” ආන්ටි ඇහුවද කොහෙද යන්නේ කියලා ?”
” හ්ම්ම්..”
” ඉතිං ?”
” ඉක්මනට එන්නං කියලා ආවේ “
ඔහු කෑම පිඬ සෙමින් සපමින් පිළිතුරු බැන්ඳේය. සන්සුන් වත දෙස ඇසි පිය නොගසා බලා සිටි ඈ තම ඉඳුල් සුරත වියළී යන තුරුම කල්පනාවේ ගිලුණාය.
” දැන් ඇති නැද්ද ?”
ඔහු කෑම පිඟානෙන් දෑස ඉවතට නොගෙන ඇසුවේය.
” ආ.. ?”
” දැන් ඇති නැද්ද කියලා ඇහුවෙ ?”
” මො.. මොකද්ද ..?”
” මාව ගිල්ලා ?”
විළියෙන් රතු වූ උවන ඈ වහා පිඟාන වෙත හරවා ගනිද්දී ඔහු මුව අඟින් සිහින් සිනහවක් නැඟුවේය.
” තව ටිකක් බෙදන්නං ?”
හිස් වූ පිඟානෙන් ඔබ්බෙන් වූ වතුර වීදුරුව අතට ගත් ඔහු දෙස බලා ඈ නැවත කලබලයෙන් ඇසුවාය.
” ම්ම්හ්හ්.. එපා. ඇති. “
” ඇයි රස නෑ..?”
” රසයි.. රසයි.. දැන් ගොඩක් කෑවනේ. මං මෙච්චර කන්නෙත් නෑ වෙනදට. “
” කෝ දෙන්න මං ගන්නං “
ඔහු අතැති පිඟාන දෙසට අත දිගු කළද ඔහු එය ඇගෙන් තවත් ඈතට කළේය.
” කාලා ඉන්න. “
මුළුතැන්ගෙහි වූ කුඩා කෑම මේසයෙන් නැඟිට ගත් ඔහු පැන්ට්‍රිය වෙත ගොස් දෑත පිරිසිදු කරගන්නා අතර වහා කටට දෙකට බත් පත ගිල දැමූ ඈ පුටුවෙන් නැඟී සිටියාය.
” කෝ දෙන්න..”
ඇගේ අතැති පිඟාන වෙත අත දිගු කළ ඔහු දෙස බැලූ ඈ මුව ඇද කළාය.
” එපා.. එපා. මං හෝදන්නං “
” මෙන්න මෙහෙ දෙනවා. “
බලෙන්ම ඈ අතැති පිඟාන ගෙන සෝදා අවසන් කළ ඔහු ඈ දෑත පිරිසිදු කරගන්නා තෙක් ඉවසීමෙන් බලා සිටියේය.
” දුමී..!”
” ම්ම්..?”
” මං විසි තුන යන්න ඕනේ. “
තිගැස්සුණු දෑස වහා ඔහු වෙතට එසවිය.
” විසි තුන ? අද විස්සනේ ? ඒ කියන්නේ හෙට නෙමෙයි , අනිද්දා නෙමෙයි , ඊට පස්සේ දවසේ ?”
” හ්ම්ම්..”
වහා දෑස යළි බිමට බර කර ගත් ඈ දෑතේ වෙළී තිබූ අත් පිස්නාව දිගටම පොඩි කරමින් සිටියාය . කිසිවක් නොපැවසුවද ඇගේ සිත රිදුණු බැව් හොඳින් වටහා ගත් ඔහු සෙමින් ඈ අසලට අඩියක් තැබුවේය.
” මං ඉන්න බලාගෙන නෙමෙයිනේ දුමී ආවේ. ගිහිල්ලා එන්න හරි යන්න ඕනේ. “
නැත. යන්තමින් ප්‍රතිචාරයක් හෝ තබා ඈ මුහුණ හෝ ඔසවා ඔහු දෙස නොබැලුවාය. ඒ වෙනුවට දිගින් දිගටම අත රැඳි අත් පිස්නාව පොඩි කරමින් සිටියාය. තවත් මොහොතක් ඈ දෙස බලා සිටි ඔහු ඈ අසලට තවත් අඩියක් තබා සෙමින් ඇගේ උවන වෙත පහත් විය.
” අඩුම මාසෙකටවත් ගිහින් එන්න ඕනේ. ප්ලීස්..!”
ඇගේ කෙහෙරැලි වසා උන් සවන අසලට පහත් වූ ඔහු කෙඳිරිලි ස්වරයෙන් එසේ පැවසුවද ඈ යන්තමින් සෙළවුණා විනා කිසිවක් නොපැවසුවාය.
” දුමී..!”
” යන්න ඉතිං . ඉන්න කිව්වේ නෑනේ. ?”
අත රැඳි අත් පිස්නාව යළි පැන්ට්‍රිය මතට අත හැරි ඈ ඔහුගෙන් මිදී යන්නට සැරසුණද විසල් අතින් ඇගේ බඳ අල්ලාගත් ඔහු ඈ පැන්ට්‍රියට තබා සෙළවීමට හෝ නොතබාම තද කර ගත්තේය.
” මොකෝ දැන් තරහා වෙලා ? ම්ම් ? “
“යන්න.. යන්න.. අවුරුදු හතක් ඈත් වෙලා හිටියා මදිද කියලා අහ අහ ඉඳලා දැන් ආපහු යන්න. කමක් නෑ. මට ඉතිං ඉන්න කියන්න බෑනේ ? මං කවුරුවත් නෙමෙයිනේ. ?”
තරවටු බැල්මක් හෙළූ ඔහු වහා ඇගේ නිකටින් අල්ලා ඇගේ උවන ඔහු වෙතට ඔසවා ගත්තේය.
” මොකද්ද කිව්වේ ?”
පෙරට වඩා කෝප සහගත වූ ස්වරය හමුවේ වෙව්ලුණු ඈ වහා දෑස බිමට බර කර ගත්තාය.
” කවුරුවත් නෙමෙයි කියලද හිතන් ඉන්නේ ? අයිතිය ලියලා දෙන්නම ඕනෙද ? මං ලිමිට් එක ක්‍රොස් කරන්නැත්තේ බැරි කමට නෙමෙයි. මැඩම් ඒක තේරුම් ගත්තොත් හොඳයි. “
” මං පොඩි කෙල්ලෙක් නෙමෙයි. සර්ත් ඒක තේරුම් ගත්තොත් හොඳයි. “
” දුමී..!”
” සැර දාන්න එපා. මටත් පුලුවන් අහනවනං අහන්න. මෙච්චර කල් බලන් හිටියා මදි නැද්ද කියලා ? මං මේ ගේ ගත්තේ මට තනියම ඉන්න ඕනේ නිසා. මට තනියම ඉන්න ඕනේ උනේ මට අඬන්න ඕන නිසා. රත්නපුරේ ගෙදරදිවත්, මාමාගෙ ගෙදරදිවත් මට අඬන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. හැමෝම ඉන්නවනේ. අනික මං අඬද්දි එයාලටත් දුකයි. මට ඕන උනා කවුරුත් නැති තැනකට වෙලා කෑ ගහලා අඬන්න. මේ ගෙදර ගත්තට පස්සේ මං හැමදාම රෑට ඇඬුවා. නිදාගන්න කාමරේ තිබ්බට මං කාමරේ නිදාගත්තෙම නෑ. හැමදාම රෑට ඔයාව මතක් වෙන එක පුරුද්දට ගිහින් තිබ්බේ. ඉතිං මං ඉන්න තැනම ඉඳන් ඔයාව මතක් කර කර ඇතිවෙන්න ඇඬුවා. හිතේ හැටියට ඇඬුවා. කවුරුවත් හිටියේ නෑ මට අඬන්න එපා කියන්න. අඬලා අඬලා එතැනම බිම නිදා ගත්තා. මං උදේට නැඟිට්ටේ වැටිච්ච වැටිච්ච තැන් වලින් . හැමදාම උදේ නැඟිටිද්දී එක්කෝ සෝපා එකේ , නැත්තන් සෝපා එක ළඟ බිම , නැත්තන් ජනේලේ ළඟ බිම , නැත්තන් කාමරේට යන කොරිඩෝ එකේ , සමහර දවස් තිබ්බා උදේට ඇහැරෙද්දී මං හිටියේ කිචන් එකේ බිම. ඉතිං.. මං ආයේ අහනවා.. දැන් ඇති නේද ? මට තවත් අඬන්නවත් , බිම නිදාගන්නවත් බෑ. “
ඉකි ගසමින් ඔහුගේ කමිසයේ එල්ලී හඬා වැටෙන ඔහු තවත් ඈ අසලට ළංව ඇගේ නළල් තලය මත තම නළල තැබුවේය.
” මං හොඳින් හිටියා කියලා හිතනවද ? මට හොඳට නින්ද ගියා කියලා හිතනවද ? ආ මැණික ..? දැන් ඇති තමා. හොඳටම ඇති. “
මොහොතක් ඇගේ උවන දෙස බලා සිටි ඔහු ක්ෂණිකව ඇගේ දෙතොලට බර විය. සියුම් සියුම් පද ගැලපුම් හමුවේ වේගවත් හා දිගු තනුවක රටා ඇල්ලූ ඔහු ඇගේ දෑතම ඔහුගේ කමිසය මත පොඩිවී යද්දී සෙමින් එකී දෙතොල අත හැරියේය. ඉන්පසුව සියුම්ව හතිළමින් සිටි ඈ තව දුරටත් තමා වෙතට නතු කර ගනිමින් පහත් වී ඇයව දෝතට ගෙන නිදන කාමරය වෙතට අඩි තබා එහි වූ යහන මත ඈ තැබුවේය. ඉන්පසු හැඳ උන් කමිසය ගලවා දමා නිදන කාමරයේ ද්වාරය අගුලු ලෑවේය.
තනිව ගෙවනා කල බොහෝ වේදනාකාරීවූත් , දිගු වූත් අඳුරු රාත්‍රීන් බොහෝමයකට පසු මාස ගණනාවක් පුරාවට කුඩා නිවසේ තනිවම හඬා වැටුණු , තැවුණු , දැවුණු යුවතිය අලුත් හෙටකට පායා එන නැවුම් හිරු කිරණ පොළොවට පතිත වන මොහොතේ විසල් පිරිමි පපුතුරක් මත නිවෙමින් උන්නාය. සැනසෙමින් උන්නාය. මෙකී නිවසට පා තැබූ දා සිට ගෙවා දැමූ සැනසුම හා සන්තුෂ්ටිය පිරි පළමු රාත්‍රියේ අග භාගය ඈ තව දුරටත් ඔහු මත ගෙවමින් සිටියාය. නින්දේ නොසිටියද එකී සැනසුමම හදවත තුළ දරා ගත් ඔහු තව දුරටත් දෑස විවර නොකරම ළමැඳට තුරුළුව උන්නාවූ ඇගේ කෙස් කළඹ අතරින් අතැඟිලි යවා එය සෙමින් පිරි මදිමින් සිටියේය.
” ලොකූ.. !”
දශමයක හෝ සෙළවීමක් නොකළ ඈ ඔහු තුරුළෙන් එහා මෙහා නොවීම සෙමින් කෙඳිරි ගෑවාය.
” ම්ම්.. ? තව ටිකක් නිදාගන්න..!”
ඔහු තව දුරටත් ඇගේ හිස පිරි මදිමින් සිටි අතර ඈ සෙමින් හිස ඔසවා ඔහු දෙස බැලුවාය. වීදුරු ජනේලයෙන් බේරී එන රන්වන් හිරු කිරණින් ලැබෙන්නාවූ සෞම්‍ය ආලෝකයකින් ඒකා ලෝක වූ නිදන කාමරය ඈ හට වෙන කවරදාටත් වඩා අලංකාරව මැවී පෙනුණි.
” ඔහු මතින් මඳක් ඈත් වූ ඈ පසෙක වූ පෙරවනය ගෙන ළැම මත තද කර ගත්තාය. ඉන්පසු මඳ සිනහවක් නඟා තවමත් දෑස පියා උන් ඔහු දෙස බැලුවාය.
” මට ඔයාට කියන්න දෙයක් තියනවා. “
හේ සෙමින් දෑස විවර කළේය. වීදුරු ජනේලයෙන් බේරී එන රන්වන් පැහැ හිරු කිරණ අතරින් රන් පැහැ ගැන්වූ ඇගේ නාරි දේහයේ අහුමුළු සියල්ල කරා සක්මන් කොට සැනසුම් නිද්‍රාවක ගිලී උන් ඔහු පුරා සත් වස මුළුල්ලේම දෑස විවර කළ විට දැක්මට බලාපොරොත්තු වූ දර්ශනය ඒ අයුරින්ම විඳිමින් සිටියේය. කඩා හැළෙන කෙස් කළඹත් , ළැම මත වූ පෙරවනයත් දරා උන් ඈ හිරු කිරණ සමඟ අලුත පිපි සොඳුරු මලක් සේ මඳ සිනහවකින් මුව සරසා ඔහු දෙස බලා සිටියාය. හිස මඳක් කෙලින් කර ඇඳ විට්ටමට තබාගත් හේ තම අත ඈ වෙතට දිගු කළේය.
” කියන දෙයක් ළඟට ඇවිල්ලා කියන්න. “
නැවත වතාවක් මඳ සිනහවක් දැරූ ඈ යළිත් ඔහුගේ ළැමට බර වූ අතර ඇගේ බඳ වටා අතක් යැවූ ඔහු එහි අනෙක් පියවර සම්පූර්ණ කළේය.
” හ්ම්ම්..දැන් හරි. කියන්න. “
” තරහා වෙන්නෑ නේද ?”
හිස ඔසවා ඔහු දෙස කෙලින් බලා ඈ ඇසූ පැනයට මඳ සිනහවක් පෑ ඔහු සෙමින් ඇගේ නාසය මත දෙතොල තැබුවේය.
” දැන් නං තරහා වෙන්න තියා හිතන්නවත් බෑ.
Ever since last night, I’ve completely lost my mind “
” අනේහ්..!”
විළියෙන් රතු වූ ඈ අනෙක් පස හැරීමට සූදානම් වුවද ඔහු වහා එය වළක්වා ඈ තවත් තමා වෙතට නතු කර ගත්තේය.
” දැන් කියන්න. මොකද්ද කියන්න තියෙන්නේ. “
” අහන්නකෝ…! මේක ටිකක් අමාරුයි. ඒත්.. මායි , ඔයයි මේ ගැන කතා කරන්නම ඕනේ. මට තව දුරටත් දේවල් හිතේ හිර කරන් ඉන්න බෑ. ඒ නිසා මේක ඔයත් එක්ක කතා කරන එක මගේ හිතට හොඳයි. “
” හ්ම්ම්.. “
” ඔයා ගැනවත් , අපි දෙන්නා අතර තියන සම්බන්ධය ගැනවත් කිසිම අහිතකින් නෙමෙයි මං මේක කියන්නේ . ප්‍රශ්නයක් ඇති කරගන්නත් නෙමෙයි. සම්පූර්ණම මගේ හිතේ තියන කොස්සක් නැති කර ගන්න විතරයි. මේක කිව්වම මගේ හිත නිදහස්. ඒ හේතුව උඩ විතරමයි මං මේක ඔයාට කියන්නේ. “
” හ්ම්ම්.. “
ඈ සෙමින් තම සුරතින් ඔහුගේ ළැම පිරි මැද්දාය. ඒ අතරින් පතර බයාදු බැල්මකින් ඔහු මුව දෙස බැලුවාය. කිසිදු වෙනසක් නොපෙන්වා ඔහු ඈ දෙස එක දිගට බලා සිටියේය.
” සි.. සිංදුමී අක්කා “
ඈ නැවතත් හිස ඔසවා ඔහු දෙස බැලුවාය. කතාව ආරම්භයේදීම ඔහු එය වළක්වාලනු අතැයි හදවතේ එක් පසක් කෑ ගසා පැවසීය. තව දුරටත් අතීතයේ අඳුරු සෙවනැලි තමන් මතට වැටීම වළක්වාලමින් ඔහු ඇගේ කතාව ඇසීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතුවද එය එසේ නොවුණි. ඒ වෙනුවට ඔහු පෙර ලෙසම කිසිදු වෙනසක් නොපෙන්වා ඈ දෙස බලා සිටියේය.
” මං සිංදුමී අක්කා නැති උනු විදිහ ගැන විස්තර ටිකක් හෙව්වනේ. ම්ම්.. ලොකූ.. මං.. මං මෙහෙ යුනිවසිටි ආවෙම ඒ නිසා. ඒත්.. අන්තිමේ මං ඒක හොයන එක නතර කරලම දැම්මා. ඒත් .. මේ මෑතකදි ඒ සම්බන්ධ දෙයක් අහද්දී කවදාවත් බලාපොරොත්තු වෙච්චවත් නැති කෙනෙක් ගැන දෙයක් අහන්න ලැබුණා. “
” මින්දුලා ගැනද ?”
ක්ෂණිකව ඔහුගෙන් මෑත් වූ ඈ විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස එක දිගට බලා සිටියාය.
” ඔ.. ඔයා දැනගෙන හිටියද ? “


