පසළොස්වක මල් – 29

0
572

” දෙයි හාන්දුරුවනේ.. ! මේ මහවලතැන්නලාටනං පිස්සු “

දහවල් එකොළහ පමණ විට මිහිදුමී පැමිණි වෑන් රථය පුරවා රැගෙන ආ බඩු මලු සියල්ල විජේසිංහ නිවසේ මුළුතැන්ගෙහි තැබූ පසු මහීකා සුරත නළල මත තබමින් පැවසුවාය. 

” එදා එද්දිත් මොන තරම් දේවල් ගෙනාවද දුමී ? ඇයි ආයෙම මේ ?” 

” ඒවා නං බේරගන්න ඕනේ අපේ අම්මාත් එක්ක ආන්ටී..”

“ශෝක් උඳු වළලු ටික නෝනා.. !” 

මිහිදුමී රැගෙන ආ රසකැවිලි පාර්සලයෙන් උඳු වළල්ලක් රහ බැලූ සරෝජා දෑසද නටවමින් පැවසුවාය.

” අර කහ පාට බෑග් එකේ කෑම ටික වෙනම තියන්න සරෝජා නැන්දා. ඒක සුභාවි අක්කට දෙන්න ඕනේ. “

” හොඳමයි චූටි නෝනා..”

” ලොකූ ඊයේ එද්දි රෑ දොළහත් පහුවෙලා. එවෙලේ මගෙන් ඇහුවා ඔයා අද හෙට එන්නැද්ද කියලා. මං ඒත් කිව්වා වීකෙන්ඩ් එකත් ඉඳලම එයි කියලා. “

උවන මත මඳ ලැජ්ජාශීලී හැඟීමක් ජනිත වුවද එය නොපෙන්වා සිටීමට උත්සාහ දරන තරුණියගේ හැසිරීම මහීකාගේ පරිණත ඉවට හොඳින් දැනුණි. 

” කෝල් එකක් නෝනා..”

නාද වන ජංගම දුරකතනය අතට ගත් මහීකා එහි ඇති නම දැක මුව ඇද කළාය. 

” ලොකු මහත්තයා දැන්ද නැඟිට්ටේ ?” 

” අම්..මා…!” 

” මොකද කෙඳිරිගාන්නේ ? රෑ දෙගොඩ හරිය වෙනකන් බීලා, ඇවිල්ලා දැන් කතා කරගන්නවත් පණ නැද්ද ?” 

එතෙක් ප්‍රීතියෙන් බරව උන් තරුණ දෑස වේගයෙන් සසැළිණි. දහවල් එකොළහත් පසුව ඇත. පෙරදින රැයේ පැවසූ ආකාරයට ඔහු සිටින්නේ හිස් වූ කුසින්ය. ඉවත බලා සිටියද ඈ සවන මහීකාගේ ඇමතුම වෙතම රඳවා ගනිමින් උන්නාය. 

” හා.. හා.. අරන් එන්නං “

ඇමතුම විසන්ධි කළ මහීකා දුරකතනය පසෙකට කර යළි මිහිදුමී දෙසට හැරුණාය. 

” ඊයේ රෑ ආවේ හොඳටම බීලා. දැන් නැඟිට ගන්නවත් පණ නෑ. තේ එකක් අරන් උඩට එන්නලු. මටත් තියන වදේ පේනවා නේද ?” 

” ඔන්නොහේ කාවහරි හොයලා දැන් නං බලෙන් හරි බන්ඳලා දෙන්න තියෙන්නේ නෝනා. වෙන කරන්න දෙයක් නෑ. “

” ඉන්න තැන ඕවා කියලා බැනුම් අහගන්නකෝ.. දුමීට තේ එකක් හදන්නද ?” 

පිළිතුරක් දෙනු වෙනුවට ඈ හිස සළා එය ප්‍රතික්ෂේප කළාය. 

සරෝජා ‍රත්නපුරයෙන් ගෙන ආ ගමන් මලු සියල්ල පිටතට ගෙන අසුරද්දී මහීකා ඉක්මණින් තනි සුදු පැහැ කෝප්පයට තේ වත් කළාය.

” වොශ් එකක් දාන් එන්නං ආන්ටී. “

” මේ තේ එක ලොකූට දෙන්න පුලුවන්ද දුමී. ?” 

එකඟ වීමට පෙරම මහීකා තේ කෝප්පය තරුණිය හට දිගු කළ අතර ඈ නිහඬවම එය ගෙන තරප්පු පෙළ නැංගාය.

පළල් උරහිසින් සහ මනාවට නඩත්තු කළ මාංශ පේෂි අතරින් පුරුෂාධිපත්‍යය බේරා හැළෙන කඩවසම් නිරුවත් උඩුකයක් හිමි තැනැත්තා වැළපෙන දෑස තදින් පියා ගනිමින් ඇඳ විට්ටමට හිස තබා සිටියේය.

” ම්ම්හ්හ්..”

තත්පර කිහිපයක් එකී ග්‍රීක ප්‍රතිමාවක් බඳු මන්ස්කාන්ත සිරුර වෙත දෑස අළවා උන් තරුණිය උගුරෙන් මඳ ශබ්දයක් නැඟූ අතර ඔහු තිගැස්සී දෑස විවර කළේය. 

” තේ එක..”

යහන අසලම වූ කබඩයක් මත තේ කෝප්පය තැබූ ඈ තවමත් විසල් කර සිටින දෙනෙතින්  තමා දෙස බලා හිඳින ඔහු දෙසට දෑස විතැන් නොකරම යළි හැරුණාය.

” කොයි වෙලේද ආවේ ?” 

” දැන් , ආවා විතරයි “

” හ්ම්ම්.. !” 

සුරුස් හඬින් නාසය ඉහලට අඳින හඬට යළි ඒ දෙසට දෑස විතැන් කළද එකී උඩු කය මත දෑස අතරමං නොකර ගත් ඈ එවර එක එල්ලයේ ඒ මුහුණ දෙස බැලුවාය. වැළපෙන දෑස පමණටත් වඩා පහතට ගිලී තිබූ අතර වෙනදා තරම් කිසිදු ප්‍රාණවත් බවක් එකී උවන තුළ නොතිබුණේය. 

” අසනීපෙන්ද ?” 

හිස සළා නැත යැයි පැවසූ ඔහු අත දිගු කර තේ කෝප්පය අල්ලා ගත්තේය. විඩාබර වුවන මත වූ අප්‍රාණික හැඟීම් කියවීමට උත්සාහ කළ ඈ පිටි අල්ල අනවසරයෙන්ම ඔහුගේ නළල මත තැබුවාය. 

” උණද ? ඉන්න මං ආන්ටීට කියන්න. “

” දුමී.. !” 

වහා හැරී දුවන්නට සැරසුණු ඇගේ අතකින් අල්ලා ගත් ඔහු කෙඳිරිලි ස්වරයක් පිට කළේය.

” උණ නෑ. ඔලුව රිදෙනවා එච්චරයි”

” පේ.. පේන් කිලර්ස් දෙකක් ගෙනත් දෙන්නද ?” 

” හ්ම්ම්..”

ඔහු ඈ දෙස නොබලාම තේ කෝප්පය තොල ගෑවේය. වහා තම නිදන කාමරයට දිව ගිය ඈ බෙහෙත් පෙති ද්විත්‍වයක් හා කොලෝන් බෝතලයක්ද රැගෙන පැමිණියාය. ඔහු සෙමින් බෙහෙත් ද්විත්වය ගිල දමන තුරු සිට ඊලඟ මොහොතේ අනවසරයෙන්ම හිසට කොලෝන් බිඳු කිහිපයක් දමා පිරි මැද්දාය. 

” කන්න මොනාහරි ගෙනත් දෙන්නං ? සුදු අයියා එන්න පරක්කු වෙයිද ? ඕකට අඩු නොවුණොත් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න වෙයි. වැස්සෙවත් තෙමුනද ? ඊයේ රෑට කෑවේ නෑ කිව්වා නේද ?  දවල් දොළහටත් කිට්ටුයි. ඇඟ පණ නැති වෙන එක අහන්නත් දෙයක්ද ?” 

ඈ එක දිගට කියවමින් ඔහුගේ හිස පිරිමදිමින් සිටි අතර ඔහු නිහඬව තේ කෝප්පය තොල ගෑවේය. දින කිහිපයක සිට හදවතේ ඔහු වෙනුවෙන් තැවරී තිබූ කෝපය බිඳකුදු ඉතිරි නොවී ක්ෂණිකව දියව ගොස් ඇත. විඩාබර හා අසනීප ඔහුගේ සන්සුන් වත ඇගේ මුළු හදවතම ඔහු කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් හා සෙනෙහසින් පුරවමින් තිබුණේය.

” මං කිව්වනේ කිචන් එකට යන්න , තේ එකක් හදන හැටි කියලා දෙන්නං කියලා. කොහෙද තියන ලොකුකමනේ. “

” විනාඩි පහකට කට පියන් ඉන්න බැරිද ?” 

හිස පිරිමදිමින් බැණ වදින ඈ දෙසට මුව ඉහලට කර බැලූ ඔහු මන්ද ස්වරයෙන් ඇසුවේය. එකී පැනයට නැවත වතාවක් ඔහු කෙරෙහි කෝප ගත් ඈ වහා හිසින් අත ඉවතට ගත්තාය.

” මගෙ කියවිල්ල තමා පලි. මං යනවා. “

” ඒයි..!” 

ඔහු වහා අත දිගු කර ඇගේ අතින් අල්ලා ගත්තේය. 

” දිගටම කරන්න”

ඔහු එසේ පවසා හිස බිමට බර කර ගත්තද ඇගේ හදවතේ සීනු දහසක් හැඬෙවෙමින් තිබුණි. පූර්ණ සිරුරම සැහැල්ලු වී තමා හිස් අවකාශයේ පාවෙනාකාරයට ප්‍රීතියක් දැනුණද ඈ දෙතොල් පට තද කරමින් මුවට නැඟි සිනහව සඟවා ගෙන යළි හිස පිරිමදින්නට පටන් ගත්තාය.

” ලොකූ මං…” 

හදිසියේ නිදන කාමරයට ආ මහීකා යහන මත හිඳ සිටින පුත්‍රයාත් , ඔහු අසලට වී හිස පිරිමදිමින් උන් තරුණියත් දැක එක තැනම ගල් ගැසුණාය. මහීකාගේ හදිසි ආගමනය නිසා බිය වූ යුවතිය වහා අඩියක් පසුපසට තැබු අතර කිසිදු වෙනසක් නොපෙන්වූ තරුණයා නිහඬව තේ කෝප්පය බී හමාර කළේය. 

” ඔ.. ඔලුව රිදෙනවා කි.. කිව්වා ආන්ටී. මං බේබිකොලෝන් ටිකක් දැම්මා. “

වචන පටළැවෙමින් තරුණිය මහීකා හමුවේ විස්තර විචාරය කළ අතර ඉක්මන් අඩි තබා පුත්‍රයා අසලට ආ ඈ ඔහුගේ නළලටත් , ගෙලටත් අත තබා බැලුවාය.

” ලොකු රස්නයක්නං නෑ. මල්ලිත් නැති එකේ ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ද ලොකූ  ?” 

” අනේ.. බෑ අම්මා..”

” ඉන්න එහෙනං මං පේන් කිලර්ස් මොනාහරි ගේන්නං “

” මං දුන්නා..” 

තරුණියගේ හඬින් විසල් වීමට ගිය දෙනෙත යළි සිහින් කර ගත් මහීකා යළි පුතු දෙසට හැරුණාය.

” කන්න මොනාහරි ගේන්නද ලොකූ ?” 

” එපා අම්මා. “

” ඇඟට පණ නැති වෙයි ලොකූ “

” තේ එක බිව්වා අම්මා. තව ටිකක් නිදාගත්තානං හරි. “

ඔහු එසේ පවසා යළිත් යහනට වැටුණේය.

” පේන් කිලර්ස් ගත්‍තනං තව පැයක් දෙකක් නිදාගන්නකෝ. අඩු උනේ නැත්තන් ඩොක්ටර් කෙනෙක් ගාවට යං . “

එසේ පැවසූ මහීකා සීරුවට ඔහුගේ හිස පිරි මැද්දාය.

” මගේ ෆෝන් එක ඕෆ් කරන්න අම්මා. කවුරු කතා කළත් ඇහැරවන්න එපා. නිදාගන්න ඕනේ. “

” හ්ම්ම්..”

තවත් සුළු මොහොතක් ඔහුගේ හිස පිරිමදිමින් සිටි ඈ යහන මතින් නැඟී සිටියාය. 

” අර කෑම පාර්සල් එක දෙන්න යනවද දුමී ?” 

නිදන කාමරයෙන් පිටතට පැමිණියද ඒ වෙත දෑස් රඳවා උන් තරුණිය වෙත හැරුණු මහීකා නැවත ඇසුවාය. 

” ආ..? ආ..ඔව් .මේ.. යන්න ඕනේ ආන්ටි. “

ඇගේ පිළිතුර විටින් විට නිදන කාමරය දෙස බලාය. 

” තව ටික වෙලාවක් නිදාගන්න දෙමු දුමී. උණක් නෑනේ. බය වෙන්නෙපා. “

ගැහෙන දෑස දෙස බලා ඇගේ බාහුවකට තට්ටුවක් දැමූ මහීකා එසේ පවසා තරප්පු පෙළ බැස පහත මහලට ඇවිද ගියාය.

******************************************

සුභාවී මුණගැසී විශාඛා දුන් රසකැවිලි පාර්සලය අද දිනම දිය යුතුම වූ නිසා දැඩි අපහසුවකින් හදවතට තරවටුවක් දැමූ තරුණිය නැවත ඉක්මනින් පැමිණීමේ බලාපොරොත්තුවෙන් විජේසිංහ නිවසින් පිටත් වූවාය.

” මාර රසයි දුමී.. මං ආන්ටි විශාඛාට කෝල් එකක් දීලාම තෑන්ක්ස් කරන්නං. ඒක නෙමෙයි අද රෑ වෙලා ඩිනර් අරගෙනම යං. මං ගිහින් ඇරලවන්නං. “

” අනේ බෑ අක්කේ. පරක්කු නොවී යන්නෝන. එන්න පුලුවන්කමකට නෙමෙයි මේ ආවේ. “

” ආ.. සොරි අනේ.. ඔයාට මහන්සි ඇති නේද ? මට ඒක අමතක උනා. “

සුභාවීගේ පැනයන් වලට පිළිතුරු දෙනු තබා ඇගේ වචන මත ඇහුංකම්දීමක් හෝ නිසියාකාරව සිදු කිරීමට ඈට නොහැකි වූවාය. හේතු සහිතව හෝ රහිතව ඇගේ හදවත දිගින් දිගටම ඔහුගෙන් ඇමතුමක් බලාපොරොත්තු වූ අතර ඊට සහය දැක්වූ දෑස දිගින් දිගටම දුරකතනය වෙත බැලුම් හෙළන්නට විය. 

” නංගි.. ! ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ ?” 

වෙනදා නොතිබුණු කලබලකාරී හැඟීම් දහසක් උවන මත පෙරළි කරන ඈ දෙස බලා සුභාවී සැකයෙන් මෙන් ප්‍රශ්න කළාය.

” නෑ.. අක්කේ මුකුත් නෑ.. “

” වෙන්න බෑ. මොකක් හරි තියනවා. “

මිහිදුමී අසලට ළං වූ ඈ ඇගේ එක් අතකින් අල්ලා ගත්තාය.

” ආපු වෙලේ ඉඳන් ඇස් දෙක ෆෝන් එකේ. කවුරුහරි කතා කරනකන්ද ඉන්නේ. ? පිරිමි ළමයෙක්ද නංගි ?” 

” අනේ අක්කේ ?” 

තිගැස්සුණු ඈ වෙත සිනහමුසු බැල්මක් හෙළූ සුභාවී තවත් තදින් අත අල්ලා ගත්තාය.

” මොකද අනේ ගැස්සෙන්නේ ? කොල්ලෙක් එක්ක යාලුවෙන එක අපරාධයක්යෑ ? කවුද ඒ වාසනාවන්තයා. කැම්පස් එකේ ළමයෙක්ද ?” 

සුසුමක් හෙළූ ඈ නැත යැයි පවසමින් හිස දෙපසට සැලුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here