවිතය ඉදිරියේ නිදහසට කරුණු සොයමින් සිටියි

” ඒක excuse එකක් නෙමෙයි ශෙනෝලි  “

රිහාන් පිළිතුරු දුන්නේ පෙරටත් වඩා හඬ මඳක් උස් කරය. තම වටා සිටින සියල්ලන් තමා මත යැපෙද්දි , තමා පිළිබඳව සිතන කිසිවෙකු විසින් හෝ තමාට බැණ වැදීම සැබවින්ම ශෙනෝලි හට හුරු පුරුදු බවක් ගෙන ආවේ නැත. 

” ගිහින් කන්න ” 

එය විධානයකි. අම්මාට සහ තාත්තාට පසුව තමාගේ යහපත වෙනුවෙන් තමාට ලැබුණු ප්‍රථම විධානය එයය.

” මොකද්ද ? ” 

” ඔයාට ඇහුන ශෙනෝලි මං කියපු දේ “

රිහාන් නැවත විධානයක ස්වරූපයෙන් පවසද්දී ශෙනෝලි හඬ නගා සිනාසුනාය. ඒත් රිහාන් ඒ සිනහවට එකතු නොවී උන්නේ හිතාමතාමය.

” ඔයා මට අණ කරනවද දැන් ? ” 

” Someone has to !!! “

ඒ වචන කිහිපයේ වූයේ මෘදු බවකි. තමා කෙරෙහි ළෙන්ගතු බවකි. ශෙනෝලි එය ඉදිරියේ හඬ නගා කෙරූ සිනහව සිහින් සිනාවක් බවට පරිවර්තනය කර ගත්තාය. කවුරුන් හෝ තමා වෙත අවධානය ලබා දෙද්දී එයට නිගරු කළ යුතු යැයි සිතුවාය.

“Fine, Mr. Bass guitarist. I’ll eat.”

මොහොතකට දෙදෙනා අතර වූයේ නිහඬියාවකි. තත්පරයෙන් තත්පරය ගෙවී යද්දී දෙදෙනාම උන්නේ නැවත කතාවට අවතීර්ණ වන්නට මගක් සොයමිනි.

” කොහොම හරි ,අපි අද පටන් ගත්ත කතාව හෙට ඉවර කරන්න ඕනේ . දහයට ස්ටුඩියෝ එකට එනවනෙ කොහොමත් “

රිහාන්ගෙන් එවදන් පිටවෙද්දී ශෙනෝලි ගේ මුහුණේ යන්තමින් ඇඳී තිබුණු සිනාව මැකී ගියේය. 

” රිහාන් ඔය මේඝ ගේ ප්‍රශ්නෙ ගැන ඒ තරම් වොරි වෙන්න ඕනේ නැහැ.It ‘ s not a big issue ” 

“That’s exactly the problem Shenoli.You think everything that hurts you is not a big issue.”

රිහාන් කෝපයට පත් වූ බවක් පෙනෙන්නට තිබිණි. ඇත්ත වශයෙන්ම එය රිහාන් පමණක් වද වන කාරණාවක් නොවේ. කණ්ඩායම තුළ සිටිනා සියල්ලන් විසින්ම හඳුනා ගෙන ඇති කාරණාවකි. එහෙත් මේ තරම් ඒ පිළිබඳව හඬ නගන්නේ ඔහු පමණය.සමහරවිට ඒ කණ්ඩායමට ඔහු සතුව ඇති ආධිපත්‍ය සහ අයිතිය නිසා විය හැකිය.

” Good night ශෙනෝලි ” 

ශෙනෝලි පිළිතුරු දෙන්නටත් පෙර රිහාන් ඇමතුම අවසන් කළේය. ශෙනෝලි සුසුමක් හෙලා යහනේ වැතිරුණේ දුරකථනය පසෙක තබාය. යහන ඉදිරියේ වූ බිත්තියේ එල්ලා ඇති පවුලේ ඡායාරූපය වෙත එල්ල වූ ඇගේ දෑස් වලින් කඳුලක් වැටුනේ නිරායාසයෙනි. එහෙත් මෙවර ඒ කඳුළ තමා මේ නිවසේ තනිවී සිටීම පිළිබඳව නොවේ. තමා පිළිබඳව කවුරුන් හෝ අවධානය යොමු කිරීම පිළිබඳවය.

පසු දින උදෑසන ශෙනෝලි අවදි වූයේ හිරු එළිය තිර රෙදි අතරින් මුහුණට වැටෙද්දීය. දෑස් විවර නොකරම තවත් විනාඩි ගණනාවක් එලෙසම ගතකරමින් ඇය කල්පනා කලේ නින්ද තමා වෙත පැමිණියේ කොයි මොහොතේදීදැයි කියාය. එකෙනෙහිම ඇයට සිහිවූයේ පෙර දින රාත්‍රියේදී රිහාන් සමග කෙරුණු දුරකථන සංවාදය ය.

හදිසියේම යමක් සිහිපත් වූ ශෙනෝලි දෑස් විවර කර වේගයෙන් යහනෙන් බිමට පැන්නේ යහන අසල තබා තිබූ කුඩා ඔරලෝසුවේ සටහන් වෙලාව බලමිනි

” දෙයියනේ.. දහයයි ” 

ශෙනෝලි නැවතත් යහන මතට පැන සුවපහසු ඇතිරිල්ලත් , විශාල කොට්ටත් එහා මෙහා කරමින් දුරකථනය සොයා ගත්තාය. නිහඬ කර තිබූ එහි මගහැරුණු ඇමතුම් සහ කෙටි පණිවිඩ කිහිපයක්ම සටහන් වී තිබිණි. හදවත වේගයෙන් ගැහෙද්දී තත්පර කීපයකට නැවතුණු ශෙනෝලි නැවත යහනෙන් බිමට බැස ගොස් අත් බෑගය තුළ වූ රාජකාරී දුරකථනය ද පරීක්ෂා කළාය. එහි වූ මගහැරුණු දුරකථන ඇමතුම් අතර වැඩිපුරම ඇමතුම් ලැබී තිබුණේ මේඝ ගෙනි. පසුගිය අවුරුදු දෙක පුරාවටම කෙදිනකවත් තමා රාජකාරී කටයුතු සඳහා ප්‍රමාද වී නැත.  සියල්ල පරීක්ෂා කර බලා සියල්ල හැඩගස්වන්නේද, සියලු කටයුතුවල පිළිවෙල සකසන්නේද , දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වන්නේද තමාය. අද තමාගේ පැමිණීම වෙනුවෙන් සියලු දෙනාම බලා සිටිනවා වන්නට ඇත

ශෙනෝලි කවරදාකවත් නොවූ තරමේ හදිසියකින් අල්මාරිය විවෘත කළ ශෙනෝලි අතට අසුවූ ඇඳුමක් යහන මතට විසිකර නාන කාමරය වෙත දිව ගියාය.

වේගයෙන් එහා මෙහා දුවමින් සූදානම් වී නිවසින් පිටතට දිව ආ ශෙනෝලි ගේ සිතුවිලි ඊටත් වඩා වේගයෙන් දිව යමින් තිබිණි. තමාගේ ප්‍රමාදය විශේශයෙන්ම මේඝ හට විශාල ගැටලුවක් නොවේවා යැයි ප්‍රාර්ථනා කරමින් ඇය ත්‍රී රෝද රථයට නැගී වේගයෙන් පසු වන ගොඩනැගිලි දෙස නොසන්සුන්ව බලා උන්නේ කාලයද වෙනදාටත් වඩා ඉක්මනින් ඉගිල යන බැව් සිතමිනි.

ශෙනෝලි ස්ටුඩියෝව වෙත පැමිණෙන විට වේලාව උදෑසන 11 ද පසුවී තිබිණි. 5th Avenue Studio යැයි විශාල අකුරෙන් සඳහන් කර තිබෙන විශාල දොරටුව දෙස බලාගෙන තවත් වෙලාවක් ගත කරමින් ශෙනෝලි නතර වී උන්නේ ඊළඟ මොහොතේදී කුමක් සිදු වේදැයි බියෙනි. අනතුරුව ඇය අත් බෑගය ළයට තුරුළු කරගෙන සියලු වෙර යොදා දොර විවෘත කර ගෙන ස්ටුඩියෝවට ඇතුලු වූ අතර ගීයක මැද භාගය පුහුණු වෙමින් සිටි සියල්ලෝම එය නතර කර ශෙනෝලි දෙස අවධානය යොමු කළේද , පසෙක සිට වෙනත් කාර්යයක නිරතවී හුන් මේඝ ඉදිරියට පැමිණියේද තත්පර ගණනාවක් ඇතුළත දීය.

” අනේ I am sorry. මං දන්නව මං ගොඩක් පරක්කුයි ” 

ශෙනෝලි සමාව අයදින ස්වරයෙන් සියල්ලෝම දෙස බලා පැවසුවේ පසුතැවීමෙනි. ඊටත් වඩා මේඝ ඉදිරියට පැමිණීම ඇයව වඩාත් බියට පත්කර තිබිණි.

” I am really sorry මේඝ. ෆෝන් එක බෑග් එකේ තිබුණේ. මගේ පර්සනල් ෆෝන් එකත් සයිලන්ට් කරලා. මට ඊයේ නින්ද ගිය පොඩ්ඩක් පරක්කු වෙලා. ඇහැරෙද්දි 10 යි.අනේ ආයේ එහෙම වෙන්නෑ ” 

පාසලකට ප්‍රමාද වී පැමිණි කුඩා ළදරියක සේ පමණට වඩා බියපත් වී දෑස් බිමට බර කරගෙන බියට පත් වී හුන් ශෙනෝලි පිළිබඳව සියල්ලෝම පුදුමයට පත්වූහ.

” ඔයා ඔච්චර careless උනේ කොහොමද ශෙනෝලි ඇත්තටම ? ඔයා දන්නවද ඔයා නිසා මෙතන කී දෙනෙක් බලන් හිටියද කියලා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here