පසළොස්වක මල් – 28

0
423

තරු නැඟෙනා තුරු නිදිබර අඹරේ

සඳු නැඟෙනා තුරු සිටියදි අඳුරේ

ඔබ සුපුන් සඳක් සේ පායා

පහන් රැයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි

දිවි අරණේ මධු මල් පිපෙනා

බිඟු රැව් නැඟෙනා

මේ ප්‍රථම වසන්තයයි

සිත පවස දරා මිරිඟුව අතරේ

දිය පහස පතා සිටියදි කතරේ

ඔබ සිහිල් දොළක් සේ පාවී

වසන්තයක් සේ ආවේ…

ලයාන්විතව ගැයූ ගීය අවසානයේ දුරකතනයේ රැඳි ඔහුගේ ජායාරූපයක් දෙස එක දිගට බලා සිටි ඈ සෙමින් සෙමින් එහි ඇමතුම් ගොනුවේ ඇති ඔහුගේ අංකය මතද දෑඟිලි ගෙන යමින් සිටියාය . 

” සතුටින් ඇතිනේ දැන් , මං නෑනේ.. පාඩුවේ ඉන්නනේ ඕනේ කිව්වේ “

හදවත පතුළෙන් මතුව එන වේදනාව ඊ තුඩු මෙන් සියොළඟම රිදවද්දී ඈ දිගටම කඳුළු පිරි නෙතින් දුරකතන අංකය දෙස බලා සිටියාය. තවත් මොහොතක් සිටි වනම සිටි ඈ ඉකි ගැසෙන හදින් යුතුව ඇමතුමක් ලබා ගත්තාය.

” හෙලෝ…!” 

කිසිදු කරුණාබර හඬක් නොවුණු ඇමතුම දිගෙහි නැඟ ආ කටහඬට දෑස තද කර  පියා ගත් ඈ තදින් තොල් පට සපා ගත්තාය.

” හෙලෝ..! “

නැවත වතාවක් ඇමතුමේ අනෙක් පසින් ගොරහැඬි හඬ නැඟ ආ අතර ඈ සෙමින් දෑස විවර කළාය.

” ආ.. ආන්ටිට කතා කරන්න ගත්තේ. මං .. මං එයාගේ ෆෝන් එකට ගත්තා , ආන්සර් කළේ නෑ.”

” මං ගෙදර නෙමෙයි ඉන්නේ. “

” හා.. සොරි. “

ඇමතුමේ අවසානය එය බව හොඳින්ම පසක් වුවද එය අවසන් කිරීමට ඒ පසින් හෝ මේ පසින් කිසිවෙකුත් එයට ඉදිරිපත් නොවුණි.

” තියන්නං “

” ගෙදර ලෑන්ඩ් ලයින් එකට අරන් බලන්න. “

” හා.. තියන්නං “

” හ්ම්ම්..!” 

” සමන් දෙයියන්ගෙ පිහිටයි “

එවර වළක්වා සිටි ඉකිය වහා මුවින් ගිලිහුණි. 

” අඬන්නේ මොකද ?” 

” ආ.. ? නෑ.. මේ..හෙම්බිරිස්සාවක් හැදිලා , මෙහෙ සීතලට. ඒකයි “

” මොකටද ගියේ ?” 

කඳුළු පිරි දෑස එකී තරවටුව හමුවේ මඳක් සිහින් වී වැටිණි.

” සැනසිල්ලේ ඉන්න ඇතිනේ මේ දවස් දෙකේ ?” 

”  හ්ම්ම්.. ” 

” බ.. බය වෙන්නෙපා. මාමා කිව්වා ඉක්මනට ඔහෙන් ගෙයක් ගන්නවා කියලා. එ.. එතකොට කරදරේ නැතිවෙයි මගේ. මේ දවස් දෙකේ සැනසිල්ලේ හිටියා වගේ ඊට පස්සේ දිගටම ඉන්න පුලුවන් “

” හ්ම්ම්..! ” 

” තියන්නං “

එසේ පැවසූ ඈ තවත් කල් නොගෙනම ඇමතුම විසන්ධි කර දැමුවාය. 

” උද්දච්ච කටු බැබුනා.. මටත් ලැජ්ජ නෑ . දැන දැනම යනවා එල්ලි එල්ලි කතාවට.”

යහන අසල වූ කැඩපතින් පෙනෙන තම රුව දෙසම ඈ ඔරවා බැලුවාය. 

********************************************

මැදියමද පසුව මිනිත්තු කිහිපයක් ගතව ඇති කළ අඩ නින්දේ උන් මහීකා නිවසේ ප්‍රධාන ගේට්ටුව විවර වන හඬට අවදිව අඳුරේම යහන මත හිඳ ගත්තාය. ඉන්පසුව පිළිවෙළට වැඩිමහලු පුත්‍රයාගේ මෝටර් රථය නිවසට ඇතුළු වන හඬත් , නැවතත් ගේට්ටුව වැසී යන හඬත් , නිවසේ ප්‍රධාන ද්වාරය විවර වී යළි වැසී යන හඬත් වෙත සවන් යොමා උන් ඈ අඳුරේම පැමිණ නිදන කාමරෙන් පිටතට පැමිණ උඩු මහල වෙත දෑස යොමු කළාය. තරප්පු පෙළ නැඟ යන ආකාරයටම ඔහු සිටින්නේ අධික බීමතින් බව වටහා ගත් ඈ විසල් බර සුසුමක් හෙළුවාය. 

හැඳ සිටි උඩු කමිසය ගලවා පුටුවක් මතට දැමූ තරුණයා දල්වා ගත් දුම් වැටියක්ද සමඟ සඳලුතලයට ගොඩ වී එහි වූ ලී පුටුවකට බර වූයේය. බොහෝ වේලාවක් අඳුරේ ගිලි ගිය එහි කෙළවර නිදන කාමරය වෙත මත් වුණු දෑස යොමා සිටි ඔහු නිහඬවම දුරකතනය අතට ගත්තේය. දුරකතනය මත දෑස රඳවා එක දිගට බලා සිටි ඔහු නිදන කාමරයට පැමිණි මව දැක වහා හිඳ උන් අසුනෙන් නැඟිට දුම්වැටිය වූ අත පසුපසට කර ගත්තේය. 

” නිදි නැද්ද අම්මා ?” 

” ඔයා එන සද්දෙට ඇහැරුණේ. කෑම මේසෙට යවන්නද ලොකූ ?” 

” එපා අම්මා. “

” එහෙනං තේකක් හදන්නද ?” 

” එපා.. ඕන්නෑ..”

දැල්වී තිබූ දුරකතන තීරය ඉදිරියේ මිහිදුමී මහවලතැන්නගේ සමාජ මාධ්‍යය ගිණුමේ ඇති ඇගේ ජායාරූපය දුටු මහීකා එය නුදුටුවා සේ ඉවත බලා ගත්තාය. 

” ඔයා ප්‍රශ්නෙකද ලොකූ ?” 

” එ.. එහෙම දෙයක් නෑ අම්මා. “

” හැමදේම හිතේ හංගන් ඉන්නෙපා ලොකූ. හිතේ තියන දේවල් අපි එක්ක කියන්නකෝ. මොකද අපි පිට මිනිස්සුද ? “

” අම්මා..?” 

” කොයි තරම් කාලයක්ද ? අවුරුදුම කීයක්ද ලොකූ ? දැන්වත් ඔයාට ඇති වීමක් නැද්ද ? ” 

” අම්මා.! මට අවුලක් නෑ . මං හොඳින්. “

” මං ඔයාගේ අම්මා. ඔය හිත ගැහෙන්න පටන් ගත්තේ මගේ ඇඟ ඇතුළේ ලොකූ. ඒ නිසා අනිත් අයට කියන බොරු මට කියන්නෙපා. මං රැවටෙන්නෑ. “

තත්පර කිහිපයකට පසු ඔහු දිගු සුසුමක් හෙළුවේය.

” නිදාගන්න අම්මා. රෑ වෙලා.”

” හ්ම්ම්..!” 

තව දුරටත් පුත්‍රයා හා වචන දෙඩීම ඵල රහිත බව වටහාගත් ගත් ඈ නිහඬවම යළි හැරුණාය.

” අම්මා..!” 

” ම්ම්ම් ?” 

” මේ.. මේ.. මිහිදුමී..!” 

” ඔව් ඉතිං ?” 

මෙතෙක් පැවති සියලු සංඛා දුරුව ගිය මහීකාගේ දෑස ප්‍රීතියෙන් දිළිසුණි. 

” නෑ.. මං මේ කියන්නේ.. ඔහොම ඉඳලා මොකද කරන්නේ ? දවස් දෙකක්නේ ගමේ ගිහිල්ලා. ලෙක්චර්ස් පාඩු වෙන්නැද්ද ?” 

හදවත තුළ උපන්න ප්‍රීතිමත් හැඟීම් පිටට ඒමට නොදී ආයාසයෙන් එය රඳවා ගත් මහීකා තවත් මොහොතක් නිහඬවම සිටියාය. කලාතුරකින් හෝ සාකච්ජාවට බඳුන් නොවන වැඩිමහලු පුත්‍රයාගේ තරුණියක් ගැන වූ විමසුම ඇගේ හදවත ප්‍රීතියෙන් පුරවා තිබිණි. 

” හෙට එනවා කියලනේ ගියේ. හැබැයි හෙට එන එකකුත් නෑ. සිකුරාදත් ඉඳලා , වීකෙන්ඩ් එකත් ඉඳලම එයි. විශාඛා අක්කා දවල් කතා කරපු වෙලාවේ එහෙම එකක් කිව්වා. “

ඈ දෑස කරකවා ඔහු දෙස බැලුවද ඒ බැල්ම තිබුණේ ගන අන්ධකාරයේ බොහෝ දුරකය. 

” අම්මා නිදා ගන්න ගිහිල්ලා. “

” හ්ම්ම්.. ගුඩ් නයිට්..!” 

” ගුඩ් නයිට් අම්මා..!” 

මහීකා ඇවිද යන දෙස හැරී බැලූ ඔහු නැවත වාරයක් හිඳ උන් පුටුවට වැටී දුම් වැටිය ඉරීමට පටන් ගත්තේය. 

හුරු පුරුදු නිදන යහනේ සුවදායක නින්දක ගිලී වුන් තරුණිය තිගැස්සී අවදි වූයේ සවන අසලම නද දෙන දුරකතනයේ හඬටය. තිගැස්සී අවදි වුවද තවත් තත්පර කිහිපයක් දුරකතන තීරය මත ඇති අංකය කෙරෙහි පුදුම සහගත දෑසින් බලා සිටි ඈ ඇමතුම විසන්ධි වීමට ඔන්න මෙන්න කියා තිබියදී වහා එය අතට ගත්තාය. 

” හෙ.. හෙලෝ…!” 

නැත , අනෙක් පසින් පෙරළා කිසිදු පිළිතුරක් නැත. 

” හෙලෝ..!” 

” ආ.. අහ්. . මේ.. නිදිද ?” 

ඈ නැවත දුරකතනය දෑස ඉදිරියට ගෙන එහි වේලාව බැලුවාය. 

” මහ රෑ දොළහත් පහුවෙලා නිදාගන්නැතුව දළු කඩන්නයෑ..?” 

යටිසිතින් තමාටම මුමුණාගත් ඈ වෙනදා නොවූ අයුරින් වෙනස්ව ඇති පිරිමි ස්වරයට ඉව ඇල්ලුවාය.

” ඔව්. නිදාගෙන හිටියේ.”

” ආ.. මේ.. මං.. දැන් සනීපද බලන්න ගත්තේ. ” 

” මට ?” 

” ඔව්. දවල් හෙම්බිරිස්සාවක් කිව්වේ ” 

”  ආහ්.. ඒකද ? මේ.. මේ.. ඔයා බීලද ඉන්නේ?” 

වහා ගෑනු ඉවෙන් හරිම නාඩිය අල්ලා ගත් ඈ දෙවරක් නොසිතාම විමසුවාය. 

” ඔව්. “

පැනය ඇසෙන පමාවටම පිළිතුර ලැබිණි.

” රෑ.. රෑට කාලද ?” 

” තාම නෑ..”

” කෑමට හරියන්නද බිව්වේ ? “

එවර කිසිදු පිළිතුරක් නොමැතිව නිහඬ තත්පර ගණනක් ගෙවී ගියේය. 

” නිදාගන්න කලින් තේ එකක්වත් බොන්න. “

” අම්මයි , සරෝජා නැන්දයි දෙන්නම නිදි. හදලා දෙන්න කෙනෙක් නෑ. “

පෙරට වඩා මහත් මන්ද ස්වරයක් ගත් පිරිමි හඬට අනෙක් පස වූ ඇගේ දෑස තදින් පියවිණි.

” ත.. තනියම හදාගන්න බැරිද ?” 

” බෑ.. ඔහොම ඉඳලා ලෙක්චර්ස් පාඩු වෙන්නැද්ද ?” 

” යාලුවන්ගෙන් ඉල්ලගන්න පුලුවන් “

” හරි ශෝක් උත්තරේ. ඇබ්සන්ට් වෙලා බලනවකෝ අන්තිමට වෙන දේ.. “

ස්වරය උස් හඬින් වීම නිසාම මඳ කෝපයක් ස්ත්‍රී හදවතට ඇතුළු විය.

” ඇයි ඉතිං කෑ ගහන්නේ ?” 

සුවබර නින්දකට සම වැදී උන් තමා රෑ මැද අවදි කරවා ගිරිය පුප්පන තරුණයා වෙත ඇගේ නොරිස්සුම එලෙස පිට විය. 

” කෑ ගහන්නේ මට ඕන හින්දා. “

” අනේ.. මේ මිස්ටර් විජේසිංහ..! ඔයාට ඕනෙනං වෙන කාටහරි ඔය සැර ටික පෙන්නන්න හරිද. මට විතරක් ඔහොම පුප්පන්න එන්න එපා.” 

” මොකද්ද කිව්වේ ? තමුන්ට හැම එකා එක්කම මුකුළු කරන්න පුලුවන් , හතර වටේම ඉන්න උන්ට අයියා අයියා ගාන්න පුලුවන්. මට මොකද්ද ඔය කතා කරන විදිහ?” 

” ආ .. ඒකද ? ඒක එහෙම තමයි. මට බෙදන්නේ හැන්දෙන් නං මං මොකටද සවලක් අතට ගන්නේ ?” 

පිළිතුරක් නොවුණු අනෙක් පසින් ගැඹුරු හුස්මක ස්වරයක් පමණක් ඇසුණේය. 

” අනික මං හොඳ නින්දක හිටියේ. එහෙම නින්දේ හිටපු මාව ඇහැරවලා ඔහොම කඩා පනින එක සාධාරණද ?” 

” හරි නිදාගන්න. සොරි. “

” තියන්නෙපා..!” 

සියලු කෝපාවිෂ්ට ස්වරයන් ක්ෂණිකව නිමී ගිය අතර ඈ වහා ඔහුගේ සමුදීම වැළැක්වූවාය. 

” කිචන් එකට ගිහිල්ලා තේ එකක් හදාගන්නවද ? මං හදන විදිහ කියන්නං “

” දැන් එපා. “

ඉල්ලීම සේම එයට ලැබුණු පිළිතුරද පෙරට වඩා බොහෝ පහත්ය.

ඉක්මණින් එන්න යැයි ඉල්ලීමට සිත නැවුණද ,දිව නොනැමුණේය. ආයාසයෙන් විපරීත වන හදවත අල්ලා දරදඬු කර ගත් ඔහු තදින් හුස්මක් ගෙන ළය පුරවා ගත්තේය. තත්පරය, දෙක තත්පර කිහිපයක් යන තුරුම කාලය දෙපසින්ම නිහඬව ගලා ගියේය.

” තියන්නං , නිදාගන්න. “

ඈ පිළිතුරක් දීමට පෙරම ඇමතුම විසන්ධි කර දැමූ ඔහු ලී මේසය මත වේදනාවෙන්ම හිස තද කර ගත්තේය. 

” තමුසෙට තිබුණේ මාවත් මරාගෙනම මැරෙන්න වස්තු… එහෙම උනානං මං මෙච්චර විඳවන්නෑ. “

අත වූ දුම්වැටිය කොටය පසෙකට විසි කළ ඔහු දෝතින්ම හිස බදා ගත්තේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here